Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඊළම පිහිටෙව්වා නම්...

එකමත් එක කාලයක, එකමත් එක රටක එල්.ටී.ටී.ඊ. නම් සංවිධානය හා ආණ්ඩුවේ හමුදා අතර යුද්ධයක් තිබුණේය.
ඒ කාලයේ නම් යුද්ධය ඉවර වෙනු ඇතැයි හිතූ කිසිම නුවණැත්තෙකු රටේ නොවීය.
එල්.ටී.ටී.ඊ. ය යුද්ධය දිනා වෙනම රටක් පිහිටුවා ගනු ඇතැයි පවා ඇතැම්හු සිතූහ.
එහෙත් ඔවුන්ගේ අවාසනාවට එය සිදුවූයේ නැත.
එල්.ටී.ටී.ඊ.ය 2009 මැයි 19 වැනිදා ඊළම පිහිටුවා ගත්තා නම්?
ඊළාම් දේශයේ අතිගරු ජනාධිපති හා අගමැති වේළුපිල්‍ලේ ප්‍රභාකරන් සිය මැතිවරණ ජයග්‍රහණය සැමරීමේ ප්‍රීති උත්සවයකය.
පිටරට තානාපතිවරු ඇවිල්ල හිටියට ඉන්නෙ හිත හොඳින් ‍නෙවෙයි බව මුහුණුවලින්ම පේනව ප්‍රභාකරන් සිය බිරිඳ, මදිවදනිට කියයි. ඒගොල්ලන්ට ඕන වුණේ දිගටම යුද්දෙ පවත්වාගෙන යන්නනේ.
මදිවදනි ඊට හිස වනයි.
ඒ තරහටනෙ එල්.ටී.ටී.ඊ. ‍ලේකම්වම දාල මාව පරද්දන්න හැදුවෙත් ප්‍රභා වැඩිදුරටත් කියයි. උන් හිතන්න ඇත්තෙ දෙමළ මිනිස්සු හරක් කියල.
ඔවුන් කතා කරමින් සිටින තැනට ‍පොට්ටු අම්මාන් එයි.
ඊළම ජයග්‍රහණය කිරීමේ උත්සවය යාපනේ ටවුමෙදි මහ ඉහළින් පවත්වන්න ලෑස්ති කරලයි තියෙන්නෙ ඔහු කියා සිටී. ඔබතුමා හා ආර්යාව එතනට සම්ප්‍රාප්ත වුණාම ආචාර වෙඩිමුර 21 ක් පවත්වලයි පිළිගන්නෙ.
ප්‍රභාගේ මුහුණ ප්‍රීතියෙන් ඉපිළෙයි. මදිවදනිගේ මුහුණ කළු වෙයි.
එච්චර ෂෝ දානවට තානාපතිවරු කැමති වෙන්නෙ නෑ ඈ ප්‍රභාට හෙමිහිට කියා සිටී. දැන් තරහ වුණොත් විදේශාධාරත් නැතිවෙයි.
ඒ කතාවෙන් ප්‍රභාට කේන්ති යයි.
තමුසෙට පිස්සුද ගෑනියෙ? ඔහු නොරිස්සුමෙන් ප්‍රශ්න කරයි. තානාපතිවරු කියන හැටියට නටන්න මොකෝ මේක ශ්‍රී ලංකාවද?
එහෙත් මදිවදනි සිය කතාව නතර කරන්නේ නැත.
ඒ වුණාට එහෙම ජය උත්සවයක් තිබ්බට සිංහල මිනිස්සුන්ගෙත් හිත් රිදෙයිනෙ ඈ කියා සිටී. පැරදිච්ච කට්ටියගෙ දුක තව වැඩිකරනෙක අමානුෂිකයිනෙ.
ප්‍රභාකරන් එවර හක හක ගා සිනාසෙයි.
