Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඉස්සර කා‍ලේ වගේ ගොන් කරත්ත තිබ්බා නම් කොයි තරම් වටිනවද කියලා දැන් හිතෙනවා. එහෙනම් අද අපි හම්බ කරන සොච්චම් මුදල ත්‍රීවීල් වලට යට වෙන්නේ නැහැනේ

මහ මඟදී හමු වූ මගියෙක්

පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් වැඩි වුණා. මොකද අපි වතුර ගහලා දුවන්නද? අපිත් කරන්නේ රස්සාවක්නේ. රුපියල් 10කින් හරි ගාන වැඩි කළේ නැත්නම් කොහොමද අද අපේ දරු පවුල් රකින්නේ

මහ මඟදී හමු වූ ත්‍රිරෝද රථ රියැදුරෙක්

මේ දිනවල ත්‍රිරෝද රථ මගියා හා ත්‍රිරෝද රථ රියැදුරන් අතර මෙබඳු කතා බහුලව සිදුවේ.
පසුගිය 10 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 117 සිට රුපියල් 137 දක්වා රුපියල් 20 කින් ඉහළ ගියේය. ඒ සමගින්ම බොහෝ ත්‍රිරෝද රථ සංගම් පළවෙනි කිලෝ මීටරයකට ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 10 කින් ඉහළ නැංවීය. කිසිදු ත්‍රිරෝද රථ සංගමයකට අයත් නොවන ත්‍රිරෝද රථ රියැදුරන්ද හිතූ හිතූ ආකාරයට මගියාගෙන් මුදල් අය කරන්නට ගත්තේය.
වෙනදා මෙතනට එන්න ගන්නේ රුපියල් 100 යි නේ. මොකද අද 130ක් ගත්තේ මගියා විමසූ විට ත්‍රිරෝද රථ රියැදුරාත් මගියාගේ ඇඟට කඩා පැන්නේය.
ඇයි දන්නේ නැද්ද පෙට්‍රල් මිල වැඩි කළා කියලා. මේ ගත්ත ගාණත් මදි බොහෝ විට ලැබුණේ එබඳු පිළිතුරුය. පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් කීයක් දුවන්න පුළුවන්ද? එහෙම බැලුවාම ඔය විදියට රුපියල් 10කින් හරි ගාන වැඩි කරපු එක අසාධාරණයි නේද? ඇතැම් මගියන් එසේ විමසුවත් බොහෝ මගීහු කට පියාගෙන ආණ්ඩුවට දෙස් දෙවොල් තියන්නට ගත්තේය
මතු වූ මේ අර්බුදය ගැන අපි වගකිව යුත්තන්ගෙන් හා ත්‍රිරෝද රථ සංගම් හී අදහස මෙසේ විමසා සිටියෙමු.
සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ අපි 2012 තමයි රුපියල් 50ට පළවෙනි කිලෝමීටරය තීන්දු කළේ. මේ අවුරුදු හය තුළම ත්‍රිරෝද රථවල ගාස්තු සංශෝධනයක් කරලා නැහැ. නමුත් පෙටේ‍රා්ලියම් එකෙන් රුපියල් 20 වැඩි කරපු වේලාවේ මම තමයි කිව්වේ පළවෙනි කිලෝමීටරේට පමණක් රුපියල් 10කින් වැඩි කරනවා කියලා සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර එසේ කියමින් කතාව පටන් ගත්තේය.
මේ ආකාරයට ත්‍රිරෝද රථ ගාස්තු වැඩි කිරීම සාධාරණද යන ප්‍රශ්නයට ලලිත් ධර්මසේකර පිළිතුරු දුන්නේ මේ විදියටය.
අපි කියන්නේ අවුරුදු ගණනාවක් එකම මි‍ලේ තිබ්බ ත්‍රිරේද රථ ගාස්තුව පළමු කිලෝමීටරයට විතරක් රුපියල් දහයකින් වැඩි කිරීම සර්ව සාධාරණයි කියලයි
කෙසේ නමුත් ඉන්ධන මිල වැඩි කිරීමට රජය තීරණ කළ මොහොතේ පටන් සියලු රියැදුරන් තමන්ගේ ත්‍රීවීල් ගාස්තුව වැඩි කළත් ඉන්ධන මිල අඩු වූ කිසිවිටක ත්‍රීවීල් ගාස්තු අඩු කිරීමට ත්‍රිරෝද රථ රියැදුරන් පෙළඹෙන්නේ නැත්තේ ඇයි? බොහෝ දෙනා නගන මේ චෝදනාවට සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මෙලෙස පිළිතුරු දුන්නේය.
