Coss Ear2
lakbima.lk
COSS Ear 1

රටම දන්න බෙල්ලන්විල නාහිමියන් ගැන අලුත්ම කතාවක්

මම ගිහි කාලයේ හරිම දඟයි. ඉස්කෝ‍ලේ යන කාලයේ පාඩම් වැඩවලට දක්ෂ වගේම දඟ වැඩවලිනුත් මම කැපී පෙනුණා. සෙල්ලම වැඩි නිසා මම ගුරුවරුන්ගෙන් අවවාද ලැබූ අවස්ථා අනන්තයි. අපි පන්තියේ  ඉන්න කොට එකපාරටම පන්තියෙන් පැනලා ගිහින් සෙල්ලම් කරනවා
මගේ මේ දඟ වැඩ නිසා මහණ වුණාම මම සිවුරේ ඉන්න එකක් නැහැ කියලා තමයි ගොඩක් අය කිව්වේ. මගේ අම්මා, නැදෑයෝ පවා කිව්වේ ටික දවසක ඉඳලා සිවුර දාලා ගෙදර එයි කියලයි. ඒ තරමටම මම සෙල්ලමට බරයි.
අපවත්වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් මීට මාස කිහිපයකට පෙර අප සමග එසේ කීවේ සිය අතීතය පිළිබඳව මතකය අවදි කරවමිනි.
බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ ගිහි නම  ගිල්බට් පෙරේරාය. ඉපදුණේ 1942 අප්‍රේල් 14 වෙනිදායි. උන්වහන්සේ වැඩ සිටියානම් මේ අප්‍රේල් මාසයට අවුරුදු 78කි.
විමලරතන හිමියන්ට සහෝදරියෝ නැත. ඇත්තේ සහෝදරයන් පමණි. ගිල්බට් පෙරේරා හෙවත් අනුනාහිමියන් පවු‍ලේ සිවු වැනියාය.
මුන්වහන්සේගේ පියා ‍පෝල් පෙරේරා 1953දී මිය යෑමත් සමගම පවු‍ලේ බර කරට වැටුණේ මෑණියන්ටය. ඇය බුත්සිලිනාද සිල්වාය. පියා නැති දරුවන් හදා වඩාගන්නට පවු‍ලේ ඥාතීන් ඇයට ශක්තිය දුන්නේය.
පවු‍ලේ දරුවන්ගෙන් වඩාත්ම දඟකාරයා වූයේ ගිල්බට්ය. අනෙක් දරුවන්ට වඩා මේ දඟයා ගැන මව අවධානයෙන් සිටියාය. දිනක් මේ දඟයා අනතුරකටද පත්විය. එවිට ඔහුගේ වයස අවුරුදු 10කි.
ඒ අනතුර ගැන අනුනාහිමියන්ගේ වදන්වලින්ම මෙසේය.
එතකොට මට අවුරුදු 10ක් විතර වගේ. මම අහල පහළ යාළුවෝ එක්ක වත්තේ කොස්ගහක් යටට වෙලා සෙල්ලම් කරමින් හිටියා. ඔහොම සෙල්ලම් කරමින් ඉන්න කොට මගේ ඔළුවට කොස් ගෙඩියක් කඩාගෙන වැටුණා. මට එතනම සිහිය නැතිවුණා. පස්සේ මගේ යහළුවෝ මහ හයියෙන් කෑගහලා තියෙනවා. ඒ සද්දෙට අම්මයි මගේ මාමයි දුවගෙන ඇවිත් ඇරැව්වල යහම්පත් රාළහාමි කියන වෙද මහත්තයා ළඟට මාව උස්සගෙන ගිහින් තිබුණා. ඒ වෙද මහත්තයත් අපේ නෑදෑයෙක්. එදා මට මතක කොස් ගෙඩිය වැටෙනවා විතරයි. කොහොම හරි එදා කොස් ගෙඩිය වැටිලා මගේ ඔළුවේ ඇතිවුණ කැලල තවමත් තිබෙනවා
බෙල්ලන්විල විමලරතන නාහිමියන් පාසල් දෙකක අධ්‍යාපනය ලබා ඇත. ඒ පස්වැනි පන්තිය දක්වා නිකපේ ශ්‍රී විජයරාජ විද්‍යාලයෙන් අටවැනි පන්තිය දක්වා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන්ය.
පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ ගිල්බට් සිසුවාගේ ප්‍රියතම ක්‍රීඩාව වූයේ ක්‍රිකට්ය. හෙතෙම පාස‍ලේ ක්‍රිකට් කණ්ඩායමේද සාමාජිකත්වය දැරීය. පාස‍ලේ මලල ක්‍රීඩා තරගවලදීද ඔහු කැපීපෙනෙන තරගකරුවකු විය.
ඒ කාලයේ ඉස්කෝ‍ලේ මලල ක්‍රීඩා තරගවල තිබුණා තුන් කකුලෙන් දිවීමේ තරගයක්. තරගකරුවන් දෙදෙනකුගේ කකුල් දෙකක් එකට ගැට ගහනවා. එතකොට දෙන්නාට දුවන්න වෙන්නේ කකුල් තුනෙන් මේ තරගෙට මම හැම අවුරුද්දෙම ඉදිරිපත් වුණා. අවුරුදු තුනක් පිට පිට මම මේ තරගෙත් පළමු වැනියා වුණා. තුන් කකුලෙන් දිව්ව මගේ අනෙක් තරගකරුවා පාලිත කන්නන්ගර. ඔහු අද සම්පත් බැංකුවේ විධායක අධ්‍යක්ෂ
සිය පාසල් අවධිය පිළිබඳව වරක් බෙල්ලන්විල විමලරතන අනුනාහිමියෝ එලෙසයි අප සමග මතකය අවදි කළේ මහත් සතුටකිනි.
බෙල්ලන්විල අනුනාහිමියන් කීර්තිධර සාහිත්‍යධරයෙකි. සාහිත්‍ය විෂය කෙරෙහි උන්වහන්සේගේ සිත ඇදුණේ නිකපේ විදුහ‍ලේ ඉගෙනුම ලබන අවධියේය. නිකපේ විදුහ‍ලේ සිටි විල්බට් පෙරේරා ගුරුතුමා සාහිත්‍ය විෂය උගන්වන විට ගිල්බට් විශේෂ අවධානයකින් අසා සිටියේය. ගුරුතුමා ඉතා මිහිරි ලෙස කියන කවි ආදියට ගිල්බට්ගේ සිත ගියේය. ඒ නිසාවෙන්ම ගිල්බට්ගේ සිත සාහිත්‍යයට ඇදී ගියේ නිතැතින්මය.
නිවසේ මෙන්ම පාස‍ලේද දඟයා වූ ගිල්බට්ට  පැවිදිවීමේ ආසාවක් නොවීය. බෙල්ලන්විල රජමහා විහාරාධිපතිව වැඩ සිටි බෙල්ලන්විල සෝමරතන නාහිමියෝ, නෑදෑකමින් විමලරතන හිමියන්ගේ මහප්පාය. පියාගේ වැඩිමහල් සහෝදරයාය
මේ ඥාතී සබඳකම නිසා ‍පෝල් පෙරේරාගේ දරුවෝ නිතරම පන්සලට ගියෝය. ඒ අතරේ ‍පෝල් පෙරේරා 1953දී මියගිය පසු පවු‍ලේ වැඩිමල් දරුවා කාගේත් කැමැත්තෙන් පැවිදි කරවීය. ඒ පැවිදි වූ හිමියන් වර්තමාන බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ය. උන්වහන්සේ වැඩිපුර වැඩවසන්නේ සිංගප්පූරුවේය. සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක පදවිය හොබවන්නේද උන්වහන්සේය.
