Coss Ear2
lakbima.lk
COSS Ear 1

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

(ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති විද්වත් කතිකාවේදී ඇමෙරිකාවේ නාසා ආයතනයේ හිටපු තාරුකා විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංග කළ දෙසුම ඇසුරිනි.)
ජ්‍යොතිෂයට අනුව ග්‍රහයන් නවයකි. ඉන් හතක් ග්‍රහලෝක වන අතර රාහු-කේතු නම් කල්පිත ග්‍රහයන් දෙකක් ද ඊට එක්කොට තිබේ. රාහු සහ කේතු පෘථිවියේ සහ සඳෙහි කක්ෂය ජේදනය වන ස්ථාන මිස සැබෑ ග්‍රහලෝක නොවේ. එහෙත් සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ ආදී ස්වාභාවික සංසිද්ධීන් සිදුවන බැවින් ‍ජ්‍යොතිෂයේදී ඊට 'ග්‍රහ' තත්ත්වය හිමි කොට තිබේ.
පෘථිවියේ සිට සූර්යයා වටා ඇති රාශීන් දහතුනක් දැකිය හැක. ‍ජ්‍යොතිෂයේදී මේ දහතුන දොළහක් වශයෙන් සැලකෙයි. රාශියක් යනු පෘථිවියේ සිට බලනවිට පියැවි නෙතට පෙනෙන තාරුකා මණ්ඩලයකි. එහෙත් ඒවා තාරුකා මණ්ඩල ලෙස හැඳින්වීම සපුරාම වැරදිය. ඊට හේතුව පෘථිවියේ සිට බලන විට එකම තරු ‍පොකුරක් ලෙසින් දිස් වුවද ඒ එක් තරුවක සිට තවත් තරුවකට ඇති දුර ප්‍රමාණය ආලෝක වර්ෂ දහස් ගණනකින් යුතු වීමය. එමෙන්ම අප රාශි වශයෙන් දකින මෙම තාරුකා එකිනෙකට අතිවිශාල දුරකින් පිහිටි ඒවා බව නිවැරදි ලෙස ගණනය කොට තවම වසර දෙසීයක්වත් නැත. එමෙන්ම අපගේ නෙත ගැටෙන ග්‍රහලෝකවලට වඩා දීප්තිමත් තාරුකා වස්තූන් බොහෝ දුරකින් පිහිටා ඇති බව පාසල් සිසුහු පවා දනිති. ඒ අනුව ‍ජ්‍යොතිෂයේ මූලිකම ඉගැන්වීමක් වන ග්‍රහ වස්තු පිහිටීම හුදෙක් සත්‍යයක්, යථාර්ථයක් නොවන බව පළමුව කිව යුතුය. 

විශ්වයේ හට ගැනීම හෙවත් සම්භවය මීට අවුරුදු බිලියන 13.8කට පෙර සිදුවූ බව අද වන  විට තහවුරු වී තිබේ. එමෙන්ම මෙම විශ්වයද නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතින්නක් බවද අද වන විට විද්‍යාත්මකව තහවුරු වී ඇත. ඒ අනුව තාරකා ගමන් කිරීම මත මීට වසර මිලියනයකට පෙර අහස සහ අද අහස මුළුමනින්ම වෙනස්ව අතර ඉදිරි වසර මිලියනය තුළ මෙම වෙනස තවදුරටත් වෙනස්ව වර්ධනය වනු ඇත.
අපගේ අවුරුද්ද දවස් තුන්සිය හැටපහකි. එහෙත් විශ්වය ඇරඹී ගතවූ අවුරුදු බිලියන 13.8 එක් අවුරුද්දක් ලෙස නම් කළහොත් එහි එක් තත්පරයක් අපගේ ව්‍යවහාර වර්ෂ 435කි.  ඒ විශ්වීය ගණනය අනුව බලන විට නුතන මිනිස් ශිෂ්ටාචාරය ඇරඹී තවම ඉක්ම ගොස් ඇත්තේ විශ්වීය තත්පර පහළොවක් පමණක් බව ඔබ දන්නවාද? 
