Coss Ear2
lakbima.lk
COSS Ear 1

සිංහල මාධ්‍යවල අපරාධ වාර්තාකරණයත් බිහිසුණුයි

එකම පවුලක කිහිප දෙනෙකු ඝාතනය කිරීම ඕනෑම ශිෂ්ඨ සම්පන්න සමාජයක් මගින් මහත් පිළිකුලින් යුතුව බැහැර කරන ක්‍රියාවකි. නමුත් එවැනි අතිශය ම්ලේච්ඡ සාහසික ක්‍රියාවන්ට ජාතික මට්ටමේ අගයක් වටිනාකමක් ලබාදීම එම බිහිසුණු සාපරාධී කාරියට‍ අනුරූප වන තවත් ම්ලේච්ඡ ක්‍රියාවකි.

නමුත් අප සමාජයේ කිනම් තැනක හෝ එවැනි කුරිරු ම්ලේච්ඡ සිදුවීමක් වූ  සැනින් මෙරට ජාතික යැයි කියාගන්නා පුවත්පත් මගින් එම කුරිරු ම්ලේච්ඡ අපරාධය ප්‍රධාන සිරස්තලය වශයෙන් හුවාදැක්වීම තවමත් නිරතුරුවම සිදුවන්නකි. ඕනෑම සමාජයකින් දුරින් දුරුකළ යුතු මෙබඳු කුරිරු ම්ලේච්ඡ ක්‍රියාවන් සඳහා කිනම් හෝ අයුරකින් ජාතික මට්ටමේ අගැයුමක් වැදගත්කමක් ලබාදීම සහ ජනසමාජය ඊට අනුගත වීම එම ජනසමාජයේ පවත්නා ආකල්පමය ම්ලේච්ඡ බව මැනවින් ප්‍රදර්ශනය කරන්නකි.

අපරාධ, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, දේපල ගිනිබීම්, මංකොල්ල කෑම් ඇතුළු සාපරාධී ක්‍රියාවන් සහ දිවිනසා ගැනීම් වාර්තාකරනයේ දී ඒ සම්බන්ධ විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කිරීම ‍ලොව පුරා බොහෝ ජනමාධ්‍යයන් හි දක්නට ලැබෙන දෙයකි.

අප රටේ වුව ඉංග්‍රීසි පුවත්පත් වලින් ද ඒ පිළිබඳ විනයක්, සංවරයක් සහ සංයමයක් ප්‍රකට කෙරේ. එහෙත් ඒ සම්බන්ධයෙන් අපරටේ සිංහල ජනමාධ්‍ය අදත් පසුවනුයේ අතිශයින් නොදුයුණු තත්ත්වයකය.

සමාජයෙන් දුරින්දුරු කළයුතු එබඳු සිදුවීම් සහ ක්‍රයාදාමයන් සම්බන්ධයෙන් සමාජය දැනුවත් විය යුත්තේ මන්ද? ඒ කුමනාකාරයෙන් ද යන්න පිළිබඳව ලෝකයේ දියුණු රටවල පොදු මාධ්‍ය කථිකාවක් ඇති වී තිබේ.  අපට ආසන්නතම රට වන ඉන්දියාවේ ද මෙම කථිකාව ප්‍රබල ලෙසින් ක්‍රියාත්මක වන බව පෙනේ. කිසියම් සිද්ධියක ඇති බිහිසුණු බව අනුව එය එලෙසින්ම ජනතාව හමුවේ ප්‍රචාරය  කිරීම  පිළිබඳව කිහිපවරක් සිතා බැලීම ලොව සම්භාවිත මාධ්‍ය කලාවේ; පුවත් ප්‍රචාරණයේ වැදගත්ම අංගයක් වී තිබේ. ඒ අනුව එවන් සිද්ධියක් වාර්තා කරනුයේ පළමුකොට එයින් ජනතාවට අත්කරගත හැකි සාධනීය ප්‍රතිඵල පිළිබඳව විමසා බැලීමෙන් අනතුරුවය. නමුත් විද්‍යා තාක්ෂණික අතින් මෙතරම් දියුණු තත්ත්වයකට පත්ව ඇති ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ පවත්නා මෙම අවිචාරශීලී බව පිළිබඳව මේ දක්වා ප්‍රබල සමාජ කතිකාවක්  හටගෙන නැත.

 කිසියම් මානසික රෝගියෙකු ; කාමෝන්මාදයකින් පෙළෙන කිසියම් පුද්ගලයෙකු විසින් එකම පවුලේ කාන්තාවන් කිහිපදෙනෙකු දූෂණය කළ හොත් ඒ කාන්තවශයෙන්ම එය අපරටේ ජාතික පුවත්පතක ප්‍රධාන සිරස්තලය බවට පත්වනු ඇත. එය අපගේ සිංහල මාධ්‍ය කරුවන් සිතන අන්දමට එය ජාතික වශයෙන් වැදගත් පුවතක් නිසා විය හැක. එසේ නැතිනම් එය හුදෙක් අප ජනසමාජයේ ලිංගිකත්වය, ප්‍රචන්ඩත්වය සහ භීතිය යන මූලික ආවේග කුළුගැන්වීම තුළින් එම ප්‍රවෘත්තියට වෙළඳ වටිනාකමක් ලබා දීමට ඇති හැකියාව ඒ මාධ්‍යකරුවා දන්නා නිසා වැය හැකිය.

