Coss Ear2
lakbima.lk
COSS Ear 1

අපි ඩෙංගු මර්දනය කරන්නේ ‘වඳුරන් ගෙවල් හදනවා වගෙයි’

පසුගිය කාලය තුළ ශීඝ්‍රයෙන් පැතිර ගිය ඩෙංගු ව්‍යසන තත්ත්වය දැන් පහ වෙමින් පවතී.

එය සිදු වූයේ ඩෙංගු මදුරුවා මැඩ පැවැත්වීම සඳහා ගන්නා ලද ක්‍රියා මාර්ගයන් නිසාද නැතහොත් වැසි සහිත කාලගුණික තත්ත්වය පහ වී යාම නිසා ද යන්න ගැන සිතා බැලීම වැදගත්ය.

ඩෙංගු තත්ත්වය අඩුවීමට හේතුව පරිසරය වියළීම ය. අපේ රටේ ඩෙංගු රෝගය වැළැක්වීම සඳහා ක්‍රියා මාර්ග ගැනීම කෙරෙහි බලධාරීන් මෙන්ම මහජනතාවද යොමු වෙන්නේ ඩෙංගු බොහෝ සෙයින් ව්‍යාප්ත වී රෝහල් පිරී ඉතිරී සෑහෙන පිරිසක් මියගියාටත් පසුවය. මෙය විශාල අඩුපාඩුවකි.

අපේ රටේ ඩෙංගු මදුරුවන් ව්‍යාප්ත වන කාල සීමාවන් දෙකක් තිබේ. ඒ මෝසම් වැසි සමයයි. වසරේ ජුනි - ජූලි මාසවල එක් මෝසම් වැසි සමයක් පවතින අතර ඊළඟ මෝසම් වැසි සමය එළඹෙන්නේ නොවැම්බර් - දෙසැම්බර්  කාලයේදීය.

වර්ෂාව නිසා වතුර එකතු වන ස්ථානවල ඩෙංගු මදුරුවා බිත්තර දැමීම සිදුවෙයි. ඩෙංගු මෙලෙස ව්‍යාප්ත වූ පසු කළ යුතු ප්‍රතිකාර, පිළිපැදිය යුතු පිළිවෙත් සහ කසල ඉවත්  කිරීමත්, කානු, වැහිපීලි ආදිය පිරිසිදු කිරීමත් ගැන මිස ඩෙංගු ‍වැළැක්වීම සම්බන්ධ විද්‍යාත්මක කථිකාවක් අපේ රටේ තවමත් සිදු කෙරෙන්නේ නැත.

ඩෙංගු වැළැක්වීමට නම් ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්විය යුතුමය. මේ සඳහා ආකාර කිහිපයක් තිබේ.

පළමු සහ ප්‍රධාන ක්‍රියාමාර්ගය විය යුත්තේ මෝසම් සුළං ඇති වීමට පෙර, එනම් මෝසම් සුළං සමය ආසන්නයේ පරිසරය පිරිසිදු කිරීම ආරම්භ කිරීමයි. ‍මෝසම් සුළං ආසන්න කාලය කාලගුණ විද්‍යාඥයන් හට මාධ්‍ය හරහා දැනුවත් කිරීමේ හැකියාව ඇත. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොදුවේ මහජනතාව ක්‍රියාත්මක විය යුත්තේ මේ කාල සීමාවේදීය.

