Coss Ear2
lakbima.lk
COSS Ear 1

පඬිවරුන් කොහොම කිව්වත් සිංහල දෙමළ අලුත් අවුරුදු වෙනස්!

සියවසක හමාරක පමණ සිට සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද යනුවෙන් හඳුන්වනු ලද මෙම උත්සවය 1984 වසරේ සිට රාජ්‍ය මට්ටමින් හඳුන්වනුයේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද යනුවෙනි.

එමෙන්ම මේ දිනවල විද්‍යුත් මාධ්‍ය වලින් මෙම අලුත් අවුරුද්දේ ගුණ රුව වනන මහාචාර්යවරුන්ගේ, ජ්‍යෙතිර්වේදීන්ගේ, නැට්ටුවන්ගේ සිට සුපිරි හෝටල් වල කෝකියන් දක්වා වූ ‍පිරිස් මෙය ‍සිංහල දෙමළ සියල්ලෝම එකට එක්ව සමරන උත්සවයක් බවට පුන පුනා කියති.

නමුත් අප එලෙන අසන, දකින දෙයට වඩා, එය පිටුපස අප නොදන්නා දෑ බොහොමයක් තිබේ.

අප රට පුරා දෙමළ ජනතාව විසිරී පැතිරී සිටියත් අපේ‍්‍රල් මාසයේ උදාවන අලුත් අවුරුද්ද උත්සවශ‍්‍රීයෙන් සමරන්නට පෙළඹෙන්නේ බොහෝ විට ශ‍්‍රී ලාංකීය දෙමළ බහුතරයක් වෙසෙන උතුරු පළාතේ ය. ඊට අමතරව කොළඹ වැනි ශ‍්‍රී ලාංකීය දෙමළ ජනතාව ද මෙය සමරති. ඉන්දීය සම්භවයක් සහිත වතුකරයේ දෙමළ ජනතාව මේ සම්බන්ධ විශේෂ උනන්දුවක් නොදක්වති.

අප රටේ සිංහල ජනතාව සමඟ දෙමළ ජනතාව ද එකම දිනයේ අලුත් අවුරුද්ද සමරනු ලැබුව ද හින්දු චාරිත‍්‍ර වාරිත‍්‍ර හා විශ්වාසයන් පිළිබඳ සලකා බැලීමේ දී පෙනී යන්නේ මෙය අපගේ අලුත් අවුරුදු උත්සවයට බොහෝ දුරට වෙනස් උත්සවයක් බව ය. අප රටින් බැහැර සමස්ත ලෝකය පුරා විසිරී සිටින දෙමළ ජනතාව මෙය සමරන ආකාරය අනුව එම වෙනස්කම තවත් පැහැදිලිව පෙනෙයි. අප රටේ සිංහල ජනතාවට අලුත් අවුරුදු දිනය සැමරිය යුතු දිනය නියම කරන්නේ ජාතික නැකැත් කමිටුව වුව ද ඉන්දියාවේ තමිල්නාඩුවේ සහ සෙසු රටවල සිටින දෙමළ ජනතාවට මෙය සැමරීම සඳහා නිශ්චිත දිනයක් පවතී. ඔවුන් එය සමරන්නේ අපේ‍්‍රල් 14 වැනිදා ය. ඒ අනුව අප රටේ දෙමළ ජනතාව ද මෙරට ජාතික නැකත් කමිටුවේ නියමයන් තුට්ටුවකටවත් මායිම් නොකරති.

දෙමළ බසින් අවුරුද්ද යන්න හැඳින්වෙනුයේ 'පුත්තාණ්ඩු' යනුවෙනි. මාර්තු මැද සිට අප්‍රේල් මැද දක්වා වන මාසය ඔවුන්ගේ මාස ක්‍රමයට අනුව හැඳින්වෙනුයේ 'චිත්‍රා' මාසය යනුවෙනි. එහෙයින් මෙය ඔවුහු 'චිතෛරෙයි පුත්තාණ්ඩු' හෙවත් 'චිතෛරෙයි වර්ෂම්' යනුවෙන්ද හඳුන්වති.