ඇයි යෝදියෙ හමුදාව යුද්දෙ දින්න නම් උන් අපේ හිත් රිදෙයිද නැද්ද කියල බලයිද? ඔහු කියා සිටී. එහෙනම් බලන්න තිබුණ මහින්ද රාජපක්ෂය මෙතනටම ඇවිත් ඩෙඟා නටන හැටි.
මදිවදනි දිගටම සිය මතය වෙනුවෙන් පෙනී සිටී.
මහින්ද දුෂ්ටය බව ඇත්ත ඈ කියා සිටී. ඒ වුණාට සිංහල මිනිස්සු හුඟක් ඉන්නවනෙ අපිට ස‍පෝට්.
ප්‍රභා පුදුමයෙන් කට අරියි.
එහෙම නම් උන් ද්‍රෝහියොනෙ ප්‍රභා කියයි. දෙපැත්තක් යුද්ද කරදිද් එක පැත්තෙ උන් අනිත් පැත්තට ස‍පෝට් කරනව කියන්නෙ ඒකනෙ.
මදී කට ඇඹුල් කරගනී.
ඒගොල්ලො කියන්නෙ යුද්ද කිරිල්ල පලක් නැති වැඩක් කියල ඈ කියා සිටී. යුද්දෙකින් දිනපු කෙනෙක් නැතිලු.
ප්‍රභා බඩ අල්ලාගෙන හිනාවෙයි.
ඇයි බො‍ලේ මේ අපි ඉන්නෙ යුද්දෙ දින්නෙ නැත්නම් අපිට ඊළම හම්බ වෙනවද? ඔහු කියා සිටී. එහෙනම් මහින්දය යුද්දෙ දිනල රට එක්සේසත් කරයිනෙ.
මතෛක් නිහඬව සිටි ‍පොට්ටු අම්මාන් මෙහිදී කතාවට සම්බන්ධ වෙයි.
රට එක්සේසත් කරා නම් මහින්ද වගේ බයියෙක් ‍පොර වෙනවනෙ ඔහු කියයි. රනිල් ඕක කරා නම් උන් කැමති වෙයි.

මතකෙට තිත තියලා

මහජන පුස්තකාලයට ඇතුල් වූ මම ඉතිහාස ‍පොත් රාක්ක වෙත ඇදුනෙමි.
එහිදී මා දුටුවේ පුදුම එළවන දර්ශනයකි.
ඒ පුස්තකාලයාධිපතිවරයා ඉතිහාස ‍පොත් එකින් එක ගෙන ඒවායේ පිටු තැන් තැන්වලින් ඉරා දමන ආකාරයයි.
මේ අපරාධය ඉවසා ගත නොහී මට කෑගැසෙන්නට ගියද හැඩි දැඩි පුස්තකාලයාධිපති සිය අතින් මගේ කට තද කළේය.
ඔහු කරන කබල් වැඩේ තේරුම කුමක්දැයි එවිට මම ප්‍රශ්න කළෙමි.
මේවයෙ තියෙන්නෙ වැඩකට නැති දේවල් ඔහු පිටු ඉරූ ‍පොත් පෙන්වමින් මට කීවේය. ඒව කියවල අනාගත පරම්පරාව නොමග යන්න පුළුවන්
මම ඒ මොනවාදැයි එකින් එක ගෙන බැලුවෙමි. ඒ සියල්ල තිස් අවුරුදු යුද්ධය ගැන ලියවුණු ඒවාය.
තමුසෙ කියන්නෙ යුද්දෙ දිනිල්ල වැඩකට නෑ කියලද? මම කේන්තියෙන් ප්‍රශ්න කළෙමි.
පුස්තකාලයාධිපති මගේ කනට සිය කට ළං කළේය.
දිනන්න යුද්දක් තියෙන්න එපැයි ඔහු උපහාසාත්මකව කීවේය. යුද්දෙ කියන්නෙ මහින්ද රාජපක්ෂ මවාපු ‍ප්‍රෝඩාවක්
ඒ අසා මට යකා නැග්ගේය.
