Coss Ear2
lakbima.lk
COSS Ear 1

ජවනිකා අංක - 01
 
(හදිසියේම නොදන්වා මිතුරෙකුගේ නිවසකට ගියවිටක ගේ ඇතුළෙන් අසන්නට ලැබුණු දෙබසක්)
 
“මාත් එක්ක පවුල් ජීවිතයක් ගෙවන්න බැරිනම් අපි නීතියෙන් වෙන්වෙමු. මම ඒකට කැමතියි. හැබැයි මට දැන ගන්න ඕන එකපාරටම සිද්ධ වෙච්ච විපර්යාසය මොකක්ද කියලා. මම සද්ද නැතිව හිටියට ඒක නිවට කමක් කියලා හිතන්න එපා. මම හොඳින් කියන්නේ. මාව නිරපරාදේ තිරිසනෙක් කරන්න එපා. මම අණබෙර ගහලා, හැමෝටම එන්න කියලා කසාදයක් කරගත්තේ මේ වගේ ගොළුවෝ බිරෝ වගේ ඉන්න නමෛයි“.
 
ජවනිකා අංක - 02 
 
(මා නිවසේ වාඩිකර මිතුරා මඳක් එළියට ගිය පසු මිතුරාගේ බිරිය කී කතාව)
 
“එයා මට කවදාවත් ඇහුම්කන් දුන්නේ නෑ. බිරිඳක් හැටියට එයා මට ගෞරව කළේ නැහැ. එයාට ඕන වුණේ ඊතලයක් වගේ ඉහළට යන්න විතරයි. එයා හැමදාම ගෙදර එන්නේ ෆයිල් ගොඩක් උස්සගෙන. රෑ එළිවෙනතුරු එයා වැඩ. මම තේ හදනවා. මාමයිට් හදනවා. නිදිත් මරනවා. එයා වැඩකරලා හෙම්බත් වුණාම අනිත් පැත්තට හැරිලා නිදා ගන්නවා. මමත් හැඟීම් දැනීම් තියෙන ගැහැනියක්. මේ හැම දෙයක්ම ඉවසලා ඉවසලා බැරිම තැන, මම එයාට එයාගේ ලෝකේ ඉන්න දීලා පැත්තකට වෙලා නිහඬව හිටියා. එයා ඩිවෝස් වෙමු කියනවා නම් මමත් ඒකට කැමතියි.
 
ජවනිකා අංක - 03
 
(මාස 2කට පමණ පසු කොළඹ පෞද්ගලික රෝහලක් අසලදී පෙර කී මගේ මිතුරා සහ ඔහුගේ බිරිඳ අහම්බෙන් මුණ ගැසුණු අවස්ථාවක්)
 
මිතුරා - (බිරිඳ දෙස බලා ලැජ්ජාවෙන් මෙන්) මෙයාව ඩොක්ටර්ට පෙන්නන්න ආවා. 
මම - ඇයි සනීප නැද්ද? 
මිතුරා - (සෙමින් මගේ කනට කොඳුරා) වයිෆ් පේ‍රග්නට්
මම - ෂා... කොයි තරම් සුබ ආරංචියක්ද? මගේ සුබ පැතුම්...
මිතුරාගේ බිරිඳ - ඉස්සර වගේ ‍නෙවෙයි.... දැන් මෙයා හරි හොඳයි (සිනාසෙයි)
මිතුරා - එදා ගෙදර ආපු දවසෙ අපි දෙන්නගෙ රණ්ඩුව කාටවත් කිව්වේ එහෙම නෑ නේද? (දෙදෙනාම සිනාසෙයි)
මම - ඕව මොනවද? හැම දෙයක්ම ගෙදර බත ඉදෙන කන් විතරයිනේ...
මිතුරා - අපි එහෙනම් යන්නම්. නිවාඩු වෙලාවක ඒ පැත්තේ ඇවිත් යන්න එන්න.
(දෙදෙනාම ඇඟිලි පටලා ගනිමින් ඈතට ඇවිද යයි)
 
නිගමනය - කෙනෙකුගේ නිවසකට නොදන්වා ගොස් මෙබඳු කතා අසා සිටීමත්, පසුව ඒවා පුවත්පතකට ලිවීමත් නිසා වරද මා අතමය.
 
ඒ නිසා මා ඔබෙන් සමාව ඉල්ලා සිටින අතර මෙවැනි ජවනිකා ඇතුළත්, ටෙලි නාට්‍ය, චිත්‍රපට පුංචි තිරයෙන්ද, රිදී තිරයෙන්ද ඉන් නොනැවතී සැබෑ ලෝකයෙන්ද ඔබත් දැක තිබෙන්නට ඉඩ ඇති නිසා මේ කතාවත් එවන් වූ සත්‍ය කතාවක්ම බව සහතික කරමි.

Page 1 of 75

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.