තාරුණ්‍යය
එකළොස් වියැති පුතු සත්වහිංසනයට ප්‍රිය කරන්නේ ඇයි?
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් විසඳුම් ඉදිරිපත් කරයි
ප්‍රශ්නය
මම තිස් හත් වියැති දෙදරු මවක්මි. මීට පස් වසරකට පෙර මගේ සැමියා මිය ගිය අතර මීට තෙවසරකට පෙර දෙවන විවාහයකට පිවිසියෙමි. පළමු විවාහයේ දී මා ලද පුතුගේ වයස අවුරුදු එකොළහක් වන අතර දෙවන විවාහයෙන් මා ලද පුතුගේ වයස තවම අවුරුදු එක හමාරකි.
මගේ වැඩිමල් පුතු දැනට වසර කිහිපයක සිට සතුන් සම්බන්ධයෙන් ඉතා කෲර ලෙස කටයුතු කරන අතර පහර දී හෝ ගල්වලින් ගසා උරගයන් සහ කුරුල්ලන් මැරීමටත් බලු බළල් ආදී සතුන්ට පහර දී තුවාල සිදු කිරීමටත් මහත්සේ උනන්දු වෙයි. ඔහුගේ මෙම ක්‍රියා වැළකීමට අප කොතෙක් උත්සාහ කළත් අපට රහසින් දිගින් දිගටම ඔහු මෙවන් ක්‍රියාවලට පෙළඹෙයි. මේ තත්ත්වය නිසා මගේ සැමියා තුළද මගේ වැඩිමල් පුතු කෙරෙහි දැඩි පිළිකුලක් සහ අප්‍රසාදයක් පැන නැගී අතර සැමියා පවසන්නේ ඔහු සාංසාරික වශයෙන් පව්කාරයකු බවය. එමෙන්ම මෙවන් පාපකාරී ක්‍රියාවල යෙදීම ඔහු අඩු වයසින් මිය යාමේ පෙර නිමිත්තක් බවද සැමියා කියයි. පුතුගේ එවන් ක්‍රියාවන් සේම සැමියාගේ මෙම ප්‍රකාශය ද මගේ සිතට මහත් වේදනාවකි. මගේ පුතු මෙබඳු ක්‍රියාවලින් මුදා ගත නොහැකිද ?
විසඳුම
කුඩා දරුවන්ගේ හැසිරීම්වල පරාසයක් තිබේ. සමහර ළමයින් ඉතාමත්ම දඟකාර ය. තවත් කොට්ඨාසයක් ඉතා නිවුණු තැන්පත් ස්වභාවයෙන් යුතු දරුවෝ වෙති. ඊළඟ කාණ්ඩය මේ දෙක අතරමැද හිඳින කොටස ය. වඩා වැඩි එම තුන්වෙනි කාණ්ඩයයි.
දඟකාර දරුවන්ගේ උපරිම කාණ්ඩය වන්නේ ඉතාමත්ම දඟ වැඩි දරුවන්ය. මේ දරුවන් මවුපියන් වැඩිහිටියන් කියන කිසිම දේකට කීකරු නැත. අධ්‍යාපනය කඩාකප්පල් කර ගනිති. සතුන්ට බොහෝ සෙයින් හිංසා පීඩා පමුණුවති.
සමහර දරුවන් මෙසේ හැසිරෙන්නේ නිවසේ ඇතිවන ගැටලුවකට හෝ පාසලේදී අත්දකින්නට සිදුවූ දෙයක් නිසා හෝ ඇති වන චිත්ත පීඩාවට ප්‍රතික්‍රියාවක් ලෙසය. නමුත් මෙය තාවකාලික එකකි. ප්‍රශ්නය නිරාකරණය වීමෙන් පසු ප්‍රචණ්ඩකාරී ගති අඩුවේ.
ඔබේ දරුවාගේ මුල්ම කාලය එතරම් දඟකාර ගති ලක්ෂණ පළ නොවී වසර කිහිපයකට පසු එය හටගෙන තිබෙන බව පැහැදිලිය. ජීව විද්‍යාත්මකව මොළයේ ඇති වූ වෙනසක් මත මේ තත්ත්වය හටගෙන තිබෙන බව පෙනේ. ඒ අනුව ඔබේ පුතු තුළ විශේෂයෙන් දැකිය හැකි දෙයක් වන්නේ ආවේග පාලනය කර ගත නොහැකි වීමය. සුළු දේටත් කෝපයට පත්වන, හිතෙන දේම කරන, සතුන්ට අපමණ හිංසා පමුණුවන මෙබඳු දරුවන් හට අන් අයගේ දුක කනගාටුව ගැන හැඟීමක් ඇත්තේ නැත. වෙනත් පුද්ගලයකුට පහරක් ගැසුවොත් පෙරළා තමන්ටත් පහර වදීවියැයි ඕනෑම කෙනකු තුළ බියක් හට ගනී. නමුත් අසරණ සතුන්ට පහර දුන් විට ඔවුන් එබඳු ප්‍රතිචාර දක්වන්නේ නැත. යම් කෙනකු සතුනට හිංසා නොකරන්නේ ඒ තමාට මෙන් සතාටත් එය වේදනාවක් බව දන්නා නිසාය. එවැන්නක් පිළිබඳ කිසිදු හැඟීමක් නැතිව දිගින් දිගටම සතුනට හිංසා කරන්නේ සතුනටත් තමාට මෙන් වේදනාව දැනෙන බවට මානුෂීය හැඟීමක් නැති අයයි. ඕනෑම දරුවකු ඉතා ප්‍රචණ්ඩකාරී බව දැන ගන්නට හොඳ සාධකයක් වන්නේද සතාට රිදෙන බව හොඳින් දන්නා වයසකදීත් සතුන්ට හිරිහැර කරන
විට ය.
මේ ආකාරයේ අධික ප්‍රචණ්ඩ ගති ලක්ෂණ පළ කරන ඇතැම් දරුවන් සොරකම් කිරීම පාසලින් කට්ටි පැනීම, හිතාමතා බොරු ගොතා කීම වැනි අනිකුත් ලක්ෂණද පළකළ හැකිය. මේ තත්ත්වය මනෝ වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ කන්ඩක්ට් ඩිසෝඩර් ලෙසිනි.
මේ රෝග තත්ත්වය සමහර දරුවන් තුළ හට ගන්නේ ජානමය හේතූන් මතය. ළමා වියේ මවුපියන්ගේ ආදරය කරුණාව නිසි ලෙස නොලැබිම, මව හෝ පියාගෙන් ළමා වියේදීම වෙන් වන්නට සිදුවීම වැනි හේතු නිසාද සමහර දරුවන් එවැනි තත්ත්වයකට පත්විය හැකිය. දරුවකු අනෙක් අයට ආදරය කරන්නට ඉගෙන ගන්නේ තමාට හොඳින් ළමා වියේදී ආදරය ලැබුණු විටය. ආදරය නිසි ලෙස නොලද දරුවකුට ආදරය පිළිබඳ ඉගෙන ගැනීමට අවස්ථාවක් හිමි නොවේ.
කුඩා කල හට ගන්නා කන්ඩක්ට් ඩිසෝඩර් තත්ත්වය ඇතැම් විට දරුවා තරුණ වයසට එනවිට ඉබේම සාමාන්‍ය අතට හැරීමට ඉඩ ඇති මුත් සමහර දරුවන්ට එය සමාජ විරෝධී පෞරුෂ ආබාධය දක්වා වර්ධනය වීමට අවකාශ තිබේ.
ඔබේ දරුවාව මනෝ වෛද්‍යවරයකු වෙත එක්කරගෙන යන්න. එවිට ඒ දරුවාගේ මානසික ප්‍රශ්න ගැන දරුවා සමගත් වැඩිහිටියන් සමගත් සාකච්ඡා කළ හැකිය. ඒ අනුව රෝග තත්ත්වය හඳුනා ගෙන චර්යාත්මක ප්‍රතිකාර සහ ඇතැම් විට ඒ සමග ඖෂධ ප්‍රතිකාරත් ලබා දීමේ හැකියාව තිබේ. දෙමාපියන්ටද උපදේශන ප්‍රතිකාර ලබා දිය යුතුය.
සාකච්ඡා කළා - ඉන්දු පෙරේරා
මේ මනුස්සයා මාව මේ තරමට රැවැට්ටුවේ ඇයි?
දුරකථනයෙන් මා අමතා අපගේ පාඨක හිතවතියක් දුන් කතා පුවතකින් මෙවර කඩතුරාව සැරසේ.
සෙව්වන්දි ඔයාගෙ කවුද ?
එයා මගේ හොඳම මිතුරිය
දැන් ඔයා කියන්න හදන්නෙ සෙව්වන්දිගෙ කතාවද ?
