Coss Ear2
lakbima.lk
COSS Ear 1

මීට කලින් ටෙලි නාට්‍ය දෙකකටයි චිත්‍රපටයකටයි ආරාධනා ලැබුණා. ඒත් රඟපාන්න තිබුණු බය හින්දාම බෑ කිව්වා. මෙහෙම කියන දිනූෂා සිරිවර්ධන මේ දවස්වල ඔබට හමුවන්නේ ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන නෙතූ ටෙලි නාට්‍ය හරහා. මියුසික් වීඩියෝවල රඟපෑවට ටෙලි නාට්‍යයක රඟපාන්න බයෙන් හිටපු දිනූෂාගේ බය තවමත් ඒ විදියටම තියෙනවාද කියලත් අපි ඇගෙන් ඇහුවා.
 
දිනූෂාගේ ප්‍රථම ටෙලි නාට්‍ය රංගනය නෙතූ වුණත් ඔබ මින් පෙරත් කලාවට සම්බන්ධ වී තියෙනවා. මම කියපු දේ හරිද? 
ඔව්. මම Music Video කීපයකට සම්බන්ධ වෙලා තියෙනවා. නිරූපිකාවක් විදියට මනාලියන්ගේ ප්‍රදර්ශන සඳහාත් සම්බන්ධ වෙනවා. 
 
ඒ හරහාද ටෙලි නාට්‍ය රංගන ශිල්පිණියක් වීමට ඔබට අවස්ථාව ලැබුණේ? 
මට මීට කලින් ටෙලි නාට්‍ය තුනකටයි චිත්‍රපට දෙකකටයි ආරාධනා ලැබි තිබුණා. ඒත් බාරගත්තේ නැහැ නෙතූ තමයි පළවෙනි නාට්‍යය. නෙතූ බාරගත්තාට පස්සේ තවත් ටෙලි නාට්‍යයකටයි චිත්‍රපටයකටයි ආරාධනා ලැබිලා තියෙනවා. 
 
ඇයි කලින් ආරාධනා ප්‍රතික්‍ෂේප කළේ? 
බයට, දෙබස් අමතක වෙයිද? වරදියිද? බැණුම් අහන්න වෙයිද? කියලා බය හිතුණා. Music Video කරද්දී ඒ ප්‍රශ්න නැහැනේ. ඒත් ශාන්ත සොයිසා මහතා වගේ කෙනෙකුගේ නිර්මාණයකට ආරාධනා ලැබුණාම බාරගන්න හිතුණා. මගේ දෙවැනි අක්කා තමයි මට කලාවට එන්න වගේම රඟපාන්න උනන්දු කළේ. එයා මෝස්තර නිරූපණ ශිල්පිනියක් විදියට වගේම ටෙලි නාට්‍යයක රඟපාලත් තියෙනවා. 
 
පවු‍ලේ තොරතුරුයි දිනූෂාගේ තොරතුරුයි දැන ගන්නත් අපගේ ආදරණීය රිද්ම පාඨකයෝ කැමති වෙයි? 
මම මහරගම. ඉගෙන ගත්තේ ශ්‍රී රේවත රාජකීය විදුහලින්. මට අක්කලා දෙන්නෙක් ඉන්නවා. ගෙදරින් මගේ කලා කටයුතුවලට උපරිම සහය ලැබෙනවා. 
 
රඟපාන්න බයෙන් හිටියා කිව්වනේ. නෙතූ රඟපාන්න ගියාම ඔය බය දැනුණේ නැද්ද? 
ඉස්සෙල්ලාම දවසේ ලොකු බයක් තිබුණා. නෙතු එයාගේ තාත්තා (ලාල් කුලරත්න) එක්ක කරන ජවනිකාවක් තමයි මුලින්ම රඟපාන්න තිබුණේ. ඒ ජවනිකාවේ මට තිබුණේ එක දෙබසයි. හොඳට පාඩම් කරලා  දෙබස් හරියට කියපු හින්දා ඊළඟ දර්ශනවලට බය නැතුව මූණ දෙන්න පුළුවන් වුණා. 
 