''එතකොට මිනිස්සු මැරුණු ඒවා, බෝම්බ පුපුරපු ඒවා ඔක්කොම බොරුද?
පුස්තකලයාධිපති හෙමිහිට හිස වැනුවේය.
මහින්ද රාජපක්ෂ ප්‍රකෝටි ගණන් හොරකම් කරා කියල අහල තියෙනව නේද? ඔහු මගෙන් ඇසුවේය. මෑන්ස්ල තොගේට මිනිස්සුන්ව මැරෙව්ව කියලත් අහල තියෙනව නේද?
මම නිහඬව අසා සිටියෙමි.
ඒත් මිනිහ රටට යුද්දයක් මවා පෙන්නල කෝටි ගණන් හොරකම් කරපු බව තාමත් රහසක් පුස්තකාලයාධිපති කියා සිටියේය. යුද්දෙන් මැරුණයි කියන මිනිස්සු ඔක්කොම රාජපක්ෂල මරවපු ඒගොල්ලන්ගෙ තරහ කාරයො කියලත් තාම එළිදරව් වෙලා නෑ
මට වඩා උස මහත පුස්තකාලයාධිපතිට පහරදීමට නොහැකි නිසා මම මගේම පපුවට වැරෙන් ගසා ගතිමි.
හෙණ ගහන කතාවක්නෙ තමුසෙ කියන්නෙ මම කෑගසා කීවෙමි. යුද්දෙ දිනිල්ල වහන්න මෙහෙම කාලකණ්ණි කතාවක් ගොතයි කියල කවුද හිතුවෙ?
පුස්තකාලයාධිපති මගේ උරහිසට තට්ටුවක් දැම්මේය.
ඔහේ ‍පොතපත කියවන මනුස්සයනෙ ඔහු කියා සිටියේය. ඇමෙරිකන්කාරයො හඳට මිනිහෙක් යැව්ව කතාව බොරුවට කරපු මවාපෙන්නිලක් කියල අහල තියෙනව  නේද?
මම අකමැත්තෙන් ඊට හිස වැනුවෙමි.
ඉතින් නාසා ආයතන, රොකට්, නීල් ආම්ස්ටේ‍රා්ංලා ඔක්කොම මවල ලෝකෙම රවට්ටන්න ඇමෙරිකන් කාරයට පුළුවන් වුණා නම්  සිවිල් යුද්දයක් බොරුවට මවන්න දකුණෙ දහංගැටකාරයෙකුට බැරි මොකද?
ඉන් නිහඬ නොවූ මම ඔහුගෙන් මෙසේ ඇසුවෙමි.
තමුසෙට ඉස්සෙල්ලම හිතුණෙ කවද්ද රටේ යුද්දයක් තිබුණේ නෑ, ඒක මහින්ද මවා පෙන්නපු දෙයක් කියල?
පුස්තකාලයාධිපති හිනාවක් පෑවේය.
2015දී ඔහු කීවේය. ඔය කියන විදිහෙ යුද්දයක් තිබිල මහින්ද ලොක්ක ඒක දිනුවත් නම් මේ රටේ මිනිස්සු එයාව පරද්දල යුද්ද කරන්න ඕන ගොනෙකුට පුළුවන් කියපු සැට් එකක් බලයට ගෙනෙයිද?
මම කට ඇරගෙන අසා සිටියෙමි.
යුද්දයක් තිබුණෙ නෑ කියල මට හරියටම තහවුරු වුණේ නම් මේ සුමානෙයි ඔහු කීවේය. යුද්දය තිබිල දිනුවත් නම් ඒක රාජශ්‍රීයෙන් සමරන්නෙ නැතුව බකංනිලන් ඉන්න ආණ්ඩුවක් මේ රටේ මිනිස්සු තවදුරටත් තියාගෙනත් ඉඳියිද?

අග සව්වෝ

අපි පවු‍ලේ සියලු දෙනා කොළඹ වෙසක් නරඹන්නට ගියෙමු.
