Coss Ear2
lakbima.lk
COSS Ear 1

‍පොලියට දෙන මැගි අක්කා වහාම මහ බැංකුව යටතට

මහ බැංකුව කෑවෝය. නිකම්ම නොව උලාගෙනම කෑවෝය. ඒත් උලා කාපු අය නිදැල්‍ලේය. හොරුන් පිටරටවලය.  කමිටු - කොමිෂන් මෙරටය.
උලා කන්න ස‍පෝට් කළ අයත් ඉන්නෝය. ඒත් වගේ වගක් නැත්තේය. සමහරු ඒ ගැන කතා නැත්තෝය. ඒ තනතුරු රැක ගන්නය. හොරුන් අල්ලන පාටක්ද නැත්තේය. බලා ඉන්නේ හොරා ඇවිත් බාර වෙනකල්ය.
සමෘද්ධි බැංකුවක් මහ බැංකුව යටතට ගත යුතුය. එහෙම කිව්වේ අගමැතිය. ඒ එජාපයේ මැයි රැලියේදීය. ඒ කතාවට පාක්ෂිකයෝ නම් අත්පුඩි ගැසුවෝය.
සමෘද්ධිය දුප්පතුන්ටය. බැංකුවේ ඇත්තේ දුප්පතුන්ගේ සල්ලිය. ඒ දුප්පතුන් නැංවීමටය. දැන් ඒ බැංකුවත් සුද්ද කරන්න මාන බලන්නෝය. එහෙම කියන්නේ ජනතාවය.
ෙචෙත්‍ය ගිල්ල එකාට අග්ගලාවත් කජ්ජක්දයි ඇසුවේ පැරැන්නෝය. මහ බැංකුව ගිල්ල අයට සමෘද්ධි බැංකුවත් වැඩක්දැයි නොසන්ඩාලයෝ අසන්නෝය. ඒවා කට කහගහනවාට කියන කතාය. සමෘද්ධිය සමෘද්ධිමත් වන්නට නම් මහ බැංකුව යටතට ගත යුතුමය.
සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට ගන්න එක හොඳය. දුප්පතුන්ගේ සල්ලි දුප්පතුන්ටම දිය යුතු නැත්තේය. ඒ මුදල් රටේ යහපතට යෙදිය යුතුය.
රට යහපත් කිරීමට පෙර අපේ මැති ඇමැතිවරුන් සැපවත් විය යුතුය. ගෙදර ප්‍රශ්න තිබියදි රටේ ප්‍රශ්න විසඳිය නොහැක්කේය.
ගුවන් නියමුවන්ට වැඩි වැටුප් දෙන්නේය. යානය පදවන විට ගෙදර ප්‍රශ්න හිතට ආවොත් යානය බිමය. මගීන් ක‍පෝතිය. ගෙදර වැඩ හිතන්න බැරි විදියට වැටුප් දෙන්නේ ඒ නිසාය.
ලංකාවේ මැති ඇමැතිවරුන්ටත් එහෙමය. මුලින්ම ගෙදර ප්‍රශ්න විසඳා දිය යුතුය. ගෙදර ප්‍රශ්න ඔළුවේ තියාගෙන ජනතා ප්‍රශ්න විසඳිය නොහැක්කේය.
ඒ නිසා සමෘද්ධි බැංකුවේ මුදල් ගත්තාට කමක් නැත. මැති ඇමැතිවරුන්ට ඒවා සමසේ බෙදා දිය යුතුය. අලුත් සුපිරි වාහන ගන්න ඒ මුදල් දිය යුතුය. ලක්ෂ ගණනින් නොව කෝටි ගණනින් දිය යුතුය. මැති ඇමැතින්ට වාහන තිබෙනවා නම් ඒ මුදලින් වාහන අරන් පිට අයට තෑගි කළ හැකිය. ඇමැතියෙක් එහෙම තෑග්ගක් සුන්දර ළඳකට දුන්නේය. ඒවා බදුලු පැත්තෙන් ඇහෙන කතාය.
සමෘද්ධි අරමුදලින් මැති ඇමැතින්ට නිවාස ණය දිය හැක්කේය. තේ වතු, ‍පොල්වතු ගැනීමටත් ණය දිය හැක්කේය. ඒවා ඉතා හොඳ වැඩය. මහජනයාට සේවය කරන්න එන අයට හොඳට සැළකිය යුතුය. ඒ ඔවුන් දිවා රෑ නොබලා නිදිමරමින් තරු පහේ හෝටල්වල කමින් බොමින් කතා කරන්නේ අපේ ප්‍රශ්න විසඳන හැටිය. එහෙම ටයි කෝට් ඇඳන් යන සමහරුන් සරමට බසින්නේ වෙන අහවල් දෙයක් නිසා නොව දුප්පත් ජනනතාව සිහිපත් වෙලාය. තිරිහන් වෙන්නට බෙහෙත් බි සරමට බැස්ස කතා බොරුය.
