Coss Ear2
lakbima.lk
COSS Ear 1

මම කෙළින් තීරණ ගන්නා කෙනෙක්

අපි ඔබට සකුන්තලා මැණිකේ කියන්නද..? එහෙමත් නැත්නම් ඉමායා ලියනගේ කියන්නද...?
සකුන්තලා මැණිකේ කිව්වත්, ඉමායා ලියනගේ කිව්වොත් ඒ නම් දෙකටම මම කැමතියි. මොකද ඒ දෙන්නම එක්කෙනෙක්නේ.
 
එතකොට සකුන්තලා මැණිකේ කියන්නේ සැබෑ ජීවිතේ ඉමායා ලියනගේමද?
මම සකුන්තලා මැණිකේ වෙන්නේ ‘මුතුකුඩ’ ටෙලි නාට්‍යයට විතරක් වුණාට. ඉමායා සැබෑ ජීවිතෙත් සකුන්තලාම තමයි. මොකද මම සකුන්තලා වගේ කෙළින් තීරණ ගන්නා කෙනෙක්. ඒ වගේම අවංකවම ආදරය කරන කෙනෙක්.
 
ඔබට ‘මුතුකුඩ’ සඳහා අවස්ථාව ලැබුණේ කොහොමද?
2014, මම මිස් ශ්‍රී ලංකා වුණාට පස්සේ මට ලැබුණු දෙවන අවස්ථාව තමයි ‘මුතුකුඩ’ කියන්නේ. කලාවට මම මුලින්ම පය තිබ්බේ ‘අංකල් සෑම්’ ටෙලි නාට්‍ය හරහා. ඒත් එක්කම තමයි මට ‘මුතුකුඩ’ සඳහාත් ආරාධනා ලැබුණේ. හැබැයි මේ වගේ සම්භාව්‍ය ගණයේ ගැඹුරු චරිතයකදී වචන භාවිත කළ යුතු පිළිවෙළක් තියෙනවානේ. මගේ භාෂා භාවිතය ගැන හිතුවම මට මුලදී බයත් හිතුණා. ඒත් දැන් ලැබෙන ප්‍රතිචාර දිහා බැලුවාම මම ඒ අභියෝගය ජය අරගෙන කියලා හිතෙනවා.
 
ඔබේ ඔය සාර්ථකත්වය නිසාද රිදී තිරයට පිවිසීමටත් ඔබට අවසථාව ලැබුණේ...
(සිනා) සාර්ථකත්වය විතරක් නමෛයි වාසනාවත් තිබුණා. ‘කුණාටුවේ මාරයා’ හි ‘නදී’ කියන සෙල්ලක්කාර චරිතයෙන් වගේම ‘‍පෝරිසාදයා’හි සශ්මිකා කියන අහිංසක යුවතියගේ චරිතයෙන් මා ළඟදීම ප්‍රේක්ෂකයන්    හමුවට එනවා. බොහෝ දුරට මේ චිත්‍රපට දෙකම මේ අවුරුද්දේ තිරගත වේවි. ආරාධනා ලැබුණු තවත් චිත්‍රපටයක වැඩ මේ අවුරුද්දේ පටන් ගන්නවා.
 
රංගන ක්ෂේත්‍රය තුළ ඔබට මොන වගේ ඉලක්කයක්ද තියෙන්නේ....
මට තිබෙන ලොකුම හීනය තමයි හොඳම නිළිය වීම. ජනප්‍රිය නිළිය වෙනවා කියන එක ධනය, බලය තියෙනවා නම් කරගන්න පුළුවන්, සාමාන්‍ය දෙයක් කියලයි මට හිතෙන්නේ. ඒත් හොඳම නිළිය කියන්නේ දක්ෂතාව මතම තීරණය වෙන දෙයක්. ඒ නිසා මගේ බලා‍පොරොත්තුව හොඳම නිළිය වීමම තමයි.
 
ඔබ හිතනවද ඒ අරමුණ ඉතා පහසුවෙන් ළඟා කරගන්න පුළුවන් වේවි කියලා. 
මම තවමත් කලාවට ආධුනික රංගන ශිල්පිනියක්. ඒ වගේම මම දැනට දායක වෙලා තිබෙන්නේ නිර්මාණ කිහිපයකට විතරයි. ඒත් මම රංගනය යෙදුනු හැම චරිතයක්ම එකිනෙකට වෙනස් වගේම යමක් කළ හැකි චරිත. ඒ හැම චරිතයකදීම මම ප්‍රවීණ ශිල්පීන් හා එක්ව කළ චරිත. මම ඔවුන් සමග කරට කර වැඩ කළා.  ඔවුන්ගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. මම තවත් යන්න දිගු ගමනක් තියෙනවා. කලබලයක් නැතිව ඒ ගමන මම හෙමින් හෙමින් යනවා. 
 
ඔබ 2014 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාත්තා. ඒ වගේම මේ වන විට පැවැත්වෙන 2017 දෙරණ මිස් ශ්‍රී ලංකා තරගාවලියේ විනිසුරු මඩුල්ලත් නියෝජනය කරනවා. මෙවැනි තරගාවලි සඳහා ඉදිරිපත් වීමේ අඩුවක් ඇති බවට ඇතැමුන් කරන ප්‍රකාශයන්හි ඇත්තක් තිබෙනවාද?
ඔය කතාවේ ඇත්තක් තියෙනවා. 
තරගාවලියේදී බිකිනි අඳින්න තියෙනවා කියලා සමහර දක්ෂ තරුණියන් පවා මෙබඳු තරගවාලි සඳහා ඉදිරිපත් වෙන්න මැලිකමක් දක්වනවා. වැඩිහිටියන් පවා මේ වගේ තරග දිහා බලන්නේ වපර ඇසින්. නමුත් මේ හැම දේම තීරණය වෙන්නේ අපි ජීවත්වෙන විදිහත් එක්කයි.
අපිට කාටත් බිකිනිය අදින්න ඕනේ කියලා බලපෑම් කරන්න බැහැ. අනිත් එක බියුට් පැජන්ට් එකකදී ඒ වගේ ඇඳුමක් ඇන්දා කියලා ඒවා අනවශ්‍ය විදිහට ප්‍රචාරණය නොකරන්නත් සංවිධායකයන් වගබලා ගන්න ඕනේ. සමහරු ජනප්‍රිය වෙන්න කියලා හිතාගෙනත් මේ වගේ ඇඳුම් අඳිනවා. ඒත් අපි මතක තියාගන්න ඕනේ ජනප්‍රියත්වය කෙටි කාලීනයි කියලා. ඒ වගේම ගැහැනු ළමයෙකුගේ ආත්ම ගෞරවය දීර්ඝ කාලීනයි කියලා. 
 
ඉමායාගේ පෞද්ගලික තොරතුරු දැනගත්තත් පාඨකයෝ කැමති වෙයි.
මගේ අම්මා ඉන්නේ ඉතාලියේ, තාත්තා පුවත්පත් මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධයි. මට මල්ලී කෙනෙක් ඉන්නවා. ඒ වගේම ආදරණීය පෙම්වතෙකුත් ඉන්නවා. අපේ ආදරයට අවුරුදු 10ක් වෙනවා. 
 
සමන්මලී නැලිගම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.