
මීට මාස තුනකට කලින් සැප්තැම්බර් 25 වැනිදා හදිසියේම ජීවිතය හැරගිය ජනප්‍රිය නළු දසුන් නිශාන් මරණයත් සමගම රටේම ජනප්‍රිය පුද්ගලයන් අතරට එකතු වුණා කිව්වොත් වැරදි නැහැ. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වගේම අන්තර්ජාල වබේ අඩවි දසුන් ගැන විවිධාකාර තොරතුරු හා ඡායාරූපවලින් පිරිලා ඉතිරිලා ගියා. කාලයත් එක්ක දසුන්ගේ මරණය ගැන පුවත වගේම දසුන්ගේ මතකයත් හැමෝටම ටිකෙන් ටික අමතක වෙලා ගියා. පසුගිය 25 වැනිදා නත්තල් සිරියෙන් රටම ඒකාලෝක වෙලා තියෙද්දී දසුන්ගේ අම්මයි, මල්ලියි එකතු වෙලා පවත්වපු දසුන්ගේ තුන් මාසේ පින්කමේ හඬත් නත්තලේ රතිඤ්ඤා හඬට යට වෙලා ගියාදෝ කියලා හිතුණේ දසුන්ගේ බොක්ක කියපු ගොඩක් අයගේ මුහුණු මේ පින්කමේදී දකින්නට ලැබුණෙ නැති හින්දා. හැබැයි දසුන් එක්කම බැඳිලා හිටපු මිත්‍රයෝ කීප දෙනෙක් නම් මේ පින්කමට සහභාගි වුණා.
මම කලා ලෝකයේ හැමෝටම වාගේ පුතාගේ තුන් මාසේ පින්කම ගැන දැන්වූවා. ඒත් ඉතින් හැමෝම හරි කාර්යබහුල ජීවිත ගත කරන අයනේ. ඒ හින්දා ඒ අයට එන්න බැරි වෙන්නත් ඇති. අනික ඉතින් කාලයත් එක්ක හැමදේම අමතක වෙලා යනවනේ. දසුන් ගැන ගොඩක් අයට දැන් මතක නැතුව ඇති. ඒ වුණත් පුතාට ඇත්තටම හිතවත් වෙලා හිටපු කලා ලෝකයේ යාළුවෝ ටිකයි ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 2007 ඒ ලෙවල් ක්ලාස් එකේ හිටපු පුතාගේ යාළුවෝ ටිකයි මිරිගම කනිෂ්ඨ විදුහලේ යාළුවොයි පුතාගේ තුන් මාසේ පින්කමට ආවා.

පුතාගේ මරණයෙන් පස්සේ එයාගේ නූල් පටක දෙයක් අපිට ලැබිලා නැහැ. අඩුම තරමින් අයියාගේ සුවඳ විඳින්න අයියා ඇඳපු කමිසයක් කලිසමක් වත් මල්ලිට ලැබුණේ නැහැ. ඒත් මම මගෙ දරුවගේ තුන් මාසේ පින්කම අඩුවක් නැතුව කළා. මගේ යාළුවෝ නෑදෑයින් එකතු වුණා. 24 රෑ බණ කියලා 25 දවල් දානේ දීලා පුතාට පින් පෙත් පැමිණෙව්වා.''
දසුන්ගේ ආදරණීය අම්මා ශ්‍යාමා හේරත් ඒ විදියට අපිත් එක්ක පැවසුවා. මාස තුනක් ගෙවිලා ගියත් ඇගේ දෑසින් ගලන කඳුළු උල්පත් සිඳී ගිහින් නැහැ. ලෝකේ තියෙන හැම ආදරයකටම වඩා අම්මා කෙනෙකුගේ හිතේ දරුවකු ගැන උපදින දාරක සෙනෙහස ප්‍රබලයි කියන සහතිකය ඒ තනි වුණ ඇස් දෙකේ රැඳිලා තියෙනවා. ඇස අග දිලිසෙන කඳුළු වගේම මුවගෙ රැඳෙන සුසුම් අතරින් දසුන්ගේ මව හිතේ දුක වචනවලට හරවමින් අපිත් එක්ක බොහෝ දේ පැවසුවා.
''පුතාට ආදරය කරන රසිකයන් කොයි තරම් ඉන්නවද කියලා මට තේරුණේ එයාගේ මරණයෙන් පස්සෙ. දැනටත් පුතාව මතක් කරමින් අඬන රසික රසිකාවියන් ලියුං එවනවා. මේ ළඟදී පුතා ඇහැට දැකලාවත් නැති රසිකාවියක් පුතා ගැන දුක කියලා බොහොම දිග ලියුමක් එවල තිබුණ. එයා දසුන්ට හදවතින් ආදරේ කරපු රසිකාවියක්. නළුවන්ට හදවතින් ආදරේ කරන ගැනු ළමයි ඉන්නවා තමයි. ඒක බොළඳ ප්‍රේමයක් කියලා කෙනෙකුට හිතෙන්ණ් පුළුවන්. ඒත් ඒ ලියුම දැක්කම මට හිතුනේ අනේ මගේ පුතාට ඇත්තටම ආදරේ කරපු ගෑනු ළමයෙක් නේද මේ පුතාට ඇත්තටම ආදරේ කරන මේ වගේ ගෑනු ළමයෙක් ලැබුණා නං මගෙ පුතා තවමත් ජීවතුන් අතර ඉන්නව නේද කියලා.....
එහෙම කියලා ආයෙමත් හඬා වැටුන දසුන්ගේ මව අපෙන් මේ වගේ ඉල්ලීමක් කළා.
පුතාට තවමත් ආදරේ කරන අය ඉන්නවා කියලා දැනුණම හිතට ලොකු සැනසීමක් දැනෙනවා. මගේ අංකය 077-4672027 පුතාගේ හිතවතුන්ට රසිකයින්ට ඕනෑම වෙලාවක මේ අංකයට කතා කරන්න පුළුවන්. කියලත් රිද්ම හරහා දැනුම් දෙන්න.
ආරියවංශ කුලතිලක
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.