නිරයන ජ්‍යොතිෂ සිද්ධාන්තය අනුව වසන්ත විෂුවය උදාවන්නේ ග්‍රොගෝරියන් දින දර්ශනයේ අපේ‍්‍රල් 14 වැනිදා ආසන්නයේය. ජාත්‍යන්තර දෙමළ දින දර්ශනයේ හා තමිල්නාඩු දින දර්ශනයේ මෙය රජයේ නිවාඩු දිනයකි. නිවර්තන කලාපයට වසන්ත විෂුවය උදාවන කාල පරාසය වන්නේ මාර්තු 22 අවට සමයයි. මෙම දිනයට පෘථිවි අක්ෂයේ වූ අංශක 23ක දෝලනය එකතු කිරීමෙන් හින්දු ක‍්‍රමයට අනුව නිරයන මේෂ සංක‍්‍රාන්තිය ගණනය කරයි. එනම් සූර්යයා මීන රාශියේ සිට යළි මේෂ රාශියට සිදුවන සංක‍්‍රාන්තියයි. සිංහල අලුත් අවුරුද්දේ සිද්ධාන්තය ද මෙයම වුවත් වෙනස වන්නේ එය උදාවන දවස වසරින් වසර වෙනස් වීම ය. ඒ අනුව දැන් අපේ‍්‍රල් 14 වෙනිදාට යෙදෙන සිංහල අලුත් අවුරුද්ද තව නොබෝ කලකින් අපේ‍්‍රල් පහළොස් වන දා බවට පත්වනු ඇත. මෙලෙස වසර හැත්තෑ දෙකෙන් හැත්තෑ දෙකට සිංහල අලුත් අවුරුද්ද දවසින් දවස මැයි මාසය දෙසට තල්ලු වනු ඇත. එමෙන්ම ඒ යන ගමනේ දී තව වසර එක්දහස් දෙසීයකින් පමණ අපට වත්මන් සිංහල අලුත් අවුරුද්ද සොයා ගැනීමට සිදුවන්නේ මැයි මාසයෙනි.

සිංහලයන්ගේ සේම දෙමළ ජනතාවගේ සාම්ප‍්‍රදායික සූර්ය දින දර්ශනයේ මුල්ම මාසය වන 'චිත්‍රා' මාසය යෙදෙන්නේ මාර්තු මාසයේ අග සහ අපේ‍්‍රල් මාසයේ මුල කොටසේය. එබැවින් මෙම උත්සවය ඔවුහු මේෂ සංක්‍රාන්ති යනුවෙන්ද හඳුන්වති.  හින්දු ආගමේ දැක්වෙන පරිදි මහා බ‍්‍රහ්මයා විශ්වය මවා ඇත්තේ ද ‘සත්‍යයුග’ නම් වූ යුගය ආරම්භ වන්නේ ද 'චිත්‍රා' මාසයේ දී ය. මෙම මාසය දෙමළ බසින් ‘පුත්තන්ඩු’, ‘වරුද පයිරප්පු’ හෝ ‘චිත්තරයි තිරු-නාල්’ යන නමින් හඳුන්වනු ලබයි. ඉන්දියාවේ ඇසෑම්, බටහිර බෙංගාලය, කේරලය, මනිපූර්, මිථිලා, මඩිෂා, ත‍්‍රිපුර ආදී ප‍්‍රාන්තවල ද මෙම දිනයේ අලුත් අවුරුද්ද සැමරේ.

හින්දු ආගමික විශ්වාසයන්ට අනුව ලෝකය මැවූ බ‍්‍රහ්ම විසින් වසර දිවා රාත‍්‍රී දෙකොටසකට බෙදා තිබේ. ඒ අනුව සෑම වසරකම ජනවාරි 14 -17 අතර දිනයක යෙදෙන තෛපොංගල් ඔවුන්ගේ වාර්ෂික දහවලේ උදාව සැමරෙන දිනයයි. ඉන් මාස දහයකට පසු ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසයේ දිනයෙක එළැඹෙන දීපාවලී උළෙල එම වාර්ෂික රාත‍්‍රියේ ආරම්භක උත්සවයයි. පහන් වැට යන අරුත දෙන දීප+ආවලී යන වදනින්ම එය රාත‍්‍රිය හා සම්බන්ධ උත්සවයක් බව පැහැදිලි ය.