ඔව්. මට හිතෙනව මේ කතාව පත්තරේ දැම්මොත් ඒක කියවන අයටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල.
කියන්නකො මොකක්ද කතාව කියල ?
සෙව්වන්දියි මමයි එකම තැන වැඩ කරන්නෙ. එයා බොහොම අහිංසක ඒ වගේම හොඳ පෙනුම තියන කෙනෙක්. එයා මුලින්ම බැඳල හිටියෙ පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රස්සාවක් කරන කෙනෙක්ව. ඒ කසාදෙ සිද්ධ වෙලා තියෙන්නෙ යෝජනාවකින්. බැඳපු මුල් කාලෙ එයාල හොඳට ඉඳල තියනව. නමුත් බැඳල මාස ගාණක් යනකොට සෙව්වන්දිගෙ මහත්තයා ටික ටික වෙනස් වෙන්න පටන් අරන්.
හේතුව ?
හේතුව හොයල බලද්දි සෙව්වන්දිට ආරංචි වෙලා තියනවා එයාගෙ මහත්තයට තව අනියම් සම්බන්ධයක් තියනව කියලා.
ඉතින් ?
කොහොම හරි අවුල් වියවුල් අඬදබර ගොඩක් මැද්දෙ සෙව්වන්දිට දරුවත් ලැබුණා. එයා පුතෙක්.
ඊට පස්සෙවත් ඒ පවුලෙ ගැටුම් නතර වුණේ නැද්ද ?
ඇත්තෙන්ම නෑ. පුතාට අවුරුදු දෙකක් විතර වෙනකොට එයාලා දික්කසාද වුණා.
පුතාව කවුද භාර ගත්තෙ ?
සෙව්වන්දි පුතාව ගත්තා. එයාගෙ මහත්තයාට ඒ දෙන්නට නඩත්තු ගෙවන්න නියම වුණා.
ඊට පස්සෙ මොකද වුණේ ?
සෙව්වන්දි දරුවත් අරන් එයාගෙ දෙමව්පියො ගාවට ගියා. මහගෙදර ඉඩමෙම සෙව්වන්දිට වෙන් කරල දීලා තිබුණු කොටසෙ සෙව්වන්දි ගෙයක් හදන්න පටන් ගත්තෙ ඔය කාලෙදි. එයා ඒකට හවුසින් ලෝන් එකක් එහෙමත් අරන් තිබුණා.
ඉතින් ?
සෙව්වන්දිගෙ පුතා මොන්ටිසෝරි යන වයසත් ආවා. එයා දරුවාව මොන්ටිසෝරි ගෙනියන එක භාර කළේ ස්කූල් සර්විස් වෑන් එකකට. සමහර දාට සෙව්වන්දිත් ඒ වෑන් එකේම නැගලා බස් එක ගන්න පහසු තැනකින් බහින වෙලාවලුත් තිබුණ.
ඊට පස්සෙ මොකද වුණේ ?
මේ වෑන් එකේ ඩ්‍රයිවර්ගෙ නම සුසන්ත. එයා මේකෙ අයිතිකාරයා නමෛයි. පඩියට වැඩ කරපු කෙනෙක්. සුසන්ත අවිවාහකයි. ටික කලක් යන කොට සෙව්වන්දිට තේරිලා තියනව සුසන්ත එයා ගැන ලොකු උනන්දුවක් දක්වනව කියලා.
සෙව්වන්දි මොකද කරල තියෙන්නෙ ?
සෙව්වන්දි ඇත්තටම මුලදි මේකට කොහොමටවත් කැමැති වෙලා නෑ. ඒකට ප්‍රධානම හේතුව වුණේ එයාලගෙ වයස.
ඇයි වයස ?
සෙව්වන්දිට වඩා සුසන්ත අවුරුදු අටකින් බාලයි. හැබැයි ඒ කාලෙ සෙව්වන්දි ගොඩක් පාළුවකින් තනිකමකින් පීඩා වින්දා. ඒ හින්දද මන්දා පස්සෙ එයා සුසන්තට කැමති වුණා.
බැන්දද ඒ දෙන්නා ?
නෑ. සුසන්ත සෙව්වන්දිව බදින්න කැමැත්තෙන් හිටියත් සෙව්වන්දි ඒකට කැමති වුණේ නෑ. ඒකට හේතුව තමයි සුසන්ත එයාට වඩා බාල කෙනෙක් වීම.
සෙව්වන්දිගෙ දෙමව්පියො දන්නවද මේ සම්බන්ධය ගැන ?
ඔව්. ඒත් ඒගොල්ලන් කවුරුවත් කැමති වුණේ නෑ. රස්සාව අතින් බැලුවත්, උගත්කම අතින් බැලුවත් සෙව්වන්දිට වඩා අඩු මට්ටමක තමයි සුසන්ත හිටියෙ. ඒත් සුසන්ත ඒ හැම අඩුපාඩුවක්ම වැහිල යන විදිහට සෙව්වන්දිගෙ පවුලෙ අයගෙ හිත දිනා ගන්න සමත් වුණා.
ඒ කොහොමද ?
එයා සෙව්වන්දිගෙ දෙමව්පියන්ගෙ නොමනාපකම් ගැන හිතන්නෙ නැතුව ඒ ගෙවල්වල ගියාම පවුලෙ කෙනෙක් වගේ හැම දේකටම උදව් දීගෙන ඉක්මණින්ම හැමෝගෙම හිත දිනා ගත්තා.
ඒ ගොල්ලන් මේ කසාදෙ කරන්න කැමති වුණාද ?
එයාල පස්සෙ කැමති වුණා. ඒ විතරක් නෙමේ පහුවෙනකොට සෙව්වන්දිත් කැමති වුණා. ඒත් පොඩි ප්‍රශ්නයක් තිබුණා.
ඒ මොකක්ද ?
මේ වෙද්දි එයාලගෙ සම්බන්දෙට අවුරුදු තුනක් විතර ගත වෙලා තිබුණා. මුලින් සෙව්වන්දිව නීතියෙන්ම කසාද බදින්න උත්සාහ කරපු සුසන්ත මේ වෙනකොට කසාද බඳින්න කිසිම උනන්දුවක් තිබුණෙ නෑ.
ඇයි ඒ ?
සෙව්වන්දිවත් දැනගෙන හිටියෙ නෑ ඒකට හේතු. සුසන්ත නිතරම කිව්වෙ ‘කසාද බඳින්න ඕන නෑනේ. අපි හැමදාම මෙහෙම ඉමුකො. කසාද බඳින්නෙ තමන් ගැන විශ්වාසයක් නැති අය’ කියලා බොරු පණ්ඩිත ටෝක් එකකුත් දීල තිබුණ.
සුසන්ත ඒ විදිහට වෙනස් වෙලා තියෙන්නෙ ඇයි ?
ඒක තමයි අපටත් හිතා ගන්න බැරි වුණේ. සෙව්වන්දි හිටයෙ ඇඬූූ කඳුළෙන්මයි. මේ වෙනකොට සුසන්ත අර වෑන් එකෙන් අයින් වෙලා සෑහෙන කලක්. සුසන්ත වැඩ කළේ ඔෆිස් එකක ඩ්‍රයිවර් කෙනෙක් විදිහට.
ඊට පස්සෙ ?
සුසන්ත සෙව්වන්දිගෙ ගෙදර එන්නෙ නැතුව මග අරින්න පටන් ගත්තා. එයාගෙ ෆෝන් එක වැඩ කළෙත් නෑ. එයා වැඩ කරන තැන කොහෙ තියනවද කියලාවත් සෙව්වන්දි දැනගෙන තිබුණෙ නෑ.
එයා මොකද කළේ ?
ඔය අතරෙ ආරංචි වුණා සුසන්තට වෙන ගර්ල් කෙනෙක් ඉන්නව කියලා. මේ වෙනකොට සෙව්වන්දි සුසන්ත ගැන පුදුම ආදරයකින් හිටියෙ. ඒ නිසාම මේ ආරංචිය සෙව්වන්දිට දරා ගන්න බැරි වුණා. හැබැයි වරින්වර සුසන්ත සෙව්වන්දිට කෝල් කළා. ඒ හැම අවස්ථාවකම තමන්ට වෙන කිසිම සම්බන්ධයක් නෑ කියලා සුසන්ත දිව්රලා තිබුණා. නමුත් සුසන්තගෙ හැසිරීම්වලින් අපට නම් හොඳටම තේරුණ එයාට මොකක් හරි දෙයක් ඇති බව. අපි ඒක සෙව්වන්දිටත් පැහැදිලි කරල දුන්නා.
එයා ඒක පිළිගත්තෙ නැද්ද ?
