Coss Ear2
lakbima.lk
COSS Ear 1

දෙසැම්බර් 31දාට පෙර සුනාමියක් එනවාද?

“ගිනිපෙනෙල්ලෙන් බැට කෑ මිනිසා කණාමැදිරි එළියටත් බයයි” යන්න අපේ ජනවහරේ පවතින්නකි. එය මේ දිනවල හොඳින්ම දැක ගත හැකි වන්නේ, වෙරළබඩ ජනතාව යළි සුනාමි බියකින් ඇළලී ගොස් ඇති බැවිනි. මේ තත්ත්වය හටගත්තේ, මේ මාසයේ තිස්එක් වැනිදාට පෙර ශ්‍රී ලංකාවට බලපාන ආකාරයේ සුනාමි තත්ත්වයක් යළි ඇති වීමේ ඉඩකඩක් පවතින බවට පළ වූ අනාවැකියක් සමගය.
සුනාමි ව්‍යසනය සිදු වී, මේ මාසයේ විසිහයවැනිදාට දහතුන් වසරකි. එහෙත් සුනාමි යන වචනය ඇසූ පමණින් සියලු සිත් බියෙන් ඇළලී යන්නේ, එහි වන බිහිසුණු බව නිසාමය. මේ මාසය ඇතුළත යළිත් එවැනි සුනාමි තත්ත්වයක් ඇති වන බවට අනාවැකියක් පළ වූ කල්හි, එහි බිහිසුණු බව දෑසින්ම අත්දැකිවුන් යළි නොසන්සුන් වීම අරුමයක් නොවේ.
අපේ රටේ සුනාමි තත්ත්වයන් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමේ නිසි බලධාරියා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවයි. ඉකුත් සුනාමි තත්ත්වය හටගැනීමෙන් පසු, එකී බලය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යටතට පැවැරිණි. එබැවින් අපි මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ප්‍රේමලාල්ගෙන් විමසුවෙමු.
“හැමදාමත් භූ කම්පන ඇති වෙනවා. ඒ වගේම භූ කම්පන ඕනම වෙලාවක ඇතිවෙන්නත් පුළුවන්. සුනාමි තත්ත්වයක් හටගන්නා ආකාරයේ භූ කම්පනයක් පවා ඕනම වෙලාවක ඇති වෙන්නත් පුළුවන්. ඒත් මේ මාසෙ තිස්එක් වැනිදාට පෙර යළි සුනාමියක් ඇතිවිය හැකියි කියලා නිශ්චිතවම කියන්න බැහැ. අපි එවැනි පූර්ව අනතුරු ඇඟවීමක් මතෛක් නිකුත් කරලත් නැහැ” අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේය.
ඔහු පෙන්වා දෙන පරිදි, සාමාන්‍යයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සුනාමි තත්ත්වයක් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කරන්නේ, එවැනි තත්ත්වයක් ඇති විය හැකි ආකාරයේ භූ කම්පන තත්ත්වයක් අපේ රටට බලපාන කලාපයක සිදු වුවහොත් පමණි. එනම්, ඉන්දුනීසියානු භූ පැල්ම තුළ හෝ, පාකිස්තානයේ “මැක්රම්” කලාපය තුළ රිච්ටර් මාපාංක 7ට වඩා වැඩි අගයකින් යුතු භූ කම්පනයක්  එහි ගැඹුර කිලෝමීටර සියයට වඩා අඩු මට්ටමකදී හටගතහොත්, එවැනි අවස්ථාවක කලාපීය සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරන ආයතනවල නිවේදනවලට අනුවය. මේ වන විට එවැනි භූ කම්පන තත්ත්වයකදී කලාපීය වශයෙන් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරන්නේ, ඉන්දියානු සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය, ඉන්දුනීසියානු සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සහ ඕස්ට්‍රේලියානු සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයයි. කලාපයට බලපෑ හැකි ආකාරයෙන් සුනාමි තත්ත්වයක් ඇතිවිය හැකි භූ කම්පනයක් ඒ ආශ්‍රිතව හටගතහොත්, එහි ඉහත කී ස්වභාවය සැලකිල්ලට ගනිමින් එම අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථාන විසින් කලාපීය රටවල්වලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි. ඒ ඒ රටවල අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථාන හරහා එවැනි අනතුරු ඇඟවීමේ නිල නිවේදන නිකුත් කරන්නේ ඒ අනුවය.