මෙසේ බ‍්‍රහ්මගේ ලෝක නිර්මාණය අනුව හින්දුන්ට මාස දහයක ආධ්‍යාත්මික දහවලක් සහ මාස තුනක ආධ්‍යාත්මික රාත‍්‍රියක් හිමිවෙයි.  එහෙත් ඔවුන් ‘චිත‍්‍රා’ මාසය පදනම් කරගත් මේ අලුත් අවුරුදු උත්සවය සමරනුයේ එම ආධ්‍යාත්මික දිවා රාත‍්‍රී භේදය අනුව නොවේ. බ‍්‍රහ්මයා විසින් ‘සත්‍ය යුග’ නම් නව යුගයක් උදාකිරීම මුල් කරගනිමිනි. දකුණු ඉන්දියාවේ ඇතැම් ප‍්‍රාන්තවල උදාගී, යුගාදී, සම්වත්සාරාදී ආදී නම් වලින් හැඳින්වෙන මෙය අපගේ සිංහල අලුත් අවුරුද්දට යම් තරමකට සමාන වුවත් මෙය සැමරෙනුයේ මාර්තු මාසයේ දෙවන අර්ධයේ හෝ අපේ‍්‍රල් මාසයේ මුල් අර්ධයේ ය.

ඒ කෙසේ හෝ අපේ‍්‍රල් 14 දාට යෙදෙන පුත්තාණ්ඩු අලුත් අවුරුදු උළෙල වෙනුවෙන් දකුණු ඉන්දියාවේ ඇතැම් ප‍්‍රාන්තවල පමණක් නිවාඩු දිනයක් ප‍්‍රකාශයට පත් කෙරේ. මෙම උළෙල වෛශාඛි, මේෂ සංක‍්‍රාන්ති ආදී නම් වලින් ද ඒ ඒ ප‍්‍රදේශබදව සැමරෙයි. ඉන්දීය මධ්‍යම රජය මගින් අපේ‍්‍රල් 14 දින නිවාඩුවක් ප‍්‍රකාශයට පත්කොට ඇති අතර ඒ ඉන්දීය මානව හිතවාදියකු වන බී. ආර්. අම්බෙඩ්කාර් තුමන්ගේ ජන්ම සංවත්සරය වෙනුවෙනි. ඒ හැර අලුත් අවුරුද්දක් මුල් කොට නොවේ.

දැන් අපි දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර සමහරක් දෙස යොමුවෙමු.

සිංහලයන් සහ දෙමළ ජාතිකයන් එකම අලුත් අවුරුද්දක් සමරන්නේ නම් එකම අලුත් අවුරුදු නැකැත් සීට්ටුවක් පිළිගත යුතුමය. එහෙත් අප රටේ සංස්කෘතික දෙපාර්තමේන්තුව මඟින් නිකුත්කරන අලුත් අවුරුදු නැකැත් සීට්ටුව දෙමළ ජාතිකයෝ පිළිනොගනිති. මෙවර ඔවුන්ගේ අවුරුද්දේ පුන්‍ය කාලය හෙවත් 'පුන්‍ය කාලම්' මුහුර්තිය යෙදෙනුයේ අප්‍රේල් 14 වෙනිදා පෙරවරු 06.00 සිට පස්වරු 12.27 දක්වා වන පැය 06 කුත් විනාඩි 21 වූ කාලයකට අදාලවය. එහෙත් අපේ රජය මඟින් නිකුත් කොට ඇති නැකැත් සීට්ටුවේ පුණ්‍ය කාලය යෙදී ඇත්තේ එදින අලුයම 01:49 සිට එදින පස්වරු 2:37දක්වාය. අප අනුගමනය නොකළද හින්දූන් තම පුන්‍යකාලයේ උච්ඡතම අවස්ථාවක් ද නම්කොට ඇති අතර ඔවුන් එය හඳුන්වනුයේ මහා පුන්‍යකාල මුහුර්තිය යනුවෙනි. එය අප්‍රේල් 14 පෙරවරු 08.03 සිට 08.51 දක්වා කාලය තුළ යෙදී තිබේ.

