Coss Ear2
lakbima.lk
COSS Ear 1

පාර්ලිමේන්තුව රැකගමු විමල්ට බෝම්බ ගසමු

යෝජිත ව්‍යවස්ථාව පරද්දන්නට 76 දෙනකු සොයා ගන්නට බැරි නම් එවැනි පාර්ලිමේන්තුවකට බෝම්බ ගැසීම හැර වෙන කළ යුතු දෙයක් නැතැයි විමල් වීරවංශ නොබෝදා කියා සිටියේය. ඔහු වැනි ඉතා හොඳින් හිතා මතා, වචන තෝරා බේරාගෙන, අවශ්‍ය දේ පමණක් කියන වියත් කථිකයකු කළ මේ අනපේක්ෂිත ප්‍රකාශයෙන් අහිංසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු රටම බියපත් වී සිටියි. මේ නිසා වීරවංශගේ ප්‍රකාශය ගැන රටේ විවිධ පුද්ගලයන්ගේ හා ආයතනවල අදහස් විමසීමට මානි කල්පනා කළේය.
 
මහාචාර්ය ලියනගේ....:-
අ‍පොයි ඒ මොන අපරාදයක්ද? මං ෆේස් බුක් එකෙත් ඔය ගැන දැම්මා. රටේ උගත්ම, බුද්ධිමත්ම 225 දෙනානෙ ඔතන ඉන්නෙ. ඔය මිනිස්සු ටික නැතිවුණොත් ඒ දැනුම් සම්භාරය රටට ලබාගන්න තව පරම්පරා කීයක් යයිද? මයිගෝඩ් කොච්චර උගත්තුද ඔතන ඉන්නෙ කියනවා නම් මං අහලා තියෙනවා ඒ සමහරු ඕ ලෙවලුත් පාස් කියලා.
 
ආචාර්ය.... දේවසිරි....:-
අයියෝ ඒක නම් වෙන්න දෙන්න බෑ. සිංහල රජ කාලෙ ඉඳන් තමන්ට පරම්පරාවෙන් පරම්පරාවට ලැබිච්ච වස්තුව නැති නාස්ති කරගෙන මේ රට නංවන්න දුක් විඳිමින් දේශපාලනේ කරන ඒ පරිත්‍යාගශීලීන්ට බෝම්බ ගහන්න අතක් උස්සන්න පුළුවන් මොන පාපතරයාටද? හරිනම් ඒ ජන කොටසේ තීරණාත්මක කාර්යභාරය අපි තේරුම් ගන්න ඕනනෙ. ඔය සත්ගුණවතුන් ටික මරා ගත්තොත් දේශපාලනේ කරලා හරි හම්බ කරගන්න හදන හිඟන, කාළකණ්ණි රැළක් එන්නත් බැරි නෑ ඔතනට.
 
දොස්තර ගුණදාස....:-
ඔය වීරවංශය කියන්නෙ සීගිරිවත් ගිහින් නැති එකෙක්නෙ. එහෙව් එකා මේ රටේ පේ‍රෟඪ ඉතිහාසය ගැන මොනව දන්නවද? 1947 ඉඳන් මේ වෙනතුරු අවුරුදු 70 ක් තිස්සෙ ඔය ඉස්තානෙන් සම්මත කරපු අණ පණත්වලින් නේද දැන් මේ රට උතුරු කුරු දිවයිනක් වෙලා තියෙන්නෙ. රටට සාමය, සමෘද්ධිය, සෞභාග්‍යය ගෙනාපු එහෙව් තැනකට බෝම්බ ගහන්න ඔය වගේ වස්සෙකුට මිසක් වෙන කාටද ඇහැකි?
 
ශාන්ත සන්නස්ගල:-
ලංකාවෙ එකම එක (වන් ඇන්ඩ් ඔන්ලි) ගුරුවරයා හැටියට මට කියන්න තියෙන්නෙ මගේ ශිෂ්‍යයො වෙනුවෙන් පාර්ලිමේන්තුව ආරක්ෂා කරගන්න මං ජීවිත පූජාවෙන් සටන් වදිනව කියලයි. අවුරුදු ගාණක් තිස්සේ ටියුෂන් පන්තිවලදී ඉගෙන ගන්න බැරි වෙච්ච කුණුහරුප හා අවිනීත හැසිරීම් ඉගෙන ගන්න නම් එක වරුවක් පාර්ලිමේන්තුවෙ මහජන ගැලරියෙ ගත කරන්න කියලයි ශිෂ්‍යයන්ට නිර්දේශ කරන්න ඕන. විමලෙ ඕකට බෝම්බ ගැහුවොත් මේ රටේ අනාගත පරපුර ක‍පෝතියි
 
මාධ්‍ය ඒකකය:-
විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ගැන අපගේ බලවත් සැලකිල්ල යොමුවී තිබේ. මේ සඳහා එතුමාට කවුරුන් විසින් කවර දඬුවම පැනවුවද අවසානයේදී ජනාධිපති සමාව ලැබෙන බව මෙහිලා එකහෙලා කියා සිටිනු කැමැත්තෙමු. අපේ අතිගරු ජනාධිපතිතුමා තමන්ට බෝම්බ ගැසූ ත්‍රස්තවාදියාටද සමාව දුන් පෙරුම් පුරනා බෝධිසත්ත්වයෙකි. ඒ නිසා පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕනෑ යයි කියූ මේ මන්ත්‍රීවරයාටද ජනාධිපති සමාව ලැබෙනු නිසැකයි. තවද ජනාධිපතිතුමා වීරවංශ මහතා සමග එකට හිඳ සෙල්ෆියකටද පෙනී සිටිනවා ඇත.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.