ඒ කියන්නේ දැන් ඒ බය නෑ?
දැනට නම් නෑ. ඒත් අලුත් ප්‍රඩක්ෂන් එකක වැඩ කරන්න යද්දී ඒ බය ඇති වෙයිද දන්නේ නෑ
 
රඟපාන අතරතුර අමතක නොවන අත්දැකීම්වලට මුහුණ දෙන්නත් ඇති නේද? 
එක ජවනිකාවක් තිබුණා. මම තේ එකක් බිබි කතා කරන ජවනිකාවක්. දැන් ඔන්න ජවනිකාව පටන් ගත්තා. මම පළවෙනි තේ උගුර බොනකොට උගුර හාරලා යනවා වගේ දැනුණා.  පණ බයේ ගැහි ගැහී රඟපාන මගේ තේ එකටත් කට්ටිය ලුණු දාලා. ඉතින් ඊට පස්සේ වෙච්ච දේ ගැන හිතා ගන්න පුළුවන්නේ.
 
දිනූෂා ටෙලි නාට්‍යවල රංගනයෙන් දායක වනවාට පෙම්වතාගේ විරෝධයක් නැද්ද? 
නැහැ. එයා තමයි මාව මේ නාට්‍යයටත් උනන්දු කළේ. 
 
එයත් නළුවෙක් නේද? 
තවම  Music Video වල විතරයි රඟපාලා තියෙන්නේ. 
 
ඒත් ආත්මා ලියනගේ හා රොමේෂ් සුගතපාලගේ Music Video වලින් ඔහු ජනප්‍රිය වුණානේ? 
එයා ගැන වැඩි විස්තර පස්සේ දවසක කතා කරමු. 
 
ආරියවංශ කුලතිලක

ඩෙංගු රෝගය වැළඳීමෙන් ජනප්‍රිය නිළි රිතූ ආකර්ෂා මියගිය බවට අසත්‍ය පුවතක් පසුගිය දිනවල අන්තර්ජාලය පුරා පැතිර ගියා. ඒ පිළිබඳ “ඇත්ත නැත්ත” බොහෝ දෙනෙක් අපගෙන්ද විමසා සිටියා. “රිතූ” වෙනදා වගේම බොහොම සතුටින් සැහැල්ලුවෙන් ඉන්නා බව කියන්නයි මෙදා අපි “සතුටයි දුකයි” විශේෂාංගයට ඇයව එක්කර ගත්තේ. 
 
සතුට හා දුක කෙටියෙන් නිර්වචනය කරන්න කියලා අපි ඔබට කියනවා. ඔබ කොහොමද එය කරන්නේ? 
සතුට කියන්නේ මුහුණට හිනාවක් අරගෙන එන දේට. එතකොට දුක කියන්නේ ඇහැට කඳුළක් රැගෙන එන දේට. 
 
කලාකාරියක විදියට ඔබ අත් විඳපු ලොකුම සතුට මතකද? 
සුමති සම්මාන උළෙ‍ලේදී ජනප්‍රිය නිළිය විදියට මගේ නම නිර්දේශ වූ අවස්ථාව. එදා ඒ සම්මානය මට හිමි වුණේ නැහැ. ඒත් නිර්දේශ වීමම මට කියාගන්න බැරි සතුටක් ඇති කළා. 
 
කලාකාරියක් විදියට ඔබ විඳපු ලොකුම දුක මොකක්ද? 
ජනප්‍රිය චරිතලට මඩ ගහන එක අද මෝස්තරයක් වෙලා. කිසිම හේතුවක් නැතුව කිසිම පදනමක් නැතුව මේ විදියට අසත්‍ය ප්‍රවෘත්ති පතුරවනවා. ඒ වගේ පතුරවන සමහර ප්‍රවෘත්ති මට හීනෙකින්වත් හිතාගන්න බැරි දේවල්. මම අද නිළියක් විදියට කටයුතු කළත් මමත් හැඟීම් දැනීම් තියෙන කෙල්ලෙක්. මා ගැන බොරු ප්‍රචාර ඔය විදිහට පතුරවන කොට මට මහා ලොකු දුකක් ඇතිවෙනවා. 
 