අනාවැකියක් නිසා බොහෝ දෙනා තුළ හටගත් සුනාමි බිය තවත් වර්ධනය වූයේ, පසුගිය දා මඩකලපුව නාවලඩියේ ධීවරයන් පිරිසකගේ දැල්වලට සර්පයන් රැසක් පැටලී ආ බවට පළ වූ ප්‍රවෘත්තියක් සමගිනි. ඉකුත් සුනාමි තත්ත්වය හට ගත් දෙදහස් හතරේ ඒ කාලයේදීත්, මඩකලපු මුහුදේ මේ ආකාරයෙන් විශාල වශයෙන් සර්පයන් මතු වී තිබිම ඒ තත්ත්වයට හේතුවයි. එමෙන්ම මිනිසාට හා තාක්ෂණයට පෙර සතුන්ට අනතුරක ඉව දැනෙන බව අපි මීට පෙරද අත්විඳ ඇති සත්‍යයකි. ඉකුත් සුනාමිය ඇති වූ දා, උදෑසන 6.45ට පමණ යාල වනෝද්‍යානය ආසන්නයේ අමුතු වෙනසක් ඇතිවෙමින් පැවැතිණි. මේ අපූරු වෙනස කැමරාගත කර තිබුණේ, බෙල්ජියමේ සිට පැමිණි ව්‍යාපාරිකයෙකි. ප්‍රථමයෙන්ම යාල පටනංගල ආසන්නයේ සිටි අලි රංචුවක් හිටිහැටියේ දුවන්නට පටන්ගෙන තිබිණ. තවත් තැනක වතුරේ සිටි අලියෙකු කිසිවෙකු පහර දුන් අයුරින් හඬ නගාගෙන දිවගියේය. තලගොයින් වැඩි වශයෙන් ජීවත් වන්නේ ‍පොළවේ ඇති ගුල්වල වුවද එදා උන් වහ වහා දැවැන්ත ගස් උඩට බඩගා යන අයුරුද බෙල්ජියම් ජාතිකයාගේ කැමරා කාචයට හසු වී තිබිණි. එදා මුහුද එක්වරම සිඳී යද්දී, මුහුදේ සිට ගොඩබිමට වේගයෙන් දිව ආ, දැවැන්ත කකුළුවෙකු ද ඒ ඡායාරූප ගොන්නෙහි විය. යාල වනෝද්‍යානයේ කිලෝමීටරයක් ඇතුළතට මුහුදු රළ පැමිණියද,  ඒ රළට හසුවී කිසිදු වන සතෙකු මිය ගිය බවට සලකුණක් හමු වූයේත් නැත.
එබැවින් සුනාමි තත්ත්වයක් යළි ඇති වන බවට මතයක් පළවෙන අතරේ, මඩකලපු මුහුදේ සිටි සර්පයන් රැසක් එකවර ගොඩබිම ආශ්‍රයට පැමිණීම, ඒ ආශ්‍රිත පෙදෙස්වල ජීවත් වන්නන් තුළ බියක් ඇතිකරන්නට සමත් වීම සාමාන්‍ය තත්ත්වයකි.
එහෙත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇති නාරා ආයතනය පවසන්නේ, මේ නිසා කිසිදු සුනාමි බියක් ඇතිකර නොගත යුතු බවයි.
“අපේ විද්‍යාඥයන් කණ්ඩායමක් දැනටමත් ඒ සර්ප විශේෂයේ සාම්පල් ලබා ගෙන පරීක්ෂණ කරමින් ඉන්නවා. දැනට තියන කරුණු අනුව අපට පෙනී යන්නේ, ඒ සර්ප විශේෂයක් නොව, ආඳාට සමානකම් ඇති සත්ව විශේෂයක් බවයි.” නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් බි.සී.ඩබ්ලිව්. ඉද්දමල්ගොඩ පවසන්නේය.
ඔහු පෙන්වා දෙන පරිදි, ආඳා සිය වර්ගයා බෝ කරන්නට මිරිදිය සිට කරදිය ආශ්‍රයට යන්නේය. ඇතැම් විට එලෙස වැඩි වශයෙන් උන්ගේ ගහණය පැවැති තැනකදී මේ ආකාරයෙන් ධීවර දැල්වලට හසු වන්නට ඇතැයි සිතිය හැකි බවද ඔහු පවසන්නේය. එමෙන්ම මෙවැනි මෝසම් කාලවලදී මුහුදේ ඇතිවන යම් යම් වෙනස්කම් හේතුවෙන්ද මෙලෙස මුහුද ආශ්‍රිතව සිටින සත්වයන් ගොඩබිම දෙසට ඇදී ඒමේ හැකියාවක් පවතී.
