Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඔහු තරම් සැහැල්ලූවෙන් දිවි ගෙවූ තවෙකෙක් නුදුටුවෙමි

ඉරිදා උදෑසන හයට පමණ මාගේ ජංගම දුරකථනය නාද වන්නට විය. දුරකථනයේ සඳහන් වූයේ ජටිලගේ අංකය බව දුටු විට මා එයට පිළිතුරු දෙන්නට ගියේ නැත.
දිනපතා අලූයම අවදිවන අයට ටිකක් දහවල් වනතෙක් නිදාගන්නට තිබෙන්නේ ඉරිදා දවසේ පමණි. සමහර දවස්වලට උදෑසනම දුරකථන ඇමතුමක් දී විහිළුවක් කර අපව ඇහැරවීම ජටිලගේ පුරුද්දකි. මා දුරකථනයට පිළිතුරු දෙන්නට නොගියේ එ් නිසාය.
එහෙත් තවත් සුළු මොහොතකින් මා හට තවත් ඇමතුමක් ලැබුණේය. එ් ජටිලගේ ඥති සොයුරු පොලිස් පරීක්‍ෂක
දිනේෂ්ගෙනි.  
”මචං ජට්ටා මැරිලා වගේ. කතාවක් බහක් නැහැ ඉක්මනට එන්න පුළුවන්ද” ඔහුගේ හඬින් මම අන්ද මන්ද වීමි. එවන් දෙයක් මා ජීවිතයේ කිසිදිනක බලාපොරොත්තු නොවූ ඇමතුමක් විය. ජටිල මේ තරම් ඉක්මනින් මිය යනු ඇතැයි අප කවුරුත් අපේක්ෂා කළේ නැත.
”උදේ පාන්දර බොරු කියන්න එපා. උඹලා මාව අන්දන්න නේද හදන්නේ?” මා පෙරළා දිනේෂ්ගෙන්                            විමසුවේ ලැබුණු තොරතුරු විශ්වාස කළ නොහැකි නිසාමය. එ්ත් අකමැත්තෙන් හෝ මට එය විශ්වාස කරන්නට සිදුවිය.
ජටිල වැල්ලබඩ  පරමාදර්ශී චරිතයකි. ඔහු මත්පැනින් තොරය.  සිගරට්ටුවක් උරමින් සිටිනු දක්නට ලැබූව ද එය ද ඉතාම කලාතුරකිනි. ඔහු නිර්මාංශියෙකි. ධර්මයට අනුව කටයුතු කරන්නෙකි. දිනපතා භාවනා කිරීම ද පුරුද්දක් කරගෙන තිබුණි. කැලණියේ අපේ පරපුරේ සිටි නිරෝගීම පුද්ගලයා ඔහු යැයි අපි විශ්වාස කළෙමු.
 කැලණියේ අපි කවුරුත් ඔහු ඇමතුවේ ‘ජට්ටා‘ යන නමිනි. ඔහුගේ සමීපතම මාධ්‍ය සගයෝ ද ඔහුව ඇමතුවේ ජට්ටා යන නමිනි. මාධ්‍ය මිතුරන් මෙන්ම කැලණියේ මිතුරන් ද මුණගැසුනු හැම මොහොතකදීම ඔහු විහිළුවක් කිරීමට අමතක නොකළේය. ඔහු කාලය ගත කළේ සැහැල්ලූවෙනි විනෝදයෙනි. මේ අවාසනාවන්ත සිදුවීම වූ  සෙනසුරාදා මධ්‍යම රාත‍්‍රියේ නින්දට යාමට පෙර ද ඔහු සංගීතයට සවන් දෙමින් සිට ඇත.
ජටිල ගිලන් රථයට ඇතුළත් කරන තෙක්ම  ඔහු මියගිය බව මම විශ්වාස නොකළෙමි. ඔහු ඇඳේ වැතිර සිටියේ සිනාවකින් මුව සරසාගෙනය. මා ඇත්තටම සිතුවේ ඔහු මේ කරන්නේ බොරුවක් බවය. ‘ජට්ටා බොරු නොකර නැගිටපං‘ මම කෑ ගසා කීවේ ද ඔහු සිටි ආකාරය දැකීමෙනි. ඔහු නින්දේ දී කිසිම දැඟලීමක් කර නොතිබුණි. මරණය ඔහු වෙත පැමිණෙන්නට ඇත්තේ ඔහුටත් නොදැනීමය. ඔහුගේ මරණය අපට දුකක් වුවත්  එය ඉතා වාසනාවන්තම මරණයක් විය.
ජටිල මිය ගොස් ඇති බව මා විශ්වාස කළේ ගිලන් රථයෙන් පැමිණි කෙනෙක් කොළඹ රෝහල වෙත යාමට පෙර ඔහුගේ නාඩි වැටීම නතර වී ඇති බව දැන්වූ විටදීය. එහෙත් කොළඹ මහ රෝහල වෙත යන තෙක්ම අප තුළ ඉතා කුඩා  බලාපොරොත්තුවක් විය. ඒ ජටිල ප‍්‍රකෘති තත්ත්වයට ගත හැකි වනු ඇති බවය. එහෙත් අප ගමන් කළ මෝටර් රථය රෝහල වෙත ළඟා වීමටත් පෙර ඒ බලාපොරොත්තු විනාශ වී ගියේය.
