Coss Ear2
lakbima.lk
COSS Ear 1

අනාරක්ෂිත යතුරුපැදි ධාවනයකින් එලොව ගිය සෙහාරා

මෝටර් වාහන මිනිසාගේ ප්‍රයෝජනය සඳහා තනන ලද ඒවා බව පැහැදිලිය. වාහනය කෙතරම් කුඩා වුවත් එහි අප නොසිතන අන්දමේ ජව බලයක් තිබේ. එම ජව බලය මිනිසුන් ප්‍රවාහනයට සේම ඇතැම් විට මිනිස් ජීවිත විනාශ කිරීමට පවා යෙදවුණු අවස්ථා කොතෙකුත් තිබේ.

මෙහි විශේෂත්වය වනුයේ හුරුබුහුටි පෙනුමකින් සහ සිත්ගන්නා වර්ණයකින් යුතු කුඩා ස්කූටරයකට වුව මෙම හැකියාව තිබීමය.

කුඩා යතුරුපැදියකින් කුලියාපිටිය රත්මුලුකන්ද විහාරයට ගොස් ආපසු එමින් සිටි තරුණියක හා තරුණයෙකු ප්‍රපාතයකට ඇදවැටීමෙන් 17 හැවිරිදි පාසල් සිසුවියක වූ තරුණිය එම ස්ථානයේම මියගොස් ඇතැයි ‍පොලීසිය පවසයි.

පෙරේදා සවස (07) සිදුවූ එම අනතුරින් බරපතළ තුවාල ලද 18 හැවිරිදි තරුණයා කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූයේ මූණමල්දෙනිය දුනකෙයාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සෙහාරා ෂනක්ෂි සුසුවින්ධ්‍යා දිසානායක නමැති කුලියාපිටිය සුරදූත බාලිකා විදුහ‍ලේ 12 ශ්‍රේණියේ සිසුවියකි.

‍පොලීසිය පැවැසුවේ කුලියාපිටිය ගලහිටියාව ප්‍රදේශයේ අයකු වූ කොළඹ ජාතික රෝහලට යැවූ තරුණයාගේ තත්ත්වය ද බරපතළ බවයි.

යතුරුපැදිය තරුණිය විසින් පදවාගෙන පැමිණ මූණමල්දෙනිය ප්‍රදේශයේදී අදාළ තරුණයා ද නංවාගෙන රත්මුලුකන්ද ප්‍රදේශයට ගොස් ඇති අතර තරුණයාගේ මිතුරන් දෙදෙනකුද වෙනත් යතුරුපැදියකින් එම ගමනට  සහභාගී වී ඇත. නැවත ආපසු එන ගමනේදී ආරක්ෂක හිස්වැසුම් පවා නොපැළඳ පැමිණෙමින් සිටි තරුණයා සහ තරුණිය අධික බෑවුම් ප්‍රදේශයේදී මෝටර්සයිකලයේ වේගය පාලනය කරගත නොහැකිව සයිකලයද සමඟින් ප්‍රපාතයට පෙරැළි ඇත.

 පිටුපසින් පැමිණ ඇති මිතුරන් දෙදෙනා බොහෝදුරක් ගොස් එම දෙදෙනා නොමැති බව දැන නැවත එම කඳු ප්‍රදේශයට යනවිට අනතුරට පත් දෙදෙනා සහ මෝටර්සයිකලය දැක තිබේ. ප්‍රදේශවාසීන්ගේ සහයද සහිතව තුවාලකරුවන් කුලියාපිටිය රෝහලට රැගෙන ඒමට කටයුතු කළද තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.

වාහන පැදවීමේදී සහ පුහුණු වීමේදී ඉතා පරික්ෂාකාරීව නොකළහොත් එය බිහිසුණු විනාශයකට මුල් විය හැකි බවට මෙම ඛේදනීය සිද්ධිය කදිම නිදසුනකි.

පසුබිම් වාර්තාව ඊ. ඇම්. සෝමසිරි - කුලියාපිටිය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.