Coss Ear2
lakbima.lk
COSS Ear 1

“රිද්ම” පුවත්පතට “කාටවත් නොකී රහසක්” කියන්න කියලා කිව්වාම මා ගැන කවුරුත් නොදන්නා රහසක් මට මතක් වුණා. හැබැයි මේ රහස හෙළි කළාට පස්සේ නම් මොනවගේ ප්‍රතිචාර මට එල්ල වෙයිද කියලා මම දන්නේ නැහැ. ඒත් ඕන දෙයක් වෙන්න කියලා ඒ රහස මම අද ඔයාලට කියනවා. 
නළු නිළියන්, ගායක ගායිකාවන්, නිවේදක නිවේදිකාවන්, නර්තන ශිල්පීන් හා ශිල්පිනියන් යන අයට සබකෝලය කියන දේ තියෙන්නම බැහැනේ. අදාළ විෂයය ගැන කොයිතරම් දක්ෂතාවයක් තිබුණත් සබකෝලය තියෙනවා නම් ඒ ක්‍ෂේත්‍රය තුළ මේ වගේ අයට රැඳිලා ඉන්නත් අමාරුයි. මම නිළියක්. ඔය අතර රූපවාහිනී වැඩසටහන් පවා ඉදිරිපත් කරනවා. මේ වනවිට මගේ කලා ජීවිතයට දශක දෙකක් විතර වෙනවා. මට සබකෝලය තියෙනවා නම් කලාව තුළ මේ වගේ ගමනක් එන්න බෑ නේද...?
කාටවත් නොකී රහසක් තුළින් අද මම කියන්න යන්නේ කවුරුත් දන්නේ නැති මගේ සබකෝලය ගැනයි. 
කැමරාවක් ඉස්සරහ, වේදිකාවක් මත රඟපාන එක, නටන එක මට ප්‍රශ්නයක් ‍නෙවෙයි. ඒත් මට සභාවක් ඉස්සරහට ගිහින් කතාවක් පවත්වන්නට නම් කොහොමත් බැහැ. ඒ වගේ අවස්ථාවක් උදාවුණොත් ඇඟපත පණ නැති වෙලා, උගුර කට වේලිලා මට කතා ගන්නත් බැරුව යනවා. ඒ තත්ත්වය යථා තත්ත්වයට පත් වෙන්න ටික වෙලාවකුත් යනවා.
මේ තත්ත්වය මට මතක ඇති කාලෙක ඉඳන්ම තියෙන දෙයක්. පුංචිම කාලෙදීවත් මම ඉස්කෝ‍ලේ සමිතියක කතාවක් පවත්වන්න, ගීතයක් ගයන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ කා‍ලේ මේ භීතිකාව කොයි තරම් ප්‍රබලව තිබුණාද කියනවා නම් මම සමිතියකට ගියාම කවදාවත් පළවෙනි, දෙවැනි පේළිවල වාඩිවන්නෙත් නැහැ. අන්තිම පේළියේ හෝ එහෙම නැතිනම් අන්තිම පේළියට ආසන්න පේළියක තමයි මම වාඩි වෙන්නේ. ශාලාවේ ඉන්න අනිත් අයට නොපෙනෙන විදියේ අසුනක මුළු ගැන්විලා තමයි මම ඒ වේලාවට ඉන්නේ.
පස්සේ කාලෙක මම මත්තුමගල බෞද්ධ මහ විදුහලට ගියා. ටික කාලෙකටයි ඒ පාසලට ගියේ. ඒ වුණත් ඒ පාසලට ඇතුළු වුණාම ළමයි මට රැග් කළා. ඔය අතරේ පාස‍ලේ සමිතිය පැවැත්වුණා. එදා මම පුරුදු විදියට අන්තිම පේළියේ කෙළවර වාඩිවෙලා හිටියා. දැන් ඔන්න සමිතිය පැවැත්වෙනවා. එකපාරටම සමිතිය මෙහෙයවන කෙනා කියනවා ගයාත්‍රී ඩයස් පැමිණිලා කතාවක් හෝ ගීතයක් ගයන්න කියලා. ඒක ඇහුණා විතරයි මට කලන්තේ හැදුණා වගේ දැනුණා. ඇඟම ගල්වෙලා වගේ. මම අසුනින් නැගිට්ටේ දෙතුන් පාරක් නම කිව්වට පස්සේ. ඉස්සරහට යනකොට මට කතා කරගන්නවත් බැහැ. කොහොම හරි වේදිකාවට ගිහින් අමාරුවෙන් වචන හසුරුවලා මම කතාවකටවත් සිංදුවකටවත් සූදානම් නැහැ කියලා එතැනින් ඉවත් වුණා. කොහොම හරි මගේ සබකෝලය ගැන එදා හැමෝම දැනගත්තා. 
ඉතින් පස්සේ කාලෙක මම නිළියක් වුණා. කාලයක් යද්දී මම ජනප්‍රිය වෙලා විවිධ උත්සවවලට ආරාධිතයකු විදියට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා. ඔය අතරේ මට මොන්ටිසෝරියක උත්සවයක ප්‍රධාන ආරාධිත අමුත්තිය විදියට සහභාගි වෙන්න ආරාධනාවක් ලැබුණා. ඉතින් ඔන්න මමත් එදා දවසේ එතැනට ගියා. 
ඔන්න දැන් ‍පොල්තෙල් පහන පත්තු කරලා උත්සවය ආරම්භ වුණා. දැන් ඔන්න උත්සවය පැවැත්වෙනවා. මමත් වාඩිවෙලා ඉන්නවා. ඔය අතරේ නිවේදකයා එකපාරටම කියනවා “ගයාත්‍රී ඩයස් මහත්මියට සභාව අමතන ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා” කියලා. මට උන්හිටි තැන් අමතක වුණා. නැගිටලා ඉස්සරහට යන්නත් බැහැ. අමාරුවෙන් සිරුර වාරු කරගෙන මයික් එක ළඟට ගියත් කටහඬ ගිහින්. වචන පිටවෙන්නේම නැහැ. බොහොම අමාරුවෙන් වචන ටිකක් ගැට ගහලා සභාව අමතපු මම ඉක්මනට කතාව නවත්තලා අසුනට ඇවිත් වාඩි ගත්තා. එදා කාටවත් මගේ වෙනස පෙන්නන්නේ නැතුව ඉන්න මට පුළුවන් වුණේ රඟපාලා පුරුදු හින්දම වෙන්න ඇති.
 
ආරියවංශ කුලතිලක
 
ඡායා: අසන්ත ගමආරච්චි

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.