පෘථිවි කේන්ද්‍රවාදය මිථ්‍යාවක් මිස සත්‍යයක් නොවන බව අදවන විට ලොව පුරා ‍පොදු පිළිගැනීමකට  ලක්ව තිබේ. එහි සූර්යයා වටා ග්‍රහයන් ගමන් කිරීම ‍ජ්‍යොතිෂයෙන් විස්තර කෙරෙනුයේ සූර්යා ද ඇතුළුව ග්‍රහයන් හත් දෙනකු සහ ග්‍රහ වස්තූන් නොවන රාහු සහ කේතු ද පෘථිවිය වටා ගමන් කිරීමක් ලෙසිනි. එමෙන්ම ඊට ආලෝක වර්ෂ දහස් ගණන් දුරින් පිහිටි රාශි වළල්ලද ඊටම සම්බන්ධ කොට දැක්වීම නවීන විද්‍යාවෙන්  තහවුරු වූ කරුණු අනුව අතිශයින් වැරදි සහගතය.
දැන් මිනිසා සඳ තරණය කොට හමාරය. තවත් වසර පනහකින් මිනිසා අඟහරුද තරණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහෙත් අනාගතයේ සඳ මතට හෝ අඟහරු මතට ගොඩ බසින මිනිසාට ‍ජ්‍යොතිෂය රැගෙන යාමට නොහැක. ඒ එහි සිට දැකගත හැකි ග්‍රහ පිහිටීම් මුළුමනින්ම වෙනස් බැවිනි. මිනිසා සඳ මතට හෝ අඟහරු මතට පා තැබුවහොත් ඔහුට තවදුරටත් සඳ හෝ අඟහරු ග්‍රහයකු නොවේ. නමුත් එවිට පාථිවිය නම් ග්‍රහයෙකි. එමෙන්ම එහිදී අපට සඳ විශාල ලෙස පෙනෙනවාට වඩා  'සඳ ලොව' වාසීන්ට පෘථිවි ග්‍රහයා විශාල ලෙස දිස්වනු ඇත. ඇතැම් විට නවීන විද්‍යාවේ ආධාරයෙන් සඳ මතදී හෝ අඟහරු මතදී දරු ප්‍රසූතියක් සිදු කළහොත් ඒ දරුවාගේ කේන්ද්‍රයේ 'පෘථිවි' නම් ග්‍රහයෙක් ඇතිවීම අනිවාර්යය. නමුත් පෘථිවියේ ඇති රාශි චක්‍රය එහිදී බිඳවැටෙන බැවින් එම ග්‍රහලෝකවල වෙසෙන්නවුන් සඳහා වෙනම ‍ජ්‍යොතිෂයක් නිර්මාණය කිරීමටද සිදුවනු ඇත.
එහෙත් අනාගතයේ අඟහරු මත හෝ වෙනයම් ග්‍රහලෝකයක් මතට පා තැබුව ද මෙලොවින් රැගෙන යන විද්‍යා තාක්ෂණය එහිදීද භාවිතා කළ හැකි වෙයි. පසුගිය කාලයේ මිනිසා සඳ තරණය කළ අවස්ථාවේදී ද පෘථිවියෙන් බැහැරට ගෙන යන ලද්දේ මෙලොව විද්‍යා තාක්ෂණයම බව පැහැදිලිය. 
‍ජ්‍යොතිෂයෙත්, නවීන විද්‍යාවෙත් පැහැදිලි වෙනස එයයි. 
විද්‍යාව ශීඝ්‍රයෙන් දියුණුවට, පරිණාමයට, විකාශනයට ලක්වන්නකි. එහෙත් ‍ජ්‍යෝතිෂය මීට වසර දහස් ගණනකට පෙර තිබූ තත්ත්වයෙන්ම පවතින එකිනෙකට වෙනස්, සංකීර්ණ, සාධක සමුදායක් මත පදනම් වන්නකි. මෙලොව මිනිසා පහළ වූ දා සිටම සූර්යයා  දැක තිබුණද එහි ක්‍රියාකාරීත්වය ගැන නොදැන සිටියේය. සූර්යයා ආලෝකය නිකුත් කරන්නේ කෙසේදැයි මිනිසා වටහාගෙන ගතවී ඇත්තේ තවමත් වසර එකසිය තිස්පහක් පමණි. එය විද්‍යාත්මකව සොයා ගන්නා ලද්දේ 1880 වසරෙන් පසුවය.
