Coss Ear2
lakbima.lk
COSS Ear 1

කොහිලවත්තේ ‘මළවුන්’ කැලණි ගඟේ ගසා ගෙන යයිද?

'කැලණි ගඟේ ඔරු යනවා බලා වරෙන්' ඒ පැරණි සොඳුරු ජන කවියකින් උපුටා ගැනුණු රසවත් පදයකි. එහෙත් 'කැලණි ගඟේ මිනි යනවා බලා වරෙන්' යනුවෙන් අසන්නට ලැබුණ හොත් ඉන් අපේ සිත් වලට නැගෙනුයේ කිසියම් ආකාරයක පිළිකුල් ජනක සහ බිය ජනක හැඟීමකි. නමුත් එය නුදුරේදී  සැබෑ වීමේ ලකුණු පහළ වී ඇති බව කැලණි ගඟ බඩ පිහිටි අංගොඩ කොහිලවත්තේ ගැමියෝ කියති.

කැලණි ගඟ පිටාර ගැලීම නිසා අංගොඩ කොහිලවත්ත හන්දියේදී පරණ අවිස්සාවේල්ල මාර්ගය සහ කොහිලවත්ත ‍පොදු සුසාන භූමිය මේ වන විටත් ගංවතුරට සෝදාගෙන  ගොස් ඇත.

අද වන විට කොළඹ තොටළඟ සිට අඹත‍ලේ  ඔස්සේ අවිස්සාවේල්ල දක්වා දිවෙන මාර්ගය සම්පූර්ණයෙන්ම කැලණි ගඟට බිලි වී ඇත.

මේ සිද්ධිය නිසා ‍පොලීසිය මෙම මාර්ගයේ ගමනාගමන කටයුතු නතර කොට තිබේ.

 කලින් මෙම මාර්ගය භාවිතා කළ අයෙකුට දැන් වැල්ලම්පිටියට හෝ කොළොන්නාවට ගොස් කොළඹට යාමට සිදු වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

කොළඹ සිට හෝ සේදවත්ත ප්‍රදේශයේ සිට අඹත‍ලේ දෙසට එන අයෙකුට වැල්ලම්පිටියට ගොස් අඹත‍ලේට හෝ කැලණි  විහාරය දෙසට පැමිණීමට සිදු වී ඇත.

මෙම ප්‍රදේශයේ ජනතාව මුහුණ දී ඇති ඊළඟ බරපතළම ප්‍රශ්නය වන්නේ කොහිලවත්ත සුසාන භූමියේ කොටසක් ගංවතුරට හසුවීම නිසා එහි භූමදානය කර තිබෙන මළ සිරුරු සහිත මිනී පෙට්ටි වල කොටස් උඩට මතු වී තිබිමයි. සුසාන භූමියේ ගංවතුරට හසුවී කඩාගෙන ගිය කොටසේ පස් අතරින් භූමදානය කළ මිනී පෙට්ටි වල ඉටි රෙදි සහ මෘත ශරීර වල ඇදුම් සහ ශරීර කොටස් ප්‍රදර්ශනය වීමට පටන් ගෙන ඇති බව ප්‍රදේශ වාසීහු කියති.

තවදුරටත් මෙම සුසාන භූමිය මෙලෙස ගංවතුරෙන් සෝදා පාළුවට ලක්වුවහොත් මළ සිරුරු කොටස් සහ මිනී පෙට්ටි කොටස් කැලණි ගඟේ ගසාගෙන යාමට ඉඩ ඇති බවද ප්‍රදේශ වාසීහු කියති. එබැවින් කොහිලවත්ත සුසාන භූමියේ භූමදානය කළ මළ සිරුරු කොටස් මීනි පෙට්ටි කොටස් සමඟ ගසා ගෙන යාමට පෙර ගංවතුරෙන් සෝදාපාළුවට ලක්වී ඇති මෙම සුසාන භූමිය සහ අඹත‍ලේ ඔස්සේ අවිස්සාවේල්ල දක්වා දිවෙන මාර්ගය පිළිසකර කර දෙන ලෙස ද  ප්‍රදේශවාසී ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. 

නමුත් ජීවත් වන්නවුන්ට තබා මහිදන් වූවෙකුට හෝ තම අවසන් නින්ද 'සුවසේ ' නිදා ගැනීමට ඉඩ නොමැති තත්වයක් උද්ගතව තිබියදීත් රජයේ කිසිම බලධාරියකු මෙම ස්ථාන පරීක්ෂාවට ලක්කළේ  නැති බවද ඔවුහු වැඩිදුරටත් පවසති.

ගම්පහ සුනිල් සිරි ලංකා / දෙල්ගොඩ සංජය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.