සමෘද්ධි බැංකුවෙන් මැති - ඇමැතින්ට ණය දිය යුතුය ඒ ‍පොළි නැතිවය. අවුරුද්දක් දෙකක් ගියවිට ඒ ණය කපා හැරිය යුතුය. ඒ බොල් ණය හැටියටය. එහෙම නැතිව ආර්ථිකය ගොඩනගන්නට බැරිය.
සමහර මැති ඇමැතිලාගේ තඩි බඩවල්  ඇවිත්ය. එහෙම කැතය. බඩ පහළටම වැටුණොත් බඩ තියාගෙන යන්න විල් බැරෝවක්වත් ඕනෑය. බඩ අඩුකර ගන්න ව්‍යායාම කළ යුතුය. ඒකට යන්ත්‍ර ඕනෑය. යන්ත්‍ර ගන්න සමෘද්ධි බැංකුවෙන් දීමනාවක් දිය හැකිය. එය ඉතා වටින්නේය.
මැති ඇමැතින්ට විතරක් නොවේය. සමෘද්ධියෙන් ඔවුන්ගේ පවු‍ලේ ගැටලුද අහළ පහළ පවුල්වල ගැටලුද විසඳිය යුතුය. ඒ විවාහක පවුල්වල විතරක් නොවේය. බිරියන්ටත් වෙනම වාහන ගන්න සමෘද්ධියෙන් මුදල් වෙන්කළ යුතුය. එවිට එතුමන්ලා ප්‍රීතියෙන් ජනතාවට සේවය කරනු නිසැකය.
සමෘද්ධි ලාභින් මේවාට ඊර්ෂ්‍යා නොවිය යුතුය. තව තව එකතු කර සමෘද්ධි බැංකුවේ තැන්පත් කළ යුතුය. මාස්පතා නොව සතිපතා තැන්පත් කළත් කම් නැත. එහෙම කිරීම කාලෝචිතය.
සමෘද්ධි බැංකුවේ මුදල් අහවරවු විට තවත් වැඩක් ඇත්තේය. එය කළ යුතුමය.
දිනපතා සති පතා මාස්පතා ‍පොලියට සල්ලි දෙන ඇත්තෝ ගම්වල සිටින්නෝය. ඔවුන් අතේද විශාල මුදලක් ඇත්තේය. ඒ දිනපතාම ‍පොලී එකතු කිරීමෙන්ය.
ආණ්ඩුව වහාම ගැසට් පත්‍රයක් ගැසිය යුතුය. ඒ ගමේ ‍පොලියට දෙන රොසලින්, ජොසපින්, මැගි නෝනා, අංගෝ නෝනා හා ජවුසං මුදලාලි වහා මහ බැංකුව යටතට පත් කළ යුතුය. එවිට සෙල්ලම් හමාරය.
ලිප් බොක්කේ වළදමා ඇති  හට්ටි මුට්ටිවල තිබෙන සල්ලිද රාජසන්තක කළ යුතුය.
මහ බැංකුව යටතට පත්කළ ‍පොලි ජොසපිංලා, රොසලිංලා, ජවුසං මුදලාලිලා ඇදගෙන ගොස් හෝ මහ බැංකුවේ වෙනම කුටියක තබා ගත යුතුය. ඒ මුදල් ගෙන මැති ඇමැතින්ට  සුර සැප දිය යුතුය. නොඑසේ නම් ඔවුන් බිංදුවටම බැස්සිය යුතුය.
සමෘද්ධි බැංකුවටත් මහ බැංකුව කාපු අයම පත්කළ යුතුය. එවිට ඉක්මනින් වැඩේ කළ හැකිය. පළපුරුද්දක් නැති අය පත්කිරීම අවුලක්ය. පුරුදු වෙමින් මේ වැඩ කළ නොහැක්කේය. පුදපු ගමන් කාපි යකා කීවේ ඉස්සරය. මහ බැංකුවට වගේ සමෘද්ධියටත් එයම කළ යුතුය. 2020න් පසු එවිට කමිටු හා කොමිසන් දැමිය හැකිය. ඒ හොරුන් හොයන්නටය. කමිටු පත්කිරීම ගැන නම් සැකයක් නැත්තේය. ඒ 2020න් පසුත් එතුමා සිටින බව කී නිසාය.  

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.