lakbima.lk

දරුවා ඉගෙනීමේ දක්ෂයකු කරන්නට නම් යකඩ සපිරි ආහාර දෙන්න

කුඩා දරුවන්ගේ ශාරීරික මානසික දුබලතා රාශියකට හේතුවන ක්ෂුද්‍ර ‍පෝෂක හීනතා අතුරින් ඉතාම සුලභව සමාජයේ හමුවන යකඩ ඌනතාවය (Iron Deficiency) ගැන දෑ අපි සාකච්ඡා කරමු. ඉතාම කුඩා දරුවන් අතර මෙය ඉතාම සුලභය. සමහර ළමා කාණ්ඩ අතර දරුවන් තිදෙනකුගෙන් එක් අයෙකු යකඩ ඌනතාවයෙන් පෙළෙන බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි. පෙර පාසල් යාමට පෙර වයස්වල පසුවන දරුවන් අතර යකඩ ඌනතාවය 40ක් පමණ වන බව වාර්තාවී තිබේ. සැබවින්ම මේ යකඩ ඌනතාවය දරුවන්ට උරුම වන්නේ අම්මලාගෙන් වීම තවත් කනගාටුදායක කරුණකි. ගර්භණී සමයේ ප්‍රමාණවත් පමණ යකඩ තම ආහාර වේල් වලට එකතු කර නොගන්නා අම්මලා තම කිරිකැටියන්ටද එය දායාද කරයි. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන ආකාරයට අපේ ගර්භණී වන අම්මලාගෙන් 50ක් පමණ යකඩ ඌනතාවයෙන් පෙළෙයි. ගැටලුවේ බරපතළකම මේ සංඛ්‍යා‍ලේඛන හරහාම තේරුම් ගත හැකිය. 
යකඩ ඌනතාවය යනු සුළුවෙන් තැකිය යුතු හේතුවක් නම් නොවේ විසල් රෝග ලක්ෂණ පිටතට පෙන්නුම් නොකළද, දරුවන්ගේ කායික මානසික වෙනස්කම් රැසකට මෙය හේතුවෙයි. විශේෂයෙන්ම දරුවාගේ වැඩීම අඩපණ කිරීමට ඉගෙනීමේ හැකියාව අඩාල කිරීමට පරිවෘත්තීය ක්‍රියා නිසි පරිදි සිදුනොවීමට මානසික හැඟීම් උද්දීපනය අඩාල කිරීමට යකඩ හිඟකම හේතුවකි. යකඩ අඩුවීම නිසා රුධිරයේ රතු ෙසෙල නිපදවීම අඩුවෙයි. එනම් හිමොග්ලොබින් ප්‍රතිශතය පහළ බසී. මුළු ශරීරය පුරාම ඔක්සිජන් රැගෙන යමින් අතිවිශාල කාර්යභාරයක් මේ හිමොග්ලොබින් වලින් සිදුවෙයි. මේ හරහා මුළු ශරීරයේ සියලු ක්‍රියාකාරිත්වය අඩාල කරවයි. 
දරුවා නිතර නිදිමත ගති පළ කරයි නම් එසේම අලස ගති අධික තෙහෙට්ටු බවකින් පෙළෙයි නම් දරුවාට යකඩ ඌනතාවයක් ඇති බවට සැක කළ හැකිය. එසේම දරුවා පාඩම් වැඩවල යෙදීමට පසුබෑම, මතක ශක්තිය අඩුවීම මේ හේතුව නිසා විය හැකිය. දරුවාගේ නිය‍පොතු ඉතා පහසුවෙන් කැඩීයන ස්වභාවයක් ඇත්නම් කට දෙපැත්තේ තුවාල මතුවෙයි නම් සුදුමැලි පාටට සම දිස්වෙයි නම් ඒ ලක්ෂණද යකඩ ඌනතාවයේ ලකුණු විය හැකිය. දරුවා නිතර කේන්ති යන සුළු ලක්ෂණ පළ කරයි නම් තද හිසරදයක් ගැන පැමිණිලි කරයි නම් පපුව ගැහෙන වේගය අධික නම්, හුස්ම ගැනීමේ වේගය වැඩිනම්, අතපය ශීතල ගති වලින් යුතුනම් ඒ ද යකඩ ඌනතාවයේ ලකුණු වීමට පුළුවන. 