අපි කියන වෙලාවට පිළිගන්නවා. ඒත් සුසන්ත එක කෝල් එකක් දීලා පොඩ්ඩක් ආදරේ පෙන්නපු ගමන් මෙයාට අනික් සේරම අමතක වෙනවා. ඊට පස්සෙ ආයෙත් සුසන්ත සද්දයක් නැතුව නිහඬ වෙනකොට ආයෙත් සෙව්වන්දි අඬා වැටෙන්න පටන් ගන්නවා.
මොකක්ද ඉතින් ගත්තු පියවර ?
බැරිම තැන අපි සුසන්තගෙ ගෙදරට ගිහින් අම්මලත් එක්ක මේ ගැන කතා කරන්න තීරණය කළා.
ඒ ගොල්ලො මේ සම්බන්ධය දන්නවද ?
ඔව්. අපි ගියා ඒ ගෙදර. ඒත් සුසන්තගෙ අම්මා කතා කළේ ඒ තරම් හිත හොඳකින් නෙමේ.
මොනවද කිව්වෙ ?
ඔය ළමයා හොඳ ආණ්ඩුවෙ වැදගත් රස්සාවක් කරන කෙනෙක් වුණාට අපේ ළමයට වඩා ගොඩක් වැඩිමල්නේ. අනික ඉතින් ඔය ළමයා කලින් කසාද බැඳල දරුවෙකුත් ඉන්න කෙනෙක් නේද ? දැන් ඉතින් මදෑ අපේ පුතාත් එක්ක නැටුම් නටපු කල්. ඔය ළමයා වෙන අතක් බලා ගන්න. අපේ
ළමයට එයා කැමති කෙනෙක්ව කසාද බඳින්න ඉඩ දීලා” කියල කිව්වෙ නැතැයි.
ඉතින් ?
එදා සෙව්වන්දි ගෙදර ආවෙ අවසිහියෙන් වගේ. විශ්වාස කරන්න එයා ඊට පස්සෙ මුහුදෙ පනින්නත් ගියා. දැන් අපි එයාට මනෝ වෛද්‍ය ප්‍රතිකාර අරන් දෙනවා. පුදුමාකාර හිත් වේදනාවකින් එයා ඉන්නෙ. සෙව්වන්දි සුසන්තට ගොඩක් මුදල් හදල්වලින් උපකාර කරල තියනවා. ගෙදර හදිස්සියක් කිව්වම උගස් කර ගන්න කියලා රත්තරන් බඩුත් දීලා තියනවා. ඒ කිසි දෙයක් එයාට ආපහු දීලා නෑ. ඒත් සෙව්වන්දි දුක්වෙන්නෙ ඒවා ගැන නෙමේ. අවුරුදු දහයක කාලයක් තිස්සෙ මේ මනුස්සයා මාව මේ තරමටම රැවැට්ටුවෙ ඇයි කියලයි.
ඉන්දු පෙරේරා
ඔබගේ ආත්මය අනිකෙකුට උකස් නොතබන්න

“පනින්න පෙර සිතා බලනු” කියලා ආප්තෝපදේශයක් තිබෙනවා. එයින් අදහස් කරන්නේ යම් දෙයක් සිදුකරන්නට පෙර එහි ප්‍රතිවිපාක ගැන සිතිය යුතුය යන්නයි. එසේ කල්පනා නොකර හදිසියේ කරන දේවලින් විනාශකාරී, අයහපත් ප්‍රතිඵල ඇතිවිය හැකිය. ඇත්ත වශයෙන්ම අපි බොහෝ දෙනෙක් යම් දෙයක් සිදුකර ඊට පසුවයි එහි හොඳ නරක ගැන හිතන්නේ.
“ඇත්තටම මම එහෙම කළ එක හොඳද?”
“එය මට නරකට හිටීවිද?”
“මගේ හොඳ නමට කැළලක් වෙන්න පුළුවන්”
“මට සතුරන් ඇතිවෙන්න පුළුවන්”
මේ ආදී වශයෙන් පශ්චාත්තාප වෙනවා දැකගත හැකියි. ඒ අය හිතන්නේ හදිසියේ මම මේක කළාට වැඩිය නොකළානම් හොඳයි කියලා. එහෙම නම් ඇයි කළේ? කලබල වීම නිසාද? නැතිනම් හරිහැටි තේරුම්ගත නොහැකි වීම නිසාද? නොඑසේනම් මුලාවීම නිසා හෝ බිය නිසාද? මේ විවිධ හේතු නිසා නොකළ යුතු දේ කරලා අමාරුවේ වැටෙන අය ඉන්නවා.
ඒ හින්දා වඩාත් උචිත වන්නේ කරන්නට පෙර සිතා බැලීමයි. පූර්ව විනිශ්චයකට එළඹීමයි. ඒ පිළිබඳ ඔබට තනිව තීරණයක් ගන්න බැරිනම් ඔබගේ ළඟම ඥාතියාගෙන් හෝ මිතුරාගෙන්, හිතවතාගෙන් විමසන්න. එවිට ඒ අය ඔබට යම් උපදෙසක් දෙනු ඇති. එක් අයකුගේ අදහස පමණක් නොසෑහේනම් තව කෙනකුගෙන් අහන්න පුළුවන්. ස්වයංවිනිශ්චයක් දෙනවාට වඩා පොදු විනිශ්චයක් ගන්න එක හොඳයි. එහෙම ගුරුහරුකම් අරගෙන හොඳ නම් කරන්න හෝ නරක නම් නොකරන්න ඔබට පූර්ණ නිදහස තිබෙනවා.
එහෙම නැතුව තනි මතයට කරලා වැරදුණාම අමාරුවේ වැටෙනවා. ගොඩ එන්නේ කොහොමද කියලා අහස පොළොව ගැටලන්න කල්පනා කරනවා. හිතෙන් දුක් විඳිනවා. මෙය මහා මෝඩකමක්. අහක තියෙන කරදර ළඟට අරගෙන දුක් විඳින්නේ ඇයිද? වුවමනාවෙන් ප්‍රශ්න ඇතිකර ගන්නේ ඇයිද? වරද ඔබේමයි.
මේ නිසා යමක් කරන්න පෙර දෙවරක් සිතා බලන්න. ඇතැමුන් හැඟීම්වලට වහල්වෙලා වැඩ කරලා විනාශයේ වැටෙනවා. හැඟීම්වලට වහල් වෙලා පෙම්වතුන් පෙම්වතියන් හැසිරිලා ජීවිත අඳුරු කරගන්නවා. ඇතැම් විටෙක හැඟීම්වලට වහල් වෙලා මිනිසුන් මරලා මුළු ජීවිතයම කණපිට හරවා ගන්නවා. අනුන්ගේ ඉගැන්නුම් බස්වලට, කේලම්වලට අවනත වෙලා මහ අපරාධ කරන අයත් සිටිනවා. තවත් කෙනකුගේ බොරු පොරොන්දුවකට අහුවෙලා නොයෙක් අධම දේ කරනවා. පසුගියදා පුවත්පතක තිබුණා රුපියල් දෙදහස් පන්සියයකට මිනිසෙකු මැරූ සිද්ධියක්. ඉතින් බලන්න මනුෂ්‍යත්වය කොයිතරම් දුරට පිරිහිලාද කියලා.
තිරිසන් සතාට වඩා දියුණු මනසක් මිනිස් සතාට තිබෙනවානේ. ඉතින් එහෙම උසස් මනසක් ඇත්තේ හොඳ නරක වටහාගෙන ඒ අනුව ක්‍රියා කිරීමටයි. එහෙම තිබියදී මිනිසාත් තිරිසනා වගේ හැසිරෙනවා නම් කොතරම් කනගාටුදායකද? මිනිස්කමට නිගාවක්ද?
අද බන්ධනාගාරයට ගියොත්
ක්ෂණික කෝපය නිසා මිනීමැරුව අය හමුවෙන්න පුළුවන්. ඇතැමෙක් බොරු ආරංචි විශ්වාස කරලා මිනීමරුවන් වෙනවා. තවත් කෙනෙක් සුළු ලාභයක් තකාගෙන මිනිසෙකුගේ දිවි අහිමි කරනවා. ඔවුන් මේ හැඟීම සිතට එන අවස්ථාව, මේ ආවේගය ඇතිවන අවස්ථාව එක තත්පරයකින් පමා කළානම් ඔවුන් කවදාවත් ඒ දරුණු අපරාධය කරන එකක් නැහැ. එක මොහොතකින් සියල්ල අමතක වෙනවා.
