Coss Ear2
lakbima.lk
COSS Ear 1

සමහරු මට මඩ ගහන්න වචනයක් වරදිනතුරු බලා ඉන්නවා

“දෙරණ” නාලිකාවෙන් රටම හඳුනාගත් සහන් අබේසේකර දැන් අප හමුවට එන්නේ “සියත” රූපවාහිනී නාලිකාව තුළිිනි. ඔහුගේ වෘත්තීය දිවිය තුළ සේම පුද්ගලික දිවියේත් සිදූවූ පෙරැළි මේ වනවිට සහන්ගේ රසික පිරිසට රහසක් නොවේ. ඇතිවූ හැල හැප්පීම්වලින් අනතුරුව සහන්ගේ වර්තමාන දිවිය පිළිබඳව ඔහුගෙන් විමසන්නට අප සිතුවෙමු. වෘත්තීය ජීවිතය තුළත් පුද්ගලික ජීවිතයේත් අද දවස ගැන සහන් අප සමගින් හෘදයාංගම කථාබහකට මෙලෙසින් එක්විය .
 
සහන් දැන් අපිට දකින්නට ලැබෙන්නේ සියත නාලිකාව ඔස්සේ.. ?
ඔව් .. මම දැන් “සියත නාලිකාවේ” “විධායක නිෂ්පාදක” ලෙසින් කටයුතු කරනවා. ඒ අතරම මගේ පුරුදු රස්සාව, ඒ කියන්නේ නිවේදන කටයුතු කිරීමත් කරගෙන යනවා.
 
හිටි හැටියේ සිදුවූ ඔබේ ස්ථාන මාරුව ගැන විවිධාකාර මත පළවුණා.
මම “දෙරණ” නාලිකාවේ නිවේදකයෙක් විදියටයි කටයුතු කළේ.. දැන් මම නිවේදකයෙක් වගේම විධායක නිෂ්පාදක. මට වැඩි වටිනාකමක් ලැබුණු තැනට මම ගියා. 
 
වැඩි වටිනාකමක් කියන්නේ තනතුර සහ වැටුප වෙන්න ඇති .. 
නැහැ නැහැ .. මම මුදල මත හෝ තනතුරු මත වටිනාකම තක්සේරු කරන්නේ නැහැ.. මම වටිනාකම කිව්වේ පුළුල් පරාසයක ඉඳලා.. මට වැඩ කරන්න අපහසු තත්ත්වයක් තිබෙන තැනකට වඩා මාව අගයන ස්ථානයකට යන්නයි මම තීරණය කළේ ..
 
ඒ කියන්නේ “දෙරණ නාලිකාව” සමග අමනාපයෙන්ද ඔබ ඉන් පිටව ගියේ .. ?
කිසිසේත්ම නැහැ. මම මගේ මහගෙදර විදියට අදත් “දෙරණ”ට ගරු කරනවා.. මට නමක් ගොඩනැගුනේ ඒ තුළින්.  නාලිකාව සමග වගේම එහි සිටින පැරණි හිතවතුන් සමගත් මම අදත් ලෙන්ගතුයි. ඒත් කිහිප දෙනෙකුගේ ක්‍රියාවන් නිසා මට එම ස්ථානය එපාවුණා.. ඇත්ත තත්ත්වය ඒක.
 
ඔබේ විවාහ ජීවිතයේ අර්බුද ඊට බලපෑවාද .. ?
මම කිසිමදාක පෞද්ගලික ජීවිතයයි වෘත්තීය ජීවිතයයි එකට පටලවාගන්නේ නැහැ. ඒත් සමහර දේවල් මාධ්‍යයට ප්‍රකාශ කරන්න බැහැ..
 
එදා ඔබ තම පුද්ගලික අර්බුද පවා ප්‍රසිද්ධියේ මාධ්‍යයට පැවැසුවානේ. අද ඔය විදියට දෙගිඩියාවෙන් පිළිතුරු දෙන්නේ ඇයි .. ? 
මම නිදොස් නිසා අදත් මට මාධ්‍යය සමග ඒ දේවල් එදා විදියටම කථාකරන්න බැරි නැහැ. ඒත් යම් යම් නීතිමය හේතු මත මට සීමාවන් තියෙනවා. ඒ වගේම මට මඩ ගහන්න බලාගෙන ඉන්න පිරිසක් මට වචනයක් වරදින තුරු බලා ඉන්න බවත් මම දන්නවා.. අනික මම කවදාවත් කාටවත් වෛර කරන්න පන්න පන්නා පහර දෙන්න දඟලන කෙනෙක් ‍නෙවෙයි. මම දන්නවා අයහපත් දේ කරන අයට ඒ දේවල්වල විපාක එන බව. අද වනවිට සමහර අයගේ ජීවිතවල කඩාවැටීම් දැක්කම ඒ සත්‍යය ඔප්පු වෙනවා. ඒ හින්දයි මට මඩ ගසනවා පෙනි පෙනීත්  මම මේ විදියට නිහඬව සිටින්නේ. 
 