පෞද්ගලික ජීවිතේ ඔබ විඳපු ලොකුම දුක මොකක්ද? 
මගේ අයියා විදෙස් ගත වූ දවසේ ඇති වූ දුක.
 
එතකොට පෞද්ගලික ජීවිතේ ඔබ විඳපු ලොකුම සතුට? 
අයියා ආයෙමත් ලංකාවට ආපු දවසේ දැණුනු සතුට තමයි මම මගේ ජීවිතේ විඳි ලොකුම සතුට. 
 
ඔබට “ආදරය” සතුටක්ද? දුකක්ද? 
ආදරේ තුළ සතුට, සැනසීම, වගේම දුක වේදනාව කලකිරීම් මේ හැම දෙයක්ම තියෙනවා. මේ හැම දෙයක්ම මම අත්විඳලත් තියෙනවා. 
 
ඔබ හිතන විදියට වැඩිපුරම සතුට තියෙන්නේ තනිකඩ ජීවිතය තුළද විවාහ ජීවිතය තුළද? 
විවාහ ජීවිතේ සතුට හෝ දුක කියන්න මම විවාහ වෙලා නැහැනේ. විවාහකයන්ගේ ජීවිත දිහා බලලා තමයි මට තීරණය කරන්න වෙන්නේ විවාහ දිවිය කොහොමද කියන එක. ඒත් වෙනත් අයගේ ජීවිතවලට එබි බලන්න මට අයිතියක් නැහැනේ. ඒ හින්දා විවාහ ජීවිතේ ගැන නම් මට මහා විග්‍රහයක් කරන්න බැහැ. හැබැයි තනිකඩ ජීවිතේ ගැන නම් කියන්න පුළුවන්. 
 
එහෙනම් කියන්නකෝ තනිකඩ ජීවිතය සතුටක්ද දුකක්ද? 
තනිකඩ ජීවිතය තුළ තියෙන සතුට, සැනසීම, සැහැල්ලුව, විඳිනකොට හිතෙනවා තනිකඩ ජීවිතය කොයි තරම් සතුටක්ද කියලා. ඒත් තනිකඩ ජීවිතයේ තියෙන පාලුව හුදකලාව විඳින වෙලාවට හිතෙනවා ජීවිතේ තව කෙනෙක් එක්ක බෙදා ගන්න තිබුණා නම් කොච්චර හොඳද කියලා. 
 
ආදරේ හින්දා ඔබ විඳපු ලොකු සතුටයි, බරපතළම වේදනාවයි අපිට කියන්න? 
ආදරේ සම්බන්ධ කිසිම දෙයක් මාධ්‍යයට කියන්න මම කැමති නැහැ. අපේ නිළියෝ ගොඩක් ප්‍රශ්න දා ගත්තේ පෞද්ගලික දේවල් මාධ්‍යයට කියන්න ගිහින්. මම මීට පස්සේ මගේ පෞද්ගලික ජීවිතේට අදාළ කිසිම දෙයක් මාධ්‍යයට කියන්නේ නැහැ කියලයි හිතාගෙන ඉන්නේ. 
 
වෙනත් කෙනෙකු හින්දා “රිතූ” වඩාත්ම සතුටට පත්වූ අවස්ථා හා දුක් වූ අවස්ථා ඇති? 
රිතික් රෝෂන්ට සම්මානයක් ලැබුණත් විරාත් කෝලි ජයග්‍රහණයක් ලැබුවත් ඒක මට විශාල සතුටක්. ඒ අයට දුක්බර දෙයක් වුණාම ඒක මටත් විශාල දුකක්. 
 
“රිතූ හින්දා වෙනත් අය සතුටු වූ අවස්ථා වගේම දුක් වූ අවස්ථාත් ඇති........? 
ඒක මම දන්නේ නැහැ. 
 