එහෙත් යථා තත්ත්වය අවබෝධ කරගත් පසු පශ්චාත්තාප වෙනවා. මිනී මරා හිරේ ඉන්න අයගෙන්, මරණ දඬුවම හිමි වූ අයගෙන් කීදෙනෙක් තමන් කළ අපරාධය ගැන හිරේදී පසුතැවිලි වෙනවාද? “අනේ මම අමාරුවේ වැටුණා. එළියට එන්න පුළුවන් වුණොත් ආයි නම් මෙහෙම දේවල් කරන්නේ නැහැ.” ඔවුන් හඬා වැළපෙනවා. අනේ මම නොමග ගියා. ඒ වෙලාවේ මට මුකුත් හිතන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒකයි පිහියෙන් ඇන්නේ. දැන්නම් මට ඒක මතක් වෙනකොට ඇගේ මවිල් කෙළින් හිටිනවා. මේ ආදී වශයෙන් ඔවුන් කියනවා ඇති. ඒ ඔවුන්ගේ ඇත්ත තත්ත්වයයි.
සොයුරිය සොයුර අද ලෝකය විවිධයි. විෂමයි. ඔබ අමාරුවේ දමා ස්වකීය පටු අපේක්ෂා ඉටුකර ගන්නා අධමයන් අද කවදාටත් වඩා ඉන්නවා. ඒ අයට නතු නොවී තම හදවතට එකඟව කටයුතු කරන්න ඔබ සැලකිලිමත් විය යුතුයි. ඔබේ ආත්මය අනිකෙකුට උකස් තබන්න එපා. අනුන් කියන හැටියට හැසිරෙන තරමේ අඳ බාලයෙක් වෙන්න එපා ඔබ අන් අයගේ අල්‍ලේ නැට්ටුවෙක් වෙන්න එපා. යමක් කරන්නට පෙර එය නිවැරදිද යන්න ගැන විනිශ්චයක් ලබාගන්න. එවිට එයින් ඔබ අමාරුවේ වැටෙන්නේ නැහැ. එහෙම නැතුව සෙසු අය කියන හැටියට ඔවුන් ඔබ මුරුංගා අත්තේ තිබ්බාම ඔබ දිගටම අත්තේ ඉහළට නගින්න යන්න එපා. එහෙම වුණොත් වැටිලා අඬු බඩු කඩාගන්න වේවි.
යසවර්ධන රුද්රිගු
වියෝ වේදනාව අඩුකර ගන්නේ කොහොමද?

තමන් බොහෝ සෙයින් ආදරය කළ පෙම්වතා/ පෙම්වතිය තමන්ගෙන් වෙන්වයාම ඕනෑම කෙනකුට දරා ගන්න බැරි තරම් ලොකු වේදනාවක්. නමුත් මේ අත්දැකීමට බොහෝවිටම අපට මුහුණදෙන්න සිදුවෙනවා. ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටීමේ වේදනාව දරා ගන්න බැරි වෙනකොට එක් එක් අය ඒකට ප්‍රතිචාර දක්වන්නෙ එක් එක් ආකාරවලටයි. සමහරුන් මෙහිදී දැඩි ආවේගශීලී අන්දමින් හැසිරෙනවා. ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම නිසා මිනීමැරුම් සිය දිවි නසා ගැනීම් වගේ දේවල් සිදුවන්නේ මේ නිසයි. කෙසේ වුවත් ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටුණු විට මුලින්ම කළ යුත්තේ ඊට බලපෑ හේතුව හෝ හේතු හඳුනා ගැනීමයි. මේ හේතු දෙආකාරයි. එනම් බාහිර හේතු සහ අභ්‍යන්තර හේතූන්. බාහිර හේතු වශයෙන් දිලිඳුකම, සමාජීය තත්ත්වය, කුලය ආදී විවිධ දේවල් දක්වන්න පුළුවනි.
අභ්‍යන්තර හේතූන් කියන්නෙ ඒ දෙදෙනාගේ හේතූනුයි. දෙදෙනාගෙන් කාටහරි මොනයම් හෝ හේතුවක් මත අනෙකාව එපා වීම මත ප්‍රේම සම්බන්ධතාවය බිඳ වැටිය හැකියි. දැන් මෙසේ එපා වීමට බලපාන අභ්‍යන්තර හේතු කිහිපයක් ගැන විමසා බලමු. වියෝ දුක අඩුකරගන්න මේ හේතු මුලින්ම හඳුනා ගත යුතුයි. දෙදෙනාගෙන් එක් අයකු හෝ දෙදෙනාට අවංක නොවීම අවංක හැඟීමක් තොරව ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කරන්නෙ ඒක දිගටම පවත්වාගෙන යාමේ අරමුණින් නොවෙයි. බොහෝ විටම මෙහෙම වෙන්නේ තරුණියන්ට වඩා පිරිමි අයටයි. තාවකාලික සතුටක් හෝ වෙනයම් ලාභ ප්‍රයෝජන තකා තරුණයකු ඇසුරු කරන තරුණියක් හැර සාමාන්‍යයෙන් ඕනෑම තරුණියක් ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නේ එය දිගටම පවත්වාගෙන යාමේ අරමුණින්. සාමාන්‍යයෙන් පිරිමි වැඩි දෙනෙක් කාලයක් ඇසුරු කරලා ඒ තරුණිය තමාට ගැළපෙන්නේ නෑ කියලා හිතුණොත් අතඅරින්න
පෙළඹෙනවා. නමුත් තරුණියක් තම පෙම්වතාගෙ කොයිතරම් වැරදි තිබුණත් ඔහු අතහරින්න නොපෙළඹෙන්නේ අපේ සමාජ ආකල්ප සහ ඔවුන් හැදුණු පරිසරය අනුව එය නරක දෙයක් සහ ලැජ්ජාවක් ලෙස සලකන නිසයි. පෞරුෂ ලක්ෂණ හා මානසික ගැටලු
සමහර තරුණියන් පුංචි දේටත් දබර කරන, තමන්ගේ පෙම්වතා නිතර බලපෑම් කරන පෞරුෂ ලක්ෂණවලින් යුතුයි. එවැනි තරුණියන් තරුණයන්ට ඉක්මනින්ම එපා විය හැකියි.
ඒ වගේම ආතති සහ ග්‍රස්ති වැනි කාංසාමය තත්ත්වයක් ඇතිවිටත් දෙදෙනා අතර ප්‍රශ්න ඇතිවෙනවා. විශේෂයෙන් ග්‍රස්ති පෞරුෂ ලක්ෂණ කියන අයට හැමදේම ඉතාමත් පිළිවෙළටම ක්‍රමවත්ව තියෙන්න ඕනෙ. එහෙම නැති වුණාම නිතරම අනෙකා සමග දබර කරගන්නවා. තරුණියකට එවැනි ගති ලක්ෂණ ඇතිවිට තරුණයාට ඇය එපා විය හැකියි. හේතුව ඇගේ එම අන්තයට ගිය පිළිවෙළ සහ ක්‍රමානුකූල බව ඔහුට මානසික වදයක් වීමයි. ඒ වගේම ඇයට අවශ්‍ය අන්දමට පෙම්වතා සිටියේ නැත්නම් ඇයටත් ඔහු එපා වෙනවා. එවිට ඇය ඔහු අතහැරිය හැකියි. නමුත් එවැනි තරුණියක් තමන් කළ දේ ගැන පසුකලෙක පසුතැවිල්ලට පත්වෙනවා.
මේ ආකාරයට ආදර සම්බන්ධතාවයක් බිඳ වැටීමට විවිධ හේතු බලපාන අතර එම හේතු හඳුනා ගැනීම ඉතාම වැදගත්. එම හේතු නිවැරදි ලෙස හඳුනා ගත්තොත් ප්‍රේම සම්බන්ධතාවය බිඳවැටෙමින් ඇතිවන වේදනාව අඩුකර ගත හැකියි.
වියෝ වේදනාව අඩුකර ගත හැකි අනෙකුත් ක්‍රම දැන් අපි සොයා බලමු.
වියෝ දුක හඳුනා ගැනීම
තමන් ආදරය කළ පුද්ගලයා තමා හැර යාම ඕනෑම කෙනකුට දැඩි වියෝ දුකක් ඇතිකරවන කරුණක්. යම් හෙයකින් ආදරය කළ පුද්ගලයා මියගියොත් ඒ වේදනාව සෑහෙන කාලයක් විඳලා අන්තිමේ තුනී වෙලා යනවා. නමුත් තමන් ආදරය කළ පෙම්වතා /පෙම්වතිය තමාව අමතක කර දැමූ විට ඒ දුක නැතිකර ගන්න අපහසුයි.
වියෝ දුකේ එක් ස්වභාවයක් තමයි මුල් කාල පරිච්ජේදය තුළ නිතර නිතරම ඒ ගැනම සිහිවීම. වෙන කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ. හිත හරිම උදාසීනයි. ලොකු පාළුවක් තනිකමක් සිතට දැනෙන්න පටන් ගන්නවා. මේ දුක මෙම මුල් කාලය තුළ විඳින්නම වෙනවා. නමුත් මාස තුනක් විතර ගතවෙනකොට මේ දුක ක්‍රම ක්‍රමයෙන් මගහැරී යනවා. මේ කාලය කෙසේ හෝ ගෙවා ගත්තොත් ඊට පස්සෙ මේ දුක අඩුවන බව වටහා ගැනීම වැදගත්.