ජටිල පරමාදර්ශී චරිතයක් බව මා නැවත පවසන්නෙමි. ඔහු ඉතා හොඳ මහත්තයෙක් බව ඔහු ඇසුරු කළ කවුරුත් දනිති. ඔහු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් වුව ද ඔහු හා හතුරු වූ කිසිවෙක් නොවූහ. ඔහු ලොකු කුඩා කාහටත් පිහිට විය යුතු හැමවිට පිහිට වුණේය.
මා මාධ්‍ය ක්ෂේත‍්‍රයට පිවිසෙන්නේ ද ජටිලගේ පිහිටෙනි. ඒ වනවිට ජටිල දිවයින පුවත්පතේ ක‍්‍රීඩා අංශයේ සේවය කරමින් සිටියේය. 1984 පමණ වකවානුවේ දී දිවයින පුවත්පතට එක්වූ ඔහු ක‍්‍රීඩා වාර්තාකරුවෙකු වුව ද  ඉතා දක්ෂ ලෙස පෑන හැසිර වූ නිසා තීරු ලිපි ලිවීමේ අවස්ථාව ද හිමි කර ගත්තේය. එකල ගුරුළුගෝමී නමින් ඔහු ලියූ තීරු ලිපිය ඉතා ජනප‍්‍රිය විය.
දිවයින පුවත්පතට මා කැඳවාගෙන ගිය  ඔහු පුවත්පත් කලාවේ දැවැන්තයන් වූ එඞ්මන්ඞ් රණසිංහ, සුනිල් මාධව පේ‍්‍රමතිලක, උපාලි තෙන්නකෝන්, කිත්සිරි නිමල් ශාන්ත, දයාරත්න රණසිංහ, ධර්මරත්න විජේසුන්දර, ගාමිණී සුමනසේකර, කරුණාදාස සූරියාඅරච්චි වැනි මාධ්‍යවේදීන්ගෙන් ආභාසය හා ගුරුහරුකම් ලැබීමේ මග පෙන්වා දුන්නේය. කොළඹ ආනන්ද විදුහලේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක් වූ ඔහු ක‍්‍රීඩා වාර්තාකරණය අත්හැර ප‍්‍රවෘත්ති අංශයට එක්වූයේ ඒ වනවිට කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ එඞ්මන්ඞ් රණසිංහ මහතාගේ බලපෑම නිසාමය. ඒ වන විටත් මාත් ගයිරුක පේරුසිංහත් ප‍්‍රවෘත්ති අංශය තුළ සිටි අතර ගයිරුක  නියෝජ්‍ය ප‍්‍රවෘත්ති කර්තෘ වනවිට ජටිල සහකාර  ප‍්‍රවෘත්ති කර්තෘ බවට පත්වූයේය.
පසුකළෙක ඔහු ස්වාධීන රූපවාහිනිය වෙත එක්වීමට පෙරාතුව ජටිල දිනපතා ලක්බිම පුවත්පතේ කතුවරයා බවට පත්විය. ඒ 2002 කිත්සිරි නිමල් ශාන්තයන්ගේ අභාවයෙන් පසුවය. සුමති පුවත්පත් ආයතනයේ ලක්බිම පුවත්පතේ කර්තෘවරයා ලෙස ඔහු වසර 12ක් කටයුතු කළේය.  
ජටිල හොඳින් අඳින පලඳින කෙනෙකි. ඔහු ‘දිවයිනට’ ආවේ බොහෝ විට අත්දිග කමිසය ඇදගෙන ය. ඔහු කිසිදිනක සෙරප්පු දෙකක් දමාගෙන කාර්යාලයට ආවේ නැත. ඔහු සමග සිටි අපද හොඳින් අඳින්නට පුරුදු වූයේ ඔහු නිසාය. ගඩොල් භාගයක් තරම් සෙලියුලර් දුරකථන ද රැුගෙන සපත්තු දමා අත් දිග කමිස ඇඳ  කාර්යාලයට ආ ගයිරික, ජටිල, සිසිර, රංජන් පරණවිතාන මෙන්ම චතුර විද්‍යාරත්න ද එකල දිවයින කර්තෘ මණ්ඩලයේ සිටි සමහරුන්ට පෙනුණේ ඔබරෝයි මාධ්‍යවේදීන් ලෙසය. කුමන කතා කිව්ව ද අපි අපේ දේ කරමු ජටිල අපට කීවේය.
