
හර්ෂ, එදා පදනම් ආයතනයේදී ගීතයේ අයිතිය පිළිබඳව පැවැති කතිකාවේදී ඔබ අදහස් දැක්වූයේ තරමක් ආවේගශීලීවයි. ඇයි ඒ?
මගේ පියා (ලූෂන් බුලත්සිංහල) ඇතුළු බොහෝ අය එහිදී ගීතයේ අයිතිය ගැන වටිනා අදහස් දැක්වූවා. මා එය අගය කරනවා. ඒත් ගීතයේ අයිතිය ගැන කතාකරනවා වගේම ඒ අයිතිය ලබා ගන්නා ආකාරය පිළිබඳවත් නිර්මාණකරුවන් දැනුවත් විය යුතුයි. අත්‍යවශ්‍යම දේ එතැනදී කතාබහ නොවීම ගැනයි මම සභාව දැනුවත් කළේ.
එහෙනම් අපි ඒ ගැන දැන් කතා කරමු
ගුවන් විදුලි හා රූපවාහිනි නාලිකාවල ගීත ප්‍රචාරය වනවිට, යම් ප්‍රාසාංගික කටයුතු සඳහා ගීත යොදා ගන්නා විට ගීතයේ අයිතිකරුවන්ට ඒ සඳහා මුදල් ගෙවිය යුතුයි. ඒකයි පවතින නීතිය. බුද්ධිමය දේපොළ සම්බන්ධ ලෝකයේ පොදු නීතිය වගේම අපේ රටේත් ඔය නීතිය තියෙනවා. ඒත් ගීතයේ අයිතිකරුවන්ට ඒ මුදල ලබා ගන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ. තමන්ගේ ගීත නාලිකාවල කොයිතරම් වාරයන් ප්‍රචාරය වුණාද? තමන්ගේ ගීත මොන මොන කටයුතුවලට යොදා ගත්තාද කියලා බොහෝ විට නිර්මාණකරුවන්ට සොයා ගන්න අමාරුයි. ඒ හින්දා මේ කටයුත්තට අතරමැදියකු සිටිය යුතුයි. ඒ තමයි “කර්තෘභාග කළමනාකරණ ආයතනය”. එය රජයේ මූලිකත්වයෙන් බුද්ධිමය දේපොළ කාර්යාංශය සමග අනුබද්ධව පිහිටුවිය යුතු ආයතනයක්. ඒත් අවාසනාවකට අපේ රටේ තවම එවැනි ආයතනයක් නැහැ. පිළිගත් “කර්තෘභාග කළමනාකරණ ආයතනයක්” නැති රටක තමයි අපි ගීතයක අයිතිය ගැන හඬ නගන්නේ.
කර්තෘභාග කළමනාකරණ ආයතනයක් දැනට නැතිනම් මේ වන විට නිර්මාණකරුවන්ගේ කර්තෘභාග අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නට කෙනෙක් ඇත්තේම නැද්ද?
“ගායක ගායිකාවන්ගේ සංගමය”, “ඔස්කා සංවිධානය” හා අපගේ “ඒඛි” ආයතනය තමයි දැනට ඔය කටයුත්තට පෙනී සිටින්නේ. ඒ අතරින් ගායක ගායිකාවන්ගේ සංගමය තුළ ගායක ගායිකාවන් ගීත රචකයින් සංගීතවේදීන් හැමෝම ඉන්නවා. එවිට ගීතයේ කර්තෘභාග ගෙවීමේදී මතවාද ඇතිවිය හැකියි. ඔස්කා සංවිධානය පැරණි ගායක ගායිකාවන්ට සුබසාධන සංගමයක්, අපේ “ඒඛි” සංගමය නම් බුද්ධිමය දේපොළ සම්බන්ධ නිසි නීති පද්ධතිය අනුවයි ක්‍රියාත්මක වන්නේ. ප්‍රවීණයාගේ සිට නවකයා දක්වාම සුභාවිත ගීතද, මල් ගීතද කියන එක අපිට ප්‍රශ්නයක් නැහැ. අපේ සංගමයේ සිටින ගීත රචකයින් හා සංගීතවේදීන් වෙනුවෙන් නිසි ගෙවීම කරන්නට වගේම ඒ අයගේ නිර්මාණ මංකොල්ලයක් වුණොත් ඒ වෙනුවෙන් පෙනී සිටින්නත් අපි බැඳී සිටිනවා.
මේ වන විටත් සමහරුන්ට කර්තෘභාග ගෙවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා නේද?
ඔව්. අපගේ ඒඛි ආයතනය සෑම වසරකම ජුනි හා දෙසැම්බර් මාසවලදී අදාළ අයට කර්තෘභාග ලබා දෙනවා. මේ වන විට ගුවන්විදුලි හෝ රූපවාහිනි නාලිකා කිසිවක් මේ හිමිකම් ගෙවන්නේ නැහැ. ප්‍රසංගවලත් හා විවිධ වාණිජ කටයුතුවලට ගීත යොදා ගත් අවස්ථාවලත් අදාළ මුදල් එකතු කරලා අප එම නිර්මාණකරුවන්ට මුදල් ලබා දෙනවා. අප ආයතනය ආරම්භ කළේ 2017 දී. මේ වන විට අවස්ථා දෙකකදී ඔය කටයුත්ත කළා. ඒ අවස්ථා දෙකෙහිදීම වැඩිම මිලක් ලැබුණේ කරුණාරත්න අබේසේකර මහතා වෙනුවෙන් දිලීප අබේසේකරට. ඒ අවස්ථාවේදී දිලීපට රුපියල් 1,20,000 මුදලක් ලැබුණා.
ඔබේ පෞද්ගලික ජීවිතේ තොරතුරු ගැන කතා කළොත් ?
මමයි මගේ බිරිඳ රිදම් සුලෝචනා සහ දුව බනුජි මධුරංගි බොහොම සතුටින් ජීවත් වෙනවා. දූ ඉගෙනගන්නේ ජාත්‍යන්තර පාසලක 7 වසරේ. මගේ ලොකු දුව නුමායා ප්‍රසාංගි සාමාන්‍ය පෙළ කළා. එයා ඉන්නේ එයාගේ අම්මත් එක්ක. ඒත් මාත් එක්කයි එයාගේ නංගියි එක්කයි සම්බන්ධය තියෙනවා.
ආරියවංශ කුලතිලක
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.