Coss Ear2
lakbima.lk
COSS Ear 1

කොටුව දුම්රියපොළ ඉදිරියේ පොලිස් ශාන්තිකර්මයක් (Video)

මේ කාලයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් නැති දවසක් සොයා ගත නොහැකි තරම්ය. එහෙත් ඊයේ (10) පස්වරු 4.00 ට පමණ එම උද්ඝෝෂණ සඳහා යොදා ගන්නා බිමෙහි ය‍කැදුරන් විසින් සිදුකරනු ලබන ශාන්තිකර්මයක් දැකිය හැකි විය.

මෙය උද්ඝෝෂකයන් පලවා හැරීම පිණිස කිසියම් පාර්ශවයක් විසින් සංවිධානය කරනු ලැබූ  විශේෂ ශාන්තිකර්මයක් ද යන්න විමසා බැලීමට එදෙසට හිස පෙවූ මට දැක ගත හැකි වූයේ එය වීදි නාට්‍යයක් බවය. එහෙත් එහි විශේෂත්වය වූයේ එම වීදි නාට්‍ය කොළඹ මධ්‍යම කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් විසින් ඉදිරිපත් කරනු ලැබීමය.

මේ පුවත දැනගත් සැණින් මම ඒ පිළිබඳ වැඩි විස්තර දැනගත හැක්කේ කාගෙන් දැයි එහි රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකුගෙන් ඇසීමි. එවිට ඔහු කීවේ එම ශාන්තිකර්මයේ ප්‍රධාන යකැදුරාගේ චරිතය රඟපාන නළුවාගෙන් ඒ පිළිබඳව කරුණු දැන ගත හැකි බවකි. එබැවින් අපි ගුරුන්නාන්සේ යනුවෙන් අමතා ඔහුගෙන් මේ පිළිබඳව විස්තර විමසුවෙමි.

ඒ ගුරුන්නාසේ කෙසෙල්වත්ත පොලිසියේ රථවාහන අංශයේ සැරයන් ජූඩ් දීපාල්ය. මෙම නාට්‍යයේ පිටපත, නිෂ්පාදනය සහ පුහුණු කිරීම් කටයුතු සිදු කර ඇත්තේ මේ 'සැරයන් ගුරුන්නාසේ' විසිනි.

දැනට අපේ රටේ පවතින මත්ද්‍රව්‍ය, ළමා අපචාර, කාන්තා හිංසනය, ඩෙංගු ව්‍යාප්තිය, මංකොල්ල කෑම්, ගැට කැපීම සහ මං පැහැරීම්, රථ වාහාන නීති ආදී කරුණු සම්බන්ධයෙන් මහජනතාව සුහදශීලිව දැනුවත් කරන්න කොළඹ මධ්‍යම කොට්ඨාශයේ පොලිස් නිලධාරීන්, නිලධාරිනියන් ගෙන් සමන්විත වීදි නාට්‍ය කණ්ඩායමක් බිහිකළා.

මෙහි දැනට සැරයන්වරු තුන් දෙනෙක්, කොස්තාපල්වරුන් හය දෙනෙක් සහ කොස්තාපල්වරියන් තුන් දෙනෙක් විවිධ චරිත රඟපානවා. මේ සියලු දෙනාම රංඟනය සම්බන්ධයෙන් මනා දක්ෂතාවයක් සහ පුහුණුවක් සහිත අයයි.

එම වීදි නාට්‍ය කණ්ඩායමේ පුහුණුකරු සැරයන් ජූඩ් දීපාල් මහතා කීය.

රඟපෑම සම්බන්ධයෙන් මා තුළත් යම් හැකියාවක්, උනන්දුවක් වගේම පුහුණුවක් තියෙන නිසා මම මේ නාට්‍ය කණ්ඩායමට යෝගී ව්‍යායාම, මානසික අභ්‍යාස සහ රංගන අභ්‍යාස සියල්ල ලබා දී ජනතාව වඩාත් ආකර්ෂණය වන ආකාරයේ නාට්‍ය පෙළක් කොළඹ මධ්‍යම පොලිස් කොට්ඨාශයේ විවිධ ස්ථාන වල රඟ දැක්වීමට කටයුතු කරනවා.

පොලිසිය සහ මහජනතාව අතර ඇති සබැඳියාව වඩාත් තහවුරු කරමින් වඩාත් සුහදශීලී පොලිස් සේවාවක් පවත්වාගෙන යාම සඳහා කොළඹ මධ්‍යම පොලිස් කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාලිය ද සිල්වා මහතාගේ මාර්ගෝපදේශනය සහ උපදේශකත්වය යටතේ අපි මේ කටයුත්තේ නිරතවන්නේ ඔහු වැඩිදුරටත් කීය.

ඒ කෙසේ හෝ  ඇගේ ලේ රත්වන උද්ඝෝෂණ සමඟ පොලිස් බැටන් පොලු, ජල ප්‍රහාර, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන කොටුව දුම්රියපොළ ඉදිරියේ ජනතාවගේ ගමන් වෙහෙස නිවමින් ඔවුන්ට විනෝදයක් සේම එදිනෙදා ජීවිතයට පැහැදිලි මඟපෙන්වීමක් කීරීමට මේ පොලිස් නිලදරුවන්ට, නිලධාරිනියන්ට  ඇති හැකියාව සුළු පටු නොවන බව මා හට වැටහීගියේ  පුරා අඩහෝරාවක් අප ඉදිරියේ රඟදුන් එම වීදි නාට්‍ය නරඹා හමාර වූ මොහොතේය.

සහන් සංකල්ප සිල්වා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.