Coss Ear2
lakbima.lk
COSS Ear 1

බඩ වැඩි නිසා කැච් අතඇරලා ඔළුවේ අතගහගෙන ඉන්නවා

Drop Catch Dayasiri
ශ්‍රී ලංකාවේ තාමත් භාවිතා කරන්නේ 1960 ගණන්වල ව්‍යායාම බවත්, බඩට කරවන ව්‍යායාම තවමත් 75-80 කාලවල කළ ඒවා බවත් ව්‍යායාම ලෝකයේ සිදුවී තිබෙන වෙනස්කම් පුහුණුකරුවන් නොදන්නා බවත් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි.
ක්‍රීඩා ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ ක්‍රීඩා විද්‍යා ආයතනය මගින් පැවැත් වූ පාඨමාලා සාර්ථකව නිම කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උළෙලට එක්වෙමිනි.
“ක්‍රීඩා අභ්‍යාස සහ පුහුණුවීම් ක්‍රමවේද දවස ගාණේ වෙනස් වෙනවා. ලංකාවේ ඉහළම මට්ටමේ පුහුණුකරුවන් සිටින්නේ තුන් හතර දෙනයි. ඒ අය හැර වෙනත් කාටවත් මෙතන්ට එන්න හම්බවෙන්නෙත් නෑ. එන්න දෙන්නෙත් නෑ. ඒක තමයි ඇත්ත තත්ත්වය. දැන් අපි හිතන්න ඕන මේ තුන් හතර දෙනාගෙන් ලංකාවට අවශ්‍ය පුහුණු කිරීම් සිදුකරගන්නවාද නැත්නම් විවිධ ක්‍ෂේත්‍රවලින් තවත් පුහුණුකරුවන් ඇති කරගන්නවාද කියන එක.


ලංකාවේ ක්‍රීඩාව ඇද වැටීමට ඇති පළවෙනි හේතුව තමයි පුහුණුකරුගේ ඇති ආත්මාර්ථකාමීත්වය. දෙක පුහුණුකරුවන් ලෙස විශාල පිරිසකට මෙම ක්‍ෂේත්‍රයට ඒමට තිබෙන ඉඩ අහුරා තිබිම. තුන පුහුණුකරුවන් ලෙස ලැබිය යුතු පුහුණුව හා අධ්‍යාපනය නොමැතිව ක්‍රීඩකයන්ව පුහුණු කිරීම. ක්‍රීඩාවේ සිටි කෙනෙක් ලෙස මම දන්නවා තාමත් අපි භාවිතා කරන්නේ 1960 ගණන්වල භාවිතා කළ ක්‍රමවේදමයි. බඩට කරවන ව්‍යායාම තාමත් 1975, 80 කා‍ලේ කරපුවා” යැයි ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය


“ක්‍රිකට්වල නම් ජාතික කණ්ඩායමට පැමිණි පසුවයි ශක්ති වර්ධන ව්‍යායාම කරන්න මහන්සි වෙන්නේ. නමුත් එතකොට සම්පූර්ණ ශරීරය වෙනත් පැත්තකට හැරිලා ඉවරයි. ලංකා කණ්ඩායමට ඇවිල්ලා දිගටම ඒ අභ්‍යාස කරන විට සිදු වෙන්නේ 50 ගහන කොට කකුල අල්ලගෙන ඉඳගන්න සිද්ධ වෙන එක. 25ක් ගහන කොට දුවාගන්න බෑ. මෙච්චර කල් ක්‍රිකට්වල තිබුණා ක්‍රීඩකයෙක්ගේ කකු‍ලේ ආබාධයක් ඇති වුණාම ඒ වෙනුවට දුවන්න කෙනෙක් ගන්න පුළුවන්කම. දැන් ඒකත් නතර කරලා තියෙන්නේ. ඒක හොඳයි. මොකද 50 ගහනකල් දුවන්න බැරිනම් එයා ගෙදර යන්න ඕන. එහෙම ෆිට්නස් නැත්නම් ස්ට්‍රේන්ත් නැත්නම් ක්‍රීඩා කරලා වැඩක් නෑ” යැයි ඇමැතිවරයා පවසයි.
ජාතික කණ්ඩායමට ආවට පස්සේ ඉන්න පිටරට පුහුණුකරුවෝ කියනවා අ‍පෝ මෙයාව දුවවන්න එපා. මෙයා අපිට ඉන්න හොඳ ප්‍ලේයර් කෙනෙක් කියලා.  මෙයාගේ මාංශ පේශියක් ගියොත් සෙල්ලම් කරන්න බැරි වෙනවා  කියනවා. ඉතිං ක්‍රීඩා කරන විට පේනවා ටී ෂර්ට් එකට උඩින් බඩ ඇවිල්ලා තියෙනවා. ලංකාවේ තරම් කැත මිනිස්සු ටිකක් ක්‍රිකට් ක්‍රීඩා කරන වෙන රටක් නෑ. කිහිප දෙනයි එහෙම නැතුව ෆිට්නස් ස්ට්‍රේන්ත් එක්ක ඉන්නේ. මේක කිව්වට පස්සේ මට කට්ටිය බනින්න පුළුවන්. කෙනෙක් කියලා තිබුණා කැච් අත ඇරුණා කියලා මැච් පරදින්නේ නැහැ කියලා. කැච් අත ඇරුණ නිසා තමයි මැච් පැරදුණේ. කැච් එක ගන්න ළඟට යනකොට බඩ වැඩිනම් කැච් එක අල්ලන්න අත යන්නේ නැහැ. ඊට පස්සේ කැච් එක අතඇරලා ඔළුවේ අතගහගෙන ඉන්නවා. මේක තමයි සිද්ධ වෙන්නේ. නමුත් අපේ කණ්ඩායමේ සියලු දෙනාව බාබාලා වගේ තමයි හදන්නේ. මම ඒ නිසයි කිව්වේ මේ අයව හමුදා කඳවුරකට යවලා මාස 6ක් විතර පුහුණු කිරීම් කරවන්න ඕන කියලා. නැත්නම් මේක හරියන වැඩක් ‍නෙවෙයි. 50 ගහන කොට කකුල අල්ලගෙන බිම ඉඳගන්නවා” යැයි ඇමැතිවරයා පැවැසීය.