ඒ වගේම සිතේ වේදනාව තද කරගෙන ඉන්නෙ නැතිව සමීපතමයකුට ඒ ගැන පවසා වේදනාව අඩුකර ගැනීම ඉතාමත් වැදගත්. එහෙම නැතිනම් තමන්ගෙ සිතට දැනෙන දේ කඩදාසියක සටහන් කිරීමෙනුත් දුක අඩුකර ගන්න පුළුවන්.
තමන්ගේ සිතේ ස්වභාවය
අවබෝධකර ගැනීම
හිමි වූ දේට වඩා අහිමි වූ දේවල් ගැන සිතමින් දුක්වීම, ළතැවීම මනුෂ්‍ය ස්වභාවයයි. තමාට අහිමි වූ දේවල්, තමන් ලද පරාජයන්, වැරදුණු තැන් අපේ සිතේ ඉතා තදින් සනිටුහන් වෙනවා. ඒ අනුව තමන්ට අහිමි වූ පුද්ගලයා පෙර දේවල් ගැන සිහිපත් වීම වැඩියි.
සාමාන්‍යයෙන් අහිමි වූ දේවල් ගැන කනස්සලු වීම මනුස්සයන්ගේ මානසික පුරුද්දක්. ඒ බව දැන, නොලැබුණු දේවල් සහ ලැබි තිබෙන හොඳ දේවල් සංසන්දනය කිරීමෙන් මේ කනස්සල්ල අඩුකර ගත හැකියි.
කාලය
කාලය බොහෝ ගැටලු විසඳීමට, වේදනා අඩු කිරීමට ඉතා හොඳ ඖෂධයක්. ඒ වගේම අහිමි වූ පුද්ගලයා දැකීමෙන් හැකිතාක් වැළකීම, ඔහු/ ඇය එවූ කෙටි පණිවුඩ, තෑගි බෝග නැවත නැවත බැලීමෙන් වැළකී හිදීම වේදනාව අඩුවන තුරුම කළ යුතුයි. මේ ආකාරයට හිත පෑරෙන හැම තැනින්ම මගහැර හිදීම කළ යුතුයි.
වියෝ දුක කියන්නෙ සිතේ ඇතිවන තුවාලයක්. ඒ තුවාලය පෑරෙන දේවලින් වගේම තුවාලය ඇති කළ පුද්ගලයාගෙන් ඈත් නොවී සිටිනතාක් වියෝ වේදනාවෙන් මිදීම අපහසුයි.
බාහිර පරිසරයට මුසුවීම
සිතේ කනස්සල්ල, කම්මැලි ගතිය උදාසීන බව අඩුකර ගන්න උදෑසන හිරු එළිය හොඳ ඖෂධයක්. එනිසා ස්වභාවික පරිසරය සමග සම්බන්ධ වීම, ආයාසයෙන් හෝ තමන් කලින් යෙදුණු විනෝදාංශවල නිරත වීම වැනි මේ හැම දෙයකින්ම වියෝ දුක අඩුකර ගන්න විශාල පිටිවහලක් ලැබෙනවා.
තමා මුළු හිතින්ම ආදරය කළ කෙනා අහිමි වීම විශාල දුකක් තමයි. නමුත් අමතක කරන්න එපා කලක් ගතවෙන කොට මේ දුක ටිකෙන් ටික අඩුවෙන බව. අපට අහිමි වුණේ මේ ලෝකෙ ඉන්න හොඳම පුද්ගලයා නොවන බව හැමවිටම සිහිතබා ගන්න.
සාකච්ඡා කළේ: ඉන්දු පෙරේරා
ඔබේ ජීවන ගීතය ලියන්නේ පෑනෙන්ද පැන්සලෙන්ද?
චිත්‍ර ශිල්පීන් බොහෝ දෙනෙක් පෑනෙන් හරි තීන්තෙන් හරි චිත්‍රයක් අඳින්න කළින් පැන්සලකින් තමයි මුලින්ම ඒක ඇඳගන්නෙ. අති දක්ෂ චිත්‍ර ශිල්පීන් වුණත් සාමාන්‍යයෙන් කටු සටහනක් හරි ඇඳගන්නෙ පැන්සලෙන්. ඇයි ඒ?
වැරදි තැන් මකලා ආයෙ හරියට ඇඳගන්න පුළුවන් හින්දා.
ඒ වගේ පුංචි ළමයින්ට පහළ පන්තිවලදී අකුරු ලිවීම හුරු කරන්නෙත් පෑනකින් නෙමේ පැන්සලකින්.
දැවැන්ත ගොඩනැගිලි ඉදිකරන ගෘහ නිර්මාණකරුවොත් මුලින්ම ආකෘතිය ඇඳගන්නෙ පැන්සලෙන්. මකල ආයෙ නිවැරදි විදිහට වෙනස් කරල ඇඳගන්න පුළුවන් නිසා.
ඇයි මේ පැන්සල් පෑන් ගැන කියන්නෙ? පැන්සල් පෑන් උපමා කරගෙන අපේ ජීවිතයටත් පුංචි පණිවුඩ කීපයක් ගන්න පුළුවන් කියල හිතුණා ඒකයි
එක පැන්සල් නිෂ්පාදකයෙක් වෙළෙඳපළට යවද්දී පැන්සල්වලට මෙහෙම අවවාද පහක් දුන්නලු.
1. ඔබ කරන හැමදේම සටහනක් ඉතිරි කරන බව මතක තියාගන්න.
2. හැබැයි ඔබ කරන වැරදි ආපහු මකල හදන්නත් බැරිකමක් නෑ කියලත් මතක තියාගන්න.
3. සැබෑ වටිනාකමක් තියෙන්නෙ ඔබ ඇතුලෙ තියෙන දේ තුළ බව වටහා ගන්න.
4. ඔබේ ජීවිත කාලයේදීම නිරන්තරයෙන්ම මුවහත් පිහි තල වලින් ඔබව රැහැල දාන බවත් ඒ කරන්නෙ වඩාත් හොඳට තියුණු තුඩකින් ලියන්න පුළුවන් වෙන්න හින්දයි කියලත් තේරුම් ගන්න.
5. ඔබව හසුරුවන අතට කීකරුව නිහතමානීව ඉවසීමෙන් වෙහෙස නොබලා ක්‍රියාකාරී වෙන්න.
අන්තිමට පුංචි පැන්සල් කොටයක් වන තුරුත් ඉතාමත් ප්‍රයෝජනවත් අභිමානවත් ජීවිතයක් ඔබට ලැබෙන්නෙ එතකොටයි.
බලන්න උපමාවක් වුණත් පැන්සලක් ගැන කියවෙන ඒ ඔවදන් කීපය ඇසුරෙන් අපේ ජීවිතයටත් බොහෝ ප්‍රයෝජනදායක කරුණු ටිකක් එක් රැස් කරගන්න පුළුවන් නේද?
හැබැයි ඉතින් පැන්සලක් වගේ විතරක් නෙමේ. පෑනක් වගෙත් අපිට ජීවත් වෙන්න සිදුවන අවස්ථා තියනවා.
පැන්සලක් වුණත් පෑනක් වුණත් මොනවා ලිව්වත් අනිවාර්යයෙන්ම ඒකෙ සටහනක් ඉතුරු වෙනවමනෙ.
අපේ ජීවිතෙත් එහෙම තමයි. අපි මොනව කළත් මොන වචන කතා කළත් ඒක කොහේ හරි සටහන් වෙනවමයි.
අපි හිනාවුණත් ඇඬුවත් කපටි වැඩක් කළත්, හොර වැඩක් කළත්, අනුන්ට පිහිට වෙන හොඳ වැඩක් කළත්, තරහෙන් දෝෂාරෝපණය කළත්, ඉවසීමෙන් දරා සිටියත්........ මේ කොයි දේත් කාගෙ හරි ජීවිතයක, කාගෙ හරි හදවතක සටහන් වෙනවමයි.
අපේ ගෙදර අයගෙ දූ පුතුන්ගේ මවුපියන්ගෙ, යහළුවන්ගෙ, වැඩපළේ පාසලේ වගේ ඕනම තැනක අපි එක්ක එකට ජීවත් වන අයගෙ ජීවිතවලට අපි කරන කියන කොයි දේ වුණත් අල්පෙනෙත්තක තරම් හෝ බලපෑමක් සිද්ධ කරනවාමයි.
අපි කරන සමහර වැරදි දේවල් නුසුදුසු වචන වගේ දේ නිසා අපි අපිටම අවාසි වෙන අපිටම පසුතැවෙන්න වෙන අවස්ථා උදා කරගන්නවා.
