Coss Ear2
lakbima.lk
COSS Ear 1

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ විස්මිත පොත් දොරට වැඩුමක්!

පොත් දොරට වැඩීමේ උත්සව අප බොහෝ දෙනෙකුට හොඳින් ‍හුරුපුරුදුය. ප්‍රසිද්ධ දේශනාගාර සහ ශාලාවල, පුස්තකාල වල සේම විහාරස්ථාන ආදියේ ද පොත් දොරටවැඩීමේ උත්සව පවත්වන බව අපි දනිමු.

එමෙන්ම ඉඳ හිට රෝහලක පැවැත්වෙන පොත් දොරටවැඩීමේ උත්සව ගැනද අපි වරින් වර අසා ඇත්තෙමු. එය බොහෝ විට එම රෝහලේ වෛද්‍යවරයෙකුගේ කෘතියක් එම රෝහල් ශ්‍රවණාගාරයේ දී දොරවැඩීමේ අවස්ථාවකි. එහෙත් රෝහලක ගිලන් යහනකදී රෝගියෙකු ලියූ පොතක් එම රෝහලේ දීම දොරටවැඩි අවස්ථාවක්  වේ නම් එය දුර්ලභ සිද්ධියකි.  එමෙන්ම එසේ ගිලන් යහනේ සිට පොත ලියූ රෝගියා විශේෂඥ වෛද්‍යවරයෙකු වීම අතිශය දුර්ලභ සිද්ධියකි.
මා හට මෙම අසාමාන්‍ය අත්දැකීමට මුහුණදීමට සිදුවූයේ පසුගිය 20 වන සෙනසුරාදා පෙරවරුවේ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ  පළමු මහලේ ශෛල්‍ය වෛද්‍ය වාට්ටුවට අයත් අංක 1023  දරණ ගිලන් යහන අද්දරදීය. ඒ මේ වන විට එම රෝහලේ ප්‍රතිකාර ලබන විශේෂඥ ප්‍රජා වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා විසින් ගිලන් යහනේ දීම ලියන ලද "චීනයේ සෞඛ්‍ය සේවාව හැදෑරීමට ගියෙමි" යන කෘතිය එළි දැක්වීම මුල්කොට ගනිමිනි.දැන් කලෙක සිට Large B cell lymphoma නම් පිළිකා රෝගයෙන් පෙළෙන විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා තමන් විසින් ලියන ලද "මාපලගමයාගේ සංචාරක සටහන්" කෘති මාලාවේ හයවැන්න වන "චීනයේ සෞඛ්‍ය සේවාව හැදෑරීමට ගියෙමි" නම් කෘතිය එම ගිලන් යහන කේන්ද්‍ර කොට ගත් චාම් උත්සවයක දී එළි දැක්වීම විශේෂත්වයක් විය.මෙම කෘතියේ මුල්පිටපත ඔහු එම ගිලන් යහනේම සිට පිළිගන්වන ලද්දේ එහි ප්‍රකාශක සූරිය ප්‍රකාශන අධිපති අතුල ජයකොඩි මහතා වෙතය. වෛද්‍ය ආරියසේන යූ ගමගේ ගේ පාසල් සහ වෛද්‍ය විද්‍යාල මිතුරන් වන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා, පිළිකා රෝග විශේෂඥ මහේන්ද්‍ර පෙරේරා ඇතුළු වෛද්‍යවරුන්ද මේ වන විට ග්‍රන්ථ රැසක් ලියා පළකොට ඇති වෛද්‍ය ආරියසේන යූ ගමගේ ලේඛණ කලාවට යොමුකළ ලක්බිම උපදේශක කර්තෘ සුන්දර නිහතමානීද මෙල් ඇතුළු තවත් මාධ්‍ය සගයන් කිහිප දෙනෙකු සහ ඔහුගේ පවුලේ ඥාතීන් පිරිසක් ද මේ සඳහා එක්ව සිටියහ.මෙහිදී අදහස් පළ කළ පිළිකා රෝග විශේෂඥ මහේන්ද්‍ර පෙරේරා මහතා ප්‍රකාශ කළේ; වෛද්‍ය ආරියසේන යූ ගමගේ පාසල් සමයේත්, සරසවි සමයේත් තමන් විස්මයට පත් කළ පුද්ගලයෙකු වන අතර තමන්ගෙන් ජීවිතය ඉල්ලා හඬා වැටෙන සෙසු පිළිකා රෝගීන් හා සසඳන විට මෙවන් රෝගයක් වැළදී තිබියදීත් මෙවැනි උත්සාහයක් දැරීමෙන් ඔහු නැවතත් තමන් විස්මයෙන් විස්මයට පත්කොට ඇති බවය.එමෙන්ම තමන්ට මෙවන් රෝගයක් වැළඳී තිබියදී ගිලන් යහනක සිට ලියූ පොතක් ගිලන් යහනක සිට එළි දැක්වූ වෙනත් වෛද්‍යවරයෙකු සිටී දැයි තමන් නොදන්නා බව ද ඔහු පැවසීය. එමෙන්ම මේ වන විට වෛද්‍ය ගමගේ ගේ දකුණු අතේ ක්‍රියාකාරීත්වය තරමක් අඩපණ වී ඇති බැවින් මෙවර ඔහුගේ දකුණු අත වෙනුවට ඔහුගේ පාසල් මිතුරෙකු සහ ප්‍රවීණ ගත්කතුවරයෙකු වන මනෝ ප්‍රනාන්දුගේ සේවය ලබා ගෙන තිබේ.

කෙසේ හෝ මෙහිදී ගිලන්යහනේ වැතිර සිටින අතරේම රැස්වසිටි පිරිස ඇමතූ ආරියසේන යූ ගමගේ කියා සිටියේ විශේෂඥ ප්‍රජා වෛද්‍යවරයෙකු ලෙස ජනතාව දැනුවත් කිරීමේ වගකීම තමන්ට හැකි අයුරින් ඉදිරියටත් කරගෙන යාමට බලාපොරොත්තු වන බවය. "වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්" සහ පිළිකාව සම්බන්ධ තමන් පොත පතින් සහ රෝගියෙකු ලෙස ලත් අත්දැකීම් වලින් ඉදිරියටත් කෘති සම්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

එමෙන්ම ලෝකයේ රටවල් 40 ක පමණ සංචාරය කිරීමේදී මිලට ගත් ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ වැදගත් දුර්ලභ කෘතීන්  එකතුවක් මෙහිදී වෛද්‍ය ගමගේ විසින් නෙවිල් ප්‍රනාන්දු රෝහලට ‍පරිත්‍යාග කිරීමද විශේෂ සිද්ධියක් විය.








තිලක් සේනාසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.