Coss Ear2
lakbima.lk
COSS Ear 1

ගායකයකුගේ හැකියාව එස් එම් එස් වලින් මනින්න බැහැ

ප්‍රවීණ සංගීතවේදි විශාරද එඩ්වඩ් ජයකොඩිගේ මාරම්බරී ගී ප්‍රසංගයේ සියවැනි දිගහැරුම මෙම මස 28 වැනිදා සවස 6.30ට කොළඹ නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. ඔහුගේ ආදරණීය බිරිඳ චරිතා ප්‍රියදර්ශනී පීරීස්, දුව සාරණ්‍යා ජයකොඩි සහ පුතා චන්දීප ජයකොඩිගේ හඩින් මාරම්බරි මෙවර හැඩගැන්වේ. 
 
සියවැනි පියවරට ළඟා වූ මාරම්බරි පිළිබඳව සුන්දර මතකයන් බොහෝමයක් ඔබට ඇති?
ඔව්. මාරම්බරි ප්‍රසංගය ලංකාවේ වගේම ඇමෙරිකාව, එංගලන්තය, කැනඩාව, ප්‍රංශය, ඉතාලිය, ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රේලියාව, කුවේට්, ඩුබායි වගේ දේශ දේශාන්තර ගණනාවක සංචාරය කරමින් තමයි සියවෙනි කඩයිමට ළඟා වුණේ. මාරම්බරිය  හරහා මම නිතරම ගම් දනව්වල ඉන්න ළමුන් වෙනුවෙන් කලාපයන් තියෙනවා. ඒ හරහා මා වගේම චරිතාත් විශාල තෘප්තියක් ලබනවා. මාරම්බරි ප්‍රසංගය තුළින් අප ලබාගත් සියලුම අත්දැකීම් ඉතා සුන්දර බව කිවයුතුමය. 
 
මෙම ප්‍රසංගය මාරම්බරි ලෙසට නම් කරන්නට විශේෂ හේතුවක් තිබුණාද?
කුමාරදාස හපුතන්ත්‍රී ලියපු, ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කළ උසස් ගණයේ ගීතයක් තමයි මාරම්බරි කියන්නේ. එය උත්තරභාරතීය රාගධාරි සංගීතයෙහි එන ගඳල් කියන ගායන ෙශෙලීය පමණක් යොදාගෙන කරපු නව නිර්මාණයක්. ගීතය බොහෝ සෙයින් ජනතාව අතරට ගියා. බොහෝදෙනා හිතන දෙයක් තමයි උත්තර භාරතීය රාගධාරී සංගීතය අපට රසවිඳින්න බැහැ, අපි එය ඉගෙනගෙන නැහැ කියන එක. වික්ටර් රත්නායක මහතාගේ හෝපළු වනපෙත, සුනිල් එදිරිසිංහ මහතාගේ හංස රාජිණි, පී.වී. නන්දසිරි මහතාගේ කමලාසනී, අමරදේව හා සනත් නන්දසිරි සර් ගයන ජගදානන්දන කියන ගීත බොහෝම සරල ශාස්ත්‍රීය ගීත විදිහට තමයි හඳුන්වන්නේ. මේ ගීත ජනතාව හොඳින් රසවින්දා. ඒ වගේම මාරම්බරි කියන ගීතයත් මගේ ගමන් මගේ කඩයිමක් වුණා. ඒ හින්දම තමයි මාරම්බරි නමින් මගේ ජීවන තොරතුරු ඇතුළත් කරලා ‍පොතක් දයානන්ද රත්නායක කියන රචකයා  විසින් නිර්මාණය කළෙත්. මම ක්‍ෂේත්‍රයට ඇවිත් වසර 35ක් ගෙවුණාට පස්සේ තමයි මගේ ඒකපුද්ගල ප්‍රසංගයක් පටන් ගත්තේ. ඉතින් මම එතනදී කල්පනා කළා මට වාසනාව ගෙනාපු මාරම්බරි ගීතයේ නමින්ම මේ ප්‍රසංගය නම් කරන්න. අපේ සාහිත්‍යයේ එන රම්බා කියන දෙවඟන ගැන තමයි මාරම්බරි හරහා කතා බහට ලක්වෙන්නේ ඇත්තටම මාරම්බරි කියන්නේ මට වාසනාව ගෙනාපු වචනයක් කිව්වොත් නිවැරදියි. 
 
මෙවර මාරම්බරි ප්‍රසංගය සුවිශේෂී වන්නේ එය සියවැනි ප්‍රසංගය නිසාම පමණක් නොවෙයි නේද?
ඔව්. මෙවර සියවෙනි ප්‍රසංගයේදී මගේ දුව සාරන්‍යා ජයකොඩි ඒ වගේම පුතා චන්දීප ජයකොඩිගේ විශේෂාංගයකුත් ජනගත කරන්නට බලා‍පොරොත්තු වෙනවා.
මෙවර මගේ ප්‍රසංගයට මගේ දුව වගේම පුතාත් එක්වීම සුවිශේෂී අවස්ථාවක් විදිහට හඳුන්වන්න පුළුවන්.
 