ජෝතිෂ්‍යයේ එන සූර්යා ‍මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීම රාත්‍රී කාලයක සිදුවුවද අප ‍රටේ සිංහල අවුරුදු නැකැත් එය අළලා සකස්කිරීම සාමාන්‍ය පිළිවෙතකි. එහෙත් එවැනි තත්ත්වයක් හමුවේ හින්දූහු එය ඊට පසුදිනට යොදා ගිනිති. ඒ හුදෙක් ඔවුන්ගේ 'පුත්තාණ්ඩු' නම් අවුරුද්ද දවසේ පෙරවරුව පදනම් කරගත් එකක් බැවිනි.

ඒ තත්ත්වය පසෙක තිබිය දී අපි දැන් දෙමළ අලුත් අවුරුදු චාරිත‍්‍ර සමහරක් වෙත යොමුවෙමු.

අලුත් අවුරුදු දිනයේ අලුයමින් අවදි වන දෙමළ පවුලක මාතාව පවුලේ සාමාජිකයන්ගේ දෑස් වසා සුබ දසුනක් ඇති ස්ථානයකට රැගෙන යාමේ චාරිත‍්‍රයක් ඇතැම් හින්දූන් අතරේ තිබේ. ඒ බොහෝ විට නිවසේ ඇති දේව ප‍්‍රතිමාවකි. ඊට අමතරව රන් ආභරණ, පලතුරු ආදිය ද එම මාතාව ඔවුනට පෙන්වන්නීය. කැඩපතකින් මුහුණ පෙන්වීමෙන් ද සෞභාග්‍යය උදාවන බව ඔවුන්ගේ විශ්වාසයයි.

හින්දු නිවෙස්වලට ඇතුළු වන දොරටුව අසල බිම කාන්තාවන් විසින් ‘කෝලම්’ හෝ ‘රන්ගෝලි’ නමින් හඳුන්වනු ලබන වර්ණවත් රටාවලින් අලංකාර කරනු ලබයි. මෙය අපගේ සිංහල අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමට සමාන ය. මෙම කෝලම් රටාවලට මැදින් ‘කුක්තු විලක්කු’ නම් පහනක් තබයි. ‘කන්නි’ නමින් හඳුන්වනු ලබන චාරිත‍්‍රයක් සිදුකිරීම ද මෙම දිනයේ දක්නට ලැබෙන්නකි. ‘කන්නි’ යන්නෙහි අරුත වන්නේ ‘සුබ දසුන’ වැන්නකි. ඔවුහු මේ අවස්ථාවේ දී රන් ආභරණ, පලතුරු, එළවළු, මල්, සහල් ආදිය දෙස බලති. එයින් සෞභාග්‍යය උදාවෙතැයි ද විශ්වාස කරති. ඉන්දියාවේ ඇතැම් ප‍්‍රාන්තවල නිවෙස් දොරටුවෙහි මල් පිපුණු කොහොඹ අත්තක් සහ ගෙඩි සහිත අඹ අත්තක් හොඳින් පෙනෙන සේ එල්ලා තිබෙනු දැකිය හැකි ය. ඒවායෙන් සංකේතවත් වන්නේ සෞභාග්‍යයයි. බොහෝ  දෙමළ ජනතාව අතර කොහොඹ අත්තට ලැබෙන්නේ සුවිශේෂත්වයකි. ආහාර තැබීමේ දී ඒ අසලින් කොහොඹ අතු තැබීම, නිවෙස් සැරසීම සඳහා ඒවා යොදාගැනීම ආදිය දක්නට ලැබේ. කොහොඹවල ඇති සුවිශේෂී ඖෂධ ගුණය මෙන්ම මෙහි ඇති තිත්ත බව අලුත් අවුරුද්ද සමඟ මුසුකර ගැනීම මගින් තම ජීවිත වෙත එල්ල වන අභියෝගයන්ට මුහුණ දීමට පන්නරයක් හා ශක්තියක් ලැබෙතැයි දෙමළ ජනතාව අපේක්ෂා කරති.

