Coss Ear2
lakbima.lk
COSS Ear 1

තත්පර තිහෙන් ජාතික වීරයෙක්

ප්‍රශ්නයක් ගැන අපේ රටේ මිනිසුන් හිතන හැටි තේරුම් ගැනීම පහසු නැත. බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු පිළිබඳ කතාබහේදී වැදගත්ම දේ වූයේ රට හිතන හැටි ටිකින් ටික ප්‍රදර්ශනය වූ හැටිය. සතිය පටන් ගනිද්දී බාධක, ගල්පර මැද හෙමින් හෙමින් ගැලූ සිහින් දිය පහර සතිය අවසන් වන විට වනදුර්ග, ගිරිදුර්ග පීරා යන මහා ජල ධාරාවක් වූයේ ප්‍රජාතන්ත්‍රවාදයට ජය ලබාදෙමිනි. රැඩිකල් මත භංග වේවා

4 වැනිදා
ගොන් යකෙක් මුළු රටටම නිග්‍රහ කරා. රණවිරුවො, රණවිරුවො කිව්වට මුන් යුද්දෙ කාලෙ වැඩ කරපු හැටි අපිට දැන් හිතාගත්තෑකිනෙ. ඉතින් ජාත්‍යන්තරෙන් යුද අපරාධ කරා කියල චෝදනා කිරීම සාධාරණයි නේද? මේකගෙ මුග්ධකමට කරේ දෙමළ ඩයස්‍පෝරුවේ වුවමනාවල් ඉෂ්ට කරල දීමනෙ. විලිලැජ්ජාවෙ බෑ. මේ ගොන් ආණ්ඩුව අඩු ගාණෙ ඕකගෙ පටි ගලවල ලංකාවට ගෙනෙල්ල යුද්ධාධිකරණයට ඉදිරිපත් කරන්නවත් ඕනනෙ. නොදකින්, මූ මොන ඉස්කෝලෙද දන්නෑ ඉගෙන ගත්තෙ?

5 වැනිදා
යුද්ධ කරනව ඇර වෙනත් දෙයක් කරේ නැති ආමිකාරයොන්ගෙ මානසිකේ අපිට තේරෙන්නෙ නෑ තමයි. ඒත් මේකට තිබුණනෙ අර සිංහ කොඩිය පෙන්නල විතරක් නිකම් ඉන්න. එහෙනම් ෆුල් ලකුණුනෙ. කොහෙද මේකගෙ යුද මානසිකේ මතුවුණායින් වැඩේ කෙළවුණානෙ.
ඒත් ඔච්චර තදියමට මිනිහට දඬුවම් කරේ ඩයස්‍පෝරාවයි, ජාත්‍යන්තරයයි පිනවන්න බව නම් ෂුවර්. බ්‍රිගේඩියර් කරපු වැඩේ හරි නෑ තමයි, ඒත් දේශද්‍රෝහී ආණ්ඩුව ගන්නෙ යුද්දෙ දිනවල දීපු උන්ගෙ පැත්ත ‍නෙවෙයි, තාමත් ඊළම වෙනුවෙන් සටන් කරන එවුන්ගෙ පැත්තනෙ. කොහොමද ඒක?

6 වැනිදා
මෑන් ෂුවර් එකටම රගර් ගහල ඇති. නවසීලන්තෙ බ්ලැක් කැට් කියන්නෙ ලෝකෙ හොඳම රගර් ටීම් එකක්නෙ. මැච්චෙකක් පටන් ගන්න කලින් උන්ගෙ මුළු ටීම් එකම එකතු වෙලා අනිත් ටීම් එකේ එවුන්ට ඔය විදියටම බෙල්ල කපනව කියල සංඥා කරනව. ඒක මුළු රගර් ලෝකයම ඉතා ආස්වාදයෙන් පිළිගන්න සංඥාවක්නෙ. මේ හාදය කරාම විතරක් ඒක ම්‍ලේච්ඡ වැඩක් වෙන්නෙ කොහොමද? ඒක අපේ ජාතික දීනකම මිසක් වෙන මොකක්ද? මං මේ කියන්නෙ බ්‍රිගේඩියර් කරපු වැඩේ හරි කියල ‍නෙවෙයි. මං කියන්නෙ අපේ දීනකම.

