Coss Ear2
lakbima.lk
COSS Ear 1

පෙම්වතා වෙනුවට දුෂ්ටයා වෙන්න හදන රොෂාන් කොණ්ඩෙත් වවාගෙන

සිංහල සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන රොෂාන් රණවන පසුගිය දිනෙක සමාජ ජාල වබේ අඩවි වෙත ඔහුගේ වෙනස්ම විදිහේ ඡායාරූප පෙළක් මුදාහැර තිබුණා. බැලූ බැල්මට ටෙලි නාට්‍යයක හෝ චිත්‍රපටයක දර්ශන ලෙස පෙනෙන එම ඡායාරූපවල රොෂාන්ගේ පෙනුම ගැන බොහෝ දෙනා විවිධ ප්‍රතිචාර දක්වලා තිබුණා. මොකද වෙනදා දැක පුරුදු විදියට හාත්පසින්ම වෙනස් ආකාරයකටයි ඔහුගේ රුව එම ඡායාරූපවල සටහන් වෙලා තිබුණේ. රොෂාන්ට ඒ විදිහට තමන්ගේ පෙනුම වෙනස් කරගන්න සිදු වුණේ ඇයිද කියලා ආදරණීය පාඨකයන් වෙනුවෙන් අපි සොයා බැලුවා. 
 
ඔබ සමාජ ජාල වබේ අඩවි වෙත එක්කර තිබූ ඡායාරූප පෙළක් ගැන මේ දිනවල බොහෝ දෙනා කතා බහ කරනවා. කොණ්ඩෙයි රැවුලයි වවාගෙන රොෂාන් මේ කරන්න සූදානම් වෙන්නේ මොකක්ද කියන එක හුඟාක් අයට ගැටලුවක් වෙලා. ඇත්තටම මොකක්ද ඔබේ මේ වෙනසට හේතුව? 
කොහොමටත් ඉදිරි කාලයේදි ප්‍රේක්ෂකයන්ට මාව වෙනස්ම විදිහේ චරිතවලින් තමයි මුණගැහෙන්නේ. මගේ ඒ වෙනස ප්‍රේක්ෂකයන්ට අත්විඳින්නට ලැබෙන එක්තරා චරිතයක් සඳහායි මම ඒ විදිහට මගේ පෙනුම වෙනස් කරගත්තේ.
 
ඔබේ අලුත් චිත්‍රපටය වෙනුවෙන්ද ඒ විදිහට ඔබට වෙනස් වෙන්න සිද්ධ වුණේ? 
නැහැ. ඒක ටෙලි නාට්‍යයක්. එහි නම තමයි සුනේත්‍රා. එය අධ්‍යක්ෂණය කරන්නේ සමන් කුමාර ලියනගේ. 1900 මුල් ගණන්වල කතාවකුයි දිග හැරෙන්නේ. ඒ කතාවේ හැටියට අලුදෙනිය වලව්වේ මහනිලමේගේ පුතා වන මල්රාළ විදිහටයි මම රඟපාන්නේ. 
 
මේ චරිතය වෙනුවෙන් ඔබට සටන් ක්‍රම පවා පුරුදු පුහුණු වෙන්න සිදුවුණා කියන්නේ ඇත්තද? 
ඔව්. සුනේත්‍රා කියන්නේ පාරම්පරික වළව් අතරේ පවතින තරහ මරහ ආදිය ගැනත් කතා බහ කෙරෙන ටෙලි නාට්‍යයක්. ටෙලි නාට්‍යයට අංගම්‍පොර සටන් දර්ශනත් ඇතුළත් වෙන නිසා මට ඒ වෙනුවෙන් අංගම්‍පොර සටන් කලාවත් ප්‍රගුණ කරන්න සිද්ධ වුණා. 
 
ඔබ වඩාත් ප්‍රකට චිත්‍රපට නළුවෙක් විදිහටයි. ඇයි කාලෙකට පස්සේ ටෙලි නාට්‍යයක රඟපාන්න ඕනෑ කියලා හිතුණේ? 
මම අවුරුදු 3-4කට පස්සේ තමයි ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වෙන්නේ. මගේ රංගන ජීවිතයේ යම් වෙනසක් අවශ්‍යයි කියල හිතුණු නිසයි මම මේ ආරාධනාව බාරගත්තේ. මොකද මට මේ ටෙලි නාට්‍යයේදි ලැබිලා තියෙන්නේ මම මීට කලින් රඟපෑ ආකාරයේ චරිතවලට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. 
 
ඔබ කලින් සඳහන් කළ වෙනස ඔබේ චිත්‍රපටවලිනුත් දැකගන්නට ලැබේවිද? 
ඇත්තෙන්ම ඔව්. මීළඟට එන ෆේස් ටු ෆේස් චිත්‍රපටයේ මම ද්විත්ව චරිත රඟපෑමක යෙදෙනවා. ඒ වගේම මුල් වරට මම දුෂ්ට චරිතයකින්  ප්‍රේක්ෂකයන් ඉදිරියට එනවා. 
 
කාලයක් රිදී තිරයේ ජනප්‍රියම පෙම්වතා බවට පත්ව සිටි ඔබට දැන් හේමාල් රණසිංහ වැනි රංගන ශිල්පීන් අභියෝගයක් බවට පත්වෙලා මොනවාද හිතෙන්නේ ඒ ගැන? 
සිනමාවට අලුත් මුහුණු එකතු විය යුතුයි. මම විතරක් තනිවම රේස් එක දුවලා රිදී තිරයේ පෙම්වතාගේ කිරුළ දිනා ගත්තා කියලා වැඩක් නැහැනේ. අලුත් අයගෙන් අභියෝග එල්ල වුණාම තමයි මට වුණත් මගේ අඩුපාඩු හදාගන්න අවස්ථාව ලැබෙන්නේ. අනික ජනප්‍රියත්වය කියන දේ කාලයෙන් කාලයට වෙනස් වෙනවා කියන කාරණයත් මම හොඳට වටහාගෙනයි ඉන්නේ.
 
විවාහ වෙලත් දැන් වසර කිහිපයක් ගතවෙලානේ, ළඟදි දරු සුරතල් බලන්න එහෙම අදහසක් නැද්ද? 
මොකද නැත්තේ? රංගන ජීවිතයේ වෙනසකට මුල පිරුවා වගේ ඒ වෙනසත් අපේ ජීවිතවලට සමීප කරගන්න මමත් බිරිඳත් මග බලාගෙන ඉන්නවා. 
 
කිෂාන් කනංකේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.