අපි ප්‍රධාන වශයෙන්ම ඩෙංගු රෝගය හඳුනාගැනීම, ඩෙංගු රක්තපාතය, ඩෙංගු පැතිරයාම, ප්‍රතිකාර පිළිබඳව මෙන්ම රෝහල් වල ඩෙංගු රෝගීන් සඳහා අලුතින් දැඩි සත්කාර ඒකක ඉදිකිරීම පිළිබඳව පවා සාකච්ඡා කරමු. මේ සියලුම දේ ඩෙංගු වැළඳීමෙන් පසු සිදුවන ඒවාය. නමුත් ඩෙංගු මදුරුවන් හට ගැනීම වැළැක්වීම සඳහා වන ක්‍රම ගැන ඊටත් වඩා කතා බහ කළ යුතුය.  එය සිදුවිය යුත්තේ ඉහතද කී පරිදි ‍මෝසම් වැසි සමය ආරම්භ වීමට පෙරය. ඒ අනුව අප දැන් ඩෙංගු මැඩළීමට ක්‍රියා කරනුයේ වඳුරන් ගෙවල් හදන ආකාරයට තරමක් සමාන ක්‍රමයකට බව කිව යුතුය.

දුම් ගැසීමද ඩෙංගු මදුරුවෝ පලවා හරින එක් ක්‍රමයකි. නමුත් මෙය තාවකාලික පිළියමකි.  මෙමගින් මදුරුවන් බෝවීම වැළැක්විය නොහැක. අනික්   අතට ඩෙංගු ව්‍යාප්තිය වළක්වා ලීම වෛද්‍යවරුන්ගේ කටයුත්තක්ද නොවේ. වෛද්‍ය විද්‍යාවේදී ප්‍රගුණ කරන්නේ රෝග පිළීබඳව හා ඊට කරනු ලබන ප්‍රතිකාරත්, රෝගවලින් බේරී සිටීමට ගත යුතු පිළිවෙත් පිළිබඳවත්ය. එනිසා මදුරුවන් බෝවීම වැළැක්වීම පිළිබඳව රජය කීට විද්‍යාඥයන්, පරිසර විද්‍යාඥයන්, පරපෝෂ විද්‍යාඥයන් මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පීන් වෙතින් ද උපදෙස් ලබා ගත යුතුය. මේ සියලු දෙනාගේ මෙන්ම කාලගුණ විද්‍යාඥයන් වෙතින්ද සැලසුම් කමිටුවක් පත් කිරීම වඩාත් ඵලදායී වෙයි. නමුත් මේ සාමූහික වගකීමෙන් වැඩිකොටස වෛද්‍යවරුන්ගේ කර මත පැටවීමෙන් අයහපතක් මිස යහපතක් සිදුනොවෙයි.

මදුරුවන් බෝවීම වළෑක්වීමට වෙනත් රටවල Larvicidal trap නමින් හඳුන්වන භාජන විශේෂයක් භාවිතා කෙරේ. මෙම භාජනයට අධිසීනි ද්‍රාවණයක් දමා මදුරුවන් බහුල ගස් ආශ්‍රිත ස්ථාන වැනි අඳුරු තැන්වල තැබිය යුතුය. මෙම භාජනයට මදුරුවන් ඇතුල් වී බිත්තර දමනු ඇත. එයට ඇතුල් වූ පසු මදුරුවන්ට මෙන්ම මදුරු කීටයන්ටවත් ආපසු යා හැකි නොවේ. මෙගා බෝතලයකින් වුවද මෙවැනි බඳුනක් සාදා ගැනීමට හැකියාව පවතියි.

සාමාන්‍යයෙන් එක ආසන්නයේ නිවෙස් කිහිපයකම ඩෙංගු රෝගීන් සිටියේ නම් ඒ ප්‍රදේශයේ මීටර් 200 ක් පමණ වපසරියක් තුළ ඩෙංගු මදුරුවන් සිටින බව කිව හැකිය. ඩෙංගු මදුරුවකුට පියාසර කළ හැක්කේ එවැනි දුර ප්‍රමාණයක් පමණකි. එවැනි ප්‍රදේශයක ස්ථාන කිහිපයක Larvicidal trap කිහිපයක් තැබිය හැකි නම් මදුරු ඝණත්වය අඩු කර ගත හැකිය. මෙය ලොව පිළිගත් මදුරු නාශක ක්‍රමයකි.