ඒ වගේ සමහර දේවල් නං ඉතින් මකල හදාගන්න පුළුවන්. වරදක් කළා නං ඒ ගැන පසුතැවිලා සමාව ගන්න පුළුවන්. වැරදි වටහාගැනීම් වැරදි අදහස් මකල නිවැරදි මගට පිවිසෙන්න පුළුවන්.

ජීවිතේ බොහෝ අවස්ථාවලදී වාසනාවකට වගේ අපිට අපේ වැරදි ච්ෙතනා, වැරදි ආකල්ප වැරදි ආකල්ප, වැරදි අවබෝධ, වැරදි පුරුදු නැවත මකා දමලා නිවැරදි හොඳ පැත්තට යොමුවන්න අවස්ථාව සොබා දහමෙන් ලැබිල තියෙනවා. හරියට පැන්සලකින් ලියපු ඇඳපු දෙයක් මකනව වගේ.
ඒත් සමහර අපි ගන්න තීරණ, අපි කරන වැඩ, කියන වචන තීන්තෙන් ලිව්ව වගේ ස්ථාවරයි. මකන්න බෑ. කුරුටු ගාන්න බෑ.
අපේ ජීවිත කාලයෙදි අපි කොච්චර නම් තීරණ ගන්නවද? අද උදේට කන්නෙ මොනවාද කියන පුංචිම දේ ඉඳල, මම විවාහ වෙන්නෙ කා එක්කද? කියන බැරෑරුම් සන්ධිස්ථානය දක්වා අපි කොච්චර දේවල් නිවැරදිව තීරණය කළ යුතුුද
ජීවිතයේ අපි ගන්න සමහර තීරණ, සමහර වචන, අපි ලියන සමහර දේවල් අපි අත්සන් තබන සමහර ලේඛන ආයෙ කවදාවත්ම වෙනස් කරන්න බෑ.
මේ හේතුව නිසා මිනිස්සු මොන තරම් දුක් විඳිනවද වේදනාවෙන් මිරිකෙනවද. සමහර විට ජීවිතාන්තය දක්වාම විඳවනව වෙන්නත් පුළුවන්.
හිතල බලන්න වැරදි සහකරුවෙක් වෙනුවෙන් අත්සන් කළ විවාහයක් නිසා වෙන්වෙන්නවත් එකට ඉන්නවත් බැරුව අඹු සැමියන් කී දෙනෙක් විඳවනවදවැරදි අපේක්ෂයෙකුට ඡන්දය කියන කතිරෙ ගහල රැවටිලා කී දෙනෙක් පසුව වචනයක් වැරදීම හින්දා උසාවි යන තරමට ලතවෙනවද දිග දුර ගිය දේවල් කොච්චර තියනවද
සමහර වෙලාවට අම්මට තාත්තට, බිරිඳට සැමියට, පවුලෙ කෙනෙකුට මිතුරෙකුට වගේ කාට වුණත් හිතෙන්නෙ බලන්නෙ නැතුව කටට ආ පලියට පිට කළ එක වේදනාකාරී වචනයක් නිසා සදාකාලිකව හිත රිද්දන නෝක්කාඩු වුණු කොච්චර මිනිස්සු අප අතර ඉන්නවද?
මේ සේරටම හේතුව අපි වගකීමකින් හිතන්නෙ නැතුව, බුද්ධිමත්ව, හොඳ නරක තේරුම් ගන්නෙ නැතුව ඔහේ මෝඩයෝ වගේ වැඩ කිරීමයි. කතා කිරීමයි. පමා වැඩිවෙලා අඬා වැටෙනවට වඩා දූරදර්ශීව බුද්ධිමත්ව දුර දිග බලල වැඩ කරන එක නේද හොඳ?
පෑනක් පැන්සලක් දැක්කම අපිට ජීවිතේ නිවැරදි කරගත හැකි පැන්සල් පාරවල් වගේම ජීවිතේට වෙනස් කළ නොහැකි පෑන් පාරවලුත් තියනවා කියන එක මතක් කරගන්න.
පෑන් පැන්සල් වල තියන මිනිරන් තීන්ත නැති වුණොත් ඒ පැන්සල වැඩක් නෑ. නිකන් ලී කෝටු කෑල්ලක්, ප්ලාස්ටික් බට කෑල්ලක් විතරයි.
ඒ වගේ අපේ ඇතුලාන්තයෙ, අපේ හදවතේ අපේ මොළයේ අපේ ච්ෙතනාවල අපේ ගතිගුණවල අපේ අභ්‍යන්තර සිතුවිලිවල තියන දේ තමයි ඇත්තෙන්ම වටින්නෙ.
අප තුළ කොච්චර දුරට හොඳ ච්ෙතනාව යන පැවැත්ම අවංකකම තියනවද කියන එක තමා වටින්නෙ පෑනෙ තීන්ත වගේ යහපැවැත්ම අවංකකම සෙනෙහස, පිවිතුරු බව අපේ ලේ වලට මිශ්‍ර වෙලා තියෙන්න ඕන.
සමහර මිනිසුන්ගේ ඇඟේ ලේ වල දුවන්නෙත් කපටිකම ආත්මාර්ථකාමීකම,
දුෂ්ඨකම, කුහකකම වගේ දුර්ගුණ මිසක් තමන්ටත් ලොවටත් වාසනාව සතුට ගෙනෙන යහපත් ගතිගුණ නෙමේ.
ඒ වගේ මිනිස්සුන්ගෙ ජීවිත වලිනුත් සමාජයේ කිසියම් සටහන් තැබෙන බව ඇත්ත. ඒත් ඒ සේරම සමාජයම අඳුරු කරන කළු සටහන්, කළු, පැල්ලම් මිසක් මිනිසත් බව චිත්‍රණය කෙරෙන පී්‍රතිමත් සුන්දර සටහන් නෙමේ.
සමාජයටත් තමන්ටත් සාපයක්ම වන නොමිනිසෙක් වෙන්න අමාරු නෑ. තිරිසනුන් වගේ අනුන් විනාශ කරමින් තමන්ට අවශ්‍ය තිරිසන් සතුට සොයා ගන්න එක සමහර විට ඒ තරම් අමාරු නෑ.
ඒත් හොඳ ගති ගුණ ඇති තමන්ටත් සමාජයටත් ආශීර්වාදයක් වූ උතුම් මිනිසෙක් වීම ලේසි නෑ. ඒකට හොඳ මවුපියො ඕන. හොඳ ගුරුහරුකම් දෙන ගුරුවරු ඕන. ආගමික මග පෙන්වීම වගේ සංයමය ඕන.
ලේසි නෑ ඒක. සමහර විට පරිත්‍යාග කරන්න වෙනව, හැඟීම් පාලනය ඉගෙන ගන්න වෙනව. දහමට ආගමට නැඹුරු වෙන්න ඕන. ශීලාචාර ගෞරවනීය පැවැත්මක් ජීවිතයට බද්ධ කරගන්න ඕන.
ලේසි නෑ අමාරුයි. ඒකයි කිව්වේ පැන්සලක් පිහිතලයකින් රැහැල රිදවල උල් කරනවා වගේ අපිටත් දුෂ්කරතා වේදනා තුළින් ජීවිතය ඉගෙන ගන්න වෙනව කියලා.
ඉතින් ඔබ මොන තරාතිරමක කෙනෙක් වුණත් ඔබත් පාට පැන්සල් හෝ පෑන් පෙට්ටියක පැන්සලක් පෑනක් කියල උපමාකරගත්තට කමක් නෑ.
ඔබටත් පුළුවන් ඔබේ දක්ෂතා ඔබේ බුද්ධිය ඔපමට්ටම් කරගන ජීවිතය කියන කඩදාසිය මත ලස්සනම ලස්සන සටහන් තියන්න.
ඒ හින්ද ඉහත කරුණු කෙටියෙන් මතක් කරන්න. වැරදි ඉරේසරයකින් වගේ මකා දමා නිවැරදි පිවිතුරු දේ ජීවිතය තුළ සටහන් කරන්න.
දුක් කරදර පරිත්‍යාග ඉවසීමෙන් විඳගන පැන්සලක් වගේ දිගින් දිගටම නොකඩවා ජයග්‍රහණය වෙතම යන්න.
මකන්න බැරි තීරණ ගනිද්දී ප්‍රවේසම් වෙන්න.
ඔබේ මේසෙ උඩ තියන සාක්කුවෙ තියන පැන්සල පෑන දිහා ඉඳහිට හෝ විශේෂ ආකාරයක අවධානයෙන් යුතුව බලන්න. අපි කතා කළ මේ හැම දෙයක්ම නැවත නැවත මතක් කරගන්න ඒක උදව්වක් කරගන්න.