දවසක් අපේ අම්මා පන්සලට ගිය වෙලාවක බෙල්ලන්විල සෝමරතන නාහිමියන් අම්මගෙන් අහලා තියෙනවා මාවත් පන්සලට දෙන්න පුළුවන්ද කියලා. එදා අම්මා පුතාගෙන් අහලා කියන්නම් කියලා ඇවිත් තිබුණා'
සෝමරතන නායක හාමුදුරුවන්ට මහ පෞරුෂයක් තිබුණා. උන්වහන්සේ දුටුවාම ඕනෑම කෙනෙකුට ගෞරවයක් ඇතිවෙනවා. දවසක් මම පන්සලට ගිය වෙලාවක නායක හාමුදුරුවෝ මගෙන් ඇහැව්වා කොල්ලො පන්ස‍ලේ නවතින්න කැමතිද කියලා. මම කිසිම උත්තරයක් දෙන්නේ නැතිව බිම බලාගෙනම හිටියා
තමන් වහන්සේ පැවිදි බිමට පත්වීමට හේතුවූ කාරණය විමලරතන නාහිමියෝ දිනක් අප හා එසේ විස්තර කළහ.
සවස්වරුවේ පාඩම් වැඩ කිරීමට පන්සලට ගිය ගිල්බට්ට අවසානයේ නායක හාමුදුරුවන්ගේ නියමයෙන් පන්ස‍ලේ නවතින්න සිදුවිය. සති දෙකක් තුනක් පන්ස‍ලේ සිටි ගිල්බට් වයස අවුරුදු 13දී එනම්, 1956 පෙබරවාරි 28දා සෝමරතන නාහිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස පැවිදි බිමට ඇතුළු විය.
සිය මහප්පා ළඟ පැවිදි වූ පවු‍ලේ දඟයා යළි කොයි මොහොතේ හෝ සිවුර හැර දමා ගෙදර එතැයි පවු‍ලේ අයද අපේක්ෂාවෙන් සිටියත් එවැන්නක් සිදුවූයේ නැත. සිය ගුරු හිමි යටතේ ඉගෙනුම ලබමින් මහා ශික්ෂණයක් උන්වහන්සේ ලැබිය.
විමලරතන හිමියන්ට පැවිද්දේදී මුලින්ම දමා ඇත්තේ බෝකුන්දර බුද්ධරතන හිමි යන නමය. එහෙත් පැවිදිවූ වැඩිමල් සොයුරා ධම්මරතන නමින් හැඳින්වෙන විට බාල සොයුරා බුද්ධරතන නමින් හැඳින්වීමට නුසුදුසු නිසා උපසම්පදාවේදී බුද්ධරතන යන්න විමලරතන හිමි යනුවෙන් වෙනස් කර ඇත.
පැවිදි බිමේ ලබාදෙන නම උපසම්පදාවේදී අවශ්‍ය නම් වෙනස් කර ගැනීමට හැකියාව ඇත. එසේ වෙනස් කළ නම ඉන්පසු උපසම්පදා ‍ලේඛනය සමග බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කෙරේ.
බෙල්ලන්විල විමලරතන අනුනාහිමියෝ ශාස්ත්‍රීය කටයුතුවලට වැඩි නැඹුරුවක් දැක්වූහ. ඒ නිසාවෙන්ම බොහෝ දිනවල උන්වහන්සේ රාත්‍රී 12 පසුවෙනතුරු ‍පොත්පත් ලිවීම ආදියෙහි යෙදුණි. ‍පොතපතේ කටයුතු නිසාම තරුණ අවදියේදී උන්වහන්සේ අපූරු සිද්ධියකටද මුහුණදුනි.
