Coss Ear2
lakbima.lk
COSS Ear 1

අකුණු සන්නායක අත්පොත් ජාවාරමකින් මුදල් ගරන කල්ලියක්

ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්වල ඉංග්‍රීසි හා ඕලන්ද යුගවලදී සවි කළ අකුණු සන්නායකයන් හී අත්පොත රුපියල් කෝටි ගණනකට මිලදී ගන්නා බව කියමින් ජනතාව මුලාකර මුදල් ඉපැයීමේ මහා ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව 'ලක්බිම'ට අනාවරණය කර ගැනීමට හැකිවිය.
අකුණු සන්නායක අත්‍පොත් මිලදී ගන්නා බව පවසන ජාවාරම මේ දිනවල අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා පැතිර යමින් පවතින අතර මරංචි ජාවාරම්කරුවන් පිරිසක් ජාවාරම සිදුකරන බව වාර්තා විය. මරංචි ජාවාරම වැඩිම වශයෙන් ව්‍යාප්ත ප්‍රදේශයක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කය හැඳින්වී හැකි අතර ජාවාරම්කරුවන්ට හසුවන කෝටිපති ව්‍යාපාරිකයන් රුපියල් ලක්ෂ ගණනින් අහිමිකර ගැනීම පසුගිය වසර කිහිපය පුරාම මාධ්‍ය මගින් පෙන්වා දෙනු ලැබිය.
වසර ගණනාවක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිදුකළ ව්‍යාජ රන් රිදී මුතු මැණික් ජාවාරමට හසුවූවන් පිළිබඳව ‍පොලීසිය කළ හෙළිදරව් මුද්‍රිත මාධ්‍ය මගින් දිගින් දිගටම අනාවරණය කිරීම නිසා ජාවාරම්කරුවන්ගේ ජාවාරමට තිත වැටීම නිසා ඔවුන් වංචනිකව මුදල් ඉපැයීමට නව මාර්ගයක් සොයමින් සිටී.
ත්‍රස්තවාදී සමයේ උතුරු පළාතේ වළ දැමූ ඇමෙරිකානු ඩොලර් බැරල් හිටපු ත්‍රස්තවාදී සාමාජිකයින්ට හමුවී ඇති බවත් ඒවා අඩු මිලට මිලදී ගත හැකි බවත් කියමින් පසුගිය මාස කිහිපයේ ගෙනගිය මහා ජාවාරමක් පිළිබඳව රටටම හෙළි කිරීමට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට හැකිවූ අතර ඒ පිළිබඳව මාධ්‍ය මගින් අනාවරණය කිරීම නිසා ජාවාරම්කරුන්ට මරු පහරක් වැදුණි. ඩොලර් ජාවාරමෙන්ද ජාවාරම්කරුවන් කෝටිපති ව්‍යාපාරිකයන් රවටමින් රුපියල් කෝටි ගණනින් ඉපැයූහ.
නව මරංචි ජාවාරම වී ඇත්තේ මීට දශක 20කට එහා ගිය යටත් විජිත සමයේ ලංකාවේ වෙහෙර විහාරස්ථාන ඇතුළු සුවිශේෂී ස්ථානවල සවිකළ අකුණූ සන්නායකයේ අත්පොත රුපියල් කෝටි පහත් විස්සත් අතර මුදලකට මිලදී ගන්නා බව පැවැසීමේ ජාවාරමයි. ඕලන්ද යුගයේ පැවැති වී.ඕ.සී. මුද්‍රාව සහිත අකුණ සන්නායක අත්‍පොත රුපියල් කෝටි ගණනකට මිලදී ගන්නා බව පවසමින් ජාවාරම්කරුවන් විවිධ පුද්ගලයන් යොදාගෙන ප්‍රචාර ගෙනයන අතර ඔවුන් විසින්ම එවැනි අත්පොත ඇති බව පවසමින් ඊට උනන්දු වන්නන්ට දුරකථන ඇමතුම් ලබාදේ.
අපි ළඟ තියෙනවා අකුණු සන්නායක ‍පොතක්. හැබැයි අපි ඒක බලන්න දෙන්නේ ඇග්‍රිමන්ට් එකක ගහලා. දෙපැත්තම ඇග්‍රිමන්ට් එකට මුදල් දාන්න ඕන යනුවෙන් ඔවුන් පවසයි. අනතුරුව ඔවුන් විසින්ම ඉතා පැරණි ආකාරයට සැකසූ අකුණු සන්නායක අත්පොතක් පෙන්වා මිලක් නියම කරයි. එහෙත් එම අත්පොත කෝටි ගණනට මිලදී ගැනීමට ගැනුම්කරුවන් නොමැත. ජාවාරම්කරුවන් සිදුකරන්නේ එය පෙන්වීම සඳහා රුපියල් ලක්ෂය දෙක තුන බැගින් අවශ්‍ය බව පවසා අත්පොත පස්සේ යන්නන් ගසාකෑමයි. මේ අනුරාධපුර දිස්ත්‍රික්කය හරහා රටපුරා ව්‍යාප්ත කිරීමට සැරසෙන අලුත්ම ජාවාරමයි.

බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.