Coss Ear2
lakbima.lk
COSS Ear 1

ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය නිවේදකයකු වන ඩෙන්සිල් නුගේගොඩ ගෙන් හැමෝම ඉල්ලන්නේ මොනවාද?

ප්‍රසංග වේදිකාවට ඔබින ලයාන්විත කටහඬක් ඇති නිවේදක ශිල්පියෙකු වන ඩෙන්සිල් නුගේගොඩට නිවේදකයකු විදිහට දිගු  ඉතිහාසයක් තිබෙනවා. නම කියූ සැණින් සංගීත ලෝලීන් හැමෝම දන්නා හඳුනන මේ ප්‍රවීණ නිවේදන ශිල්පියාගේ ඉතිහාසය හාරා අවුස්සද්දී ඔහු බොහොම රසවත් තොරතුරු රැසක් අප ඉදිරියේ දිගහැරියා.
 
ප්‍රසංග වේදිකාවේදී ලොකුම අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදුවුණු දවසෙන්ම මේ කතාබහ පටන් ගනිමුද?
ඒ සිද්ධිය වුණේ එල්.ටී.ටී.ඊ. යුද ගැටුම් පැවැත්වුණු කා‍ලේ. ඒ කා‍ලේ හබරණින් එහාට යනවා නම් හමුදා ආරක්ෂාව එක්ක තමයි යන්න ඕනෑ. හැබැයි ඒ ආරක්ෂාව හවස හතර හමාරෙන් පස්සේ ලැබෙන්නේ නැහැ. කන්ත‍ලේ පැවැත්වුණු මේ කියන ප්‍රසංගයට මම “බ්ලූ ෂැඩෝස්” සංගීත කණ්ඩායමත් එක්ක වේලාසනම ගියා. හැබැයි ඒ ප්‍රසංගයට සහභාගී වෙන්න හිටපු රූකාන්ත, චන්ද්‍ර‍ලේඛා, චාන්දනී හෙට්ටිආරච්චි ඇතුළු ගායක ගායිකාවන් හබරණට ළඟාවෙද්දී හැන්දෑවේ හතර හමාර පහුවෙලා. හතර හමාරෙන් පස්සේ ඉන් එහාට තනියමයි යන්න වෙන්නේ කියලා දැන ගත්තාම ඒ අය ආපහු කොළඹ ඇවිල්ලා. ප්‍රසංගය පටන් ගෙන ටික වෙලාවකින් ස්ටේජ් එකට ගල්මුල් ප්‍රහාර එල්ල වෙන්න පටන් ගත්තා. නරඹන්නෝ කෑ ගහනවා එනවා කියපු ගායක ගායිකාවෝ කෝ කියලා. සෙනග සන්සුන් කරන්න මම එදා එක දිගට විනාඩි තිස්පහක් කතා කළා. මේ සිදුවීමෙන් ලොකුම හානිය වුණේ සංගීත කණ්ඩායමට. මොකද නරඹන්නෝ විශ්වාස කළේ ගායක ගායිකාවෝ ආපු නැති එකේ වගකීම බාරගන්න ඕනෑ සංගීත කණ්ඩායම කියලයි. එදායින් පස්සේ බ්ලූ ෂැඩෝස්ලාට කන්ත‍ලේ ප්‍රසංග ලැබුණේම නැහැ.
 
ප්‍රසංග වේදිකාවේදී ඔය විදිහේ අමතක නොවෙන අත්දැකීම් ඔබට ඕනෑ තරම් ඇති? 
අ‍පොයි ඔව්, මම ප්‍රසංග වේදිකාවට පය තියලා මේ වෙනකොට වසර 35කට ආසන්නයි. දැනට එක දිගට ප්‍රසංග වේදිකාවේ සක්‍රීයව වැඩිම කාලයක් ඉන්න ප්‍රසංග නිවේදකයා මමයි කීවත් නිවැරදියි. ඉතින් අමතක නොවෙන අත්දැකීම් නම් කියලා ඉවර කරන්න බැරි තරමට තියෙනවා.
 