බුදු හාමුදුරුවො වෙනුවෙන් පත්තු කරපු ලයිට් දැක්කමත් මිනිස්සුන්ට කොච්චර සන්තෝසද? දන්සැලකින් දුන් නූඩ්ල්ස් කෝප්පයක් කමින් බිරිඳ කීවාය. හැබෑවටම උන්වහන්සේ දකින පින ලැබුණොත් එහෙම කොහොම හිටීවිද?
ඒ ගැන කල්පනා කරන කල මට මෙබඳු සිතක් පහළ විය.
සමහර වෙලාවට මතු බුදුවෙන්න ඉන්න මෛත්‍රී බෝධිසත්ත්වයොත් මේ වෙලාවෙ අපිත් එක්කම දන්සැල්වලින් කකා ලයිට් බල බල ඇවිදනව ඇති මම කීවෙමි. අපිට පින නැති නිසා උන්වහන්සේව අඳුර ගන්න බැරුවට.
එවිටම සුඛෝපභෝගී ජීප් රියක් පුතාගේ ඇඟේ ගෑවී නොගෑවී ගියේය.
මෛත්‍රී බෝධිසත්ත්වයො වෙසක් බලන්න අපි වගේ පයින් ගාටනෙකක් නැහැ මගෙ හිතේ පුතා එහිදී කියා සිටියේය. ජීප්පෙකකවත් යනව ඇති.
මෙහිදී බිරිඳ මට ඇඟිල්ලෙන් ඇන්නාය.
පෙරුම් පුරන බෝ සතුන් කියල ඔයා හිතන්නෙ කාවද? ඇය අසා සිටියාය. මහින්ද රාජපක්ෂද?
ඒ අසා මට හිනා ගියේය.
එයා නම් කොයි වෙ‍ලේද බ‍ලේට එන්නෙ කියල බලාගෙන ඉන්න කෙලෙස්වලින් පිරිච්ච මනුස්සයෙක්නෙ මම කීවෙමි. හැබැයි රනිල් නම් පක්ෂ නායකත්වය ඇර වෙන කිසිම දෙයක් ගැන තෘෂ්ණාවක් නැති මනුස්සය.
බිරිඳට ඒ කතාව අල්ලලා ගියේය.
ඔයා ලියන තරමක් ලියන්නෙ රනිල්ට ගහලනෙ ඕ කියා සිටියාය. ෂුවර් එකටම රනිල් බුදු වෙනකොට දේවදත්තය වෙන්නෙ ඔයා වෙන්න පුළුවන්.
එහිදී මම වැඩිදුරටත් අදහස් දැක්වූයෙමි.
රනිල් බුදු වුණාම කාව අගසව් කරගනීද දන්නෙ නෑ නේද? මම අනිත් අය විමසුවෙමි. සම්පන්දනුයි, අනුර කුමාරයි දාගනියි.
මෙහිදී අපේ ‍ලේලි බඩ අල්ලාගෙන හිනාවෙන්නට වූවාය.
තාත්තට මැන්ටල්නෙ ඕ මට කීවාය. එක පැත්තකින් සම්පන්දන් දෙමළ වෙච්චි. අනිත් පැත්තෙන් ජෙප්‍පොන්ට ආගමක්, ධර්මයක් තියෙනව කියලද?
‍ලේලිගේ හිනාවෙන් පසුබට නොවූ මම වඩා වැදගත් කාරණයක් මතු කළෙමි.
ඔක්කෝටම වැඩියෙ බලන්න ඕනෑ අගසව්වො රෝයල් එකේද කියලනෙ මම මතක් කර දුනිමි. ඒක නිසා මලික් සමරවික්‍රමයි, කබිර් හෂීමුයි දාගනියි මම හිතන්නෙ.
එවර මුලු පවුලම මට හිනාවෙන්නට පටන් ගත්තේය.
