lakbima.lk

ජාතික බුද්ධි ප්‍රධානී ධුරයට පත් කවුද මේ රුවන් කුලතුංග

ජනපති හා අගමැතිගේ බල අරගලයට මැදි වූ ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති සිසිර මෙන්ඩිස්ට අවසානයේ සිද්ධ වූයේ හිස් අතින්  ගෙදර යන්නටය. ඔහු සේවයෙන් ඉල්ලා අස්වී ගෙදර ගියේ ඉකුත් අට වැනිදාය. ජාතික බුද්ධි ප්‍රධානියා ගෙදර යනු ඇති බව මේ තීරුවෙන් හරියටම හෙළි කළේ ඔහු අස්වන්නට සතියකට පෙරය.

ජනපති අගමැති ගැටුමේ පාපන්දුවක් වූ බුද්ධි අංශ යන මැයෙන් දෙසතියකට ඉහතදී (ජුනි දෙවැනිදා) අප හෙළි කළේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැන සොයා බලන්නට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ කී කතා නිසා ජාතික බුද්ධි ප්‍රධානියා තනතුරෙන් ගැලවෙනු ඇති බවය. ලියුම්කරු කී කතාව දැන් සිද්ධ වී හමාරය.

රටේ බුද්ධි අංශවල ඉහළම පුටුව වන ජාතික බුද්ධි ප්‍රධානී (ඛි.ව්..) වූ කලී ජනපතිවරයාට අතිශයෙන්ම විශ්වාසවන්ත පුද්ගලයකු දැරිය යුතු තනතුරක් බවට සැක නැත. ඒ බව හොඳටම පැහැදිලි වන්නේ එම තනතුර දැරූ පුද්ගලයන්ගේ පසුබිම බලන විටය.


මින් පෙර ජාතික බුද්ධි ප්‍රධානී ධුරය ඉසිළුවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණය. එකල තරු තුනේ ජෙනරාල් නිලයක් දැරූ සරත් ෆොන්සේකා යුද හමුදාපති පුටුවට පත්වූ පසු මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතරණගේ තටු කැපී ගියේය. ඒ සමයේදී ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සරණ ගියේය. ඔහු ආරක්ෂක හමුදාවේ ‍ලේකම්වරයා හමුදාවේ හුන් කාලයේ සිටි මිතුරෙකි.

ජාතික බුද්ධි ප්‍රධානී ධුරයට ගෝඨාභයගේ තේරීම වූයේ යුද හමුදා සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ ලෙසද අත්දැකීම් ඇති බුද්ධි නිලධාරියකු වූ කපිල හෙන්දාවිතරණය. යුද, ගුවන්, නාවික, ‍පොලිස් හා රාජ්‍ය බුද්ධි අංශය යන සියලු බුද්ධි අංශ සම්බන්ධීකරණය කිරීම ගෝඨාභය රාජපක්ෂ පවරා තිබුණේ මේජර් ජෙනරාල් හෙන්දාවිතරණටය. එකල ජාතික ආරක්ෂක මණ්ඩලයට පරිබාහිරව ගෝඨාභය රාජපක්ෂගේ මූලාසනාරූඩත්වයෙන් බුද්ධි අධ්‍යක්ෂවරුන් රැස්වූහ.  ඔවුහු මේ රැස්වීමේදී තොරතුරු හුවමාරු කර  ගත්හ.

නාවික හමුදාව ගැඹුරු මුහුදට ගොස් එල්.ටී.ටී.ඊ.  නෞකා විනාශ කරන විට ඊට බුද්ධි තොරතුරු දුන්නේ යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශයය. එකල සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂවරයා වූයේ බ්‍රිගේඩියර් අමල් කරුණාසේකරය. ඔහු ඇතුළු සියලුම බුද්ධි අධ්‍යක්ෂවරුන් සම්බන්ධීකරණය කළ ගෝඨභය රාජපක්ෂගේ බුද්ධි අංශ රැස්වීම සිවු වැනි ඊළාම් සටනේදී හොඳ සේවයක් දුන් බවට ඔවුන්ට කරන ගෞවරයක් ලෙස සිහිපත් කළ යුතුය.


කෙසේ නමුදු මෛත්‍රීපාල සිරිසේන ජනපති ධුරයට පත්වීමෙන් පසු ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතරණත්, රාජ්‍ය බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය ‍පොලිස්පති චන්ද්‍රා නිමල් වාකිෂ්ඨත් ස්වකීය තනතුරුවලින් ඉල්ලා අස්වූහ. ඒ අලුත් ජනපතිවරයාට විශ්වාසවන්ත නිලධාරීන් පත්කර ගැනීමටය. එහෙත් නව ජනපතිවරයාගේ සමීපකවයේ ගෝඨාභය රාජපක්ෂ කෙනෙක් සිටියේ නැත.

ඒ තැන ගෙන සිටියේ ජනපතිවරයා බලයට පත්කළ එජාපයයි. ඔවුන් ජාතික බුද්ධි ප්‍රධානී පුටුවට යෝජනා කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික අධ්‍යක්ෂ හා පසුව එය භාර නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා වූ සිසිර මෙන්ඩිස්ය. ඔහු රහස් පරීක්ෂකයකු බවට සැක නැත. එහෙත් ඔහු අලුත් තනතුරේ වැඩ කළ පඹයෙකු බව පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ ඔහු දුන් සාක්ෂියෙන් හෙළි වන්නේය.

