Coss Ear2
lakbima.lk
COSS Ear 1

විලියම්-කේට් යුවළ තුන්වැනි දරු උපතට සැරසෙති

මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ කේට් මිඩ්ල්ටන් තුන්වැනි වරටත් මව්පියන් වීමට යන පුවත මේ දිනවල බ්‍රිතාන්‍ය මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගන්නට සමත්ව තිබේ. මේ වනවිටත් ඔවුන් දෙදෙනා පුතෙකුගේ සහ දියණියකගේ සුරතල් බලමින් සිටින අඹුසැමි යුවළකි. ඔවුන්ගේ වැඩිමහල් පුතු වන ජෝර්ජ් ගේ වයස  අවුරුදු හතරක් වන අතර දියණිය චාලට්ට වයස අවුරුදු දෙකකි.
තෙවැනි දරුවා පිළිබඳ පුවත රජ පවුල මේ තරම් ඉක්මනින් ප්‍රසිද්ධියට පත් කරන්නට බලා‍පොරොත්තු නොවූ බවද සඳහන් වෙයි. නමුත් 35 වැනි වියේ පසුවන කේට් ගැබ් ගැනීමත් සමග යම් යම් සංකූලතා පෙන්වීමට පටන් ගැනීම හේතුවෙන් ඔවුන්ට එය රහසක් ලෙස තබා ගැනීම අසීරු වී ඇති ආකාරයක් පෙනී යයි. මේ වනවිට කේට් කුමරිය ගර්භනී සමයේ මුල් කාලයේ පෙන්වන රෝග ලක්ෂණවලින් පීඩා විඳිමින් සිටින බව සඳහන් වෙයි. මෙම තත්ත්වය බොහෝ කාන්තාවන්ට සාමාන්‍යයෙන් වැළඳෙන තත්ත්වයක් වුවත් කේට්ට තරමක් බරපතල ආකාරයෙන් මෙය බලපා ඇතැයි අනාවරණය වෙයි. 
කලින් දරුවන් ලැබෙන්නට සිටියදී ද ඇය මෙම අපහසුතාවට මුහුණ දුන්නාය. මෙම අසාමාන්‍ය තත්ත්වය ගර්භනී කාන්තාවන් 200 දෙනෙකුගෙන් එක් අයෙකුට පමණ වැළඳෙන තත්ත්වයක් බවද සඳහන් වෙයි. මෙම රෝගී තත්ත්වයෙන් පීඩා විඳින කාන්තාවන් දිනකට විසි තිස් වතාවක් පමණ වමනය කිරීම වැනි පීඩාකාරී අත්දැකීම්වලට මුහුණ දෙන බව පැවසේ. කේට්ට මේ වනවිට ඇගේ සුපුරුදු නිල කටයුතුවලින් බොහෝ දුරට ඈත්ව සිටින්නට සිදුව ඇති බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත් ළඟදීම රජ පවුලට එක්වීමට නියමිත අමුත්තා නිසා පවු‍ලේ සියලුදෙනා මහත් පී්‍රතියට පත්ව සිටින බව ආරංචි මාර්ග සඳහන් කර තිබිණි.  මහ රැජිනගෙන් පසු රජ පවු‍ලේ කිසිදු කුමාරයෙකුට හෝ කුමරියකට දරුවන් දෙදෙනෙකුට වඩා සිටියේ නැත. චාල්ස්, ඇන්ඩෲ, එඩ්වඩ් යන කුමාරවරුන්ට මෙන්ම ඈන් කුමරියටද සිටියේ දරුවන් දෙදෙනෙකු බැගිනි. නමුත් විලියම් එම 'සම්ප්‍රදාය' බිඳ දමන්නට සැරසෙන ආකාරයක් පෙනේ. ඔහු මෙහිදී තම පියාගේ අඩි පාරේ නොව මිත්තණියගේ අඩි පාරේ ගමන් කිරීමට අදහස් කරගෙන සිටින සෙයකි. එසේම මේ ආකාරයෙන් අලුත් සාමාජිකයෙකු පිළිබඳ පුවත වාර්තා වන්නේ චාල්ස් කුමරු රජ පවු‍ලේ සාමාජිකයින් ගණන සීමා කිරීමට සැලසුම් කරමින් සිටින අවස්ථාවක බවද සඳහන් ය.
කේට්ගේ පවු‍ලේද දරු දැරියන් තිදෙනෙකි. ඇය එම පවු‍ලේ වැඩිමහල් දියණිය වූවාය. ඇයත් ඇගේ සොයුරිය පිපා සහ සොයුරු ජේම්ස් අතර ඇත්තේ විශාල බැඳීමකි. මෙම තිදෙනා අතර වූ බැඳීමද විලියම් සහ කේට් දරුවන් තිදෙනෙකු සෑදීමට ගත් තීරණයට බලපාන්නට ඇතැයි ඇතැම්හු අනුමාන කරති. විලියම් කේට් සමග හාද වූ මුල්කාලයේ ඇගේ නිවසට ගිය අවස්ථාවල මෙම සහෝදර සහෝදරියන් තිදෙනාගේ ඇසුර බෙහෙවින් ආස්වාදනය කළ බව සඳහන් ය.
විලියම්ට ද තවමත් වයස අවුරුදු 35 කි. මෙම ලාබාල අඹු සැමි යුවළට ඉදිරි කාලයේදී ඔවුන්ගේ පවු‍ලේ කටයුතු සේම රාජකීය නිල කටයුතුද සමග ඉතාම කාර්යබහුල ජීවිතයක් ගත කිරීමට සිදු වනු ඇත. කෙසේ වෙතත් විලියම් ඔහුගේ නිල කටයුතුවලට වඩා පවු‍ලේ කටයුතු ගැන සිතන කෙනෙකු හැටියටද ප්‍රසිද්ධියක් උසුලන්නෙකි. ඇතැමුන් ඒ ගැන ඔහුට දොස් පවරා තිබූ අයුරුද ජනමාධ්‍ය හරහා දැක ගත හැකි විය. 