මාධ්‍ය ජීවීතයේ දී මට ඔහු සමග වැඩි ඇසුරක් ඇත්තේ දිවයින කර්තෘ මණ්ඩලය
තුළදීය. වසර 15කට වැඩි කාලයක් අප එකට සිටියෙමු. විහිළු තහළු කළෙමු. ජ්‍යෙෂ්ඨයන් මැද ඔවුන් සමග උරෙන් උර ගැටී වැඩ කළෙමු. ඒ අත්දැකීම ජටිල මාධ්‍යකරුවෙකු ලෙස ලක්බිම පුවත්පතේ පමණක් නොව ඉරුදින
පුවත්පතේද කර්තෘවරයා දක්වා ගිය ගමනට පිටිවහලක් විය.
පත්තර කන්තෝරුවක හෝ විද්‍යුත් මාධ්‍ය ආයතනයකදී මට ජටිලව ඉන්පසු මුණ නොගැසුන ද සතියකට වතාවක් අප කැලණියේ දී මුණ ගැසුනෙමු. මා හට මාධ්‍ය ජීවිතයේ ප‍්‍රශ්නයක් පැමිණි වහාම මා හැමවිටම උපදෙස් ලබා ගන්නේ ඔහුගෙනි. මා  පමණක් නොව ඔහු සමග සිටි බොහෝ මාධ්‍යවේදීන් ඔහුගෙන් දැනුම, උපදෙස් ලබාගත් බව නොරහසකි.
ඉරුදින පුවත්පතෙන් ඉවත්වීමට සිදු වූ පසු ඔහු තරමක කනස්සල්ලෙන් සිටිය ද ඒ බව නොපෙන්වීය. තම මාධ්‍ය සටන වෙබ් මාධ්‍ය ඔස්සේ ගෙන ගිය ඔහු ස්වාධීන රූපවාහිනී සේවයේ ප‍්‍රවෘත්ති උපදේශක ලෙස පත්වීම ඔහුගේ මාධ්‍ය ජීවිතයේ තවත් ප‍්‍රධානතම මංසන්ධියක් පසු කිරීමක් විය.
තමන්ට නුහුරු නුපුරුදු විද්‍යුත් මාධ්‍යයට එක් වුණ ද වැඩ අල්ලා ගැනීමට ඔහුට ගත වූයේ සුළු කාලයකි. මුළු ප‍්‍රවෘත්ති අංශය සමග ශක්තිමත් බැඳීමක් ඇති කරගත් ඔහු තම සේවය පවත්වාගෙන ගියේ මහත්
තෘප්තිමත් බවෙනි. ”මචං මම දැන් හරියට වැඩ  කරනවා” ඔහු මා හමු වූ අවස්ථා කිහිපයකදී ම කීවේ ඒ නිසාමය.
කර්තෘ සංසදයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කළ ඔහුද මා දැන් සේවය කරන ශ‍්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ අධ්‍යක්ෂවරයෙකු ද විය. ආරාධනා කරන සැම විටක දී නොපැකිලිව නවක සිසුන් පුහුණු කිරීමට ද ජටිල ඉදිරියට ආවේය. ඔහු ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක්ද විය.  
ජටිල මාධ්‍යකරුවෙකු පමණක් නොවීය. ඔහු සමාජ සේවකයෙකි. ශ‍්‍රී කල්‍යාණි රාජ මහා විහාරයේ දායක සභාවේ ප‍්‍රබල සාමාජිකයෙක් ලෙස ද කටයුතු කරමින් දුරුතු පෙරහර සාර්ථකව පැවැත්වීමට උර දුන්නේය. සෑම පොහොය දිනයකදීම  සිල් සමාදන්වූවන්ට සෞඛ්‍ය උපදෙස් ලබාදීමට වෛද්‍යවරයෙක් කැඳවා ගෙන එන්නේ ද ජටිලය. එමෙන්ම ඔහු කැලණි රජ මහා විහාරස්ථ තරුණ සංවිධානය වාර්ෂිකව පවත්වන දන්සලේ පසුබිමේ මහත් වගකීමක් ඉටුකරන පරිත්‍යාගශීලියෙකි.
කුමන රාජකාරී තිබුණද පවුලේ සාමාජිකයන් වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නට ඔහු නොපැකුළුනේය. රාත‍්‍රියේ නිදි වරාගෙන ඔහු කැලණියේ සිට කොළඹට එන්නේ තම දරුවන් රැුගෙන ඒමටය. ජටිලට අපි
පසුගිය දිනක පැවැත්වූ ආදී ආනන්දීය මාධ්‍ය කවයේ රැුස්වීමට මෙන්ම කැලණි විහාරයේ දායක සභාවේ රැුස්වීමට ද සහභාගී වීමට නොහැකි වූයේ පවුලේ රාජකාරී නිසාමය. ඔහු නොමැතිවුව ද අප ඔහුව මාධ්‍ය කවයේ උප සභාපති ධූරයට පත් කළේ ඔහුට තිබෙන ගෞරවය නිසාමය.
ජටිල ගැන තව ලිවිය හැකි දෑ බොහෝය. එහෙත් එ් සියල්ල යළි යළි ආවර්ජනය කිරීම හිතට තව තවත් දුක් දීමකි. ජටිල දැන් අප අතර නැති වුණත් ඔහු අප අතර සදාකාලිකය.

ශාන් විජේතුංග

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.