Coss Ear2
lakbima.lk
COSS Ear 1
කටේ කිරි සුවඳ යද්දිම ගායනයට පිවිසිලා රටේම ජනප්‍රිය තරුවක් වූ චම්පා කල්හාරි ජයසේකර ජනප්‍රියත්වය වගේම සිය සංගීත ඥානයත් මුවහත් කරගන්නට නිබඳව කැපවූ ගායිකාවක්. ඒ නිසාම තමයි අද වනවිට ඇය සංගීත් නිපුන් චම්පා කල්හාරි නමින් හඳුන්වන්නේ. කලකට පසුව ඇය මාධ්‍යයක් ඉදිරියට එන්නේ ‘රිද්ම’ හරහායි.
 
කිසි සද්දයක් නැති හින්දා ආදරණීය ‘රිද්ම’ පාඨකයන් වෙනුවෙන් අපි ඔබව සොයාගෙන ආවේ. චම්පා කල්හාරි නිහඬ වෙලාද? මොකක්ද මේ නිහඬතාවයට හේතුව?
ඔය ප්‍රශ්නය මගෙන් ගොඩක් අය අහනවා. මම කාලයක් මගේ අධ්‍යාපන කටයුතු හින්දා මාධ්‍යයෙන් දුරස්වී සිටියා. ඒවගේම වසර කිහිපයක් ගුවන් තොටු‍පොළ හා ගුවන් සේවා සමාගමේ මාධ්‍ය හා ප්‍රචාරණ නිලධාරිනිය ලෙසටත් කටයුතු කළා. ඔය කරුණු හින්දා තමයි මගේ නිහඬ බවක් පෙනෙන්නේ.
 
ඔබේ අලුත් නිර්මාණ අහන්නට නොලැබිමත් නිහඬ බව දැනෙන්නට එක් හේතුවක්.
අවුරුදු තුනකට විතර පස්සේ ‘යමුනා නදී’ කියලා ගීතයක් කළා. ඊට කලින් කරන ලද ගීත නිර්මාණ කිහිපයක් තිබුණත් අද මේ පවතින රටාව තුළ ඒවා ජනගත කරන්න මම උත්සාහ කළේ නැහැ. 
 
චම්පා කියන්නේ අද පවතින රටාව තුළ ගීතයක් වුණත් ජනප්‍රිය කරවන්න වෙහෙසක් දැරිය යුතු බවද?
ඇත්තටම ඔව්. අද ගීතයක් කළොත් මියුසික් වීඩියෝ එකක් කරන්නම වෙනවා. ඊට අමතරව නාලිකාවල ගීත ප්‍රචාරය කරවන්න විවිධ ක්‍රමවේද තියෙනවා. මම හිතන්නේ ලංකාවේ ඉන්න කම්මැලිම ගායිකාව මම වෙන්න ඇති. මම ගීතයක් කළාට පස්සේ එය ජනප්‍රිය කරවන්න අනවශ්‍ය වෙහෙසක් දරන්න කැමැති නැහැ. ප්‍රසංග වේදිකාවට ගියත් ජනප්‍රිය හින්දි ගීතයක් ගායනා කරනවා. එතැනදීත් මගේ ගීතයක් ගයන්නේ නැහැ. ඔන්න ඔය හේතු නිසා ප්‍රේක්ෂකයින්ට දැනෙනවා ඇති මම අවුරුදු ගණනාවකින් ගීතයක් කළේ නැහැ කියලා.
 
ඔබ පුංචිම වයසෙදි රටේම ජනප්‍රිය තරුවක් වුණා. අද ඒ ජනප්‍රියත්වය ඒ විදියටම නැතිවීම ගැන දුකක් නැද්ද?
මම ඉපදුණේ 1974. හා හා පුරා ගුවන්විදුලියේ ගී ගයන්න ආවේ 1980දි. 1986 වෙද්දි මම ගොඩක් ජනප්‍රියයි. මම වැඩිදුර අධ්‍යාපනය වෙනුවෙන් විදෙස් ගතවුණේ ජනප්‍රියත්වයේ ඉහළම තැනක ඉන්නකොට. ආයෙම ලංකාවට එද්දි හැමෝටම මාව අමතක වෙලා ඇති කියලා මම හිතුවා. ඒත් මම ආයෙම ලංකාවට ආපුහැටියේ ප්‍රසංගවලට ආරාධනා ලැබුණා. අදත් මිනිස්සු මාව දන්නවා. ප්‍රසංග වේදිකාව තුළ මම ඉන්නවා. එදා තිබූ ජනප්‍රියත්වය ආයෙම ඒ විදියටම ලබන්න ඕන කියන අදහසක් මා තුළ නැහැ. මට අවශ්‍ය මගේ සංගීත පංති කරගෙන, අධ්‍යාපන කටයුතු කරගෙන පුතත් එක්ක මේ ගෙවන නිහඬ ජීවිතය ගෙන යන්නයි. එහෙම නැතුව ජනප්‍රිය වෙන්න නොවෙයි. 
 
චම්පා කල්හාරිගේ පුතා ගැන දැනගන්නත් ඔබේ රසික පිරිස කැමැති ඇති.
මගේ පුතා නිශ්චල් නිශ්භාෂී ජයසේකර. මේ වෙනකොට ලයිසියම් ජාත්‍යන්තර පාස‍ලේ 8වන ශ්‍රේණියේ ඉගෙන ගන්නේ. මේ වෙද්දිත් එයා සංගීත විශාරද විභාගය අවසන් කරලයි තියෙන්නේ. ඒත් පුතා සංගීතයට යොමුවෙන එකක් නැහැ. පුතා කලාවට යොමුවන්න වැඩි කැමැත්තක් නැහැ. කවදහරි එයා කැමැති ක්‍ෂේත්‍රයකින් ඉදිරියට යන්න මම සහය දෙනවා. මගේ ජීවිතයම පුතා තමයි. එයාගේ මුළු ජීවිතේත් මම. පුතා යාළු මිත්‍රයෝ වටකරගෙන ඉන්න දඟකාර චරිතයක් ‍නෙවෙයි. නිතර මගේ වටේ දැවටිලා ඉන්න කැමැති දරුවෙක්.
 
ආරියවංශ කුලතිලක
 
ඡායා - මංජුල පෙරේරා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.