BTI බැක්ටිරියාව ද මදුරුවන් මර්දනය සඳහා යෙදිය හැකිය. පසුගිය කාලයේ අපේ රටේ බලධාරින් කියා සිටි පරිදි මේවා හෙලිකොප්ටර් මගින් පරිසරයට මුදා හැරීමට කරදර විය යුතු නැත.  බොහෝ රටවල මේවා කැට වශයෙන් නිෂ්පාදනය කරන අතර වෙළඳසල් වලින් පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට ද හැකියාව ඇත. මදුරු කොයිල් මිලදී ගන්නා අයුරින් මේවාද ජනතාව මිලදී ගැනීමට කටයුතු කරන්නේ නම් වතුර එකතුවන හැම ස්ථානයකම මේවා දැමීම තුළින් මදුරුවන් බෝවීම වළක්වා ගැනීමට හැකියාව ලැබේ.

මීට සමාන බැක්ටීරියා විශේෂයක් අපේ රටේ පේරාදෙණිය හා කැලණිය විශ්ව විද්‍යාල මගින් නිපදවා ඇත. මෙය වෙළඳපොළට නිකුත් කළ හැකි මට්ටමට රජයට අමතරව පෞද්ගලික අංශයටද සම්බන්ධ වී නිෂ්පාදනය කළ හැකි නම් මදුරුවන් බෝවීම වැළැක්වීම අපහසු නොවේ.

ජානමය වශයෙන් වෙනස් කරන ලද වඳ මදුරුවකු ඩෙංගු මදුරුවන් ගැවසෙන ප්‍රදේශවලට මුදා හැරීම තවත් ඵලදායි ක්‍රමයකි. මෙය බ්‍රසීලය වැනි රටවල සුලබව භාවිතා වේ.  මේ වඳ මදුරුවා මදුරු ගැහැනු සතුන් හා එක්වීම සිදු වුවත් එම මදුරුවන් ගෙන් ඊළඟ පරම්පරාවක් හට ගන්නේ නැත.

පාසල් නිල ඇඳුම වෙනස් කිරීම ද සමහර රටවල් වල දක්නට ලැබෙන ක්‍රමයකි. සාමාන්‍යයෙන් ඩෙංගු මදුරුවා බහුල උදය හා සවස් කාලයේය. එසේම මෙම මදුරුවා පියාසර කරන්නේ පහළ මට්ටමකය. එබැවින් පාසල් දරුවන්ට දිගු කලිසම් ඇඳීම අත් දිග කමිස ඇඳීම මගින් මදුරු දෂ්ටනයෙන් වැළකී සිටිය හැකිය. ගැහැනු ළමයින්ට කලිසම් ඇඳීමට ඉඩ දිය නොහැකි නම් සුදු ගවුමට යටින් ස්ටොකින්ස් නමැති දිගු මේස් විශේෂය භාවිතා කිරීමට ඉඩ සලසා දීම සුදුසුය. අඩුම තරමින් මදුරු වසංගතය පවතින කාලයටවත් මෙලෙස පාසල් නිල ඇදුම් වෙනස් කිරීමට පියවර ගැනීම සුදුසු වේ.

මෙවැනි ක්‍රම පොදුවේ හදුන්වන්නේ Integrated vector control ලෙසිනි. මදුරුවන් පලවා හරින්නට මෙම එක් ක්‍රමයක්  ප්‍රමාණවත් නැත. මේ ආකාරයට විවිධ ක්‍රම කිහිපයක්ම අනුගමනය කරන්නට සිදු වනු ඇත. නමුත් අවාසනාවන්ත තත්ත්වය වන්නේ මෙබඳු විධිමත් ක්‍රම වේදයක් අපේ රටේ ක්‍රියාත්මක නොවීමය.

මෙම කතාවෙන් කොටසක් සහිත වීඩි‍යෝව -:

ළමා රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

සැකසුම - ඉන්දු පෙරේරා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.