“දියවැල්වල වෙනස්කම්, මුහුදු ජලයේ සංඝටකවල ඇතිවන වෙනස්කම්, මුහුදේ රළු ස්වභාවයන් වගේ අවස්ථාවදී තමන්ගේ වාසස්ථානවලට අනතුරුදායක තත්ත්වයක් එද්දී උන් වෙනත් ස්ථාන හොයාගෙන යන්න පටන් ගන්නවා. දැනුත් එවැනි මෝසම් කාලයක් නිසා ඒ වගේ දෙයක් වෙන්නත් පුළුවන්. මීට කලින් මේ කාලයේදීත් මේ සිද්ධි වෙලා තියෙනවා. අපි මේ ගැන තවදුරටත් පරීක්ෂණ පවත්වනවා.” ඉද්දමල්ගොඩ මහතා පවසන්නේය.
ඔහු පෙන්වා දෙන්නේ, මෙම සත්ව විශේෂ ධීවර දැල්වලට හසු වීම සහ සුනාමියක් ඒමේ පෙර නිමිති පහළ වීම අතර කිසිදු විද්‍යාත්මක පදනමක් නැති බවයි. එමනිසා ඒ ආකාරයේ අවිනිශ්චිත බියක් ඇති කර ගතයුතු නැතැයි ඔහු අවධාරණය කරන්නේය.
එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ, කුමන අවස්ථාවක දී සුනාමි තත්ත්වයක් ඇති විය හැකි භූ කම්පනයක් සිදු වුවද, සුනාමි තත්ත්වයක් ඇති වන්නට පෙර ආරක්ෂිත ස්ථානයකට යාමට අවශ්‍ය තරම් වේලාව අප සතුවන බවය. භූ කම්පනයක් සිදු වී සුනාමියක් හට ගැනීමට තවත් පැය දෙකහමාරක පමණ කාලයක් ගත වේ. ඒ කාලය තුළ වෙරළබඩ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යැවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තුළ නිසි වැඩපිළිවෙළක් පවතින බව සරත් ප්‍රේමලාල් පවසන්නේය.
“ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එවැනි අවස්ථාවක ක්‍රියා කළ යුතු ආකාරය, යා යුතු ස්ථාන පිළිබඳව කිහිප අවස්ථාවක දීම ජනතාව දැනුම්වත් කර තිබෙනවා. තවදුරටත් දැනුම්වත් කිරීම් කරනවා. එවැනි තත්ත්වයක් ඇති වුණොත් ඒ ජනතාව ආරක්ෂිත ස්ථානවලට යැවීමට අදාළ නිලධාරීන් වගේම ත්‍රිවිධ හමුදාවත් සූදානම් වෙලයි ඉන්නෙ. ඒ නිසා අනවශ්‍ය බියක් ඇති කරගන්න කිසිදු අවශ්‍යතාවක් නැහැ. අවශ්‍ය වෙන්නේ, ඕනෑම ආපදා අවස්ථාවකදී, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් නිකුත් කරන නිල නිවේදනවලට අවධානය යොමු කර ඒ අනුව ක්‍රියාත්මක වීම පමණයි” කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සරත් ප්‍රේමලාල් අවධාරණය කරන්නේය.

ගයාත්‍රි ගීගනආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ අලුත්ම සාමාජිකයා මෙන්න

IMAGE 2018 Apr 25 12:50
බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ තොරතුරු ගැන උනන්දුව දක්වන බොහෝ දෙනෙකුට සතුට දනවන පුවතක් පසුගිය 23...
Views - 934

ඉංජිනේරු සිසු ඩිල්ශාන්ගේ පැතුම් ගං දියේ සැඟව යයි

IMAGE 2018 Apr 24 15:43
 තව ටික කලකින් අම්මා රස්සාවට යන එක මම නතර කරනවා. මට හොඳ රැකියාවක් ලැබුණම ගේ හදලා වාහනයක් අරගෙන...
Views - 1717

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 3507

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 2836

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 4061

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 5030

Please publish modules in offcanvas position.