Coss Ear2
lakbima.lk
COSS Ear 1

අපිට තෙල් ‍පෝලිම්වල ඉන්නද මේ ආණ්ඩුව කියන්නේ

මේ දිනවල දිවයින පුරා  පවතින ඉන්ධන හිඟය හේතුවෙන් කොළඹ නගරයේ පමණක් නොව දිවයිනේ සෑම ඉන්ධන පිරවුම් හලකම දිගු ‍පෝලිම් දක්නට ලැබුණ බව දැක ගන්නට ලැබිණි.

ඉන්ධන නොමැතිවීමෙන් දුෂ්කරතාවන්ට පත්ව සිටින  ජනතාවගේ අදහස් දැන ගැනීමට කොළඹ අවට පිහිටි ඉන්ධන පිරවුම්හල් කිහිපයකට අපි ගියෙමු. එහිදී කිලෝමීටර ගණනක් දිගු ‍පෝලිම් දක්නට ලැබුණි. එමෙන්ම ඉන්ධන පිරවුම්හල්වල ආරක්ෂාව සඳහා ‍පොලීසියද යොදවා තිබෙනු දක්නට තිබිණි.

ඉන්ධන නොමැතිව කුපිත වූ ජනතාව අතර ස්ථාන කිහිපයකදී බහින් බස්වීම් ද අපි දැක්කෙමු. මේ එම ‍පෝලිම්වල සිටි ජනතාවගේ අදහස්ය.

ෂෙඩ් 10 ක විතර ‍පෝලිම්වල හිටියා
ටී. සිවපාලන් - යටියන්තොට

මම යටියන්තොට ඉඳන් ලෙඩෙක් අරන් හයර් එකක් ආවේ. අවිස්සාවේල්‍ලේ ඉඳන් ෂෙඩ් දහයක විතර ‍පෝලිමේ හිටියා. පැය ගාණක් ‍පෝලිමේ ඉඳලා ටිකක් ඉස්සරහට යන කොට ෂෙඩ් එකේ පෙට්‍රල් ඉවරයි කියනවා. ඔරුගොඩවත්තේ මේ ෂෙඩ් එකෙත් පැය ගාණක් තිස්සේ ‍පෝලිමේ ඉන්නේ. ඒත් පෙට්‍රල් ගහන්නේ රුපියල් 500 ක විතරයි. මට පෙට්‍රල් ගහගන්න බැරි වුණොත් අද මේ ලෙඩත් එක්ක පාරේ තමයි ඉන්න වෙන්නේ.
මිනිස්සු හැමෝම අපහසුතාවට ලක්වෙලා.රජයට තෙල් ටිකවත් බෙදා ගන්න බැරිනම් වැඩක් නෑනේ.

හැම කරදරයක්ම අපි වගේ අයටයි
එම්. අස්කාර් - ග්‍රෑන්ඩ්පාස්

මම දරු පවුලක් නඩත්තු කරන්නේ ත්‍රීවිල් රස්සාව කරලා. දවස් දෙකක ඉඳන් හයර් එකක් දුවාගන්න බැරිවුණා. අපි දවසේ වියදම හොයා ගන්නේ හයර් දුවලයි. මෙහෙම තව දවස් කිහිපයක් පෙට්‍රල් නැති වුණොත් අපි වගේ මිනිස්සු කී දාහක් දුක් විඳිනවාද? ‍පෝලිම්වල ඉඳලම එපා වෙලා තියෙන්නේ. ‍පොඩි මිනිහාටම තමයි, ඔක්කොම ප්‍රශ්න. මිනිස්සු හරිම කේන්තියෙන් ඉන්නේ. ඒ කේන්තිය සාධාරණයි.
 

 


අණ්ඩුව ගැන විශ්වාසයක් නෑ
ජේ.පී. කුමාර - මාලිගාවත්ත

ඊයේ රෑ දහයට මතෛන්ට ආවේ. පෙට්‍රල් ගහන්නත් සල්ලි කීයක් හරි හොයා ගන්න ඕනේ. ඒකට හයර් එකක් දුවන්න ඕනේ. මේ ආණ්ඩුව මොනවා කරනවාද දන්නේ නෑ. ඉන්ධන නැතිව රටේ කිසිම දෙයක් කරන්න බෑ. ඒක විසඳගන්නත් ආණ්ඩුවට බැරිනම්, මිනිස්සු ආණ්ඩුව විශ්වාස කරන්නේ කොහොමද? පාරවල්වල යන්න බෑ පාරවල් කැඩිලා. ඒ පාරවල් බේරගෙන මිනිස්සු තෙල් ගහන්න එන්නත් ඕනේ. පාරෙ ට්‍රැෆික් එකේ හිරවෙලා ඉන්න කොට තියෙන තෙල් ටිකත් පිච්චෙනවා. කවද්ද මේ ආණ්ඩුව ‍පොඩි මිනිහා ගැන බලන්නේ.