තියුණු පැන්සල් තුඩකින් ලස්සනට ලියවෙනව වගේ, තියුණු බුද්ධිමත් මනසකින් යුතුව ජීවිතය ලස්සන හීනයක් වගේ ලියාගෙන යන්න. එතකොට ඔබේ ජීවිතේ සටහන දකින අනිත් අය, ඔබේ දරුවො වුණත් ඔවුන්ගෙ ජීවිතෙ ලස්සන කරගන්න ඒ ජීවිතේ පාට පැන්සල් පාරවල් උදව් කරගනීවි.
මයිකල් ඇන්ජලෝ
කොච්චර කෑවත් මහත් වෙන්නෙත් නැති නොකා හිටියත් කෙට්ටු වෙන්නෙත් නැති අයටයි මේ
ශරීරය වුවමනාවටත් වඩා සිහින් අය මහත් වෙන්න කැමතියි. ඒත් ඒ අය නිතරම කියන්නේ මං කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑනේ කියලයි. තරබාරු අය කියන්නෙ මෙහි විරුද්ධ පැත්ත. මොන තරම් අඩුවෙන් කෑවත් බර අඩු කරගන්න බෑ’ කියලා ඔවුන් මැසිවිලි නගනවා.
මුලින්ම අපි බලමු තරබාරු වීම සහ කෘශ වීම පිටුපස තිබෙන්නේ කුමක්ද කියලා.
අපේ ශරීරය නිර්මාණය වී තිබෙන්නේ ඇටසැකිල්ලත්, ඒ වටා ඇති මාංශපේශිත් ඊටත් පිටින් පිහිටි තෙල් තට්ටුවත් නිසයි. මාංශ පේශි අවශ්‍ය වෙන්නේ ශරීරය නැවීමට සහ දිග හැරීමටයි. තෙල් තට්ටුව නිසා ශරීරය උණුසුම්ව තබාගැනීමේ හැකියාව ලැබෙනවා. අයෝමය පුරුෂයා මහත් වන්නේ මාංශ පේශීින් නිසයි. නමුත් තරබාරු අයනේ එම තරබාරුවට හේතුව තෙල් තට්ටුව මහත් වීමයි. ඌරුමස් ආහාරයට ගන්නා අය තෙල් තට්ටුව යනු කුමක් දැයි හොඳින් හඳුනනවා. අධික ලෙස තරබාරු අයගේත් සමට යටින් තිබෙන්නේ මෙවැනිම තෙල් තට්ටුවක්. 
මේ සියල්ල නිර්මාණය වන්නේ ඉතා ඉක්මනින් නොවෙයි. මෙය වසර ගණනක් තිස්සේ ඉතාමත් සෙමින් සිදුවන්නෙ. ඒ වගේම මෙය ගඩොල් බිත්තියක් නිර්මාණය වීම වැනි දෙයකුත් නොවෙයි. හැදීමත්, කැඩීමත්, නිරතුරුවම සිදුවෙනවා. හැදීම යනු තැන්පත් වීම. කැඩීම යනු පාවිච්චියයි. ඒ අනුව ශරීරය මහත්වීම කියන්නේ පාවිච්චියට වඩා තැන්පත් වීම වැඩි වීම බවත් කෘශ වීම යනු තැන්පත් වීමට වඩා පාවිච්චිය වැඩි වීම බවත් දැන් ඔබට පැහැදිලි ඇති. තැන්පත් වීම වැඩි වන්නේ ආහාර විශාල ප්‍රමාණයක් ශරීරයට උරා ගැනීම සහ ව්‍යායාම අඩු වීම නිසයි. කෘශ වීමට හේතුව සිරුරට උරා ගන්නා ප්‍රමාණය අඩු වීමයි.
ආහාර උරා ගන්නේ උදරය තුළදීයි. අප කන ප්‍රමාණය හා උරා ගන්නා ප්‍රමාණය අතර ලොකු සම්බන්ධයක් නෑ. තවදුරටත් පැහැදිලි කළොත් උරා ගැනීම අඩු කිරීමට අඩුවෙන් ආහාර ගත්තට පලක් නෑ. අඩුවෙන් කෑවත් ඔබ අධි පෝෂණ ආහාර, එනම් තෙල්, පිටි, සීනි, අධික ආහාර ටිකක් ගත්තත් මහත් වීම නවත්වන්න අපහසුයි.
ඔබ උදේට මෝල්ට් කිරි පානයක් ගත්තේ යැයි සිතමු. එහි සීනි විශාල වශයෙන් අඩංගුයි. එයට ඔබ සීනිත් එකතු කර පානය කරන විට විශාල ප්‍රමාණයක් සීනි ශරීරයට ඇතුල් වෙනවා. මෝල්ට් පිටි වර්ගවල පමණක් නොව අනිකුත් සාමාන්‍ය කිරි පිටි වර්ගවලත් මේදය විශාල ප්‍රමාණයක් අඩංගුයි. උදේ ආහාරයට පොල් සම්බෝල එකතු කර ගත් විට ඔබ උදය වේලට සෑහෙන්න මේදය සහ සීනි එකතු කර ගෙන අවසන්.
දවල් ආහාරයට සුදු පැහැති සහලින් පිසූ බත්, අල වර්ග, පොල් කිරි, යොදා සකස් කළ ව්‍යංජන බැදුම්, තෙම්පරාදු ආදියත් සවස තේ සමග පැණි රස හෝ බැදුම් කෑමත් ගන්නා ඔබ සිරුරට බොහෝ සෙයින් සීනි, පිටි හා තෙල් එකතු කර ගන්නවා.
අපේ ශරීරය ඇස් දෙකෙන් නොයෙකුත් ආහාර දකින විට කටට කෙළ උනන්නේ ඉබේමයි. එවිට අපට ඒවා ගන්න හිතෙනවා. අපේ ශරීරය නිර්මාණය වී තිබෙන්නේ මේ ආශාවන් සමගයි. දැන් ඔබ තරබාරු වන අන්දම ගැන ඔබට අවබෝධයක් තිබෙනවා.
ශරීරය අධික ලෙස කෘශ වූ කෙනෙකුගේ ස්වභාවය මීට වඩා වෙනස්. මේ අයගේ ශරීරයේ මාංශපේශි සහ තෙල් ප්‍රමාණය ඉතා අඩුයි. මේ අය උපතින්ම නිර්මාණය වී තිබෙන්නේ අඩු ආහාර ප්‍රමාණයකට ප්‍රිය පුද්ගලයෙක් ලෙසිනුයි. මෙවැනි අය පැණි රස වලට ස්වභාවයෙන්ම එතරම් ප්‍රිය කරන්නේ නෑ. ඔවුන් කුඩා ආහාර ප්‍රමාණයකින් ඉක්මනින් සෑහීමට පත් වෙනවා. මහ ගොඩක් කෑවා යැයි ඔවුන් කීවත් ඇත්තෙන්ම ඒ මහ ගොඩක් නොවෙයි. මෙසේ ලබාගන්නා ආහාරය ඉතා ඉක්මනින් පාවිච්චි කරන නිසා, එනම් සිරුරේ ඉක්මනින් දහනය වන නිසා ශරීරයේ තැන්පත් වීමක් සිදුවන්නේ නෑ. ඒ වගේම සිරුර කෘශ අයගේ ශරීරය සැහැල්ලු නිසා දුව පැන වැඩ කිරීමේ හැකියාවත් වැඩියි. ඒ නිසාත් ඔවුන්ගේ ශක්තිය දහනය වීම වැඩියි. නමුත් තරබාරු අය ඊට සාපේක්ෂව අලසයි. ශරීරය බර වැඩි නිසා ඔවුන්ට කෙට්ටු අයට වගේ ක්‍රියාශීලී වීමට නොහැකි වීම එක හේතුවක්. අනෙක තරබාරු අයට නිදි මත වැඩියි. ඔවුන්ගේ රාත්‍රි නින්ද නොදැනුවත්ම වාර ගණනාවක් එළි වන තුරුම කැඩෙන නිසා දිවා කල නිදි මත දැනීමත් මේ අලස බවට හේතුවක් මෙසේ නින්ද කැඩෙන්නේ ගෙරවීම වැඩි නිසයි.
