Coss Ear2
lakbima.lk
COSS Ear 1

දීග යාමට සැරසෙන ආදර දියණිය පිළිබඳ සුසන්තාගෙන් කවියක්

ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි තමන්ගේ අතින් ලියැවුණු කවියක් පසුගිය දිනෙක “රිද්ම” වෙත යොමුකර තිබුණා. ඒ කවියේ තේමාව වුණේ “නුඹ මගේ ප්‍රාණයයි” යන්නයි. තමන්ගේ දියණිය ගැන සුසන්තාගේ සිතේ ඉපැදුණු බොහොම සංවේදී අව්‍යාජ සිතුවිලි ගොන්නක් තමයි ඇය ඒ විදිහට අප වෙත එවා තිබුණේ. සුසන්තාගේ දියණිය වන තිසුරි යුවනිකා ගැන අපේ රටේ කලා ලෝලීන්ට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැනේ. කුඩා කාලයේදීම රංගනයට යොමු වෙලා අද වනවිට මෙරට තරුණ රංගන ශිල්පිනියන් අතර මුල්තැනක් හිමිකරගෙන සිටින තිසුරි තමන්ට කලා ක්ෂ්ත්‍රයේ දිගු ගමනක් යා හැකි බව දැනටමත් පෙන්නුම් කරලයි තියෙන්නේ. මෙම කවි පෙළෙන් කියැවෙන මවගේ ආදරය ගැන සුසන්තාට කියන්න බොහෝ දේවල් තිබුණ.
“මට ඉන්නේ එක දියණියයි. ඇය මගේ දියණිය විතරක් ‍නෙවෙයි. හොඳම යාළුවා කියලා කීවත් වැරදි නැහැ. මොකද තිසුරි මගේ සෙවණැල්ල වගේ මගේ ළඟින්මයි ඉන්නේ. මගේ සහ මගේ සැමියාගේ ලොකුම සම්පත තමයි අපේ දියණිය. ඉතින් ඇයට අපේ තිබෙන ආදරය ගැන මගේ සිතට ආපු සිතුවිලි තමයි මට ඇය ගැන මේ විදිහේ කවියක් ලියන්න මූලික වුණේ.
“සඳ එළියසේ හදටත්, මිණි පහනක් සේ නිවසටත් ආලෝකය ගෙන දෙන්නේ දියණිය කියලයි සුසන්තා ඇගේ කවි පෙළෙන් කියන්නේ. සුසන්තා කියන විදිහට ඇය මීට පෙරත් දියණිය ගැන කවි ගීත ලියලා තියෙනවාලු. ඒවා නැවත නැවත කියවද්දී පවා ඇගේ සිතට ලොකු සැනසීමක් දැනෙනවා කියලයි සුසන්තා පවසන්නේ.
කොහොම නමුත් සෙවණැල්ල වගේ ළඟින්ම හිටපු දියණිය පතිකුලයට යන දිනයත් දවසින් දවස ළඟා වෙන බව සුසන්තාගෙන් අපට දැන ගන්නට ලැබුණා. තිසුරිට හැමඅතින්ම ගැළපෙන මනාලයෙක් දෙමාපියන් මේවනවිටත් සොයාගෙනලු තියෙන්නේ. 
වසර විසිගණනක් තිස්සේ තමන්ගේ නිවස එළිය කරපු තිසුරි ලබන වසරේ මැද හරියේදී තවත් නිවසක් එළිය කරන්නට යුග දිවියට පිවිසෙන බව සුසන්තා පැවැසුවේ ඒ සඳහා දින තීන්දු කරගත් වහාම ඒ ගැන ‘රිද්ම’ පාඨකයන්ටත් දැනුම් දෙන බවට ‍පොරොන්දුවකුත් අප වෙත ලබා දෙමින්.
 
නුඹ අපේ ප්‍රාණයයි
 
දෙතනෙ එල්ලී කිරි උරා බිව්
සෙනෙහෙ උණුසුම නිබඳවම සෙව්
පුරා විස්සක් වසර ගෙවිලා 
මගේ තුරුලෙම තවත් රැඳිලා
නුඹයි මගේ ප්‍රාණේ.... දියණියෙ
නුඹයි අපෙ ප්‍රාණේ
 
සඳ එළිය හද සිසිල දෙන
මිණි පහන සේ ගෙට එළිය දෙන
නුඹයි මගෙ ප්‍රාණේ... දියණියෙ
නුඹයි අපෙ ප්‍රාණේ
 
තුරුණු වියෙ එළිපත්ත නැගලා
හද පියන්පත් තදින් වහලා
දැනෙන හැඟෙන දේ වසන් කොට
මගේ සිත සුවපත් කළා නුඹ
නුඹයි මගෙ ප්‍රාණේ දියණියේ
නුඹයි අපෙ ප්‍රාණේ....
 
රන් රුවන්සේ රූපෙ වැඩිලා
මගේ උරුමය දෝතෙ රැඳිලා
එදා මගෙ තැන - අද නුඹේ ළඟ
සෙනෙහෙ උතුරයි - සතුට තෙරපෙයි
බයයි හද පුපුරයිද කියලා
නුඹයි මගෙ ප්‍රාණේ - දියණියෙ 
     නුඹයි අපෙ ප්‍රාණේ...
 
අපට පමණක් නොවේ සැනසුම
රටට අභිමානයකි අද නුඹ
ලොවේ සිත් සනසන අයුරින්
හෙට දිනේ බැබළෙයි නුඹේ මග
නුඹයි මගෙ ප්‍රාණේ දියණියේ
නුඹයි අපෙ ප්‍රාණේ...
 
සුසන්තා චන්ද්‍රමාලි 
 
කිෂාන් කනංකෙ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.