පාන්දර 3 ඉඳලා දවල් 1.00 වෙනකල් හිටියා
නලින් ප්‍රශාන්ත - කැලණිය
 
ත්‍රීවිල් එකේ පාන්, බනිස් විකුණන එකයි මගේ රැකියාව. මේ ත්‍රීවිල් එකත් මගේ ‍නෙවෙයි. ත්‍රිවිල් එක කුලියට අරගෙනයි, බනිස් විකුණන්නේ. ත්‍රීවිල් එකේ අයිතිකාරයටත් මම දවසකට රුපියල් 500 ක් ගෙවන්න ඕනේ දිව්වත් නැතත්. අද පාන්දර තුනේ ඉඳන් මම ෂෙඩ්වල ‍පෝලිමේ ඉන්නවා.දැන් වෙලාව දවල් එකයි. ඒත් තවම බැරි වුණා,පෙට්‍රල් ටිකක් ගහගන්න. ලොකු වාහනවලට, කාර්වලට කිසි ‍පෝලිමක් නෑ. ඒ අය ආපු ගමන්ම පෙට්‍රල් ගහලා යවනවා. අපි වරු ගණන් ‍පෝලිමේ ඉන්නවා. මගේ මේ රස්සාවෙන් පවු‍ලේ පස් දෙනෙක් ජීවත් වෙනවා.අද රස්සාව කර ගන්න බැරි වුණා. හෙටත් බැරි වුණොත් අපේ ගෙදරවුන්ට කන්න දෙන්නේ කොහොමද මම?.
 


හරිනම් ඇමැති අස්වෙන්න ඕනෑ
පකීර් නසීර් ඛාන් - වත්තල

මම මෙතැන ඉන්නේ පාන්දර තුනේ ඉඳන්. මගේ දරු පවුල ජීවත් කරන්නේ මම මේ ත්‍රීවිල් රස්සාවෙන්. මේ ආණ්ඩුවට තෙල් ටිකවත් හරියට ගෙන්නලා බෙදා දෙන්න බැරිද? මිනිස්සු මේ විදිහට මහපාරේ ‍පෝලිම්වල තියන්න නම්, මේ රටට ආණ්ඩුවක් ඕනේද? තෙල් ටික හරියට බෙදන්නවත් ඇමැතිට බැරි නම්, ඒ ඇමැති අයින් වෙන්න ඕනේ. අයින් වෙන්නේ නැත්නම්, අයින් කරන්න ඕනේ. ‍පොඩි මිනිහාට හැමදාම හිමි වුණේ මහපාර. ඒ සංස්කෘතිය තාමත් මේ රටෙන් ඉවත් කරන්න කාටවත් බැරිවුණා. ඡන්දේ ගන්න එන්නේ නම්, අරක දෙනවා, මේක දෙනවා කියලා. ‍පොඩි මිනිහට මොනවාද හම්බ වුණේ. අපිට උරුම වුණේ මහපාරයි, ‍පෝලිමයි විතරයි.

පුදුම දුකක් අපි විඳින්නේ
ප්‍රසාද් ලක්මාල්  - වැල්ලම්පිටිය.

මම මේ ත්‍රීවිල් එක දුවන්නෙත් කුලියට අරගෙන. හවසට ත්‍රීවිල් එකට රුපියල් 500 ක් දෙන්න ඕනේ. පාන්දර ඉඳන් ‍පෝලිමේ හිටියත් තාම පෙට්‍රල් ටිකක් ගහගන්න බැරි වුණා. හවසට රුපියල් 500 ගෙවන්නවත් අද හයර් එකක් දුවා ගන්න බැරි වුණා. දැන් ෂෙඩ් එකෙන් කියනවා, තෙල් ඉවරයිලු. ආයෙත් තෙල් බවුසරයක් අවොත් තෙල් දෙන්න පුළුවන්ලු. කීයට එනකම්, කියලා බලාගෙන ඉන්නද?