අනාගතය ගැන හිතද්දී ඔබට දැනෙන්නේ සතුටක්ද? දුකක්ද? 
මේ විෂම සමාජයේ හමුවන මිනිස්සු දැක්කාම, ලෝකෙ සිද්ධ වෙන දේවල් දැක්කාම හෙට දවස කොයි වගේ වෙයිද කියලා කියන්න බැහැ. මගේ ජීවිතය වගේම අපි හැමෝගෙම ජීවිත ගැන මට හිතෙන්නේ එහෙමයි. ඉතින් ඒ වගේ පසුබිමක අනාගතය ගැන හිතන කොට මට නම් දැනෙන්නෙ මහා බයක්. 
 
ආරියවංශ කුලතිලක

සිරස  කුමරිය වෙලා ඒ ලැබුණු අවස්ථාවෙන් රංගනයේ දොරකවුළු  විවර කරගත් ශලනි මේ දවස්වල  කවිකාරියක් වෙලා කියන්නේ ඇත්තද?
මාව රංගන ශිල්පිනියක් විදියට හැමෝම හඳුනා ගත්තට ශලනි තාරකා කියන්නේ පුංචි කා‍ලේ ඉඳලම හොඳ කවිකාරියක් තමයි. ඒ තරමටම මම නිසදැස්, කවි ලියලා තියෙනවා. හැබැයි රඟපෑමත් එක්ක ටිකක් ලියන එක නතර වුණා. ඒත් මම විවේකයක් ලැබෙන හැම මොහොතකම කවියක් හරි ගීතයක් හරි ලියනවාමයි. 
 
එහෙනම් ඔබේ ආදරණීය  රසික රසිකාවියන්ට හා පුරා කියලා අලුතින් ලියපු ගීතය ගැනත් කියමුකෝ?
මම නිතරම  ලියපු පුංචි පුංචි කවි ෆේස්බුක් එකේ පළ කරනවා. ඉතින් මේ විදිහට මම ලියලා පළකරපු කවියක් දැකලා බොහෝ අය මට කිව්වා මේ කවිය ගීතයකට හොඳටම ගැළපෙනවා කියලා. පස්සේ මම ඒ කවිය ගීතයකට හැරෙව්වා. ඒ ගීතය ළඟඳීම මම එළිදක්වන්නයි කටයුතු සූදානම් කරලා තියෙන්නේ. 
 
ගීතයේ අදහස ගැන පුංචි ඉඟියක් අපි අපේ ආදරණීය පාඨකයන්ට දෙමු නේද?
“පෙති පුරා සුවඳ විහිදුණු අනන්තයේ යළි හමුවෙමු
මල් පුරා බඹරු පියඹුණු ඒ ලොවේ යළි හමුවෙමු....”
මේ විදියට තමයි ගීතය මගේ අතින්  ලියවුණේ. 
 
පදවැල් මුමුණනකොට නම් ශලනි ලියපු ගීතය ආදරයයි විරහවයි අතර අතරමංවුණු පෙම්වතුන් ගැන  ලියැවුණු ගීතයක් කියලයි අපිට නම් හිතෙන්නේ?
ඔව්, ගොඩක් ආදරේ කරන යුවළක් එක්වෙන්න බැරිව හමුවෙන්න කරන ප්‍රාර්ථනාවක් ගැන තමයි මේ ගීතයෙන් කියැවෙන්නේ.
 
ඇත්තටම මේ ගීතය ශලනිගේ ප්‍රාර්ථනාවක් වෙන්න බැරිද?
මේ ගීතය මගේ විතරක් නෙමේ, එක්වෙන්න බැරිව සිටින සැබෑ පෙම්වතුන්ගේම ප්‍රාර්ථනාවයි. ගීතය මගේ අතින් ලියවුණු නිසා එය මගේම අත්දැකීමක් නමෛයි කියලා කියන්න බෑනේ. මොකද අපි යමක් ලියන්නේ කියන්නේ අපිට තියෙන අත්දැකීමුත් එක්කනේ.
 
