Coss Ear2
lakbima.lk
COSS Ear 1
සෑම සතියකම අපි “සතුටයි දුකයි“ කියන මේ විශේෂාංගයට ඔබ දන්නා කියන ජනප්‍රිය චරිතයක් ගෙන එනවා. මෙදා සැරේ 
අපිත් එක්ක මේ ලෙංගතු කතා බහට එකතු වෙන්නේ නළුවෙක් විදියට වගේම අධ්‍යක්ෂවරයකු විදියටත් රටම හඳුනන බුද්ධික ජයරත්නයි. 
 
බුද්ධික ඔබ කොහොමද සතුට හා දුක කියන වචන දෙක කෙටියෙන් විග්‍රහ කරන්නේ? 
ජයග්‍රාහී ධනාත්මක සිතුවිලි ඇති වීම සතුට විදියට මම දකිනවා. කවර හෝ හේතු මත සිතට පරාජිත බවක් ඇති වීමට තමයි දුක කියන්නේ. 
 
තමන්ගේ ජීවිතයේ අත් විඳපු ලොකුම සතුට මොකක්ද? 
පිය පදවිය හිමි වීම. ඒක මගේ ජීවිතයට පමාවී ආ වසන්තයක් නිසා සතුට වැඩිපුර දැනෙනවා. 
 
ජීවිතයේ විඳපු ලොකුම දුක?
දුකක් විඳින මොහොතේ දැනෙන හැඟීම වැඩි වෙන්නේ පසුතැවීමත් එක්ක. පසුතැවීම තියෙන අය යළි යළි දුක්බර අත්දැකීම් සිහිපත් කරනවා. මගේ ජීවිතයේදී මමත් දුක් වූ අවස්ථා බොහෝ තියෙනවා. ඒත් කවර දාකවත් කිසිම දේකින් පසු තැවෙන කෙනෙක් ‍නෙවෙයි මම. පසුතැවීම නැති හින්දා විඳපු දුක් එකක්වත් මතක නැහැ. 
 
කලාකරුවකු ලෙස ඔබ අත් විඳි ලොකුම සතුට මොකක්ද? 
කලාකරුවකු වීමම තමයි. 
 
කලාකරුවකු ලෙස විඳි ලොකුම දුක මතකද?
ලංකාවේ කලාකරුවන්ට හිමි වෙලා තියෙන තැන දැක්කම ලොකු දුකක් ඇති වෙනවා. 
 
ඔබට ආදරය දුකක්ද සතුටක්ද? 
ආදරය තුළ විශාල සතුටක් තියෙනවා. ඒ වගේම තමයි ආදරය තුළ වේදනාව හා දුකත් පිරිලා තියෙනවා. ඇත්තම කියනවා නම් මට හිතෙන්නේ ආදරය කියන්නේ සතුටයි දුකයි යන දෙකේම එකතුවක්. 
 
වැඩියෙන්ම සතුට රැඳිලා තියෙන්නේ තනිකඩ ජීවිතය තුළද විවාහ ජිවිතය තුළද? 
තනිකඩ කා‍ලේ හිතෙනවා, කසාද බඳින්න තිබුණා නම් කොච්චර හොඳද කියලා. ඒ වගේම තමයි ලෝකේ ඉන්න හැම විවාහකයෙකුටම එක වතාවක් හෝ හිතිලා ඇති අපරාදේ කසාද බැන්දේ කියලා. එහෙම බලද්දී ඔය දෙකම එකයි. 
 
බුද්ධික හින්දා වෙන කෙනෙකු සතුටු වූ අවස්ථාවක් සිහිපත් කළොත්?
මගේ සතුට අනිත් අය සතුටු කිරීමයි. සත්තුන්ට අභය දානය දීපු අවස්ථා, නැති බැරි අයට උදව් උපකාර කළ අවස්ථා නම් ගොඩක් තියෙනවා. මම ඒවා කරන්නේ ප්‍රසිද්ධියේ කියන්න නමෛයි. ආත්ම තෘප්තියටයි. 
 
ඔබ නිසා තවත් කෙනෙකු දුක්වූ අවස්ථා තියෙනවාද? 
එහෙම අවස්ථා තියෙනවා. ඒ හැම අවස්ථාවකම මම ඒ අයගෙන් සමාව ඉල්ලා තියෙනවා. එහෙම සමාව ඉල්ලන්න බැරි වූ අවස්ථාවක් තියෙනවා නම් මේ වේලාවේ මම ඒ අයගෙන් සමාව ඉල්ලනවා. ඒ වුණත් මම කිසිමදාක කිසිම කෙනෙකුට මහා ලොකු දුකක් දීපු කෙනෙක් නමෛයි. 
 
අනාගතය ගැන හිතද්දී ඔබට දැනෙන්නේ සතුටක්ද දුකක්ද? 
අවිනිශ්චිත බවක්. හැබැයි ඒ විදියට අවිනිශ්චිත බවක් දැනෙන්නේ දුක හින්දාවත් බය හින්දාවත් ‍නෙවෙයි. හැමෝටම වගේ මටත් අනාගතය ගැන බලා‍පොරොත්තු ගොඩක් තියෙනවා. බලා‍පොරොත්තු කියන දේ ඉටු වන්නටත් පුළුවන්, බිඳී යන්නත් පුළුවන්. ඒ නිසයි මට ජීවිතය ගැන අවිනිශ්චිත බවක් දැනෙන්නේ. 
 
ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.