Coss Ear2
lakbima.lk
COSS Ear 1

අද කාලයේ බොහෝ දෙනෙකු විවාහ වීමට සිහින මවන්නේ මුදල් හදල්, ගේ දොර, යාන වාහන ආදියෙන් ‍පොහොසත් ඉහළ මට්ටමේ සහකරුවන් සහකාරියන් සමගය. එවැනි කාලයක ආදරය, විවාහය වෙනුවෙන් රජ සැප පවා අත්හැරීමට සූදානම් වන රාජ කුමාරිකාවක ගැන අසන්නට ලැබිම තරමක් දුර්ලභ කාරණාවකි. නමුත් එවැනි කතා පුවතක්  ජපානයෙන් වාර්තා වන අතර පසුගිය  සතියේ මෙම අමුතු ආදර කතාවට ලෝකයේ ජනමාධ්‍ය තුළ ප්‍රධාන තැනක් හිමිව තිබිණි.
මේ ආකාරයෙන් සිය ප්‍රේමය වෙනුවෙන් රජ සැප අත් හැරීමට සූදානම් වන්නේ ජපානයේ වත්මන් අධිරාජයා වන අකිහිතෝ අධිරාජයාගේ සහ මිචිකෝ අධිරාජිනියගේ වැඩිමහල් මිණිපිරිය වන මාකෝ කුමරියයි. 22 වැනි වියේ පසුවන මාකෝ කුමරිය ප්‍රේමයෙන් බැඳී සිටින්නේ ඇය විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටියදී එහිදී මුණ ගැසුණු, ඉතා සාමාන්‍ය පවුලක තරුණයෙකු සමගය. ඔහුගේ නම කොමුරෝ ය. ජපාන රජ පවු‍ලේ සම්ප්‍රදාය අනුව එම පවු‍ලේ කාන්තාවක සාමාන්‍ය කෙනෙකු සමග විවාහ වුවහොත් ඇයට හිමි රාජකීය  තත්ත්වය අහිමි වී යයි. රජ පවු‍ලේ පිරිමින්ට මෙය අදාළ වන්නේ නැත. රාජකීය තත්ත්වය අත් හැරීමත් සමග රජ පවුල තුළ හිමි වරප්‍රසාද, සැප සම්පත් බොහොමයක්ද ඒ අනුව අහිමි වී යයි.
මාකෝ කුමරිය සහ කොමුරෝ අතර ආදර සම්බන්ධයට දැන් වසර කිහිපයක් ගත වී ඇත. ඔවුන් දැන් සූදානම් වන්නේ යුග දිවියට එළැඹීමටය. මේ අතර  කොමුරෝ සමග විවාහ වීම සඳහා තමා රාජකීය තත්ත්වය අත්හරින බව පසුගිය සතියේ මාකෝ කුමරිය නිල වශයෙන් නිවේදනය කළාය. තමා මුලින්ම ඔහුට ආදරය කරන්නට පෙළඹුණේ හිරු එළිය බඳු ඔහුගේ දීප්තිමත් සිනහව නිසා යයි ඇය මාධ්‍ය හමුවේ පවසා සිටියාය. එමෙන්ම ඔහු ඉතා ලෙන්ගතු හදවතක් ඇති, දැඩි ආත්ම විශ්වාසයක් සහිත, මහන්සි වී වැඩ කරන කෙනෙකු බවද ඇය සඳහන් කරයි. කොමුරෝ සමග එක්ව ඉතා උණුසුම්, සුවපහසුවෙන් සහ සිනාවෙන් පිරි පවුල් ජීවිතයක් ගොඩනගා ගැනීම තමාගේ අපේක්ෂාව බවද කුමරිය සඳහන් කර තිබිණි. මේ අතර කොමුරෝද සඳහන් කර ඇත්තේ නිස්කලංක බව සහ සමාදානය පිරි නිවහනක් ඇති කර ගැනීම තමාගේ ද ආශාව බවයි. කොමුරෝ නීති ක්‍ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කරන්නෙකු වන අතර සංගීතයටද දැඩි කැමැත්තක් දක්වන  බව සඳහන්ය. ඔහු පියානෝ වාදනයට දක්ෂකම් දක්වන කෙනෙකු බවද පැවසේ.
මේ දෙදෙනා මුල් වරට මුණ ගැසී ඇත්තේ විදේශයන්හි අධ්‍යාපනය ලැබිම සම්බන්ධයෙන් ටෝකියෝ හි පැවැති මූලික වැඩසටහනකදීය.එයින් පසු දෙදෙනා විදෙස්ගතව ඇති අතර කොමුරෝ ඇමෙරිකාව බලාද, මාකෝ බ්‍රිතාන්‍යය බලාද නික්ම ගොස් තිබේ.
