Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඔයා කසාද බැඳලද?

“මම දැන් පත්තරවලට, ඊවලට ඉන්ටර්විව් දෙන එක නතර කරලයි තියෙන්නේ..”
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමඟුල දවසේ මට හමු වූ තරුණ ජනප්‍රිය නිළියක් එහෙම කිව්වා. 
“ඇයි ඒ.. මොකක්ද ප්‍රශ්නේ..”
“පත්තරේකින් කතා කළත්, ටීවී වැඩසටහනකට ගියත්, හැමෝම මගෙන් අහන්නේ එකම ප්‍රශ්නේ. පෙම්වතෙක් ඉන්නවද..? කවදද බඳින්නේ..?” ඔන්න ඕකයි ප්‍රශ්නේ. 
“දැන් මට ඕකට උත්තර දීලම එපා වෙලා.”
“ඇයි වදේ මම බඳින නොබඳින එක කාටත් මොකෝ..” මේ කියන තරුණ ජනප්‍රිය නිළිය ඒ ටික කිව්වේ මගේ කනට ළං වෙලා රහසින් වගේ.  
“බලන්න ඔයා කොයි තරම් ලස්සන, ජනප්‍රිය නිළියක්ද..? ඉතින් ඒ වගේ කෙනෙක් ආදරය කරන කෙනා ගැන, එහෙමත් නැත්නම් කසාද බඳින කෙනා ගැන හැමෝම දැනගන්න කැමැතියිනේ.. ඉතින් ඕකනේ හැමදාම ඔය ප්‍රශ්නේ අහන්නේ..”
ඇයව තව ටිකක් තරහ ගස්සන්න ඕන කියලා හිතාගෙනයි මම එහෙම කිව්වේ.
“ඇත්තටම මම අහන්නේ ගැහැනියකට විවාහ නොවී තනියම ජිවත් වෙන්න බැරිද..?”
ඒ වෙලාවේ ඇය මගෙන් ඇහුවේ බරපතළ ප්‍රශ්නයක්. “හරි.. හරි... අපි දෙන්නට ඔය ගැන මෙතන වාද කරන්න බෑනේ.. අපි දවසක ඔය ගැන නිවී සැනසිල්‍ලේ කතා කරමුකෝ..”
එදා මම ඇගෙන් සමු ගත්තේ එහෙම කියලයි.
මේ කතාබහ නිම වෙලා දවස් කීපයක් ගත වුණත් එදා ඇය මගෙන් අහපු ප්‍රශ්නය පුංචි විවේකයක් ලැබෙන හැම වෙලාවකම මගේ හිත ළඟට ඇවිත් දෝංකාර දෙනවා වගෙයි මට දැනුනේ. ඔය අතරේ තවත් පුදුමාකාර දෙයක් සිදු වුණා. 1996 ජූනි මස 30 වැනිදා රිද්ම පුවත්පතට ජනප්‍රිය නිළි සබිතා පෙරේරා සමග කළ සාකච්ඡාවක් අහම්බෙන් වගේ මගේ නෙත ගැටුණා. සමන් ප්‍රියංකර තමයි එදා ඇය සමග මේ සාකච්ඡාව කරලා ලිපිය සකස් කරලා තිබුණේ.
“ගැහැනියකට තනිවම ජීවත්  වෙන්න බැරිද..?” එදා සබිතා “රිද්ම” පත්තරේට දීලා තිබුණු උත්තරේ තමයි මේ.
“මම හිතන්නේ නැහැ. ගැහැනියකට තනියම ජීවත්වෙන්න බැහැයි කියලා. නමුත් විවාහ වීම හොඳයි. ඒත් ගැහැනියකට තනිවම ජිවත්වෙන්නත් පුළුවන්. ගැහැනියකට තනිවම ජීවත්වෙන්න බැහැ කියන සංකල්පය බිහිවෙලා තියෙන්නේ පුරුෂයාගේ පැත්තෙන්. පුරුෂාධිපත්‍යයේ තවත් ප්‍රතිඵලයක් හැටියට තමයි මේ මතය ඇතිවෙලා තියෙන්නේ”
මේ විදියට කතාව පටන් අරගෙන තිබුණු සබිතා එදා මේ විදියටත් කියලා තිබුණා.
“අද කා‍ලේ විවාහ වෙන එක ගැන දෙපාරක් හිතන්න වෙනවා. ඒ වෙන හේතුවක් නිසා නමෛයි, දික් කසාද නොවී කසාදය සදාකාලිකවම තියාගන්න ඕන හින්දා. අපි අවට සමාජය දිහා බැලුවාම අද කොයි තරම් දෙනෙක් දික්කසාද වෙනවද නොයෙකුත් හේතු උඩ. මම හිතන විදියට විවාහයකට වයස බලපන්නේ නැහැ. අවශ්‍යවෙන්නේ එකිනෙකා තේරුම් ගැනීම සහ නියම කෙනා තෝරා ගැනීමයි. ඒකට කොයි තරම් කාලයක් ගත්තත් ප්‍රශ්නයක් නෑ.”
සබිතා දීපු උත්තරය තමයි ඒ. සබිතා කියපු කතාව කියවාගෙන යනකොට මට වුණත් හිතුනේ කොයි තරම් ඇත්තක් මේ කතාවේ තියෙනවාද කියලයි.
ඒත් ඉතින් පත්තරකාරයෝ වෙච්ච අපි කොහොමද ලස්සන, තරුණ නිළියක් හමුවුණාම ඔය වගේ ප්‍රශ්නයක් අහන්නේ නැතිව ඉන්නේ. හිත හදාගන්න ඒ විදියට මම හිතුවත් අනිත් හැමෝටම වගේ මාධ්‍යවේදීන් වූ අපටත් කිසියම් සදාචාරයක් තිබිය යුතුයි කියන මතයේයි මම නම් ඉන්නේ. හැබැයි ඉතින් මම ඔබට කියපු මගේ මිතුරු නිළි, යෙහෙළියගේ කතාව ගැන නම් ඔබ මහා ලොකුවට හිතන්න යන්න එපා.. මොකද ඇයම තවත් දවසක මට කතා කරලා “මගේ වෙඩින් එක ළඟයි.. මගේ ආටිකල් එකක් පත්තරේ දාලා දෙන්න පුළුවන්ද..?” කියලා මගෙන්ම අහන්න පුළුවන්. මොකද.. මේ නළු නිළි ලෝකේ ඕවා සාමාන්‍ය දේවල් නිසා.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.