වාහනේ නැත්නම් තෙල් දෙන්නේ නෑ
කේ. ඩී. සුමිත් - ඔරුගොඩවත්ත

මගේ ත්‍රීවිල් එකේ තමයි ළමයි ඉස්කො‍ලේ යන්නේ. උදේ ඉස්කෝලෙට එක්ක යනකොට පෙට්‍රල් ඉවර වුණා.මම ළමයින්ට කිව්වා පෙට්‍රල් ගහගත්තොත් එක්ක යන්න එන්නම්, නැත්නම් බස් එකේ එන්න කියලා. අද කා‍ලේ ළමයෙක් පාරේ තනියම යවන්න පුළුවන් ද?
වාහනේ තෙල් නැති නිසා මම කෑන් එකක් අරන් ආවා තෙල් ගෙනියන්න. කෑන්වලට තෙල් දෙන්න බැරිලු. වාහනේ එන්න තෙල් නැත්නම්, කරේ තියන් එන්න කියලාද? කියන්නේ. මේවා හරි මෝඩ අසාධාරණ තීරණ. මිනිස්සුන්ට හරියට තෙල් ටික බෙදන්න බැරි නම්, මේ ඇමැතිගෙන් ඇති වැඩේ මොකක්ද?

තෙල් නැතිනම් වාහනේ උස්සන් එන්නද?
නන්දා රංජිනි - කිරිබත්ගොඩ

මම කිරිබත්ගොඩ ඉඳන් ආවේ, මගේ දුවගේ බයිසික‍ලේට තෙල් ටිකක් ගෙනියන්න. මගදි ෂෙඩ් තුනකින් බැස්සා. ඒ එකකවත් පෙට්‍රල් තිබුණේ නෑ. මතෛන්ට ආවාම, කෑන්වලට තෙල් දෙන්න බැරිලු. වාහනේ තෙල් නැත්නම්, කොහොමද වාහනවල එන්නේ. ආණ්ඩුවට මේ ප්‍රශ්න විසඳන්න බැරි නම්, පුළුවන් කෙනෙකුට මේක කරන්න දෙන්න ඕනේ.
 

 

 

පෙට්‍රල් ටිකත් හිඟාකන්න වෙලා
ප්‍රදීප් කුමාර - පිටකොටුව

මම උදේ පාන්දර හතරේ ඉඳන් ෂෙඩ්වල ‍පෝලිමේ.අපි පත් කර ගත්ත ආණ්ඩුවට අපිටම බනින්න වෙලා. උන්ට වඩා මුන් හොඳයි කියලා පත් කර ගත්තා. දැන් උනුත් එකයි, මුනුත් එකයි. මගේ නැන්දම්මා ඉස්පිරිතා‍ලේ එයාව තුන්වේලම බලන්න යන්න ඕනේ. පාරේ ට්‍රැෆික්. බස් එකේ යනකොට මගටම කා‍ලේ ගතවෙනවා.කාර්වලට ෂෙඩ්වලින් ලීටර් 20 ක් තෙල් ගහනවා.ඒත් එදා වේල හම්බ කරන් කන ත්‍රීවිල්වලට ගහන්නේ ලීටර් 3යි. ‍පොඩි මිනිහාට කොයි ආණ්ඩුවත් සලකන්නේ මෙහෙම තමයි. අපිට අද පෙට්‍රල් ටිකටත් හිඟා කන්න වෙලා. මේවා ෆොටෝ ගහලා ඉන්ටනෙට් දැම්මම අපි හිඟාකන රටක් කියලා මේ ආණ්ඩුවට ලැජ්ජා නැද්ද? මේ ආණ්ඩුව මේවට වගකියන්න ඕනේ.

දරු පවුලම දැන් අනාථයි
නයිසර් මොහොමඩ් - ග්‍රෑන්ඩ්පාස්

මම උදේ පාන්දර ඉඳන් මේ ‍පෝලිමේ ඉන්නේ. මම දරුවෝ තුන් දෙනෙක් ජීවත් කරන්නේ ත්‍රීවිල් රස්සාව කරලා. දැන් දවස් දෙකක ඉඳන් හයර් එකක්වත් දුවන්න බැරි වුණා. ෂෙඩ්වල ‍පෝලිමේ හිටපු එකයි කළේ.ආණ්ඩුව මේකට වග කියන්න ඕනේ. ආණ්ඩුව කියන විදිහට මේ ප්‍රශ්නය විසඳන්න තව දවස් දෙකක් විතර යනවාලු. එතකන් අපි ‍පෝලිම්වල ඉන්නද මේ ආණ්ඩුව කියන්නේ.






කමණී හෙට්ටිආරච්චි
ඡායාරූප - තුෂාර අතපත්තු

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.