ඔබත් ඔබේ ආදරණීය බිරිඳ චරිතා ප්‍රියදර්ශනීත් සංගීතය පිළිබඳව බොහෝ අත්දැකීම්  ලැබුවන්. ඔබ දෙදෙනාගේ දරුවන් දෙපළත්ඵ මෙවර මාරම්බරිට එක්වීම ගැන මොකද හිතන්නේ?
මගේ දුව සාරන්‍යා වගේම පුතා චන්දීපත් පුංචි කා‍ලේ සිටම කලාකාමී හැකියාවක් පෙන්නුම් කළා. ඒ අයගේ හැකියාවන් මුදාහරින්නත් අපි උදව් කරන්න ඕනේ. දුව සාරන්‍යා ආචාර්ය සෝමරත්න දිසානායකගේ සිරි රජ සිරි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑවා. පුතාත් චිත්‍රපට කිහිපයක සුළු චරිත රගපාලා පුතා වරක හොඳම සහය නළුවා විදිහටත් සම්මාන දිනාගත්තා. ඒ වගේම මම සංගීතවත් කළ අපේ යාළු පුංචි භූතයා කියන චිත්‍රපටයේ සහය සංගීත අධ්‍යක්ෂවරයා විදිහටත් පුතා කටයුතු කළා. ඉතින් පුතා වගේම දුවටත් මාරම්බරි හොඳ අවස්ථාවක් වේවි. අපි ඉතින් ජනතාව වෙත දරුවෝ දෙන්නා මුදාහරිනවා. ප්‍රේක්ෂකයෝ් තමා ඒ දෙන්නා කොයිතරම් දුර යනවද කියලා තීරණය කළ යුත්තේ.
 
අද පවතින ජනප්‍රිය සංගීත රැල්ල ප්‍රවීණයෙක් විදිහට ඔබ දකින්නේ මොන විදිහටද?
මම දකින විදිහට හැමදේම අලුත් විය යුතුයි. නමුත් පැරණි සම්ප්‍රදායන් පාගන්නේ නැතිව යම් මූලධර්ම, හොඳ දේ අරගෙන තමයි අලුත් දේවල් හොයාගෙන යන්න ඕනේ. කොහොමහරි කමක් නැහැ ප්‍රේක්ෂකයන්ට ආනන්දය වගේම ප්‍රඥාවත් ලබාදෙන නිර්මාණ සංගීතඥයෝ කරනවා නම් තමයි සංගීත ක්‍ෂේත්‍රයේ යම් දියුණුවක් දැකගත හැකිවන්නේ. 
 
අද සුභාවිත ගීතය වටා රොක් වෙන පිරිසේ විශාල අඩුවක් තිබෙන බව නිතර කතාබහට ලක්වෙන කරුණක්. ප්‍රවීණ සංගීතවේදියෙක් විදිහට ඔබ මේ පිළිබඳව දරන්නේ මොනවගේ අදහසක්ද?
ඔය කියන කාරණාවේ දෙපැත්තක් තියෙනවා. අද එදාට සාපේක්ෂව අති විශාල විද්‍යුත් නාලිකා සංඛ්‍යාවක් බිහිවෙලා තියෙනවා. නමුත් අපි සංගීතය පටන් ගන්න කා‍ලේ තිබුණේ ගුවන්විදුලිය විතරයිනේ. ඒ කා‍ලේ ගේය පද රචනාව හරියටම ප්‍රමිතිගත කරලා තමයි කාටහරි තනුව දාන්න හරි ගායනා කරන්න හරි භාරදෙන්නේ. තනුව දාලා ගායනා කළාට පස්සේ ගුවන් විදුලියෙන් නැවත සමීක්ෂණ කණ්ඩායමකට යොදවලා. ගේය පද රචනාවට තනුව උචිතද කියලා ඉතාමත්ම සූක්ෂමව බලලා තමයි ජනතාව වෙත මුදාහරින්නේ. අද මේ තත්ත්වය වෙනස් වෙලා. ඒ හින්දා සමහරවිට සුභාවිත ගීතය වටා රොක්වෙන පිරිස අද අඩුවෙන්න පුළුවන්.
 
රියැලටි වැඩසටහන් හරහා ගායක ගායකයන් විශාල වශයෙන් බිහිකළත් ඒ අතරින් දිගටම ක්ෂේත්‍රයේ රැඳෙන්නේ අතළොස්සයි. මේ ගැන ඔබේ අදහස මොකක්ද?
රියැලටි ප්‍රසංග පැවැත්වීම ඇත්තටම හොඳයි. මොකද සමහර විට ගමේ ඉන්න දරුවකුට ලොකු ආකර්ෂණයක් මේ හරහා දිනාගන්න පුළුවන්. නමුත් සමහර අවස්ථාවල මේවා කෙරෙන ආකාරය ගැන යම් යම් ගැටලු ඇතිවෙනවා. මොකද එස්.එම්.එස්. එකකින් තීරණය කරන්න බැහැ යම්කිසි කෙනෙකුගේ ගායන හැකියාව මොන වගේද කියලා. ඒ සඳහා හොඳ විනිශ්චය මණ්ඩලයක් ඉන්නම ඕනේ. අපට විනිශ්චය මණ්ඩලවලට ආරාධනා කරන හැම අවස්ථාවේදීම අපි කියන්නේ විනිශ්චය මණ්ඩලයට වැඩි අනුපාතයකුත් එස්.එම්.එස්.වලට අඩු අනුපාතයකුත්  තියෙනවා නම් තමයි අවසානයේ සැබෑම දක්ෂයෙක් බිහිවෙන්නේ කියලා. විශේෂයෙන් දිනන පිරිස එක පාරට කන්ද උඩින් තියන්නේ නැතිව ඒ අයට කන්ද නගින්න දෙන්න ඕනේ. එහි සුන්දර තැන් දුෂ්කරතැන් කියන සියල්ලම තේරෙන්නේ කන්ද නඟිනකොටනේ. එහෙම නැතිව හෙළිකොප්ටර් එකකින් ගෙනියනවා වගේ කන්ද උඩින් තැබුවාම වෙන්නේ, ඔහුට දුෂ්කරතා නොපෙනී යන එකයි..
 
සමන්මලී නැලිගම
 
ඡායාරූප - මංජුල පෙරේරා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.