ප්‍රසංග වේදිකාවේ ඔබ ආපු දිගු ගමනේ මුල කොතැනද?
පාසල් කාලයේදීම තමයි මම ප්‍රසංග වේදිකාවේ මයිකේ‍රාෆෝනය අතට ගත්තේ. ප්‍රසංග වේදිකාවට පය තියලා කෙටි කලකින්ම ඒ වෙනකොට ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ හිටපු සන්ෆලවර් සංගීත කණ්ඩායමේ නිත්‍ය නිවේදක විදිහට කටයුතු කරපු නෙල්සන් අබේකෝන් මහතාගේ තැන මට ලැබුණා. ඒ තමයි ආරම්භය. 
 
ප්‍රසංග වේදිකාව කවදාවත් එපා වෙලා නැද්ද?
අ‍පොයි නැහැ. වෙනත් ප්‍රසංග නිවේදකයෝ වගේ ‍නෙවෙයි මගේ එකම වෘත්තිය මේකයි. කවදා හරි මම මියයනතුරු මයිකේ‍රාෆෝනය අත හරින එකක් නැහැ. 
 
වෙනත් වෘත්තීයක් නොකර නිවේදක වෘත්තියෙන් යැපෙන්න තරමේ ඉල්ලුමක් ඔබ ඇති කරගත්තේ කොහොමද?
ප්‍රසංග වේදිකාවට මටම ආවේණික ලෙංගතු කටහඬක් හඳුන්වා දුන්නා. නිවේදකයෙක් විදිහට මම කාටවත් අපහාස වෙන විදිහට කතා කරන්නේ නැහැ. මෙවැනි හේතු නිසා මට තියෙන ඉල්ලුම දිනෙන් දින ඉහළ ගියා.
 
ඔබව අනුකරණය කරන අයත් අද වෙද්දී වැහි වැහැලාලු නේද?
ඒක නම් එහෙම තමයි. රට වටේම ඉන්න නිවේදකයෝ මාව අනුකරණය කරනවා. “‍පොඩි ඩෙන්සිල්” කියන නමින් පවා සමහරු මාව අනුකරණය කරමින් වේදිකාවට නගිනවා. මම හිතන්නේ අද වෙද්දී ලංකාවේ වැඩිම දෙනෙක් අනුකරණය කරන ප්‍රසංග නිවේදකයා මම වෙන්න ඇති. 
 
ඩෙන්සිල් නුගේගොඩට කියලා අලුත් නමක් දාගන්න ප්‍රසංග වේදිකාවේ හුඟක් අය බොහොම කැමැත්තෙන් ඉන්නවා කියන්නේ ඇත්තද?
ඒ කතාව ඇත්ත. අද ප්‍රසංග වේදිකාවේ ඉන්න ගායක ගායිකාවන් හුඟ දෙනෙක් මම දාපු නම් තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම සංගීත කණ්ඩායම්වලටත් මම තරම් නම් තියපු වෙනත් කෙනෙක් නැතුව ඇති. අදටත් ප්‍රසංග වේදිකාවේ ඉන්න ජනප්‍රිය සංගීත කණ්ඩායම් නායකයකුට නමකුත්, බ්ලූ ෂැඩෝස් සංගීත කණ්ඩායමේ මුල්ම කැසට් පටයට “අපේ වැඩක්” කියන නමත් දාලා තමයි මම ඒ කටයුත්ත අහම්බෙන් වගේ පටන් ගත්තේ. අලුත් නම් දාලා දෙන්න කියලා අදටත් දවසකට දුර ඇමතුම් දහයකට  වැඩිය මට අනිවාර්යයෙන්ම ලැබෙනවා. 
 
කිෂාන් කනංකෙ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.