ජනතාව අපහසුතාවයට පත්වන කිසිම තීරණයක් අපි අරගෙන නැහැ. යම් මිලක් රඳවාගෙන යන්න පුළුවන් නම් පැහැදිලිවම අපි ඉන්නේ ඒ මිලත් එක්කයි. ඉන්ධන මිල ඉහළ යෑමට ‍නෙවෙයි පළවෙනි කිලෝමීටරයට රුපියල් 10 දහයකින් මිල වැඩි කරන්න හේතුව. අද රටේ ආ්ථිකයේ උද්දමනය ශීඝ්‍ර ලෙස වැඩිවෙලා ජීවත්වීම අපහසු වෙලා. ඉතින් රියැදුරා දුෂ්කරතාවයකට පත්වෙලා ඉන්න කාලෙක තමයි පෙට්‍රල් මිල ඉහළ ගියේය. කිලෝමීටර් 20ක් ගියත් මගියකුට වැඩිවෙන්නේ රුපියල් දහයයි. ඒක මගියකුට දරාගන්න බැරිකමක් නැහැ. ත්‍රිරෝද රථ රියැදුරාගේ මානසික මට්ටම පහළ වැටිලා තියෙන කා‍ලේක ඔවුන්ගේ වෘත්තීය කැමැත්තෙන් කරන්න ඕන කියන අදහස වෙනුවෙන් තමයි අපි රුපියල් දහය වැඩි කළේ කෙසේ නමුත් දෙවැනි කිලෝමීටරයේ සිටද ගාස්තු වැඩි කළ යුතු බව කියන ත්‍රිරෝද රථ සංගමයක්ද අපේ රටේ ඇත්තේය. ඒ සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයයි. එහි සභාපති සුනිල් ජයවර්ධන තම සංගමයේ මතය පිළිබඳව මෙලෙස කරුණු පෙන්වා දුන්නේය.
අපි ජනාධිපතිතුමාට ලිපියක් ලබාදුන්නා. තෙල් සහනාධාරයක් අපට ලබාදෙන්න කියලා. පළමු කිලෝමීටරය වැඩිවීමක් වෙලා තියෙනවා. නමුත් ඒක නෙමේ අවශ්‍යතාවය දෙවැනි කිලෝමීටරයද රුපියල් 5කින් හෝ 10කින් වැඩි වෙන්න ඕනේ. එතකොට තමයි අපිට අපේ ආර්ථික ප්‍රශ්නේ විසඳන්න පුළුවන් වෙන්නේ. රජයට පුළුවන් වෙන්න ඕනේ ත්‍රිරෝද රථ වෘත්තීය යාන්ත්‍රණයකට ලක් කරලා මගියාවත් වෘත්තිකයාවත් ආරක්ෂා කරන වැඩපිළිවෙළකට යන්න
එක් එක් පාර්ශ්වයන්ගෙන් මෙසේ අදහස් මතුවෙද්දී මගී ප්‍රවාහන අවශ්‍යතා සපුරන ජනප්‍රිය ආයතන කිහිපයකද අපි අදහස් විමසා සිටියෙමු.
ආයතනයක් හැටියට ත්‍රීවීල් මහත්වරුන්ට පාඩුවක් වෙන්න බැහැ කියන තැනයි අපි ඉන්නේ. ඒ නිසාම රියැදුරා පිළිබඳව සලකා බලලා පළමු කිලෝමීටරයට රුපියල් දහයක් අපිත් ඉදිරියේදී වැඩි කරන්න පුළුවන්. කැන්ගරු කැබ් පෞද්ගලික සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ තුෂාර ෆොන්සේකා එසේ කීවේය.
බජට් කැබ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කැළුම් ජයසුමන කියා සිටියේ තවමත් තමන්ගේ ත්‍රිරෝද රථ ගාස්තු වැඩිකර නොමැති බවය.
සාමාන්‍ය කිලෝමීටරයකට පෙට්‍රල් වලට යන්නේ රුපියල් 5ක් වගේ මුදලක්. ඒ නිසා රුපියල් 5ක් වැඩි කිරීම නම් සාධාරණයි. නමුත් රුපියල් 10ක් වැඩි කිරීමට අපේ එකඟතාවයක් නැහැ කැළුම් ජයසුමන මහතා එසේද කීවේය.
කෙසේ වුවත් ත්‍රිරෝද රථ ගාස්තු වැඩි කිරීම මගියාට දරාගත නොහැකි බව නම් සැබෑය. මන්දයත් ත්‍රිරෝද රථයෙන් සිය ප්‍රවාහන අවශ්‍යතා සපයා ගන්නේ ත්‍රිරෝද රථ හිමිකරුවන් හා සමානම තවත් දුප්පතුන් පිරිසක් වීම නිසාය.
සල්ලි යහමින් ඇති රෝද හතරෙන් යන ධනපති පන්තියේ උදවියට මේ කිසිදු ප්‍රශ්නයක් නැත.

සමන්මලී නැලිගම

Page 1 of 535

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.