Coss Ear2
lakbima.lk
COSS Ear 1
මීතොටමුල්ල කුණු කන්ද නායයාමත් සමගම සමාජ ජාල වබේ අඩවිවල බොහෝදෙනකු විවිධාකාර සටහන් තැබූහ. නමුත් මේ පණිවුඩ සටහන් සියල්ල අභිභවා ගිය සුවිශේෂ පණිවුඩ සටහනක් පිළිබඳ ශ්‍රී ලංකාවේ සමාජ ජාල වබේ අඩවි භාවිතා කරන බොහෝදෙනකු මේ දිනවල කතා කරති. 
 
එකී සටහනෙන් දක්වන්නේ බෞද්ධයන්ගේ ඓතිහාසික පූජනීය වස්තුවක් වන ජේතවන දාගැබේ ඡායාරූපයක් විකෘති කර ඒ පහළට කුණු පුරවා ඇති ඡායාරූපයකි. එකී ආන්දෝලනාත්මක සමාජ සටහන සහිත ඡායාරූපයට අනුග්‍රහය දක්වා සමාජ ජාලයක් ඔස්සේ හුවමාරු කළ බව ජනප්‍රිය නිළි  සමනලී ෆොන්සේකාට එරෙහිව චෝදනා නැගී තිබේ. ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජාතික හෙළ උරුමය විසින් ‍පොලිස්පති පූජිත ජයසුන්දර වෙත කළ පැමිණිල්ලක සටහනක්ද මේ දිනවල ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ හුවමාරු වෙමින් පවතියි. 
 
රංගන ශිල්පිනියක්, ජනප්‍රිය තරුවක් ලෙසින් මෙරට ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක්වෙන සමනලී ෆොන්සේකා රටේ ජාතික ප්‍රශ්නයක් සම්බන්ධයෙන් දැක්වූ මෙම අදහස පිළිබඳව අපි කරණු විමසා සිටියෙමු. මේ ඒ පිළිබඳ ඇය දැක්වූ අදහස්ය.
ඡායාරූපය කියන්නේ කලාවක්. ඒ තුළ තියෙන්නේ නිර්මාණාත්මක දැක්මක්. ඡායාරූපයක් දිහා බලන කෙනා අනුව ඒක  අර්ථ කථනය කිරීම වෙනස් වෙනවා. ඉතින් ජේතවන දාගැබට කුණු පුරවපු ඡායාරූපයක් මම හුවමාරු කළා විතරයි. ඒක මගේ යාළුවෙක් නිර්මාණය කළ කොලාජ් ඡායාරූපයක්. මම මේ වගේ ඡායාරූපයක් හුවමාරු කළා කියලා  ආගමික සිද්ධස්ථානයකට කුණු දාන්න ඕනේ කියන පණිවුඩය මේකෙන් කියවෙන බව ස්ථිරවම කියන්නේ කොහොමද, මම කළේ ඡායාරූප හුවමාරු කළ එක විතරනේ. දාගැබට කුණු දාන්න ඕන කියන පණිවුඩයම  ඒ ඡායාරූපෙන් කියැවෙනවා කියලා කියන්නේ මට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා පැමිණිල්ලක් ඉදිරිපත් කළා යැයි කියන පිරිසමනේ මේ ආකාරයට සමනලී ෆොන්සේකා සඳහන් කළද, මෙවැනි ඡායාරූපයක් ඇය හුවමාරු කළේ ඇයිද යන ගැටලුව බොහෝ දෙනකුට  ඇතිව ඇත. සමනලී ඒ පිළිබඳ දරනුයේ මෙවැනි අදහසකි.
 
ඒ දවස්වල රජවරු කළේ දාගැබ් හදන එක. නමුත් දැන් රජවරු කරන්නේ කුණු කඳු හදන එක. මීතොටමුල්ල කුණු කන්දෙන් අහිංසක ජීවිත බිලිගත්තානේ කියලා හිතෙනකොටත් මට මං ගැනත් කලකිරීමක් ඇතිවුණා. මොකද මේ කුණු කන්දට මමත් ඔබත් සියලුදෙනාම වගකිව යුතුයි. මම කළේ ඡායාරූපය හුවමාරු කළ එක විතරයි. නමුත් සිංහල බෞද්ධ කියන අන්තවාදීන් මේ සිද්ධිය හරිම ප්‍රාථමික විදිහට ගොඩනගන්න හදන්නේ ඇයි කියන එක නම් තේරෙන්නේ නැහැ සමනලී පවසන්නීය.
 
ඇය පවසන පරිදි මෙලෙස ප්‍රතිචාර දක්වනුයේ මෙරට බහුතරය නොවන බවය. ඉතා සුළු පිරිසක් මේ ආකාරයෙන් ප්‍රතිචාර දක්වන බවත්, තමා කෙදිනක හෝ කිසිදු ආගමකට අපහාස නොකරන බවද ඇය පවසන්නීය.
 
තමාගේ ෆේස්බුක් ගිණුම අත්හිටුවීමට කරන යෝජනාව පිළිබඳ ඇය අදහස් දක්වයි.
 
මම රඟපාපු කෘතියක ඡායාරූපයක් මට බැනලා දැම්මා කියලා මම බයවෙන්නේ නැහැ. මේමගේ හතරවෙනි ෆේස්බුක් ගිණුම. ෆේස්බුක් මර්දනය මට නම් දැන් හොඳටම පුරුදුයි. මගේ ගිණුම අත්හිටුවීමෙන් මට අවාසියක් වෙන්නේ නැහැ. මොකද මම භාවිතා කරන එකම සන්නිවේදන මාර්ගය ෆේස්බුක් නමෛයිනේ. මේ වගේ මඩ ප්‍රහාර  ආගම කඩතුරාව කරගෙන අන්තවාදී දේශපාලන මත දරන පාලකයන් ඉතුරු කරපු අතුරුඵල කිව්වට වරදක් නැහැ යැයි සමනලී පැවැසුවාය.
 
ඓතිහාසික පූජනීය වස්තුවකට කුණු පිරවීමට යෝජනා කිරීමෙන් මෙරට සංස්කෘතිය, ආගම, ඓතිහාසික අනන්‍යතා විනාශ වන්නා සේම, අහිංසක මිනිසුන්ගේ ගේ දොරකඩට කුණු ගෙනවිත් දමා දහස් ගණන් ජනතාවගේ බලා‍පොරොත්තු කුණු ඒ ගොඩට යට කිරීමද අපරාධයක් බව මෙකී ඡායාරූපයෙන් සන්නිවේදනය වන බව සමනලී මෙන්ම ඇයට සහය දක්වන්නන්ද ප්‍රකාශ කරයි. 
 
මෙවැනි ඡායාරූප හුවමාරු කිරීමෙන්  මෙරට සංස්කෘතික අනන්‍යතාව විනාශ කිරීමට වෙර දරන බවට තව කෙනෙකුට උපකල්පනය කරන්නටද පුළුවන.
 
එසේම මේ ඡායාරූපයට අනුග්‍රහය දක්වා ඊට විවිධ අරුත් සැපයීමට ඔබට පුළුවන. එමෙන්ම මෙවැනි ඡායාරූපය හුවමාරු කිරීම සහ නිර්මාණය කිරීම සාධණීයකරණය කිරීම හෝ හෙළා දැකීමද ඔබට බාර වේ. 
 
සමන්මලී නැලිගම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.