Coss Ear2
lakbima.lk
COSS Ear 1

කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’ විදියට අද මම කියන්නේ කෑමක් පිළිබඳ කතාවක්. හැබැයි මේ කතාවේ තියෙන විශේෂත්වය තමයි මම අප්‍රිය කරන මේ කෑමට සමහරු බොහොම ප්‍රිය කිරීම. කොටින්ම කියනවා නම් මගේ තාත්තත් මේවට ගොඩක් ආසයි. අනික් කාරණේ මේ අප්‍රසන්න බව කොයිතරම් තදින්ම මට දැනෙනවද කියනවා නම් මම මේ දේ කනවාතියා, කන කෙනෙක් ළඟ ඉන්නවත් කැමති නැහැ. මොනවද දන්නවද මට මේ තරම් අප්‍රසන්න ආහාරය. ඒ තමයි රතු ලූනු. 
මට මතක ඇති කා‍ලේ ඉඳලා මට රතු ලූනු ගොඩක් අප්‍රසන්නයි. රතු ලූනු ගෙඩියක් දැක්කමත් මට ඔක්කාරෙට එනවා. මගේ තාත්තා රතු ලූනුවලට ගොඩක් කැමැතියි. බත් කන්න එළවළු වෑංජන කොයිතරම් තිබුණත් රතු ලූනු ගෙඩි කීපයක් සුද්ද කරලා තසිමක දාලා මේසේ උඩින් තියන්න ඕනේමයි. හැබැයි තාත්තා ජර බර ගාලා රතු ලූනු හපන කොට මට කැරකිල්ල වගේ හැදෙනවා. ඒ හින්දම මම තාත්තා කෑම කන තැනකවත් ඉන්නේ නැහැ. කෑම කාලා ඉවර වුණාමත් මට තාත්තාගේ ළඟ රතු ලූනු ගඳ දැනෙනවා වගේ. ඒ හින්දා මම තාත්තාගේ ළඟටවත් යන්නේ නැහැ.
අපේ ගෙදර අය මම ගැන දන්න හින්දා සම්බෝල හැදුවත් සම්බෝල දෙකක් වෙන වෙනම හදනවා. ඒත් පිට මිනිස්සු මේ ගැන දන්නේ නැහැනේ. ඒ හින්දා නෑදෑ ගෙවල්වල කෑමකට ගියාම මම හරිම අපහසුතාවට පත් වෙනවා. 
දවසක් මම හිතවත් ගෙදරක උත්සවයකට ගියා. කට්ටිය විනෝද වෙලා දිවා ආහාරයට අඬගහද්දීත් මට හොඳටම බඩගිනියි. කෑම මේසේ හරි අපූරුවට හදලා තියෙනවා දැක්කම බඩගින්න තවත් වැඩිවුණා. ඒත් මම වාඩි වුණු පුටුව ගාවම මේසේ උඩට අච්චාරු තසිමක් ගෙනැත් තිබ්බා. කෑම කන්න හදනකොටම රතට රතේ තියෙන ලූනු ගෙඩි පිරුණු අච්චාරු තසිම දැක්කම මට උන් හිටි තැන් අමතක වුණා. මොනව කරන්නද තසිම ටිකක් එහාට තල්ලු කරලා ඒ පැත්තවත් බලන්නේ නැතුව මම කෑම කන්න හැදුවා. 
“මේ අච්චාරු..... හරිම රසයි... ඇයි බෙදා ගන්නේ නැද්ද...?”
ඒ ගෙදර කාන්තාවක් මගේ ළඟට ඇවිත් අච්චාර තසිම ළං කරලා එහෙම ඇහුවා. මට කෑම පිඟාන ‍පොළොවේ ගහන්න තරම් කෝපයක් ආවත් බොහොම අමාරුවෙන් තද කරගෙන හිටියේ. 
හැබැයි නාඳුනන තැනක ඒ විදියට හිටියට මම දන්න කියන කෙනෙක් ඔහොම කළා නම් තත්ත්වය ඔයිට වඩා වෙනස්.
දවසක් මම මගේ ගෝලයෝ එක්ක නෙළුම් ‍පොකුණේ නර්ථන ප්‍රසංගයකට ගියා. මගදී බේකරියක් ළඟ නතර කළේ කට්ටියට කෑමට මොනවා හරි ගන්නයි. ඔය වෙලාවේ එක ළමයෙක් පාන් ගත්තා. පිටුපස්සේ සීට් එකේ ඉඳන් මේ ළමයා රතු ලූනුත් එක්ක පාන් කනවා. මගේ රතු ලූනු අප්‍රසන්න කම දන්න ගෝලයෝ මම ඉන්න තැනක රතු ලූනු කන්නේ නැහැ. හැබැයි මේ ළමයා ඒ ගැන දන්නේ නැහැ. ඒ වුණත් එදා ඒ ළමයා මගෙන් හොඳටම බැණුම් අහලා ඒ රහස දැනගත්තා.
ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ ඉගෙන ගන්න කා‍ලේ මට දවස් පතා පැය එකහමාරක දුම්රිය ගමනකින් පසුව තමයි නවාතැන් පළේ ඉඳන් ශාන්ති නිකේතනයට ගියේ. ඒ දවස්වල මම අනිවාර්යයෙන්ම වාඩි වෙන්නෙම ජනේලය ළඟ අසුනකයි. ඇයි දන්නවද? අතරමගදී පූරි විකුණන අය කෝච්චියට නගිනවා. රතු ලූනු කපලා දැමූ පූරි හැමෝම අරගෙන රස කරකර කනවා. ඒ වේලාවට ඇස් දෙක තද කරගෙන හිටියත් නහය තද කරගෙන ඉන්න බැහැනේ. ඔක්කාරෙට එන එක නතර කරන්න බැරි හින්දමයි මම ජනේලය ළඟම සීට් එකකට වෙලා අහක බලාගෙන යන්නේ. 
 
ආරියවංශ කුලතිලක

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.