හින්දූන් අලුත් අවුරුදු දිනයේ දී ලක්ෂ්මී දෙවඟනට සහ ගණ දෙවියන්ට විශේෂයෙන් වැඳුම් පිදුම් කරති.

ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාව අලුත් අවුරුද්දේ ‘කාසි-විශේෂම්’ යනුවෙන් හඳුන්වන ගනුදෙනුවක් සිදුකරනු ලබයි. මෙය බොහෝ විට සිදු කෙරෙන්නේ අවිවාහක තරුණ තරුණියන්, විශේෂයෙන් කුඩා දරුවන් සමඟ ය. එයින් බලාපොරොත්තු වන්නේ වාසනාවන්ත බවයි. මෙයද සිංහල අලුත් අවුරුද්දේ ගනුදෙනු කිරීමට යම් සබැඳියාවක් දක්වයි. එමෙන්ම නව කෘෂිකාර්මික වසරක් ඇරඹීම සංකේතවත් කිරීම සඳහා පස්පිඩැල්ලක් කැපීම සිදු කරයි. මෙය ‘ආර්පිඩු’ නමින් හැඳින්වේ. මෙය අපගේ සිංහල අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමට සමාන ය.

දෙමළ අලුත් අවුරුදු ආහාර වේල මුළුමනින්ම නිර්මාංශ ආහාරයක් වේ.  නමුුදු ඒ සඳහා ඔවුහු හරි හරියට කිරි මුසු කරගනිති. මේ සියළු කටයුතු සඳහා ඔවුහු කෝවිල් වල පූජකවරුන්ගෙන් මාර්ගෝපදේශකත්වයක් සහ අනුශාසකත්වයක් ලබා ගනිති.

එමෙන්ම දෙමළ ජනතාව ඖෂධ මිශ‍්‍ර ‘මරුති-නියර්’ නමින් හැඳින්වෙන ස්නානයක් සිදු කරයි. එයින් සෞඛ්‍ය සම්පන්න බව බලාපොරොත්තු වේ. මෙය අපගේ සිංහල අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත‍්‍රයට සමාන ය

නමුත් අප හා ඔවුන් අතර පවත්නා මෙම අවුරුදු සැමරුම්වල ප‍්‍රධාන වෙනසක් ද තිබේ. එනම් ඔවුන් අපගේ සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව පිළිනොගැනීම සහ අප දින කිහිපයක් තුළ ඉටු කරන අලුත් අවුරුදු චාරිත‍්‍ර ඔවුන් එක් දිනයක් තුළ ඉටු කොට නිමා කිරීම ය.

සිංහල අවුරුදු චාරිත්‍ර,



දෙමළ අවුරුදු චාර්ත්‍ර,





තිලක් සේනාසිංහ

 

 

Comments  

+1 #1 සපුමල් 2018-04-12 03:20
අප්‍රේල් 14 අවුරුද්ද සමරන අනෙකුත් ප්‍රදේෂ නම් බංගලිදේශය​, ඉරානය සහ වයඹදිග ඉන් දියාවයි.
Quote
+1 #2 සංජීව 2018-04-16 11:04
මෙවා කියවලා තම දැනුම වර්ධනය කරගන් වැරදි නිවැරදි කරගන්නා අය ඇත්තෙේ ඉතාම සුළු ිපිරිසකි ඹළුව උදුමිමාගත් කටමැද දෙොඩවන කාඅචිචිඥඥාන
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1086

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2201

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2701

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1103

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2797

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2085

Please publish modules in offcanvas position.