තරබාරු අය කෙට්ටු වෙන්න මොන තරම් උත්සාහ කළත් ඒක සිද්ධ වෙන්නෙ නෑ’ කියමින් මැසිවිලි නැගුවට ශරීරය බර අඩු කර ගන්න බැරි කමක් නෑ. අඩුවෙන් ආහාර ගැනීම හෝ රාත්‍රියට නොකා හිඳීම තරබාරු බව අඩු කරන්නට පිළියමක් නොවෙයි. තරබාරු වන්නේ අධි පෝෂණ ආහාර ගැනීමෙන් බව ඉහත සඳහන් කළා. ඒවා අඩු නොකර සියලුම ආහාරවල ප්‍රමාණය පමණක් අඩු කර තරබාරු බව අඩු කළ නොහැකියි. ඒ වගේම ඉවසීමත් ඉතාමත්ම වැදගත්. හේතුව ඔබ ගන්නා උත්සාහයේ නියම ප්‍රතිඵල ලබන්න මාස පහක් හයක්වත් ඔබට ගත වන නිසයි. ශරීරය කෘශ නම් මහත් වෙන්න අධි පෝෂණ ආහාර ගැනීම ප්‍රෝටීන් අධික ආහාර ගැනීම, වෙලාවට ආහාර ගැනීම වැනි දේවල් ඉතාමත්ම වැදගත් වෙනවා. නමුත් සිරුර වැහැරුණු තරුණියක් විවාහ වී දරුවකු බිහි කළ පසු බොහෝ විටම මහත් වෙනවා. හේතුව හෝමෝනවල වෙනස්කමුයි.
විවිධ කායික රෝග නිසාද ශරීරය තරබාරු වීම සහ කෘශ වීම සිදු වෙනවා. මේ අය වෛද්‍ය උපදෙස් ගත යුතුයි.
සමහර රෝගවලට දෙනු ලබන ඖෂධ නිසාත් සිරුර තරබාරු වෙනවා. මේවා එම රෝගවලට පමණක් නියම කළ යුතු ඖෂධ වුවත් සමහරු ඒවා කෘශ අයට සිරුර මහත් වීම සඳහාත් ලබා දෙනවා. එය ඉතාම වැරදියි. මේවායේ අතුරු ආබාධ බහුල නිසා එයින් ඇති වන සංකූලතාවලින් මිදෙන්න අපහසු වීමයි.
තරබාරු වීම වගේම කෘශ වීමත් පරම්පරාවට යාමත් සිදුවෙනවා. නමුත් මේ කුමන දේ වුණත් යම් ප්‍රමාණයකට හෝ පාලනය කරන්න පුළුවන්. ඒ ඔබේ ඉවසීම හා කැප වීම මතයි.
කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
සාකච්ඡා කළේ - ඉන්දු පෙරේරා
අනුන්ට බැණ බැණ හිටියට අපේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නෙ නෑ
අපි අතගහන හැම වැඩේම හැම තිස්සෙම සාර්ථක වෙන්නෙ නෑ. සමහර වැඩ වරදින වෙලාවල් තියනව. එකඟයි නේද?
මෙහෙම වරදින්නෙ සමහර වෙලාවට අපේ වරදින්ම නමෛයි. අනිත් මිනිස්සුන්ගෙ වැරදි වැඩ, නොසැලකිලිමත්කම, කපටිකම, ඊර්ෂ්‍යාව වගේ දේ නිසා බොහෝ අවස්ථාවල අපේ වැඩකටයුතු අඩාල වෙන්න බැරිකමක් නෑ.
සමහර අවස්ථාවලදී නම් අපිට කෙනෙක් කරන වරදක් එයාටම කියල නිවැරදි කරගන්න පුළුවන් වෙනව. ඒත් වැඩි ප්‍රතිශතයක් ඒක නෙමේ සිද්වෙන්නෙ, අනිත් පැත්ත.
අපිට වැරදි වැඩ කරන බොහෝ මිනිස්සු නැවත ඒව නිවැරදි කරගන්න අපිට උදව් වෙන්නෙවත් උනන්දු වෙන්නෙවත් නෑ.
එතකොට අපි මොකද කරන්නෙ? තොරතෝංචියක් නැතුව ඒ අයට බණිනව දෝෂාරෝපණය කරනව.
ඒත් අපි අමතක නොකළ යුතු වැදගත්ම දෙයක් තියනව. මොකක්ද?
අනුන්ට වැරදි පැටවීමෙන් දොස් කීමෙන් කිසිම වැඩක් නැහැ කියන එක
ඒක තමයි තිත්ත ඇත්ත. අපිට වැරදි කරන බොහෝ අය වගකීමෙන් පැනල යනව මිසක් වරද නිවැරදි කරන්න, වෙච්ච පාඩු හරිගස්සන්න එන්නෙ නෑ.
මිනිස්සු බොහෝ දෙනෙක් වැරදි කරල ඇඟ බේරගන්නව මිසක් අපි ගැන හිතන්නෙ නෑ. ඒක තමයි ලෝකෙ හැටි. ඒක තමයි තිත්ත වුණත් ඇත්ත තත්ත්වය.
ඉතින් අපි මොකද කරන්න ඕන?
අපි අනිත් අයට පෙරළා දොස් කීමෙන්, ඒ අයපිට වගකීම පැටවීම, නිදහසට කරුණු කීමෙන් කිසිම පලක් නෑ කියන එක ඉතා පැහැදිලිව තේරුම් අරගන ක්‍රියාකරන එක තමයි කෙටියෙන්ම කියනව නම් කළ යුතු දේ.
අපිට කවුරු වැරදි කළත් අසාධාරණකම් කළත් අන්තිමට ඒකෙන් විඳවන්න වෙන්නෙ අපිටමයි. ඒ අසාධාරණකම් නැවැත්වීමට, වැරදි නිවැරදි කිරීමට කිසියම් බුද්ධිමත් ප්‍රායෝගික දෙයක් කරන්න පුළුවන්නම් හොඳයි.
ඒත් කරුණු කොයිහැටි වෙතත් අපේ ජීවිතේ වගකීම් බාරගන්න වෙන්නෙ අපිටමයි. වෙන කවුරුත් අපේ ජීවිතය, අප වෙනුවෙන් ජීවත්වෙන්නෙ නෑ.
අපි අද ඉන්න තත්ත්වය මොන වගේ එකක් වුණත් අපේ ජීවිතේ වගකීම බාරගන්න ඕන අපිමයි. මේක අසාධාරණ වෙන්න පුළුවන්. ඒත් ඒක තමා ඇත්ත.
ඔබ, ඔබේ රැකියාවට කැමති නැත්තං ඔබමයි ඒකට වගකිවයුත්තෙ. ඔබේ ආදර ජීවිතය, විවාහ දිවිය පී්‍රතිමත් නැත්නම් ඔබමයි ඒකට වගකිවයුත්තෙ. මිනිස්සු ඔබව ගොනාට අන්දනව නම්, ඔබව හැමදාම රවට්ටනවනං ඔබමයි ඒකෙ වගකීම බාරගත යුත්තෙ.
අනුන්ගෙ ගොදුරක් වුණා කියල හිත කනස්සලු කරගන්න අවශ්‍ය නෑ. මේ මොහොතෙ ඉඳල ඒ මානසිකත්වය වෙනස් කරගන්න. ඔබේ ජීවිතේ වගකීම සම්පූර්ණයෙන්ම ඔබේ පාලනය යටතට ගන්න. අනුන්ට බැණ බැණ ඉඳල සතපහක වැඩක් නැති බව තේරුම් ගන්න.
සියලු යසඉසුරින් පිරේවා කියල කවුරු ඔබට ප්‍රාර්ථනා කළත් අනුන්ට වැරදි පටවමින් නිදහසට කරුණු කිය කිය ඉන්නවනං ඔබට ලැබෙන කිසිම යසඉසුරක් නෑ කලකිරීමක් මිසක්.
ඔබේ සිතුවිලි අනුව තමයි හැමදේම ක්‍රියාත්මක වෙන්නෙ. ඔබේ ජීවිතයේ යසඉසුරු තීරණයවෙන්නෙ ඔබේ සිතිවිලි වගේම ඔබට වෙච්ච හැමදේකම වගකීම ඔබ දෑතට අරගන ක්‍රියාකළොත් විතරයි. අනුන්ට දොස් කිය කිය හිටියට කවදාවත් තඹේක වැඩක් නෑ කියන එක කවදා හෝ ඔබට තේරේවි.
මේකත් මතක තියාගන්න. මිනිස්සු අපිට නොයෙක් විදිහෙ අක්‍රමිකතා සිද්දකරන්නෙ ඒ සඳහා අපි ඒ අයට පසුබිම සකස්කරල දෙන හින්ද වෙන්න පුළුවන්.
ඒ කියන්නෙ, අපේ හැසිරීමෙන් මිනිස්සු දැනගන්නව කොහොමද අපිව හසුරුවාගන්නෙ කියල.
නිදසුනක් වශයෙන් කවුරු හරි අපිව වර්ණනා කළොත් අපි ඒකට රැවටිලා එයාට අවශ්‍ය දේ දෙනව. එතකොට ඒ පුද්ගලයා දැනගන්නව අපේ දුර්වල තැන. “මෙයාව මුරුංග අත්තෙ තිබ්බොත් ