චන්න - උපුලී කිව්වාම මේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. මොවුන් දෙදෙනාම මේ රටේ සිටින දක්ෂ, ජනප්රිය නර්තනවේදීන් දෙපොළක්. මේ අයගේ එකම ආදරණීය දියණිය තමයි අසේකා කියන්නේ.
අසේකා විජේවර්ධන කියන ඔබව, තවත් කෙනෙකුට හඳුන්වා දෙන්න කීවොත් ඔබ කොහොමද එය කරන්නේ?
රටම ආදරය කන චන්න, උපුලි විජේවර්ධනගේ එකම දුව. ඒ වගේම වෘත්තීමය නර්තන ශිල්පිනියක්.
පුංචි කාලයේ පටන් ඔබ හීන දැක්කේ අම්මයි, තාත්තයි ගිය අඩි පාරේම යන්නද?
පොඩි කාලේ මම හරිම ලැජ්ජයි. ඒ නිසා නටන්න ඉදිරිපත් වුණේම නැහැ. පුංචි කාලේ මගේ හීනේ වුණේ ගුරුවරියක් වෙන්නයි.
ඉතින් අසේකා ගුරුවරියක් වෙන්න මවපු හීනේ සැබෑකරගන්න පුළුවන් වුණාද?
මගේ පුංචි කාලේ හීනේ වගේම නර්තනයට මේ වෙනකොට තිබෙන ලැඳියාවත් එක්කම මට පුළුවන් වුණා නර්තන ගුරුවරියක් වෙන්න. චන්න, උපුලි නර්තන පාසලේ මේ වන විට මම නර්තනය උගන්වනවා.
ප්රවීණ නර්තන ශිල්පි යුවළගේ දුව වීම නිසා නේද ඔබට ඔය කියන හැමදේම ලැබුණේ?
ඒක වෙන්න පුළුවන්. මාව ජනප්රිය වෙන්න මගේ අම්මා සහ තාත්තා හේතුවක් වුණා. ඒ වුණත් මම මේ ඉන්න තැනට එන්න ගොඩක් කැපකිරීම් කළා. සමහර වෙලාවට අනිත් ළමයි සෙල්ලම් කරන්න ගන්න කාලය මම නටන්න යොදා ගත්තා. කොහොම නමුත් මගේ සාර්ථකත්වය මගේ දෙමාපියෝ.
අසේකාට පියාගේ නර්තන කණ්ඩායමේ මුල්තැන හිමිවිය යුතුයි කියලා හිතෙනවද?
කොහෙත්ම නැහැ. මට හිමිවිය යුත්තේ සම තැන.මම චන්න විජේවර්ධනගේ දුව වුණා කියලා හැමදේටම පෙරමුණ ගන්න ඕනේ කියලා නියමයක් නැහැ. මට වඩා දක්ෂ අය මුල් තැනට එන්න ඕනේ.
එයා චන්න සර්ගේ දුවනේ... ඉතින් හැම නැටුමකම එයා ඉන්නවාමනේ.... මේ වගේ චෝදනා අනෙක් සහෝදර නර්තන ශිල්පීන්ගෙන් ඔබට එල්ල වන්නේ නැද්ද?
අපේ නර්තන කණ්ඩායම හරියට එකම පවුලක් වගේ. ඒ නිසා එයාලා කවදාවත් එහෙම චෝදනා කරන එකක් නැහැ. අනිත් එක එයාලට එහෙම හිතෙන එකතුත් නැහැ. මොකද ඒ හැමෝම වැඩි හරියක් ඉන්නේ අපේ ගෙදර. මගේ දෙමාපියන්ටත් මම වගේම තමයි අනිත් අයත්. කිසිම වෙනසක් නැහැ. ඒ නිසා තමයි කියන්නේ චන්න උපුලිට ළමයි ගොඩක් ඉන්නවා කියලා.

ආදරය, විවාහය ගැන ගෙදර අය මොකද කියන්නේ?
අම්මයි තාත්තයි ඒ ගැන මාත් එක්ක විවෘතව කතා කරනවා. ඒ නිසාම විවාහ යෝජනාත් එනවා. ඒත් මම තාම විවාහය ගැන බරපතළ විදිහට හිතලා නැහැ. ඒත් මට දැන් අවුරුදු 25ක් නිසා අම්මයි තාත්තයි කියනවා විවාහය ගැන මීට වඩා ටිකක් හිතලා බලන්න කියලා. සමහරු අහනවා පෙම්වතෙක් ඉන්නවාද කියලා. ඇත්තම කිව්වොත් මට තාම පෙම්වතෙක් නැහැ.
අනාගත සහකරු මෙහෙම වෙන්න ඕනෑ කියන අදහස ගැන නම් අසේකා හිතලා ඇති නේද?
මගේ අනාගත සහකරු විශේෂයෙන් මම කරන කලාවට ආදරය කරන කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම මම කරන දේට අත්වැලක් වෙන්න ඕනේ. මොකද සමහරු මුලදී කලාකාරියන්ට කැමති වෙලා පස්සේ කලාවට යන්න එපා කියලා නීති දානවා. ඒ නිසා මගේ සහකරු කලාවට ලැදි කෙනෙක් වෙන්නම ඕනේ. ඒ වගේම මගේ අම්මටයි, තාත්තටයි ගරු කරන, ආදරය කරන කෙනෙක් වෙන්නත් ඕනේ. එහෙම කෙනෙක් ලැබුණොත් මමත් ආදරය, විවාහය ගැන සලකා බලනවා.
ඉතින් අසේකා විජේවර්ධන කියන දක්ෂ නර්තන ශිල්පිනියට රංගන ශිල්පිනියක් වෙන්න අවස්ථාවක් ලැබුණොත්?
අනිවාර්යෙන්ම ඒ අවස්ථාව මම ලබා ගන්නවා. මට රඟපාන්න ආරාධනා ලැබුණා. නමුත් ඉගෙනීමේ වැඩකටයුතු එක්ක මට ඒ ආරාධනා බාරගන්න බැරි වුණා.
අසේකා මතෛක් ඔබ ආපු ගමන් මගේ ලබපු ඉහළම ජයග්රහණය මොකක්ද?
අපේ නර්තන කණ්ඩායම 2011දී බර්ලින් නුවර කානිවල් ඔෆ් කල්චර්ස් තරගාවලියේ විදේශ රටවල නර්තන කණ්ඩායම් අනූනවයක් අතරින් පළවෙනියා වුණා. ඒක තමයි මගේ ජීවිතයේ ලබපු ලොකුම ජයග්රහණය.
සමන්මලී නැලිගම
ප්රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.