Coss Ear2
lakbima.lk
COSS Ear 1

මහා වැසි ඇඳ හැලෙන්නට පටන් ගත්තේය. ඒ කිසිදු අනුකම්පාවක් නැතිවය. මිනිසුන්ගේ ගෙවල් දොරවල් සතා සීපාවට වුණු විපත කියා නිම කළ නොහැකිය. බොරපාට වැසි වතුර පාරවල් පුරා ගසාගෙන ගියේ පැයට කිලෝමීටර් 60-70 වේ වේගයෙන්ය. වතුර ගලා යන වේගයෙන්ම අගමැතිගේ සහ ජනපතිගේ වැස්ස ගැන නිවේදන මාධ්‍යවලට එන්නට පටන් ගත්තේය. ඊළඟට ඇමැතිවරුන්ගේය. නිවේදනය වැස්ස එන බව කල්තියා දැනන් හිටියා වාගේය. නොඑසේ නම් වැස්සේ වේගයෙන්ම නිවේදන එන්නට විදිහක් නැත්තේය.

අගමැතිගේ නිවේදනය ආවේ වෙඩිල්ලක වේගයෙන්ය. එහි තිබුනේ හමුදාව සීරුවෙන් කියාය. හමුදාව පහසුවෙන් සිටි කාලය කොහොමත් අවසන් බව රට්ටු කියන්නේ මේ ආණ්ඩුව බලයට පත් වූ දා පටන්මය. ඒ නොසන්ඩාල කතාය. හමුදාව සීරුවෙන් බව අගමැති කීවේ සද්භාවයෙන්ය. ඒ වැස්සෙන් විපතට පත්වූවන්ට සහන සලසන්නට හමුදාවට උපදෙස් දී ඇති බවය. හමුදාව නම් මේවා අමුතු දේවල් නොවන්නේය. මේ ආණ්ඩුව බලයට ආ දා පටන් කුණු කඳු වාගේම යස අගේට තිබූ කඳු ‍‍පොළවට පාත් වෙන්නේ හිටි ගමන්ය.

වහින විට බියක් දැනෙන්නේය. ඒ අහිංසක මිනිසුන්ටය. ගංවතුරට කවුරුත් බයය. ගංවතුර ගැන සතුටු වෙන්නෝද ඇත්තේය. ඒ ගෙවල් කොල්ල කන්නෝය. ගංවතුර ගැලූ විට හොරුන්ට රජ මඟුල්ය.

ඒ අස්සේ සමහර රාජ්‍ය නිලධාරීන්ටත් සතුටුය. ඒ අධාර ගසා කන්නය.

නිවේදන කඩිනම් වුණාට සහන නම් කඩිනම් නැත්තේය කියන විදියට කඩිනම් වුනේනම් ලංකාව මේ වන විට සිංගප්පූරුවක්ය. කඩිනම් වුණේය. ඒ මහ බැංකු කොල්ලයටය. ඒත් හොරු අල්ලන්න නම් කඩිනම් නැත්තේය. ඇත්තේ ඉබිගමනින්ය.

වැඩ වැඩක් නැත්තේය. හඬ හොඳටම ඇතිය. මැති, ඇමැතීන්, නිලධාරීන් කරන්නේ හඬ දැමීමයි. එය රටේ දියුණුවට හොඳය.

ජනතාව ගංවතුරේ ගිලුනට කමක් නැත්තේය. ඕනෑ කරන්නේ නිවේදනය පමණය. නිවේදනය දැන ගෙන ගිලුනත් කමක් නැත්තේය. ගිලෙනවිටත් අහන්නේ ආණ්ඩුවේ නිවේදනය ආවාද කියාය. ඒ හිතේ සතුටින් මැරෙන්නය.

සිදුහත් කුමාරයේ උපන්නේය. කුමරා බලන්න කාලදේවල තවුසා රජ මාළිගාවට ආවේය. දේහ ලක්ෂණ බැලුවේය.

තවුසා එකවරම සිනාසුනේය. සිනහව අවසානයේ හැඬුවේය. ඒ ඇයි දැයි රජු ඇසුවේය. කුමරා බුදුවෙන සතුටට සිනහසුණේය. බුදු වෙන විට තමන් පරලොව නිසා හැඬුවේය. තවුසා එහෙම කීවේය.

ඒ වගේ වැඩක් වුනේය. ඒ මේ වැස්සටය. වැස්ස නිසා සතුටුවන්නේය. එසේම දුක් වන්නේය. එහෙම කීවේ ජනපතිය. සතුට පෑවිල්ල ඇති තැන් වලට වහින නිසාය. දුක අනෙක් ප්‍රදේශ යට වෙන නිසාය.

පහුගිය අවුරුදුවලද ගංවතුර ආවේය. ජනතාව අවතැන් වුණේය. යළිත් එවැන්නක් වෙන්නේ නැත. ඒ ගංවතුර පාලනය කරන්නේය. නිලධාරිහු එහෙම කීවෝය. ඒ කියපු දේ යළි සිහිපත් වුණේය. ඒ මේ ගංවතුරේදීය. සැලසුම්ද ගංවතුරේය. එය ඉතා හොඳය.

දැන් අවුරුද්දට වරක් ගංවතුරය. ආණ්ඩුවටද හොඳය. ප්‍රශ්න අමතක වන්නේය.  හැම දෙයකටම දිනයක් නම් කරන්නේය. ගංවතුරටද දැන් සතියක් නම් කළ යුතුය. එය රාජ්‍ය මට්ටමින් සැමරීය යුතුය. වෙනම කොඩියක් හැදිය යුතුය. ඒ ගංවතුර කොඩිය ජාතික උත්සවයේදි එසවිය යුතුය. ගංවතුර උපහාර ගීතයක්ද ගායනා කළ යුතුයි. ගිලෙන අයට සහන දෙන්න ඕනෑ නැත්තේය. එවිට සහන දෙනකල්ම බලා ඉන්නේය. ගංවතුර ජාතික උත්සවය ප්‍රමාණවත්ය. වැඩියෙන්ම යටවූ අයට සම්මාන දිය යුතුය.

පහුගිය ගංවතුරකදි ඇමැතියෙක් බෝට්ටුවෙන් ගියේය. ජනතාවට සහනාධාර දුන්නේය. ඒ ඇඹුල් කෙසෙල් ගෙඩිය ගානේය. ඇමැතිගේ නමත් එහි අලවා ඇත්තේය. ගිලෙන අය කෙසෙල් කෑවේ අලවා තිබූ ඇමැතිගේ නමත් එක්කය. ඒ සන්තොසේ වැඩිකමටය.

ආණ්ඩුව ආපු දවස්වල ඒ ඇමැති උඩ පැන්නේය. හොඳ හොඳ කතා කීවේය. දැන් ඉන්නේ බිමය. ඒ පස්ස ඇනගෙනය.

මේ දවස්වල රඹුටන්ද ඇත්තේය. වතුරට බැස කෙසෙල් බෙදන විට රඹුටංද බෙදිය හැක්කේය. මේ වාරේ නම් කෙසෙල් විතරක්  මදිය. කිරිබත් කැවුම්ද බෙදිය යුතුය. ඒ සතුට වැඩිකමටය. ගංවතුර අස්සේ බස් ගාස්තුද නැග්ගේය. ජනතාව දැන් ඉන්නේ අප්‍රමාණ ප්‍රිතියකින්ය. ගංවතුරේ ගසාගෙන ගියානම් ඊට හොඳය. නොසන්ඩාලයෝ එහෙමත් හිතන්නේය.

හැම කෙනෙකුටම කාර් එකක් ගන්න ලැබෙන්නේය. ආණ්ඩුව එහෙම දැන්වීමක් දැම්මේය. ඒ ආණ්ඩුව ඒමට පෙරය. බස් ගාස්තු තව තව වැඩි කළ යුතුය. එවිට මගීන් කාර් ගන්න පෙළෙඹෙන්නේය. ඊට පෙර තවත් වැඩක් ඇත්තේය. සෑම පවුලකටම බෝට්ටුවක් දිය යුතුය එවිට අවුරුද්දකට වරක් ගේවටේ බෝට්ටු සවාරියක් යාහැකිය. ආණ්ඩුව නැති කාලෙක වුණත් ජනතාව ආණ්ඩුව ගැන හොඳ කියන්නේය. ඒ මේ වගේ සුපිරි වැඩ්ඩෝ ටිකක් අම්ම මුත්ත කා‍ලේවත් දැක නැත්තේය. හැමෝම එහෙම හිතන්නේය.

Page 1 of 3

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.