7 වැනිදා
මෑන්ට දඬුවම් කරන්න ගත්ත තීරණේ වෙනස් කිරිල්ල නම් ලොකු දෙයක්. ලංකාවෙ නිදහස් උත්සවේ ප්‍රධාන අමුත්තා හැටියට එංගලන්තෙ රැජිනගේ පුතා ඇවිල්ල ඉඳැද්දිනෙ මුන් ප්‍රභාකරන් අපේ වීරයා, ඊළම අපේ රට ආදී දේවල් කිය කියා උද්ඝෝෂණේ කරේ. බ්‍රිතාන්‍ය ආණ්ඩුව හරි නම් මේ මෑන්ට ස්තුතිවන්ත වෙන්න ඕන කරපු වැඩේට. කොටින්ට විරුද්ධව සටන් කරපු එකෙක්ගෙන් බලා‍පොරොත්තු වෙන්න පුළුවන්ද කොටින්ට පක්ෂ එවුන්ව හුරතල් කරන්න. නිකමට හිතල බලන්න, යුද්දෙට නායකත්වය දීපු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඔතන හිටිය නම් මොකද වෙන්නෙ කියල. එහෙනම් බෙල්ල කපනව කියල පෙන්නල විතරක් ඉඳියිද? නෑ මං කියන්නෙ...

8 වැනිදා
ජනාධිපතිත් රණවිරුවො ආරක්ෂා කරනව කිව්වට බ්‍රිගේඩියර්ගෙ දඬුවම අයින් කිරිල්ල විතරනෙ කරේ. හරි නම් රාජිත සේනාරත්න වගේ කෙනෙකුට බාරදෙන්න තිබුණනෙ ප්‍රියංකගෙ වැඩේ ගොඩ දාන්න. රාජිතට ඕක දුන්න නම් මිනිහ කියයි එයා පෞද්ගලිකවම දන්නවා ප්‍රියංක ප්‍රනාන්දුට තයිරොයිඩ් ග්‍රන්ථියේ ආසාදනයක් නිසා වරින් වර බෙල්ලෙ වේදනාවක් මතුවෙන බව. ඒක නිසා එයා සැරින් සැරේට බෙල්ල අතගානවා. එයාව පෞද්ගලිකව දන්න කවුරුත් දන්නව එයාගෙ ඔය බෙල්ල අතගෑමේ පුරුද්ද. ඇත්තටම ඊළාම් යුද්ධයේදී දෙමළ ගමක්ම ප්‍රභාකරන්ගෙන් බේරගන්න කරපු මානුෂික මෙහෙයුමකදී තමයි මුලින්ම ඔය රෝග ලක්ෂණය මතුවුණේ. උතුරේ දෙමළ මිනිස්සු හොඳටම දන්නව ඔය ලෙඩේ ගැන.
ඕව නොදන්න මිනිස්සු කියන මෝඩ කතාවලට අපි රැවටෙන්න ඕන නෑ. ඔය වගේ කොච්චර ආඩම්බර කතාවක් කියයිද රාජිතට වැඩේ බාරදුන්න නම්. එහෙම ගත්තම කොල්ලට ආණ්ඩුව සලකන්නෙ එපා වාහෙට හොදි බෙදනව වගේ තමයි.

9 වැනිදා
ඔය රැඩිකල් ‍පොරවල් කියන විදියට මුන් යුද්ධ කරා නම් තාමත් කොළඹ බෝම්බ පුපුරනවනෙ. අපේ එවුන් කියන්නෙ කොටියට කොටිය වගේ ඉන්න පුළුවන්, හැබැයි අපි මහත්වරු වගේ ඉන්න ඕන කියලනෙ. ඕව කියන එවුන් හැමෝම එන්.ජී.ඕ.වලින් යැපෙන එවුන්. ඇත්තටම මේකා කරපු දේ ‍නෙවෙයි නම් අපි වඳයිනේ. කොල්ලා කොහොම හරි උන්ට පෙන්නුව ආයෙ ආවොත් ආයෙත් බඩු තමයි කියල. ඒ වගේ දෙයක් කටින් කියනවට වැඩියෙ ලස්සන හස්ත මුද්‍රාවෙන් කිව්වමනෙ. අපේ කොල්ල ඒව නියමෙට ඉගෙන ගෙන තියෙනව. ඩී. එස්. එකට ගියපු කොල්ලෙක්නෙ. ඩී. එස්. තමයි ඉස්කෝලෙ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.