Coss Ear2
lakbima.lk
COSS Ear 1

පිරවූ ගෝවා

අවශ්‍ය ද්‍රව්‍ය
හොඳින් මේරූ ලොකු ගෝවා කොළ 15ක්, අඹරාගත් කුකුල් මස් ග්‍රෑම් 500, කුඩා කොටු කපාගත් කැරට්, බෝංචි අහුරක්, තම්බාගත් ග්‍රීන්පීස් අහුරක්, රසට අනුව ලුණු, බිත්තරයක්, බේලීව්ස් කොළ 2-3ක්
තක්කාලි ගෙඩි 5ක්, ලොකුලූනු ගෙඩියක්, ඔරිගානෝ ස්වල්පයක්
ඔලිව් තෙල් මේස හැඳි 2ක්
ටොමැටෝ පේස්ට් මේස හැඳි 2ක් ගම්මිරිස් කුඩු රසට අනුව

සාදන ආකාරය
ගෝවා කොළ හොඳින් සෝදා නටන වතුරට දමා විනාඩි දෙකක් තබා හොඳින් දිය බේරාගන්න. දැන් භාජනයක් ගෙන එයට අඹරාගත් කුකුල් මස් ටික දමන්න. එයට කපාගත් කැරට්, බෝංචි, ග්‍රීන්පීස් සහ ලුණු, ගම්මිරිස්, බිත්තරයේ කහමදය දමා හොඳින් අනාගන්න. දැන් මේ කුකුල් මස් මිශ්‍රණයෙන් ටිකක් ගෙන ගෝවා කොළය මැද තබා හොඳින් ඔතා ගන්න. දැන් තක්කාලි උණු වතුරට දමා විනාඩියකින් පිටතට ගෙන එහි පිටත සිවිය ගලවා ගන්න. දැන් එය වතුර ස්වල්පයක් දමා බ්ලෙන්ඩර් කර ගන්න. ලූනු ගෙඩිය කුඩාවට කපාගන්න. ඔලිව් තෙල් ටික ළිප තබා රත්වන විට කපාගත් ලූනු දමන්න. දැන් ඔරිගානෝ බේලීව්ස් දමන්න. ඉන්පසු සාදාගත් තක්කාලි සාරය දමන්න. දැන් එයට තක්කාලි පේස්ට්, ලුණු එකතු කරන්න. අනතුරුව කලින් ඔතා සාදාගත් ගෝවා කොල කුඩා සැකසුම් එහි බස්සවා මදගින්දරේ විනාඩි 30ක් පමණ පිසගන්න.

ගෝවා මල් චීස් සමග

අවශ්‍ය ද්‍රව්‍ය
ගෝවා මල් ග්‍රෑම් 500, මොසරැල්ලා චීස් ග්‍රෑම් 200
බටර් ටිකක්, ලුණු රසට අනුව

සාදන ආකාරය
ගෝවා මල් තරමක කැබැලි ලෙස ගලවා ගන්න. දැන් ඒවා ලුණු මිශ්‍ර වතුරේ හොඳින් සෝදා ලුණු මිශ්‍ර නටන වතුරවලට දමා විනාඩි 2ක් තබා එළියට ගෙන දිය බේරා ගන්න. දැන් බටර් ගා සකස් කළ තැටියක මේ ගෝවා මල් කැබැලි තට්ටුවක් ලෙස අඩුක් කර ගන්න. සිහින්ව ගා ගත් මොසරැල්ලා චීස් මේවා උඩින් ඉස විනාඩි කීපයක් බේක් කරගන්න. උණුවෙන්ම කෑමට ගන්න.

බ්‍රොකලි සුප්

අවශ්‍ය ද්‍රව්‍ය
බ්‍රොකලි ග්‍රෑම් 500, බටර් ග්‍රෑම් 75
පාන්පිටි ග්‍රෑම් 100, ලුණු රසට අනුව, කිරි ලීටර් 1 යි

සාදන ආකාරය
බ්‍රොකලි සෝදා කුඩාවට කපා ගන්න. දැන් බටර් ළිප තබා රත්වන විට පාන්පිටි දමන්න. බැදෙන්නට හරින්න. දැන් බ්‍රොකලි ලුණු එකතු කර වතුර ටිකක් දමා තැම්බෙන්නට හරින්න. තැම්බිගෙන එන විට ළිපෙන් බා නිවෙන්නට හැර හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. දැන් එය ළිප තබා නටවා ගන්න. නටන විට කිරි ද එකතු කර හොඳින් කලවම් කර උණුවෙන්ම බිමට ගන්න. එහි උකුගතිය වැඩිනම් අවශ්‍ය තරමට වතුර එකතු කර සකසා ගත හැක.

ගෝවා ඉස්ටුව

අවශ්‍ය ද්‍රව්‍ය
ළපටි ගෝවා තරමක ගෙඩියක්
රතුලූනු අහුරක්, අමුමිරිස් කරල් 2ක්, අබ ඇට තේ හැඳි 1/2, රම්පේ කැබැල්ලක්, කහ කුඩු ස්වල්පයක්, තෙල් ටිකක්
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
මිටිකිරි අඬු කෝප්ප 1

සාදන ආකාරය
ගෝවා ගෙඩිය සෝදා ඉතා සිහින් කෙඳි ලෙස කපා ගන්න. දැන් එයට රතුලූනු, අමුමිරිස් කපා දමන්න. ලුණු, ගම්මිරිස් එකතු කර හොඳින් අනා පසෙකින් තබන්න.
දැන් තෙල් ටික ළිප තබා රත්වන විට රම්පේ කැබැල්ල, අබ ඇට ටික සහ ගෝවා මිශ්‍රණය දමා තෙලෙන් තැම්බෙන්නට හරින්න. තැම්බිගෙන එන විට මිටිකිරි දමා සිඳුවා ගන්න.

උපදෙස් ප්‍රවීණ සූපවේදී
විමල් නාගොඩවිතාන

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.