කබිර් හෂීම් තම්බියනෙ මෙහිදී පුතා මට මතක් කර දුන්නේය. සිංහල මිනිස්සුන්ව බුදුන්ට විරුද්ධවත් උසිගන්වන වැඩක්නෙ ඕක.
හරි එහෙනම් ඉරාන් වික්‍රමරත්න හොඳයිනෙ?
පිරිස නැවත හිනාවෙන්නට වූහ.
ඇයි අනේ ඉරාන් රෝයල් වුණාට ක්‍රිස්තියානිකාරය බව ඔයාට මතක නැද්ද? මෙහිදී බිරිඳ කියා සිටියාය.
මෙහිදී පුතා මොහොතක් කල්පනා කර කතා කළේය.
තාත්ත ඔය කියන්න හදන්නෙ රනිල් බුදු වුණොත් බුද්ධ ශාසනෙත් අන්‍ය ආගමිකයන්ට යනව කියලද? ඔහු මගෙන් ඇසුවේය. ඒ වුණාට රනිල් වැඩියෙ තැන දෙන්නෙ ජාත්‍යන්තරයට නිසා අගසව්වොන්ට ඇමෙරිකන් තානාපතියි, ඉන්දියන් තානාපතියි දාගනියිද දන්නෑ නේද?

දිගටම බ‍ලේ හිටියට මොකද අනේ?

ආණ්ඩුවේ මැයි දිනයදා ස්වාමි පුරුෂයා ගෙට ගොඩවූයේ මහත් සතුටිනි.
ඇති යාන්තම් පුටුවක වාඩිවී කකුල් උඩට ගත් ඔහු බිරිඳට කීවේය. ඒ ඉසරදෙත් ඉවරයි.
මෙගා ටෙලිනාට්‍යයක් නරඹමින් සිටි බිරිඳට ඒ කතාව නොතේරුණි.
අ‍පොයි තව කොහෙ ඉවර වෙන්නද? ඕ කියා සිටියාය. මේක කොටස් 1000 ක් වෙනකම් යනවලු.
ස්වාමි පුරුෂයා ඈ දෙස නුරුස්නා බැල්මක් හෙලුවේය.
මං කිව්වෙ හිතේ තිබිච්ච ගින්දර ඉවරයි කියල ඔහු කියා සිටියේය. අවුරුදු 3  1/2 ක් පිච්චි පිච්චි බලාගෙන හිටියනෙ.
බිරිඳ ඒ කුමක්දැයි අසා සිටියාය.
අද මැයි 7 රැලියේදී ජනාධිපති කිව්වනෙ එයා 2020 දි දේශපාලනෙන් විශ්‍රාම ගන්නෑ කියල ස්වාමි පුරුෂයා කීවේය. තව කරන්න වැඩ තියෙනවලු.
බිරිඳ සිනාසී එය අනුමත කළාය.
ඇත්ත නේන්නම්, කොච්චර වැඩ ඇද්ද, අවුරුදු 3 1/2 ක්ම මුකුත් නොකරපු එකේ ඈ කීවාය. ඒත් ඔයා මොකටද ඒකට සන්තෝස වෙන්නෙ?
ස්වාමි පුරුෂයා එය පැහැදිලි කරන්නට විය.
උන්නැහේ 2015 දි කිව්වනෙ එයා ආයෙ සැරයක් ඡන්දෙ ඉල්ලන් නෑ කියල ඔහු කියා සිටියේය. ඊට පස්සෙ රටම බයේනෙ හිටියෙ දේශපාලනඥයො ගැන අපේ හිතේ තිබිච්ච අදහස් අයින් කරගන්න වෙයි කියල.
බිරිඳ ඒ ගැන වැඩිදුරටත් විමසුවාය.