විලියම්-කේට්  යුවළට තවත් දරුවෙකු ලැබිමත් සමග හැරී කුමරු කිරුළට හිමිකම් කියන ලැයිස්තුවේ තවත් පසුපසට, එනම් සයවෙනි තැනට තල්ලු වීමද තවත් විශේෂ කාරණාවකි. චාල්ස්, විලියම්, ජෝර්ජ්, චාලට් සහ අලුත් සාමාජිකයා/සාමජිකාව දැන් ඔහුට ඉදිරියෙන් සිටිති. කෙසේ වෙතත් මෙම අලුත් අමුත්තා/ අමුත්තිය ගැන හැරී ද මහත් සතුටට පත්ව සිටින බව සඳහන් වෙයි.
අලුත් අමුත්තාගේ හෝ අමුත්තියගේ පැමිණීම ඔහු රජ කිරුළෙන් ඈත් කළද ඔහුගේ ආදරවන්තියට වඩාත් සමීප කරන කාරණයකි. හැරී සහ මෙගාන් මර්කල් නැමැති තරුණිය අතර ඇති ප්‍රේම සම්බන්ධය මේ වනවිට විශාල ආන්දෝලනයක් ඇති කර තිබෙන බව රහසක් නොවේ. එයට හේතුව මෙගාන් ඇමෙරිකානු ජාතික සාමාන්‍ය තරුණියක වීම සහ කලින් විවාහ වී සිටි කෙනෙකු වීමයි. හැරී කුමරු එවැනි කෙනෙකු විවාහ කර ගැනීම සම්බන්ධයෙන් රජ පවු‍ලේ කැමැත්ත හිමි වනු ඇත්ද යන්න පිලිබඳව  විවිධ අවිනිශ්චිතාවන් දක්නට ලැබිණි. නමුත් දැන් හැරී කුමරුට කලින් කිරුළ දැරීමට සුදුසුකම් ඇති අය පස් දෙනෙකු සිටින තත්ත්වය තුළ මෙය කලින් තරම් ලොකු ප්‍රශ්ණයක් නොවනු ඇති බව ඇතැම්හු පෙන්වා දෙති. එම නිසා ඒ අතින් ගත් විටද කේට් ගේ ගැබ්ගැනීම පිලිබඳ පුවත හැරී තුළ සතුටක් ඇති කරන්නක් වනු ඇත. 
මෙම මාසයේ පටන් විලියම්-කේට් දෙදෙනාගේ වැඩිමල් පුතු ජෝර්ජ් පාසැල් ගමන ඇරඹීමට සූදානම් වීමද රජ පවු‍ලේ තවත් විශේෂ සිද්ධියකි. ඔහු ඇතුළත් වීමට නියමිතව ඇත්තේ ලන්ඩනයේ ප්‍රාථමික පාසැලකට වන අතර එහි ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගිය දිනවල විශාල ආන්දෝලනයක්ද ඇති විය. ඊට හේතු වූයේ එක්තරා අසල්වැසි කාන්තාවක කිසිවෙකුගේ පරීක්ෂා කිරීමකින් තොරව පාසැලට ඇතුල් වී එහි අභ්‍යන්තයේ ඡායාරූප ගැනීමට සමත්ව තිබිම නිසාය. පාසැ‍ලේ ප්‍රධාන ගේට්ටුව මෙන්ම එහි ප්‍රධාන දොරටුවද විවර කර තිබූ බවත්, නිසි ආරක්ෂක විධිවිධාන නොතිබුණු බවත් මෙම කාන්තාව පසුව මාධ්‍ය වෙත පවසා තිබිණි. තමාට අවශ්‍ය වී නම් බෝම්බයක් වුවද රැගෙන යාමට හැකියාව තිබූ බවද ඇය පවසා තිබේ. 
මෙම සිදුවීමත් සමග රජ පවු‍ලේ කෙනෙකුට අධ්‍යාපනය ලබන්නට තරම් එහි ආරක්ෂාවක් තිබේද යන්න සම්බන්ධයෙන් ලොකු කතාබහක් ඇති විය. නමුත් බලධාරීන් පවසා තිබුණේ ජෝර්ජ් කුමරු පාසැලට පැමිණීමත් සමග විශේෂ ආරක්ෂක පියවර රැසක් ක්‍රියාත්මක වනු ඇති බවයි.
ජෝර්ජ්ගේ පළමු වසරේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රජ පවුල ස්ටර්ලිං පවුම් 17,600 ක මුදලක් ගෙවනු ඇති බව මාධ්‍ය අනාවරණය කර තිබේ. එය ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 35 කට ආසන්න ගණනකි. පාසැල පිහිටා ඇත්තේ විලියම්-කේට් යුවළ වාසය කරන කෙන්සින්ටන් මන්දිරයේ සිට සැතපුම් තුනහමාරක් පමණ දුරින් බවද සඳහන්ය.
 
කිත්සිරි මල්වත්ත
 
එක්වන්න අපගේ Facebook පිටුවට - www.facebook.com/lakbima.lk

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.