විද්‍යාව කලින් කලට වෙනස් වන බවත්, ‍ජ්‍යොතිෂය සදාතනික සත්‍යයක් බව බොහෝ දෙනෙක් කියනු  මා අසා තිබේ. එහෙත් එයද මුළුමනින්ම මුසාවකි. දැනට අපට පෙනෙන රාශි පද්ධතිය  වසර දෙදහසකට රාශිය බැගින් වෙනස්වී තව වසර විසිහය දහසකින් මුලුමනින්ම වෙනස් වන බව පැවැසෙන සනාතන සත්‍යය ‍ජ්‍යොතිෂය මගින් අනාවරණය කිරීමට කිසිවකුටත් නොහැකි වූයේ ඇයි? එමෙන්ම දැනට ලංකාවේ භාවිතා වන ‍ජ්‍යොතිෂය සිද්ධාන්ත ඇරඹුණු කාලය සහ වත්මන් සෞරග්‍රහ මණ්ඩලයේ රාශි පිහිටීම අනුව විමසා බලන විට වත්මන් ‍ජ්‍යොතිෂවේදීන් අදටත් සිය කටයුතු සඳහා යොදා ගනු ලබනුයේ වත්මන් රාශි පිහිටීම් නොව දුරාතීතයේ පැවැති රාශි පිහිටීම්ය.
ග්‍රහලෝකවලින් එළැඹෙන කිරණ මගින් මිනිස් ජීවිතවලට බලපෑම් එල්ලවන බව ‍ජ්‍යොතිෂයේ මුල්ම ඉගැන්වීමකි. මීට හේතුව පෘථිවියට ආසන්නම උප ග්‍රහයා වන චන්ද්‍රයාගේ ගුරුත්ව බලය මහ මුහුදේ වඩදිය - බාදිය  බලපෑම සිදුවීම වැනි ඉතා සුළු කරුණු කිහිපයක් බව පෙනෙයි. ආලෝක වර්ෂ දශම 1.25 දුරින්. පෘථිවියට ආසන්නතම උපග්‍රහයා වන චන්ද්‍රයා නිසා පෘථිවියට එල්ලවෙන බලපෑම එතරම් සුළුනම් ආලෝක වර්ෂ ගණන් දුරින් පිහිටි තරුකාවන්ගෙන් යම් කිරණ විශේෂයක් නිකුත් වන්නේ නම් ඉන් සිදුවන බලපෑම කෙතරම් අල්ප දැයි අප සිතා බැලිය යුතුය. 
කිසියම් දරුවකු මෙලොවට බිහිවන අවස්ථාවේ ඔහු වෙත එල්ල වන කිරණ මගින් යම් බලපෑමක් සිදුවේ නම් එවන් දහස් ගුණයක බලපෑමක් එම දරුවාගේ මව, වෛද්‍ය සහ හෙද  කාර්යමණ්ඩලය සහ සුතිකාගාරයේ ඇති විදුලි බුබුළු ආදියෙන් එල්ලවිය යුතු බවට සැකයක් නැත. විද්‍යාත්මකව තහවුරු වී ඇති අන්දමට පෘථිවිය සමග සෘජු සබැඳියාවක්  ඇත්තේ හිරුගෙන් සහ සඳුගෙන් පමණි. එහෙත් එයද කිසිසේත් ගුප්ත බලපෑමක් නොවේ. එම බලපෑම් විද්‍යාත්මකව තහවුරු වී තිබේ.
පුද්ගලයෙකුට ඕනෑම කෙනකු සහ ඕනෑම දෙයක් පිළිබඳව විශ්වාස කළ හැකිය. එහෙත් ඒ සියලු විශ්වාසයන්ට වඩා තමන් පිළිබඳව ඇතිකර ගන්නා ආත්ම විශ්වාසය ප්‍රබල බව කිව යුතුය. 
 
සහන් සංකල්ප සිල්වා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.