Drop2


“ලංකාවේ හොඳ පුහුණුකරුවෝ පිරිසක් හදාගන්න පුළුවන් නම් ලංකාවේ හොඳ ක්‍රීඩකයෝ ටිකක් හදාගන්න පුළුවන්. ලංකාවේ ක්‍රීඩකයෝ නැත්තේ ලංකාවේ හොඳ පුහුණුකරුවෝ නැති නිසා. අපි මේ වනකොට ලංකාවේ පාසල් 6440කින් දරුවෝ තෝරලා පාසල් 316ක් තුළ ඔවුන්ට පුහුණු කිරීමේ මූලික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා. 2028 දක්වා මේ පුහුණුවීම් සිදුවෙනවා. මම එනවිට පාසල් මට්ටමේ පුහුණුකරුවන් විශාල පිරිසක් සිටියා. අවුරුදු ගණනාවකින් කිසිම පුහුණුවක් නොලබපු. මම සජිත් ජයලාල් මහත්මයාට කිව්වා පළාතෙන් පළාතට ගොස් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයත් සමග සාකච්ඡා කරලා මේ අයට අලුත් පුහුණු ක්‍රමවේද කියා දීලා පුහුණු කිරීමේ වැඩපිළිවෙළක් පටන්ගන්න කියලා. එතකොට අපිට මෙතනින් ඉස්සරහට යන්න පුළුවන්.
මේ වන විට මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ පස්වන මට්ටමේ පුහුණුකරුවන් තුන් හතරදෙනයි සිටින්නේ. ඒ නිසා තමුන්නාන්සේලා අතරින් වැඩි පිරිසක් එතැනට යා යුතුයි. මෙය මෙතැනින් නතර වෙන දෙයක් ‍නෙවෙයි. අද චන්දික හතුරුසිංහට පුළුවන් වී තිබෙනවා බංග්ලාදේශයට ගිහින් බංග්ලාදේශ කණ්ඩායම ලොව හොඳ කණ්ඩායමක මට්ටමට ගෙන ඒමට. ඒ වගේම මතක තියා ගන්න තමන් ඔලිම්පික් ගියා, වර්ල්ඩ් කප් දිනුවා, එහෙම නැත්නම් ලෝකේ තියෙන හොඳම කණ්ඩායමේ ක්‍රීඩා කළා කියලා, නැත්නම් විකට් හාරසියයක්, අටසියයක් ගත්තා කියලා හොඳ පුහුණුකරුවෙක් වෙන්න බෑ. පුහුණුකරුවෙක් වෙන්න නම් ඔහු පුහුණුකරුවකු වීමට පුහුණු විය යුතුයි. චමින්ද වාස් කියන්නේ විකට් හාරසියයක් ගත්තු ලෝකේ ඉන්න හොඳම වේග පන්දු යවන්නෙක් ලෙස නම් දරපු ක්‍රීඩකයෙක්. මම ඔහුට කිව්වා පුහුණුකරුවෙකු ලෙස පුහුණුවන්න කියලා. අද චමින්ද වාස් ඉතාම දක්ෂ පුහුණුකරුවෙක් හැටියට විවිධ රටවල වැඩ කරන්නේ ඒ පුහුණුව ලබාගත් නිසයි. ඒ නිසා හිතන්න එපා තමන් ලොකු මෙඩ්ල් එකක් ගත්තා කියලා තමන්ට අනිත් අයව පුහුණුකරන්න පුළුවන් කියලා. එහෙම කරන්න බැහැ. එහෙම පදක්කම් නොගත් අය අද හොඳ පුහුණුකරුවන් වී තිබෙනවා. ඩේව් වට්මොර් ටෙස්ට් තරග 50ක් වත් ක්‍රීඩා කර නැහැ. නමුත් අද ඔහු ලොව සිටින දක්ෂ පුහුණුකරුවෙක්” යැයි ක්‍රීඩා ඇමැතිවරයා පවසයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.