එහෙත් එබඳු අපරාධ දිවිනසාගැනීම් පිළිබඳව ප්‍රවෘත්තීන් නිතර දෙවේලේ අසන සමාජය තුළ ඒ පිළිබඳව ඇති පිළිකුල,  ජුගුප්සාව සහ විරෝධය ශීඝ්‍රයෙන් අවප්‍රමාණ වීම වැලැක්විය නොහැක.

මුලදී එබඳු සිදුවීම් කෙරෙහි අතිශයින් සංවේදී වන ජනසමාජය පසුව එවන් සාපරාධී පුවත් කෙරෙහි විසංවේදී කරනය (Desensitization) නම් තත්ත්වයට පත්වීම සාමාන්‍ය දෙයකි. පියා විසින් තම දියණිය කෙලෙසූ පුවත් අතීත ජනසමාජයට එක්තරා අරුමයක් විය. එබැවින් ඒවා වරින් වර ජනමාධ්‍ය වලින් ද ප්‍රචාරය කෙ‍රිණ. නමුත් එබඳු පුවත් සඳහා පුවත් පතකින් වුව සැලකිය යුතු ඉඩ ප්‍රමාණයක් හිමිනොවනුයේ එවන් පුවත්වල හිඟතාවය නිසා නොවන බවත් එබඳු ප්‍රවෘත්තීන් සුලබ වීම මත පියා දියණිය කෙළෙසීම සාමාන්‍ය දෙයක් ලෙස පොදු ජනතාව තුළ ආකල්ප ගොඩනැගී ඇති නිසා බවත් මගේ ‍හිතවත් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙක් මා හා කීය.

ජනසමාජයක් වශයෙන් මෙය කෙතරම් බිහිසුණු තත්ත්වයක් දැයි අපම සිතා බැලිය යුතුය.

පසුගිය තිස්වසරක යුද සමයේ බිහිසුණු ප්‍රචණ්ඩ කාරී පුවත් මුළු මහත් සමාජය පුරා දෝරේ ගලන්නට විය. නමුත් යුද්ධය හමාරවීමත් සමඟ එවන් පුවත් හිඟයක් මතු වුවද එනිසාම එවන් පුවත් කෙරෙහි ඇති ජන අවධානය අඩුවූයේ නැත.

මේ තත්ත්වය මත කුමනාකාරයේ හෝ බිහිසුණු ප්‍රචණ්ඩ කාරී පුවතක් දුටු සැණින් එය පුවත්පත් සිරස්තලයෙහිම තබා එයට වෙළඳ වටිනාකමක් ලබාදීමට අපේ රටේ බොහෝ මාධ්‍යවේදීහූ කටයුතු කරති. එහෙත් ඒ තුළින් ඇතිවන බිහිසුණු, ම්ලේච්ඡ අපරාධ කෙරෙහි ඇති සංවේදීතාවය පොදු ජනමාජයෙන් ඉවත් වී රට පුරා අපරාධ සහ දිවිනසා ගැනීමේ ප්‍රවණතාවයක්  ඇති වීමට පවතින හැකියාව පිළිබඳ ඔවුන් සැලකිල්ලට ගන්නා බවක් නොපෙනේ. ඒ අනුව මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ සහ අපරාධ පිළිබඳ පුවත් කවර මාධ්‍යයකින් හෝ ජනතාව හමුවට ගෙන එන්නේ නම් එමගින් තම මාධ්‍යය ඊනියා ජනප්‍රිත්වයකට පත් කිරීමට වඩා ඉන් ජනසමාජයට ඇතිවිය හැකි සාධනීය බලපෑම පිළිබඳව මාධ්‍යකරුවන් සිතා බැලිය යුතුය. ඔවුන් එසේ ක්‍රියා නොකළහොත් රටෙහි පැතිරයන එම බිහිසුණු අපරාධ සහ දිවිනසා ගැනීම් රැල්ල සම්බන්ධයෙන් එම මාධ්‍යකරුවන් ද ‘සම වගඋත්තර කරුවන්’ ලෙස සමාජය විසින් හඳුනාගන්නා දිනය වැඩි ඈතක වීමට බැරි නැත.

මහාචාර්ය දයා අමරසේකර - සමාජවිද්‍යා අධ්‍යයන අංශය පේරාදෙනිය විශ්වවිද්‍යාලය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.