ඒ කියන්නේ ශලනිත් විරහව විඳින පෙම්වතියක්?
ආදරේ කරනකොට අපිට සමහර තැන්වල විරහව කියන දේ විඳින්නම වෙනවා. ඒ වගේම සමහර විට ඒ විරහව කෙටිකාලීන වෙන්නත් පුළුවන්. සමහරුන්ගේ විරහව සදාකාලික වෙන්නත් පුළුවන්. 
 
ඔය කියන විරහ වේදනාව හින්දමද නිරෝෂාට මහ රෑ කතා කරන්න හිතුවේ?
මම ගීතය ලියලා ඉවර වෙලා සංගීතවත් කරන්න ක්‍රිෂාන් පෙරේරාට භාර දුන්නා. ගයාන් ශ්‍රීමාල් කියන්නේ මගේ හොඳ යාළුවෙක්. ඒ වගේම එයා නිරෝෂා අක්කාගෙත් යාළුවෙක්. ඉතින් ගයාන් අයියා මට නිරෝෂා අක්කව සම්බන්ධ කරලා දුන්නා. පස්සේ මම නිරෝෂා අක්කට කතා කරලා කිව්වාම එයා මට ගීතය එවන්න කිව්වා. පස්සේ කියවලා බලලා නිරෝෂා අක්කා ඒ ගීතය ගායනා කරන්න කැමැත්ත පළ කළා. නිරෝෂා විරාජිනී වගේ ප්‍රවීණ දක්ෂ ගායිකාවක් මගේ පළවෙනි ගීතය ගායනා කරනවා කියන්නේ ඒක ඉතින් මගේ වාසනාව තමයි. මම ඉදිරියේදී හොඳ රූප රචනයකුත් එක්කයි ගීතය නිකුත් කරන්නේ. මගේ ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා ගීතය අහලා මට හොඳ නරක කියන්න කියලා. 
 
ශලනි නිර්මාණ සඳහා අය කරන මුදල ගණන් වැඩියි කියලත් සමහරු කියනවා?
මම එහෙම හිතන්නේ නැහැ. මොකද මම ඉල්ලන්නේ සාධාරණ මුදලක් නිසා. අනෙක මම ඉල්ලන මුදල ලැබුණොත් විතරයි මම රඟපාන්නේ. මොකද අපිත් නිර්මාණයක් වෙනුවෙන් කැපකිරීමක් කරනවානේ. ඒ නිසා අපේ වටිනාකම ඉල්ලන්න අපිට අයිතියක් තියෙනවා. 
 