මම ඉගෙනීමට දක්ෂ නිසා දායක දායිකාවෝ ඒ කා‍ලේ මට ගොඩක් ‍පොත්පත් ගෙනත් දුන්නා. ඉතින් මේ ‍පොත් තියාගන්න තැනක් නැති නිසා මමයි පන්ස‍ලේ හිටපු තවත් පස් නමකුයි ආවාසයේ උඩුමහලට වෙලා ‍පොත් රාක්කයක් හදන්න පටන් ගත්තා. නායක හාමුදුරුවෝ වැඩ සිටියේ පහළ මාලයේ. දැන් රාක්කේ හදන සද්දේ ඇහිලා නායක හාමුදුරුවෝ උඩුමහලට වැඩියා. නායක හාමුදුරුවෝ උඩට වඩින බව දැනගත්ත මගේ මිත්‍ර හාමුදුරුවරු ටික එහෙට මෙහෙට පැනලා ගියා. මමත් බයවෙලා හිටියේ. 'මොකද මේ  කරන්නේ' කියලා නායක හාමුදුරුවෝ ඇහැව්වාම මම ඇත්තම කිව්වා. මේවා භික්ෂුන්ට ඔබින වැඩ නොවෙයි කියලා සැරවැර කරලා පන්ස‍ලේ හිටපු කෙනකුට කියලා අපි හද හදා හිටපු රාක්කේ එළියට විසි කළා. ඔහොම සතියක් විතර ගියා. පස්සේ නායක හාමුදුරුවෝ වඩු බාස් කෙනෙක් ගෙන්වලා තේක්ක ලීයෙන් ‍පොත් රාක්ක දෙකක්ම හදලා දුන්නා. අදත් මගේ ‍පොත් තැන්පත් කරන්නේ මේ ‍පොත් රාක්ක දෙකේ තමයි  යැයි විමලරතන අනුනාහිමියෝ තමන් වහන්සේ මුහුණපෑ ඒ අපූරු සිද්ධිය අප හා විස්තර කළේ මෙසේය.
විමලරතන අනුනාහිමියන් සතා සිව්පාවුන්ටද දැක්වූයේ මහත් කරුණාවකි. පන්ස‍ලේ සිටින අලි ඇතුන් පවා උන්වහන්සේට ආදරය කළහ. සෑම දිනකම අලි ඇතුන් ආවාසයට පැමිණෙන්නේ නාහිමියන් අතින් පලතුරු කන්නටය.
බෙල්ලන්විල රජමහා විහාරයේ සිටි චන්දු ඇතා කලක් පන්ස‍ලේ හුරතලා විය.
මේ චන්දු ඇතා ගැන විමලරතන අනුනාහිමියන් මඳක් සංවේගයකින් යුතුව වරක් අප සමග කතා කළේය.
චන්දුට මහ පුදුම ගති තිබුණේ. හැමදාම උදේට ඇවිත් අපේ නායක හාමුදුරුවන් අතින් පලතුරු කනවා. දළදා පෙරහර ඇතුළු රටේ විවිධ පෙරහරවල්වලට මේ ඇතා ගියා. මේ ඇතාට තිබුණේ පුදුම කීකරුකමක්. අපි දැක්ක තැන ගරු කළා. හරිම හික්මීමක් තිබුණේ. චන්දු මියගිය දවසේ මට මහ කනස්සල්ලක් දුකක් ඇති වුණා.
අවුරුදු 40ක් පමණ මෙරට ජාතික, ආගමික, සමාජයීය සටන්වලදී පෙරමුණ ගත් භික්ෂු ත්‍රිත්වයක් වූහ. ඒ තුන්නම හැඳින්වූයේ ත්‍රිමූර්තිය යනුවෙනි. ඒ ත්‍රිමූර්තිය වූයේ ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානාහිමි, මාදුළුවාවේ සෝභිත හිමි හා මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ය. සිංහල වීර විද්‍යාත බෞද්ධ මණ්ඩලය, ජාතික සංඝ සභාව වැනි සංවිධාන බිහි කිරීමට පෙරමුණ ගත්තේ මේ ත්‍රිමූර්තියය. ජාතික සංඝ සභාව හරහා පක්ෂ දේශපාලනය කර ඡන්දයට ඉදිරිපත් වීමට භික්ෂූන් පිරිසක් සූදානම් වූ විට ඊට එරෙහිව මුලින්ම එරෙහි වූයේ බෙල්ලන්විල විමලරතන නාහිමිය. පක්ෂ දේශපාලනය භික්ෂුන්ට අකැප බව උන්වහන්සේ දැඩි මතයක සිටියහ.
තනතුරු බදු ගන්නා යුගයක තමන්ට ලැබුණු තනතුර පවා අත්හැරි මෑත යුගයේ අපට අසන්නට ලැබුණු උදාර භික්ෂු චරිතයද බෙල්ලන්විල අනුනාහිමියන් පමණි. ඒ තම අනුනායක පදවියද අත්හැරීමෙනි.

ධර්ම ශ්‍රී තිලකවර්ධන
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.