ඇයි වැරදිලාවත් මනුස්සය කිව්ව වගේ එක සැරයක් කරල ගෙදර ගියා නම් රට්ටුන්ට වස ලැජ්ජාවනෙ වෙන්නෙ ස්වාමි පුරුෂයා කීවේය. දේශපාලනඥයො කියන දේවල් කරනව කියල ඔප්පු කරා නම් මිනිස්සු පාරෙ බැහැල යන්නෙ කොහොමද?
බිරිඳගේ ඇස්වලට කඳුළු පිරුණි.
සමහර විට ඔය තීරණේ ගන්න ඇත්තෙත් බ‍ලේ ඉන්න ඕනවට ‍නෙවෙයි ඕ කීවාය. ජනතාව අපහසුතාවට පත්වීම වළක්වන්න වෙන්න ඇති.
ස්වාමි පුරුෂයා ඊට එකඟ විය.
ඇරත් සිරිසේන ලොක්කා දිගටම ඉන්නෙකේ ඇති වැරැද්දකුත් නෑනෙ ඔහු කියා සිටියේය. එයැගෙ දෙවැනියා 94 ඉඳන්ම යන්නැතුව ඉන්නෙ.
බිරිඳ ඒ කතාවට අප්‍රසාදය පළ කළාය.
ජනාධිපති වෙන්නවත් බැරි අහිංසකයව බයිට් එකට ගන්න එපා ඕ කියා සිටියාය. දැන් රුසියාවෙ පුටින් හතර සැරයක්ද, පස් සැරයක්ද බ‍ලේට ආවෙ, ජර්මනියෙ මර්කෙල් 2005 ඉඳන් දිගටම ඉන්නෙ, ඒව මතක නැද්ද?
ස්වාමි පුරුෂයා හිස වැනුවේය. බිරිඳ දිගටම කතා කළාය.
ඒ විතරක්ද මැ‍ලේසියාවේ මහතීර් මොහොමඩ් පැන්ෂන් ගිහින් තව අවුරුදු 92 ක් වුණාට පස්සෙත් ආපහු බ‍ලේට ආවෙ ඈ කියා සිටියාය. ඉතින් අපේ ජනාධිපති තව සැරයක් ඉන්න හැදුවම මොකද?
ඒ සියල්ලට ස්වාමි පුරුෂයා එකඟතාව පළ කළේය.
හැබැයි මහින්ද මහත්තය ආයෙ සැරයක් එන්න හදනෙක නම් කැතයි නේද? ඔහු ඇසුවේය. මනුස්සයගෙ බල තණ්හාවෙ ඉවරයක් නෑ නේද?

පන්සල් අබෞද්ධයන්ගෙන් පිරිලා

පන්ස‍ලේ හාමුදුරුවෝ පසුගියදා අපේ නිවසට වැඩම කළහ. වෙසක් සතියේ උන්වහන්සේ ගෙදරට ඒම අපට ප්‍රීතියක් වුවද හාමුදුරුවන්ගේ මුහුණෙන් නම් සතුටක් පෙනෙන්නට තිබුණේ නැත.
විහාරස්ථානය පිරිලා ඉතිරිලා ගිහින් උන්වහන්සේ දුක්මුසු මුහුණින් මට කියා සිටියහ.
ඒ අසා මට හිනා ගියේය.
ඉතින් හාමුදුරුවනේ පන්සලට සෙනඟ ආවම ඔබවහන්සෙ සතුටු වෙන්න එපැයි මම ඇසුවෙමි. මොකෝ මේ ඒකට මූණ එල්ලගෙන ඉන්නෙ?
හාමුදුරුවෝ මා දෙස රවා බැලූහ.
පන්සල පිරී ඉතිරී ගිහින් තියෙන්නෙ අබෞද්ධයින්ගෙන්නෙ උන්වහන්සේ නුරුස්නා හඩින් කියා සිටියහ. මේ මිසදිටු හැතිකරයෙන් කොහොමද විහාරස්ථානය බේරගන්නෙ කියලයි මට තියෙන ප්‍රශ්නෙ.