අනෙක් අතට ඔහුගේ ආසන්නම නිලධාරියා වූ ආරක්ෂක අමාත්‍යාංශයේ ‍ලේකම්වරයාද ඔහුට නොදෙවැනිය. සිය රාජකාරි කාලය තුළදී ජාතික බුද්ධි ප්‍රධානියාට ආරක්ෂක ‍ලේකම්වරු පස්දෙනෙක් සිටියහ. එහෙත් ආරක්ෂක ‍ලේකම් වූ කලී ගෙදර යන ගමන් පත් කෙරෙන නිලධාරියකු නොවන බව ආණ්ඩුවට වැටහුණේ පාස්කු බෝම්බයෙන් මිනිස්සු දෙසීය පනහක් මරණයට පත්වීමෙන් පසුවය.


ජාතික බුද්ධි ප්‍රධානී මෙන්ම රාජ්‍ය බුද්ධි ප්‍රධානී වූ කලී ජනාධිපතිවරයාට අතිශයෙන්ම විශ්වාසවන්ත නිලධාරියකු විය යුතුය. ජාතික ආරක්ෂාව පමණක් නොව ජනතාවගේ රුචි අරුචිකම් දේශපාලන වෙනස්කම් ඇතුළු වටේ පිටේ වන සියලු දෑ රාජ්‍ය නායකයාගේ කනේ තබන්නේ ඔවුන් දෙන්නා බැවිනි. ඒ කේලම් ලෙස නොවේ.

රාජ්‍ය නායකයාට තොරතුරු දීම ඔහුගේ රාජකාරිය. ඒ සඳහා රාජ්‍ය බුද්ධි ප්‍රධානියා හිමිදිරින්ම ජනපතිවරයාට කළු පෙට්ටියක බහාලු රහස්‍ය වාර්තාවක් යවන්නේය. එම කළු පෙට්ටිය පෞද්ගලිකවම විවෘත කරන්නේ ජනපතිවරයාමය. ඉඳින් සිය බිරිය සේම විශ්වාසවන්තව සිටිය යුතු ජාතික බුද්ධි ප්‍රධානියා දුන් සාක්ෂිවලින් ජනපතිවරයා අපහසුතාවට පත්වන විට ඔහු ගෙදර යවනවා හැරෙන්නට වෙන කුමක් කරන්නද?


සිසිර මෙන්ඩිස්ගේ අස්වීමෙන් (ඊට හරි වදන විය යුත්තේ අස් කිරීම) පුරප්පාඩු වූ ජාතික බුද්ධි ප්‍රධානි ධුරයට පත්කළේ මේජර් ජෙනරාල් රුවන් කුලතුංගය. එය ජනපතිවරයා විසින් ප්‍රමාද වී හෝ ගත් නිවැරදි තීරණයකි. මක්නිසාද මේජර් ජෙනරාල් රුවන් කුලතුංගගේ දස්කම් ඉකුත් කාලයේම අපතේ ගිය බැවිනි.

ඊට හේතුව ඔහුගේ පසුබිමය. ජනපතිවරයා එම පත්කිරීම කළද එම පත්වීමට නිර්දේශය කරනු ලැබුවේ ආරක්ෂක ‍ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ බවට සැකයක් නැත. 2003-2005 කාලයේ ශාන්ත කෝට්ටේගොඩ යුද හමුදාපති ධුරය දැරූ සමයේ ඔහුගේ යුද සහයකයා වූයේ (එකල) ලුතිනන් කර්නල් රුවන් කුලතුංගය.


ඔහු පාබළ හමුදාවට අයත් නිලධාරියකි. කොළඹ නාලන්දා විදුහ‍ලේ ආදි සිසුවෙකි. නිලධාරීන් බඳවා ගැනීමේ පාඨමාලා අංක 19 යටතේ එක්දහස් නවසිය අසූහතරේ මාර්තු තුන්වැනිදා යුද හමුදාවට එක් වූ ඔහු දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරිය ලැබුවේ අසූ පහේ නොවැම්බර් දාසය වැනිදාය. හොඳ රණකාමියකු මෙන්ම පරිපාලනයකු ලෙසද ගරු සම්භාවනාවට පාත්‍ර වූ ඔහු ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩගේ යුද සහයකයා වීමේ වරදට සිය හමුදාපතිවරයා විශ්‍රාම යාමෙන් පසු හසු කතුරට වූ බව ප්‍රසිද්ධ රහසකි.

සිවුවැනි ඊළාම් සටන ඇරඹෙන සමයෙහි ඔහු යාපනය නගර ආඥාපතිවරයාය. එතැන් සිට ඔහුගේ අපල කාලය දුරුවී යුක්තිය ඉටු වීමට සැහෙන කාලයක් බලා සිටීමට සිද්ධ විය. මේජර් ජෙනරාල් රුවන් කුලතුංග නව ධුරයට පත්වීමට පෙර දරමින් සිටියේ බටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විදුහ‍ලේ සේනාවිධායක පුටුවය. එසේම ඔහු පාබළ රෙජිමේන්තුවේ අධිපතිවරයාය.

වසර තිස් හතරක සේවා කාලයකින් පසු ඔහු ඉසඹු ලැබිමට නියමිතව සිටින්නේ මේ ජූලි පස් වැනිදාය.

මිහිරි ෆොන්සේකා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.