සමන්මලී නැලිගම

නිර්ධා උයන්හේවා කියන ඇය මේ දිනවල අපට හමුවන්නේ නෙතූ ටෙලි නාට්‍යයේ ප්‍රින්සි විදියටයි. නව යොවුන් නළු නිළියන්ගේ මව විදියට ටෙලි නාට්‍ය රැසකින් අප හමුවට පැමිණියත් නිර්ධා තවමත් සුන්දර රූ සපුවක හිමිකාරියක්. ඒ හින්දම අපි මුලින්ම ඇගෙන් ඇහුවේ තරුණකමේ රහස පිළිබඳවයි.
මම අවුරුදු 18ක් අඛණ්ඩව ජිම් යන කෙනෙක්. ඒත් මගේ කාර්යබහුලකමත් එක්ක පසුගිය කාලයේ ව්‍යායාම් කරන්න බැරිවෙලා කිලෝ 8කින් මගේ බර වැඩිවුණා. ඒ නිසා ආයෙමත් ජිම් යන්න ඕනේ. හැබැයි මම ගොඩක් කෙට්ටු වෙන්න කැමති නැහැ. මට ස්වභාවයෙන් තියෙන්නේ මහත ශරීරයක් හින්දා ගොඩක් කෙට්ටු වුණොත් මාව කැත වෙනවා..
හැත්තෑව දශකයේ බිහිවූ නළු නිළියෝ වයස තිස් හතළිස් ගණන්වලදීත් තිරයේ පෙම් රැඟුම් පෑවා. ඒත් ටෙලි නාට්‍ය නළු නිළියන්ට බොහොම ඉක්මනින් මව් පියන් වෙන්න සිදු වුණා. නිර්ධා ඒ ගැන දරන්නේ මේ විදියේ අදහසක්.
ඇත්තටම අම්මලාගේ චරිත රඟපාන්න ඉන්න නිළියන්ගේ අවස්ථා අහිමි වෙලා ඒ අයට අසාධාරණයක් වුණා. අපේ පෙනුම නිසි ආකාරයට මතු කරන්න බැරි වීමෙන් අපිටත් අසාධාරණයක් වුණා. ඒත් ඉතින් අද තත්ත්වය හැත්තෑව දශකයට වඩා වෙනස්. අද වයස 20 - 22 නළු නිළියෝ විශාල ප්‍රමාණයක් රංගනයට එනවා. ඉතින් ඒ අය පෙම්වතුන් වෙද්දී මම වගේම මගේ වයසේ අනිත් නිළියන්ට අම්මලා වෙන්න සිදුවනවා. මීට අවුරුදු 8කට කලින් විකාශය වූ දේදුණු පාලම ටෙලි නාට්‍යයේ ඩග්ලස් රණසිංහගේ පෙම්වතිය වුණාට, ඊට පස්සේ මට දිගටම අලුත් නළු නිළියන්ගේ අම්මා වෙන්න සිදු වුණා. චන්ද්‍රරත්න මාපිටිගම අධ්‍යක්ෂණය කළ තවමත් නමක් යොදා නැති අළුත් ටෙලි නාට්‍යයේ මම විශ්වගේ පෙම්වතිය වුණා. විශ්වගේ අම්මගේ චරිතය රඟපාලා විශ්වගේ පෙම්වතිය විදියට රඟපාන්න මම මුලදී මැළිවුණා. ඒත් මේක තරුණ පිරිමියෙකුට ආදරේ කරන වයසින් වැඩි කාන්තාවකගේ චරිතයක්. ඒ හින්දා භාර ගත්තා..
ජනප්‍රිය තාරකාවන්ගේ පෞද්ගලික තොරතුරු දැනගන්න රසිකයන් කැමති හින්දා අපි නිර්ධාගේ පෞද්ගලික තොරතුරු ගැනත් විමසා සිටියා.
මම ආදරය කරලා තියෙනවා. ආදරයේ දුක විඳලා ජීවිතේ හැල හැප්පීම්වලට ලක්වෙලත් තියෙනවා. අද මම තනිකඩ ජීවිතයක් ගෙවන්නේ. මට ඇත්තටම ආදරය කරන කෙනෙක් හමුවන තුරු මේ හුදකලාව තුළම මම ජීවත් වෙනවා.
 
චන්ද්‍රලතා තන්ත්‍රීගේ 
 
ඡායාරූපය - මංජුල පෙරේරා 
හැඩගැන්වීම - රුචිරා ලියනගමගේ  Salon Ruchira, Battaramulla

ශෂි ඇංජලීනා කියන්නේ ශ්‍රී ලංකාවේ වැඩිම ගීත රූප රචනා ප්‍රමාණයක රඟපෑ නිළියද?
මම මේ වෙද්දී ගීත රූප රචනා 151 රඟපාලා තියෙනවා. Music Video සම්බන්ධව කතා කරන අවස්ථාවලයි, මම ගැන කතා කරන අවස්ථාවලදීයි ලංකාවේ වැඩිම ගීත රූප රචනාවල රඟපෑ නිළිය කියලා තමයි මාව හඳුන්වන්නේ.
 
නිරුවත, අඩනිරුවත හෝ සරාගී දර්ශන ඇතුළත් Music Video වලට ශෂී දායක වෙලා තියෙනවාද?
සාමාන්‍ය ජීවිතයේදී මම බටහිර විලාසිතා අනුගමනය කරනවා. කොටට අඳිනවා. Music Video වලටත් ඒ විදියට අඳිනවා. හැබැයි ඔය කියපු විදියේ දර්ශනවලට නම් පෙනී ඉඳලාම නැහැ.
 