එසේම දරුවන් අඟුරු, පස් කැට, ගඩොල් කැබැලි, සහල් වැනි දෑ කෑමට ගිජුකමක් දක්වයි නම් එයද ‍ලේ හිඟකමේ ලකුණු විය හැක. එසේම දරුවා පාසල් වැඩ වලදී දක්ෂතා නොදක්වන ක්‍රීඩාවේ නිරත නොවන කම්මැලි බවින් සිටින ක්‍රියාකාරකම් අඩු දරුවෙකු නම් විමසිලිමත් වන්න. දරුවා විශේෂයෙන් භාෂාමය හැකියාවන්ගෙන් ගණිතය හා සම්බන්ධ විෂයන් වලට දුර්වලතා දක්වයි නම් සමහරවිට එය යකඩ ඌනතාවයේ සේම ‍ලේ අඩුකමේ ලකුණු විය හැකිය. දරුවා ඉගෙනීමේ දක්ෂයෙකු ගණිත හැකියාවේ අති දක්ෂයෙකු කිරීමට නම් රට වටා තිබෙන සුපිරි අතිරේක පන්ති වලට යැවීම අවශ්‍ය නොවේ. මවක ලෙස වටහා ගත යුත්තේ දරුවාට යකඩ සපිරි ආහාර වේල් ක්‍රමවත්ව ලබාදීමය. 
දරුවාගේ ශරීරයේ යකඩ අඩුවීමට මූලික ලෙස හේතුවන්නේ ‍ලේ අඩුවීමය. එසේම නිසි ‍පෝෂණය සහිත ආහාර වේල් නොලැබියාමයි. එසේම ආහාරවල තිබෙන යකඩ නිසි පරිදි ශරීරයට අවශෝෂණය කරගැනීමේ ගැටලුය. එසේම කොකු පණු රෝගයෙන් පෙලීමද ‍ලේ හිඟකමට හේතුවෙයි. දරුවාට පණු රෝග ඇතිබව වැටහේ නම් ඒ අදාළ ප්‍රතිකාර ලබාදීම කළ යුතුය. 
එසේම යකඩ යහමින් අඩංගු මස් වර්ග, මාළු, පීකුදු, පලා වර්ග, බිත්තර, බෝංචි වැනි ඇට වර්ග ගෝවා වැනි එළවළු වර්ග නිතර නිතර කෑමට ලබාදිය හැකිය. මස් මාංශවල අඩංගු යකඩ ඉතා පහසුවෙන් ශරීරයට උරා ගැනීමේ හැකියාව තිබේ. ඒවා ඉතා සුළු ප්‍රමාණයක් ආහාර වේලෙහි අඩංගු කිරීමෙන් යකඩ අවශ්‍යතාවය සපුරාගත හැකිය. නමුත් ශාකමය ආහාරවල තිබෙන යකඩ ශරීරයට උරාගැනීම, තරමක් මන්දගාමීව සිදුවෙයි. එසේම මස් මාංශවලින් ශරීරයට උරා ගැනීම 30 ක් වන විට නිර්මාංශ ආහාර වලින් ශරීරයට උරා ගන්නේ 10ක් පමණි. ආහාරයට ගන්නා මස්, මාංශ ප්‍රමාණය එනම් යකඩ එකම ප්‍රමාණය ශරීරයට ලබාදීමට මස් මාංශ මෙන් තුන් ගුණයක් නිර්මාංශ ආහාර වර්ග ලබාගත යුතු වෙයි. උදාහරණයක් ලෙස මස් වර්ග ග්‍රෑම් 10කින් ලැබෙන යකඩ ප්‍රමාණය ලබාගැනීමට යකඩ අඩංගු නිර්මාංශ ද්‍රව්‍ය ග්‍රෑම් 30ක් ආහාරයට ගත යුතුවෙයි. 
එසේම නිර්මාංශ ආහාර ලබා ගන්නා අයට ඒ ආහාර වර්ගවල තිබෙන යකඩ හොඳින් උරාගැනීම සඳහා උපක්‍රම භාවිතා කළ හැකිය. පලා වර්ග වලින් මැල්ලුමක්, සලාදයක් කරියක් පිළියෙල කරන විට දෙහි යුෂ ටිකක් එක් කිරීමෙන් යකඩ උරාගැනීම තරමක් වැඩිකරගත හැකිය. එසේම ආහාර වේල් වලින් පසු තේ, කෝපි වැනි බිම වර්ග වලින් වැළකීමෙන්ද යකඩ උරා ගැනීම වැඩිකර ගැනීමට පිළිවන. 
ඔබේ දරුවා ගැන අවධානයෙන් පසුවන්න. දරුවා යකඩ හිඟකමෙන් පෙළෙන බවට ඉඟි ඇත්නම් ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් පතන්න. 
 
උපදෙස් ගම්පහ මහ රෝහ‍ලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චින්තක රාජපක්ෂ
 
සාකච්ඡා කළා නිර්මලා කුමාරි සේනාරත්න

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.