Coss Ear2
lakbima.lk
COSS Ear 1
“කෝටිපතියෝ” ටෙලි නාට්‍ය හරහා ඔබ හමුවට එන අංජලීගේ සැබෑ නම තමයි තුෂිනි ප්‍රනාන්දු කියන්නේ. ඇය පිළිබඳ මීට පෙර කිසිදු පුවත්පතක ලිපියක්වත් පළ වෙලා නැහැ. ඒ කියන්නේ මේ තමයි තුෂිනි සමග සිදු කෙරුණු පළමු පුවත්පත් සාකච්ඡාව. ඉතාලියේ පදිංචියත් අතහැරලා නිළි හීනය සැබෑ කරගන්න ලංකාවට ආ හේතුව ඈ මුලින්ම කිව්වෙත් ‘රිද්ම’ අපිටයි. 
 
කොහොමද ඔබට කෝටිපතිනියක් වෙන්න අවස්ථාව ලැබුණේ ?
මාව කෝටිපතිනියක් කළේ හාරකෝටියයි. මොකද මට කෝටිපතියෝ ටෙලි නාට්‍යයේ අංජලී කියන ප්‍රධාන චරිතයට අවස්ථාව ලැබෙන්නේ හාරකෝටියේ රසිකාවක් විදිහට මං ඒ ටෙලි නාට්‍යයට ඒ තරමටම ළෙන්ගතු වූ නිසා. මම හිටියේ ඉතාලියේ. ඉතාලියේ සැලෝන් එකක් කරපු මගේ යාළුවෙක් හිටියා. ඒ යාළුවා මාර්ගයෙන් මට උදිත් අබේරත්නව හඳුනා ගන්න ලැබුණා. උදිත් අයියා හරහා ‘‘කෝටිපතියෝ’’ පිටපත් රචක සද්ධා අයියාව වගේම, එහි නිෂ්පාදක චාමර අයියාව හඳුනගන්න ලැබුණා. පස්සේ මම ඉතාලියේ ඉඳලම ඒ දෙන්නට කතා කළා. පස්සේ සද්ධා අයියා මට කිව්වා වීඩියෝ කිලිෆ් එකක් එවන්න කියලා. පස්සේ මම හාරකෝටිය ටෙලි නාට්‍යයේ දෙබස් කිහිපයක් ඇක්ට් කරලා වීඩියෝ එකක් එව්වා. ඒ එවපු වීඩියෝ ක්ලිප් බලලා තමයි නිෂ්පාදක කණ්ඩායම ‘‘කෝටිපතියෝ’’ ටෙලි නාට්‍යයේ ප්‍රධානම චරිතයකට මාව තෝරා ගත්තේ.
 
එතකෙට තුෂිනි ලංකාවට එන්නේම කෝටිපතියා් හින්දා...?
ඇත්තටම ඔව්. රංගන ශිල්පිනියක් වෙන්න හීන දැක්ක මට පළවෙනි නිර්මාණයෙන්ම ප්‍රධාන නිළිය වෙන්න පුළුවන් වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. ඉතාලියේ ප්‍රධාන පෙළේ හෝටලයක උපදේශිකාවක් කියන තනතුර පවා මම අතහැරලා ලංකාවට ආවේ රංගනයට ඒ තරම් ආදරේ කරන නිසයි.
 
ඔබ ප්‍රතිනිර්මාණය කරන අංජලීගේ චරිතේ ගැන කතා කළොත්...
දඟකාර, ක්‍රියාශීලී යුවතියක් තමා අංජලී කියන්නේ. අංජලීගේ පෙම්වතා විදිහට රඟපාන්නේ සංකේත් වික්‍රමගේ. ඔහු ජනමාධ්‍යවේදියෙක්. නමුත් අංජලීට වඩා තුෂිනිට නම් හොඳ සංයමයක් තිබෙන බව කියන්නම ඕනේ.
 
ලොකු කාලයක් ලංකාවේ හිටපු නැති තුෂිනිට ලංකාවට ආපු ගමන්ම ලැබෙන්නේ බොහෝ දෙනා ආදරයෙන් වැළඳගත්ත හාරකෝටිය ටෙලි නාට්‍යයේ දෙවන කොටසේ ප්‍රධාන නිළියගේ චරිතය රඟපාන්න. මේ ලැබුණු වගකීම මහ බරක් කියලා හිතුණේ නැද්ද?
ඇත්තටම ඉතාලියේ ඉඳලා නිළියක් වෙන්න කියලා හිතාගෙන ලංකාවට එනකොට මට කිසිම අදහසක් තිබුණේ නැහැ. මම පිටපත ආපු දවසේම කියෙව්වා. ඒත් මුකුත් ඔළුවට ආවේ නැහැ. පස්සේ ටිකක් ගැඹුරින් කියවනකොට කරන්න තියෙන්නේ මොකක්ද කියලා තේරුම් ගියා. පළවෙනි රූගත කිරීම් කරනකොට තිබ්බ හැම අඩුපාඩුවක්ම හදාගන්න මට “කෝටිපතියෝ”    නිෂ්පාදන කණ්ඩායමෙන් විශාල සහයෝගයක් ලැබුණා. ඒ වෙලාවේ මට හිතුණා මම තනිවෙලා නැහැ කියලා. දැන් මට ඉතාලියේ ඉන්නවාට වඩා ලංකාවට වෙලා රඟපපා ඉන්න ආසයි. රට ඉන්න අම්මා මට කෝල් කරලා අහනවා ඔයාට දැන් අපිව මතක් වෙන්නේ නැද්ද කියලා. 
 
මේ වෙනකොට කෝටිපතියෝ කොටස් දහයක් විතර විකාශය වෙලා තියෙනවා. ඔබේ චරිතයට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?
මේ මගේ පළවෙනිම ඇක්ට් එක. ඒ හින්දා මට ලැබෙන ප්‍රතිචාර අනිවාර්යයෙන්ම වැදගත්. කෝටිපතියෝ හතරවෙනි කොටසේ ඉඳලා තමා මං අංජලී විදිහට ජනතාව අතරට එන්නේ. ඇත්තටම කියන්න සතුටුයි... මට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මං ලංකාවට එනකොට මගේ ෆේස් බුක් එකේ යාළුවෝ ‍පොඩ්ඩයි හිටියේ. මම ‘අංජලී’ වුණාට පස්සේ මට ඇක්සෙෆ්ට් කරන්න වේලාවක් නැති තරමට රික්වෙස්ට් එනවා.
 
අපි කැමතියි ඔබේ පෞද්ගලික තොරතුරු ගැනත් දැන ගන්න?
මගේ වයස අවුරුදු 23යි. මගේ අම්මායි, නංගිලා තුන්දෙනයි ඉන්නේ ඉතාලියේ. මගේ තාත්තාත් මගේ රංගන හීනේ සැබෑ කරවන්න ඉතාලියේ කරපු හොඳ රැකියාවක් කැප කරලා ලංකාවට ආවා. ඉතින් රංගනය දැන් මගේ ජීවිතේ කොටසක් කියලා කිව්වොත් හරියටම හරි. 
 
සමන්මලී නැලිගම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.