වසරක් ගතවන තුරු ඔවුන් එකිනෙකා ඇසුරු කර ඇත්තේ මේ ආකාරයෙන් දුරස්ථවය. පසුව කොමුරෝ මාකෝ වෙත සිය ආදරය ප්‍රකාශ කර ඇති බව පැවසෙන්නේ 2013 වසරේයි. එයින් පසු මාකෝ කුමරිය සිය ආදරවන්තයා තම මව්පියන්ට හඳුන්වා දී ඇති අතර සිය දියණිය ඔහු විවාහ කර ගැනීම සම්බන්ධයෙන් මව්පියන්ගෙන් විරුද්ධත්වයක් පළ වී නැත.
මාකෝ කුමරියගේ පියා වන්නේ අකිෂිනෝ කුමරුයි. ඔහු ජපානයේ කිරුළ හිමි ලැයිස්තුවේ දෙවැනි තැන සිටින්නාය. වත්මන් අධිරාජයා වන අකිහිතෝ ගෙන් පසු රජකම හිමිවන්නේ ඔහුගේ වැඩිමල් පුත්‍රයා වන නරුහිතෝ කුමරුටයි. එම ‍පෝලිමේ ඊළඟට සිටින්නේ මාකෝ කුමරියගේ පියා වන අකිෂිනෝ කුමරු වන අතර ඔහු නරුහිතෝ ගේ බාල සහෝදරයා වෙයි. නරුහිතෝගෙන් පසු අකිෂිනෝට කිරුළ හිමි වන්නේ නරුහිතෝට පිරිමි දරුවන් නැති වීම නිසාය. අකිෂිනෝගෙන් පසු රජකමට උරුමකම් කියන්නේ ඔහුගේ පුත්‍රයාය. එනම් මාකෝ කුමරියගේ බාල සහෝදරයා වන හිසාහිතෝ කුමරුය.
තමා මාකෝ කුමරිය විවාහ කර ගැනීම සම්බන්ධයෙන් ඇගේ මව්පියන්ගේද, ඇගේ සීයා වන අකිහිතෝ අධිරාජයාගේද අවසරය හිමි වීම ගැන කොමුරෝ බලවත් සතුටට පත්ව සිටියි.
මෙම අපූරු පෙම්වතුන් දෙදෙනාගේ විවාහය සිදුවන්නේ කවදාද යන්න සම්බන්ධයෙන් තවමත් ස්ථිර තීරණයක් නොමැත. රජ පවු‍ලේ විවාහයන් හා බැඳුණු සම්ප්‍රදායන් බොහොමයක් පවතින අතර ඒ සියල්ලෙන් පසු ලබන වසරේ ඔවුන් විවාහ දිවියට එළැඹෙනු ඇති බවට අදහස් පළ වෙයි.
මාකෝ කුමරියගේ නැන්දණිය, එනම් පියාගේ සොහොයුරිය වන සයාකෝ කුමරියද මේ ආකාරයෙන්ම සාමාන්‍ය කෙනෙකු සමග විවාහ වී රජ සැප අත් හැරියාය. 2005 වසරේදී ඇය සාමාන්‍ය පවුලක කෙනෙකු වූ යොෂිකි කුරෝදා සමග විවාහ වූ අතර මේ වනවිට පූජකවරියක ලෙස දැඩි ආගමික ජීවිතයක් ගත කරමින් සිටින්නීය.
වත්මන් අධිරාජයා වන අකිහිතෝ ලබන වසරේ කිරුළ අත්හැරීමට සූදානම් වන අතර එයින් පසු නරුහිතෝ කුමරු අධිරාජයා ලෙස අභිෂේක ලැබිමට නියමිතය. ජපානයේ අධිරාජයෙකු මේ ආකාරයෙන් අතරමැදදී කිරුළ අත්හැරීම සාමාන්‍යයෙන් සිදු නොවන්නක් නමුත් අකිහිතෝ අධිරාජයා එසේ කිරීමට සූදානම් වන්නේ ඔහු පිළිකා රෝගයෙන් සහ හදවත් රෝගයකින්ද පෙළෙමින් සිටින බැවිනි.
මේ වනවිට ජපාන රජ පවු‍ලේ අනාගත පැවැත්ම සම්බන්ධයෙන් තවත් අර්බුදකාරී තත්ත්වයක්  මතු වෙමින් තිබේ. එයට හේතුවී ඇත්තේ කිරුළ දැරීම සඳහා පිරිමි සාමාජිකයින්ගේ හිඟකමයි. ජපානයේ රජ කිරුළ දැරීමට අවස්ථාව ඇත්තේ පිරිමින්ට පමණක් වීමත්, අකිහිතෝ අධිරාජයාගේ පුතුන්ට වැඩිපුර සිටින්නේ දියණියන් වීමත් මෙම අර්බුදයට ප්‍රධාන හේතුවක් වී තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් කාන්තාවන්ටද කිරුළ දැරීමට හැකි වන ආකාරයෙන් රජ පවු‍ලේ සම්ප්‍රදායන් වෙනස් කිරීම සම්බන්ධයෙන්ද මේ වනවිට අවධානය යොමු වී තිබේ.

කිත්සිරි මල්වත්ත

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.