මඩ ප්‍රහාර එල්ලවන විට ඊට නිහඬව සිටීමෙන් එල්ලවන චෝදනා සත්‍යය බව මිනිසුන් හිතන්න ඉඩ තියෙනවා නේද .. ? 
මම ඒවා ප්‍රශ්න බවට පත් කරගන්නේ නැහැ.. 
 
සහන්ගේ ලිංගික ජීවිතයට පවා චෝදනා එල්ලවන විටත් ඔය විදියට නිහඬව සිටීම සුදුසුද .. ?
ඒ චෝදනා දැකලා ඇයි මම බයවෙන්නේ .. ඇයි මම කලබල වෙන්නේ .. මම නිදොස්නම් බයවෙන්නවත් කලබල වෙන්නවත් අවශ්‍ය නැහැ.. මගේ ලිංගික ජීවිතය මගේ හිටපු බිරිඳ දන්නවා. මට ඊට එහා ඕවාට උත්තර බඳින්න ඕන නැහැ.. බල්ලෙක් බිරුවාට කන්දක් පාත්වෙන්නේ නැහැනේ .. 
 
කොහොමද අද දවස .. ?
“වොයිස් ඔෆ් ඒෂියා” මාධ්‍ය ජාලයේ සභාපති “රොෂාන්ත කාරියප්පෙරුම” මහතා සහ “සියත” නාලිකාවේ වැඩසටහන් 
අධ්‍යක්ෂ කැළුම් පාලිත මහීරත්න මහතාව මම මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා. කැළුම් පාලිත මහීරත්න මහතා සමග කටයුතු කිරීම ජීවිතයට අත්දැකීම් ගොඩක් එකතු කරනවා. ඉස්සර මාව කපන්න පිරිසක් බලා හිටියාට දැන් මට උදව් කරන්න ගොඩක් අය ඉන්නවා. ජීවිතයේ හැම පැත්තක්ම වසරක් තුළ සාර්ථක වුණා. හරියටම පහුගිය අවුරුද්දේ මේ කාලයේ තමයි මගේ ජීවිතයේ අර්බුද මතුවුණේ මැයි 27 වැනිදා  පුතාගේ 4 වැනි උපන්දිනය උදාවුණා. එදා මම පුතාගේ උපන්දිනය වත්තල පෙගාසස් රීෆ් හෝටලයේදී ඉහළින්ම සැමරුවේ ඒ හින්දයි.
 
හැම අතින්ම ජීවිතය සම්පූර්ණ වෙන්න නම් ජීවිතයට ආදරය ලැබෙන්නත් ඕන නේද .. ?
ආදරයේ නම් අඩුවක් නැහැ.. මම තනිකඩ වුණා කියල දැන ගත්තට පස්සේ දැන් මට දිගට හරහට ආදර යෝජනා ගලාගෙන එනවා. මගේ වටිනාකම මටත් දැනෙන්නේ ඒ විදියට යෝජනා එන්න පටන්ගත්තට පස්සේ .. 
 
ඒ විදියට යෝජනා ගලාගෙන එද්දී සහන්ට එය කරදරයක් විදියට දැනෙනවාද නැත්නම් ආදර හැඟීම් හිතට එනවාද .. ?
හුදකලාව ජීවත්වෙන්න අපි කාටවත් බැහැ.. ජීවිතයට ආදරය අවශ්‍යයි. හැමදේම බෙදාගන්න කෙනෙක් ඕන. ඒක මනුෂ්‍ය ස්වභාවය. මමත් සාමාන්‍ය මනුෂ්‍යයෙක්... මටත් ආදරයක අවශ්‍යතාවය දැනුණේ නැත්නම් තමයි පුදුමේ ...
 
එහෙනම් දැන් සහන්ගේ හිතත් ආදරයක් ළඟ නැවතිලා.. 
දැනට නම්  මගේ ආදරය මගේ පුතා විතරයි .. 
 
ඉදිරියේදී ඒ ආදරය තවත් කෙනෙකුට බෙදිල යයිද .. ?
ඉදිරිය ගැන දැන්ම කියන්නේ කොහොමද .. ?
 
ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.