Coss Ear2
lakbima.lk
COSS Ear 1
ගංගු රොෂානා නිතර කලා නිර්මාණවලින් දකින්නට නොලැබුණත් කතා බහට ලක්වෙන චරිතයක්. මේ දිනවල සියත රූපවාහිනී නාලිකාවේ විකාශය වන ලෝකාන්තරයෝ ටෙලි නාට්‍යය නිසාම ගංගු ගැන ආයෙමත් කතා බහක් ඇතිවෙන්න පටන් අරන්. ගංගු නම් කියන්නේ කාලෙන් කාලෙට තමන් ගැන අලුත් විදිහට කතා කරන්න කැමති බවයි. ගංගු එහෙම කියන්නේ කුමන හේතුවක් නිසාද යන්න ඔබට මේ කතා බහේදී දැන කියාගන්නට පුළුවන්. 
 
කාලෙකට පස්සේ ගංගුව ආයෙමත් පුංචි තිරයෙන් දකින්න ලැබෙනවා නේද? 
ඔව්. මේ දවස්වල සියත රූපවාහිනී නාලිකාවේ සති අන්තයේ රාත්‍රී 9.00ට විකාශය වන ලෝකාන්තරයෝ කියන ටෙලි නාට්‍යයේ මම චරිත දෙකක්ම නිරූපණය කරනවා. 
 
ලැබිලා තියෙන ඒ චරිත දෙක ගැනත් මතක් කරමු නේද? 
ලෝකාන්තරයෝ කියන්නේ කාලාන්තර සම්බන්ධ සංකල්පයකට සම්බන්ධ වුණ කතාවක්. එය තුෂාර තෙන්නකෝන්ගේ අධ්‍යක්ෂණයක්. ඒ කතාවේ එක එක ලෝක තියෙනවා. මම එහි ගෝත්‍ර ලෝකයේදී බලය ලබාගන්න හදන චමී කියන චරිතයත්, අනිත් ලෝකයේදී ආත්මාර්ථකාමී පෙම්වතියක් විදිහට සිටින චාමලී කියන චරිතයත් නිරූපණය කරනවා. 
 
ලෝකාන්තරයෝ ටෙලි නාට්‍යය නිසා ඔබට මොන විදිහේ ප්‍රතිචාරද ලැබෙන්නේ? 
ලෝකාන්තරයෝහි මම රඟපාන චරිත දෙක මටම ගැළපෙන විදිහට ගොඩනගපු චරිත දෙකක්. එතකොට ඉතින් ලැබෙන ප්‍රතිචාර කොහොමත් හොඳ වෙන්න ඕනනේ. 
 
රඟපෑමට අමතරව ගංගු වෙනත් වෘත්තියක නියැළෙනවාද? 
නෑ. මොකද සාමාන්‍යයෙන් මම හරිම හරි බෝරිං කෙල්ලක්. ඒ නිසා මම වැඩිපුරම කැමති ගෙදරට වෙලා ඉන්න තමයි. ගෙදර හිටියාම ඕනෑම වැඩක් කරගන්න පුළුවන්. ඒ නිසා ගංගු රොෂානා කියන්නේ ගෙදරටම ඇබ්බැහි වුණ චරිතයක් කිව්වට වරදක් නෑ. 
 
ඔබේ පෞද්ගලික ජීවිතය ගැන තොරතුරු ටිකක් කියමුද? 
මගේ ජීවිතය ගැන කතා කරනවා නම්, මං ගැන ලියනවානම් මම කැමති ගංගු රොෂානා කියන නිළිය ගැන විතරක් කතා කරන්නයි. මම හම්බ කරන්නේ මටනේ. ඉතින් මගේ පෞද්ගලික ජීවිතය විදිහට මගේ නිළිකම විතරක් දැන ගත්තම ඇති නේ... 
 
ගංගුගේ කලා ජීවිතේ විශේෂිතම අවස්ථා මතක් කරන්න කියලා කීවොත් මොනවාද මුලින්ම  සිහියට එන්නේ? 
මම “සමන්තා” “යාළුවෝ”  “හොරා ‍පොලිස්” කියලා චිත්‍රපට තුනකට සම්බන්ධ වුණා. ඒ අතරින් සමන්තා චිත්‍රපටය වෙනුවෙන් මට හොඳම නැගී එන නිළිය කියන සම්මානය ලැබුණා. ඒ වගේම ‘‘යාළුවෝ’’ චිත්‍රපටයටත් මට විශේෂ සම්මානයක් ලැබුණා. මේ සම්මාන ද්විත්වයම මගේ කලා ජීවිතයට අති විශේෂයි.
 
ගංගුව කලා නිර්මාණවලින් නිතර දකින්න නොලැබෙන්නේ වැඩිපුර ආරාධනා නොලැබෙන නිසාද? 
එහෙම දෙයක් නිසා නමෛයි, ගංගු රොෂානා කියන්නේ කවදත් වේගය පාලනය කරමින් ඉදිරියට යන කෙනෙක්. ඒ නිසා මේ විදිහට මගේ වෘත්තිය ජීවිතය ගලාගෙන යනවාට මම හරිම කැමතියි. 
 
ආරාධනා ලැබුණත් ඒ හැම ආරාධනාවක්ම බාරගන්නේ නෑ කියලාද ඔබ ඔය කියන්නේ? 
ආරාධනා බාරගන්නේ නෑ කියන එකම නමෛයි, මම අදහස් කළේ. දැන් බොහෝ නිර්මාණ හැදෙන්නේ තෝරා ගත් පිරිසකටනේ. ලංකාවේ හොඳ නළු නිළියන් ඉලක්ක කරගෙන නිර්මාණය වෙන නිර්මාණ තිබෙන්නේ 
අතළොස්සයි. ඒ නිසා මම වගේ අයට ගැළපෙන විදිහට කෙරෙන නිර්මාණත් අඩුයි කියලා කියන්න පුළුවන්. 
 
එතකොට අලුතින් ක්ෂේත්‍රයට එන නළු නිළියන්ව ගංගුට දැනෙන්නේ මොන විදිහටද? 
අලුත් පිරිසට අපට වඩා අවස්ථා වැඩියි. ඒත් ඔවුන් ඒ අවස්ථාවලින් හරියට ප්‍රයෝජන ගන්නේ නැහැ. 
 
ඉදිරියේදී ඔබට සුවිශේෂී චරිතයකට දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා කියන්නේ ඇත්තද? 
ඔව්. දිවාග්නි කියන ටෙලි නාට්‍යයේ මම සුවිශේෂී චරිතයක් නිරූපණය කරනවා. එය සේනක විජේසිංහගේ අධ්‍යක්ෂණයක්. මේ කතාව ගොඩනැගෙන්නේ මාෂල් ආට්ස් සම්බන්ධව. මම එහි නිරූපණය කරන්නේ මාධ්‍යවේදිනියකගේ චරිතයක්. ඒ නිසා ඉදිරියේදී මම මාධ්‍යවේදිනියක් විදිහට  ප්‍රේක්ෂකයන් අතරට එන්න සූදානමිනුයි දැන් ඉන්නේ. 
 
සමන්මලී නැලිගම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.