Coss Ear2
lakbima.lk
COSS Ear 1

මම ගිය ආණ්ඩුවෙත් හිටියද?

අපේ ගෙදර දොරට කවුදෝ තට්ටු කරන හඬ ඇසුණි. මම දොර ඇර බැලුවෙමි. දොරකඩ සිටියේ ජාතික ඇඳුමකින් සැරසුණු ආණ්ඩුවේ ඇමතිවරයෙකි.
ඔහේ මාව අඳුරනවද? ඔහු සතුටු සාමීචි කතා කිසිවක් නැතුව මගෙන් ඇසුවේය.
අ‍පොයි ඔව් මම පිළිතුරු දුනිමි.
එහෙනම් කියමු බලන්න මං කවුද කියලා?
මේ ආණ්ඩුවෙ අහවල් ඇමැතිතුමානෙ මම කියා සිටියෙමි.
එවර නම් ඇමතිගේ මුහුණට හිනාවක් ආවේය. ඔහු මගේ උරහිසට තට්ටුවක්ද දැම්මේය.
එතකොට මං මීට කලින් මොනවද කරේ? ඔහු අනතුරුව මගෙන් ඇසුවේය.
කලින් ආණ්ඩුවෙ අහවල් ඇමැති වෙලානෙ හිටියෙ.
ඒක වෙන්න බෑනෙ හලෝ, කලින් ආණ්ඩුව මර්දනකාරී, වංචාකාරී, දුෂ්ඨ ආණ්ඩුවක්නෙ ඔහු කියා සිටියේය. මං වගේ අහිංසක, අවංක, සාමකාමී කෙනෙක් ඒ වගේ පාපතර ආණ්ඩුවක හිටිය වෙන්න බෑනෙ.
මට ඉබේටම ඔළුව කැසුණේය.
ඒත් හිටියා.
ඕක මගේ හතුරො ගොබෙල්ස් තියරිය ක්‍රියාත්මක කිරීමක් වෙන්න බැරිද? ඔහු මගෙන් ඇසුවේය. බොරුවක් දිගින් දිගටම කිව්වම ඒක ඇත්තක් කියල මිනිස්සුන්ට පිළිගැනෙනව කියන තියරිය.
ඒත් ඉතින් ඇමතිතුමා කලින් ආණ්ඩුවෙ හිටියනෙ මම කියා සිටියෙමි. ඒක ඇත්තක් මිසක් බොරුවක් ‍නෙවෙයිනෙ.
ඇමතිවරයාගේ මුහුණ මෙහිදී කළු වී ගියේය.
ඒ වුණාට මට පේන්නෙම ගිය ආණ්ඩුවෙ වැරදිනෙ ඔහු කියා සිටියේය. මම කට ඇරියොත් ඒ ගිය ආණ්ඩුවට විරුද්ධවමනෙ, ඉතින් මං කොහොමද ඒ ආණ්ඩුවෙ හිටිය වෙන්නෙ?
ඒත් හිටියා.
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්න බැරිද? ඔහු මගෙන් ඇසුවේය. මම ගිය ආණ්ඩුවෙ හිටිය කියල මගේ කීර්ති නාමයට හානි කරන්න කරන.
එවර නම් මට හිනා ගියේය.
ඒක නම් වෙන්න බෑ මම ඔහුට කීවෙමි. ඇමතිතුමා විමල් වීරවංශයැ ඔහේට විරුද්ධව ජාත්‍යන්තර කුමන්ත්‍රණ කෙරෙන්න?
ඇමතිවරයා ටික වේලාවක් ඔළුව කසමින් කල්පනා කළේය. ඔහු එකවරම ජයග්‍රාහී සිනාවක් මුවේ ඇතිව මගේ බඩට පහරක් ගැසුවේය.
ඕක මෙන්න මෙහෙම වුණා වෙන්න බැරිද? ඔහු මට කියන්නට විය. මහින්ද රාජපක්ෂ මට අඳුනක් කවල වශී කරල මාව ඒ ආණ්ඩුවෙ තියාගෙන හිටිය වෙන්න බැරිද? මිනිහ දකුණෙ මිනිහනෙ, ඔය යන්තර මන්තර දන්නව ඇතිනෙ.
ඒත් මේ ආණ්ඩුවෙ දුසිම් දෙකක් විතර ඉන්නවනෙ ගිය ආණ්ඩුවෙත් ඇමතිකම් කරපු මම ඔහුගෙන් ප්‍රශ්න කළෙමි. එතකොට ඒ ඔක්කොටම තොගේට අඳුන් කවලද?
ඇමතිවරයා මා කී දේ කණකට ගත්තේ නැත.
අපිට අඳුන් කැව්ව කියන්නෙ අපේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්නෙ ඔහු කියා සිටියේය. අපිට මේකට විරුද්ධව මහින්දව ජාත්‍යන්තර අධිකරණයට ගෙනියන්න බැරිද?
මම එකඟතාව පළකරමින් හිස වැනුවෙමි.
මහින්ද මහත්තයා එහෙම කරා නම් නඩුවක් දාන්න පුළුවන් තමයි මම ඔහුට කීවෙමි. ඒත් ඔහේල කැමැත්තෙන්නෙ ඒ ආණ්ඩුවෙ හිටියෙ කියල ඕන තරම් සාක්ෂි තියෙනවනෙ.
ඇමතිවරයා යළිත් වරක් ඔළුව කසමින් කල්පනා කළේය.
මේක මෙහෙම වෙන්න බැරිද? අපි කට්ටියට ඇරෙන්න බොලා ඔක්කොටම ජනවාරි 8 වෙනිද පිස්සු හැදුණ වෙන්න බැරිද? ඔහු ඇසුවේය. බොලා අපි ගිය ආණ්ඩුවෙ හිටිය කියල හිතන්නෙ පිස්සුවෙන් වෙන්න බැරිද?
මම ඊට එකඟ වෙමින් හිස වැනුවෙමි.
ඒ කතාවෙ නම් ඇත්තක් තියෙන්න පුළුවන් ඇමතිතුමා. මේ රටේ මිනිස්සුන්ට පිස්සු නේන්නම්.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.