අද වෙද්දී සරාගී දර්ශන Music Video වලට ඇතුළත් කිරීම රැල්ලක් වේගෙන එනවා. ශෂී ඒ ගැන මොකද කියන්නේ?
Youtube වල දෙස් විදෙස් Music Video අති විශාල ප්‍රමාණයක් සැරිසරනවා. ඔය අතරින් බහුලව තියෙන්නේ ලිංගිකත්වය මතු කරන ඒවා. අදාළ කතාවට අනුව කලාත්මකව එය මතුකළාට වරදක් නැහැ. 
 
එවැනි නිර්මාණයකට ආරාධනා ලැබුණොත් ශෂී රඟපානවාද? 
නැහැ 
 
එහෙනම් නිර්මාණයට අනුව එවැනි දර්ශන ඇතුළත් කිරීම වැරදි නැහැ කියා ඔබ කිව්වේ?
නිර්මාණයට අනුව එවැනි දර්ශන ඇතුළත් කිරීම වැරදි නැහැ. ඒත් Music Video එකක හෝ උසස් සිනමා නිර්මාණයක හෝ කවර නිර්මාණයක හෝ එවැනි දර්ශනවලට මම යන්නේ නැහැ. එය මගේ පෞද්ගලික ප්‍රතිපත්තියක්.
 
ශෂී ගීත රූප රචනා සඳහාම බිහිවූ ශිල්පිනියක්ද?
නැහැ. මම වසර ගණනක් ‘දෙරණ’ නාලිකාවේ නිවේදිකාවක් විදිහට කටයුතු කළා. දැන් ‘සියත’ රූපවාහිනියේ නිවේදිකාවක් විදියට කටයුතු කරනවා. මේ වෙද්දී ටෙලි නාට්‍යය 4ක රඟපාලා තියෙනවා. සිනමාව තුළ නම් චිත්‍රපට දෙකක විතරයි රඟපාලා තියෙන්නේ.
 
ඊට හේතුව එවැනි අවස්ථා අඩුවෙන් ලැබෙන නිසාද?
(හිනැහී) අවස්ථා ලැබෙනවා. ඒත් හොඳ අවස්ථා ලැබෙන්නේ අඩුවෙන්.
 
ඒ කිව්වේ?
රඟපෑ චිත්‍රපට ප්‍රමාණය 2ක් වුණාට මේ වෙද්දී මම චිත්‍රපට 6ක් ප්‍රතික්‍ෂේප කරලා තියෙනවා. ඒ චිත්‍රපට හයේම අධ්‍යක්ෂවරු මට ලිංගික යෝජනා ගෙන ආවා. ඒ හින්දයි ඒ අවස්ථා ප්‍රතික්‍ෂේප කළේ.
 
ඒ කියන්නේ නවක නිළියන්ට ඒ වගේ සිදුවීම්වලට මුහුණ දෙන්න සිදු වෙනවා?
අනිත් අය ගැන නම් මම දන්නේ නැහැ. හැබැයි ඒ අධ්‍යක්ෂවරු 6 දෙනාම මට කිව්වේ නිළියක් වෙන්න නම් ඒ විදියේ කැපකිරීමක් කරන්න ඕනේ කියන එක. ඒ අතරින් පස්දෙනෙකුට මම කෙළින්ම විරෝධය එල්ල කළා. එක්කෙනෙකුට තදින් කතා කරලා බනින්නත් සිදුවුණා.
 
ඒ අය ක්‍ෂේත්‍රයේ නමක් ඇති අයද? 
ඔව්, නවක අය වගේම ප්‍රවීණ අධ්‍යක්ෂවරුත් එතැන හිටියා. 
 
ශෂීගේ පෞද්ගලික තොරතුරු මොනවාද?
මම බණ්ඩාරවෙල දියතලාවේ. දැන් නම් පදිංචිය කොළඹ. මම වෙනත් වෘත්තියක් කරන්නේ නැහැ. රඟපෑම හා නිවේදනය විතරයි කරන්නේ.
 
