Coss Ear2
lakbima.lk
COSS Ear 1

සමහරු මම ගැන හිතාගෙන ඉන්න විදිය වැරදියි

ටෝනි හසන් කියන්නේ දශක පහකට වැඩි කාලයක් තිස්සේ සංගීත ක්‍ෂේත්‍රයේ රැඳී සිටින ප්‍රවීණ ගායන ශිල්පියෙක්. ප්‍රසංග වේදිකාවට අදත් ඔහුගේ දායකත්වය තවමත් එදා වගේම ලැබෙනවා. ටෝනි හසන් කියන්නේ මොනවගේ ගායකයෙක්ද කියලා ඇහුවොත් බොහෝ දෙනාගේ පිළිතුර වනු ඇත්තේ ඔහු හින්දි ගීත ගායනා කරන ගායකයෙක් කියලයි. නමුත් තමන් නම් මේ හැඳින්වීමට එතරම් කැමැති නැති බවයි ටෝනි පවසන්නේ.
 
ටෝනි හසන් කියන්නේ හින්දි ගීතවලට පමණක් සීමා වූ ගායකයෙක් බවයි අදටත් බොහෝ දෙනා හඳුන්වන්නේ.
ඒ මතය බොහොම වැරදි එකක්. මොකද මගේම කියලා සිංහල ගීත 250ක් විතර මට තියෙනවා.
 
නමුත්, ඔබේ හඩින් බොහෝ විට අසන්නට ලැබෙන්නේ හින්දි ගීත 
ඔව්, මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවේ හින්දි ගීතයක් ගායනා කරපු දා පටන් ප්‍රසංග සංවිධායකවරු මගෙන් හින්ද ගීතම තමයි ඉල්ලුවේ. මොකද ඒ දවස්වල හින්දි ගීත ගයන ගායක ගායිකාවෝ හිටියේ නැහැ. සිංහල ගීත ගයන්න ඕනෑ තරම් ගායක ගායිකාවෝ ඉන්න නිසා දිගටම හින්දි ගීත ගයන්න කියලා ඔවුන් මට කිව්වා. චිත්‍රපටවලට එහෙම මම ගායනා කළ හුඟක් ගීත තියෙනවා ජනතාව අතරට ගිය. නමුත්, පසුකාලීනව මට ඒවා ගයන්න ඒ තරම් අවස්ථාවක් නොලැබුණු නිසා ඒ ගීත නිකම්ම යටගියා.
 
හැබැයි ඔබ සංගීත ක්‍ෂේත්‍රයට පය තැබුවෙත් හින්දි ගීත ගායනා කරමිනුයි නේද? 
කොහෙත්ම නෑ. 1962 අවුරුද්දේ මම ගායකයෙක් විදිහට මුලින්ම කරළියට ආවේ සිංහල ගීත ගායනා කරමින්. මගේ මාමා කෙනෙක් හිටියා ටී.කේ. හනීෆා කියලා. ඔහු දක්ෂ ගායකයෙක්. මිල්ටන් පෙරේරා, ෆේ‍රඩී සිල්වා වගේ ගායකයන්ගේ ගීත තමයි මම මුලින්ම ගායනා කළේ.
 
මතකද ප්‍රසංග වේදිකාවේ මුලින්ම හින්දි ගීතයක් ගායනා කරපු දවස? 
ඒ දවස නම් මට කවදාවත් අමතක වෙන එකක් නැහැ. මීගමුවේ පැවැත්වුණු ඒ ප්‍රසංගයට ලංකාවේ නම ගිය ප්‍රවීණ ගායක ගායිකාවන් තමයි ගීත ගායනා කරන්න එකතු වෙලා හිටියේ. ආධුනිකයෙක් විදිහට මම එදා වේදිකාවට නගිද්දී නරඹන්නෝ කවුරුවත් මාව ගණන් ගත්තේ නැහැ. මම එදා ගායනා කළේ ‘දෝස්ති’ හින්දි චිත්‍රපටයේ ගීතයක්. මම ගීතය ගයන්න පටන් ගත්තා විතරයි නරඹන්නෝ හැමෝම නිහඬවෙලා පුදුමයෙන්  මගේ දිහා බලාගෙන ගීතය රසවින්දා.
 
ඒ විදිහට ටිකෙන් ටික ලැබුණු ජනප්‍රියත්වයත් එක්ක ඔබට චිත්‍රපට පසුබිම් ගායකයෙක් බවට පත්වෙන්නත් අවස්ථාව ලැබුණා නේද?
ඔව්, මම චිත්‍රපට පසුබිම් ගායකයෙක් වෙලා මේ අවුරද්දට වසර 50ක් සම්පූර්ණ වෙනවා. “ඔබ නැත්නම්” චිත්‍රපටයට මිල්ටන් පෙරේරා එක්ක යුග ගීතයක් තමයි මම මුලින්ම ගායනා කළේ.
 
පසුකාලීනව හින්දි බසින් ගීත ගයන ගායක ගායිකාවෝ විශාල වශයෙන් ප්‍රසංග වේදිකාවට ඒමත් එක්ක ඔබට එදා තිබුණු ඉල්ලුම අද අඩු වෙලා නැද්ද?
ඔව්. සංගීත කණ්ඩායම්වල ශිල්පීන් පවා දැන් හින්දි ගීත ගායනා කරනවා. නමුත් මම ප්‍රසංග වේදිකාවේ මගේම අනන්‍යතාවයක් ගොඩනගා ගත් ගායකයෙක් නිසා මට තිබෙන ඉල්ලුම නම් තවමත් අඩුවෙලා නැහැ. 
 
ඔබේ දුවත් දැන් ඔබ සමග ප්‍රසංග වේදිකාවේ ගී ගයනවා නේද? 
ඔව්, මට ඉන්නේ දුවෙක් සහ පුතෙක්. මගේ දුව සිම්රා හසන්. ගායිකාවක්. ඇය ගායනා කළ දමිළ ගීතයක් වෙනුවෙන් ඇයට 2015 වසරේදී හොඳම ගායිකාව විදිහට ජාතික සම්මාන පවා හිමිවුණා. 
 
කිෂාන් කනංකෙ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.