පන්සලට පැමිණ සිටින්නේ මිථ්‍යා දෘෂ්ටිකයන් බව නිච්චියටම දන්නේ කෙසේදැයි මම හාමුදුරුවන්ගෙන් ඇසුවෙමි.
ඇයි මහත්තයො විහාරස්ථානය මහ පාරටම යාබදවම නෙව තියෙන්නෙ. මගෙත් වැඩේ වෙන වැඩක් නැති වෙලාවට පාර දිහා බලාගෙන ඉඳිල්ලනෙ උන්වහන්සේ කියා සිටියහ. ඉතින් මං මොකෝ නාඳුනන්නෙ මහ පාරෙ යන එන එවුන්ව.
හාමුදුරුවන් මේ තරම් විසල් පාරක යන එන්නන්ගේ ජාති ජන්ම දැනගන්නේ කෙසේද යන්න මට ප්‍රශ්නයක් විය. පරචිත්ත විජාණන ඥානයෙන් එය දුටුවා සේ හාමුදුරුවෝ පිළිතුරු දුන්හ.
පැවිද්දෙම අවුරුදු හතළිහක් වෙන මට මිනිහෙක් පාරෙ වාහන එළවන විදිහ දැක්කහම තේරෙන්නෙ නැද්ද ඒකා බෞද්ධයෙක්ද, නැද්ද කියලා හාමුදුරුවෝ කියා සිටියහ.  තව සමහරු ඉන්නව බෞද්ධයො විදියට වෙස් වලාගෙනත්.
ඒ කෙසේදැයි මම විමසුවෙමි.
ඇයි වාහනේ බුදු පිළිම, ධර්ම චක්‍ර, බෝ පත්‍ර හැටහුටාමාරයි, හරියට බුදුන් දැකල එන ගමන් වගේ. හැබැයි පාරෙ යන්නෙ දේවදත්තයො වගේ දත්මිටි කාගෙන අනිත් එවුන් මරාගෙන කන්නම් කියල හාමුදුරුවො කීහ. පාරෙ යන අනෙක් සත්ත්වයෝ දිහා මෙත්තාවෙන්, මුදිතාවෙන්, කරුණාවෙන්, උපේක්ඛාවෙන් බලන්න බැරි එකා බෞද්ධයෙක් වෙන්න බෑනෙ මහත්තයො.
පාරේ ඇති වාහන තදබදය හා මේ කාලයේ මිනිසුන්ට ඇති පීඩනය ගැන මම අපේ හාමුදුරුවන්ට කියා සිටියෙමි.
ඒ කියන්නෙ මුන්නැහේ උදේ හවස කොළඹ ගිහින් ආපහු එන්නෙ සිත් සතුටින්?
අ‍පොයි නෑ ස්වාමීන් වහන්ස, ගෙදර එනකන් පණ ගැහි ගැහි ඉන්නෙ.
පාරෙ වාහන පැදගෙන යන්නෙ සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා කියල හිතන බෞද්ධයො නම් ඔහොම පණ බයේ යන්නෙ මොකටද?
හාමුදුරුවෝ කියා සිටියහ. දැන් වාහන පදින උන් බෞද්ධයො තියා මනුස්ස ආත්ම ලබපු අයවත් නෙවි මගෙ හිතේ. හුඟක්ම උන් මට හිතෙන්නෙ යක්ෂයො, ප්‍රේතයො.
මම කට ඇරගෙන හාමුදුරුවන් දෙස බලා සිටියෙමි.
බුදුන් දවසෙවත් මෙහෙම ප්‍රශ්නයක් තිබුණ කියල ‍පොත පතේ නෑනෙ මහත්තයො උන්වහන්සේ කියා සිටියහ. අපි කොහොමද බුදු හාමුදුරුවනේ මේ සුදු ඇඳගෙන පන්සල් එන යක්ෂ ප්‍රේතාදීන්ගෙන් ඔබවහන්සේගෙ ශාසනය බේරගන්නෙ?

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.