ආදරය ගැන කියන්න කැමති නැද්ද?
ආදරය ගැන කියන්න විශේෂ දෙයක් නෑ. අම්මයි, මල්ලියි, මමයි ආදරෙන් ජීවත් වෙනවා.
 
ආරියවංශ කුලතිලක

මුලින්ම කියන්නකෝ රුක්ෂානා දිසානායක කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා?
හැමෝම එක්ක සතුටින් ජීවත් වෙන්න කැමති හරිම සැහැල්ලු චරිතයක්.
 
මේ දවස්වල මොනවගේ කලා කටයුතුවලද නිරත වෙලා ඉන්නේ ? 
තුරුම්පු ආසියා, සසර සේයා, විමංසා ඒ වගේම මෙඩි සිනාහි රූපගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා.
 
රඟපෑමට එකතු වෙන්න කොහොමද ඔබට අවස්ථාව ලැබුණේ ?
නිල්වලා නිෂ්පාදන ආයතනයේ උපුල් ජයසිංහ මහතා මගේ ළඟම හිතවතෙක්. ඒ මහතාගේ උතුම් පැතුම් හරහා තමයි මුලින්ම කලාවට අත්‍පොත් තැබුවේ. 
 
රුක්ෂානාගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු දැනගන්නත් ආදරණීය ප්‍රේක්ෂකයෝ කැමති වෙයි.
අම්මයි, තාත්තයි, මල්ලියි මගේ පවු‍ලේ ඉන්නේ. මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන උපාධිධාරිනියක්. මේ වෙනකොට නර්තන ගුරුවරියක් විදියට කටයුතු කරනවා. ඒ වගේම මට නර්තන කණ්ඩායමකුත් තිබෙනවා.
 
රුක්ෂානා පෙම්වතියක් බව නම් ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධයි ?
ඔව්. මගේ වැඩකටයුතුවලට එයා විශාල සහයෝගයක් ලබා දෙනවා. 
 
කවදා හරි දවසක ඔබේ පෙම්වතා ඔබට රඟපාන්න එපා කීවොත්..
අනිවාර්යයෙන්ම මම රඟපෑමෙන් අයින් වෙනවා. ඒත් එයා කවදාවත් මට එහෙම බලපෑම් කරන්නේ නෑ කියලා මට විශ්වාසයි. මොකද එයත් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නිසා.
 
සමහරු කියනවා රුක්ෂානායි රුවංගි රත්නායකයි එක වගේමයි කියලා ?
රුවංගි අක්කයි මමයි එකවගේ කියලා ගොඩක් දෙනා කියනවා. ඒත් මම රුවංගි අක්කාට වඩා ශරීරයෙන් ‍පොඩියි. ඒත් සමහරු මගේ ෆොටෝස්වලටත් කමෙන්ට් දානවා රුවංගි කියලා හිතාගෙන. මගතොට යනකොටත් මට 'රුවංගි' කියලා සමහරු කතා කරනවා.
 
රුක්ෂානා හිතනවද ඔබ කරන විකට රංගනවලට ප්‍රේක්ෂකයන්ට හිනා යනවා කියලා.
මෙඩිසිනා නිසා වෙන්න ඇති ඔය කතාව මගෙන් ඇහුවේ. ඇත්තටම ඔහොම අහනකොට මට නම් හිනා යනවා. ඒත් ප්‍රේක්ෂකයන්ට හිනා යනවාද කියලා නම් මම දන්නේ නැහැ. මෙඩිසිනා නිසා මට තවත් හාස්‍ය නිර්මාණවලට ආරාධනා ලැබුණා. නමුත් මම හැම ආරාධනාවක්ම භාරගත්තේ නැහැ. මොකද මම බයයි මම හාස්‍යජනක රංගන ශිල්පිනියක් විදියට කොටුවෙයි කියලා.
 
සමන්මලී නැලිගම

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.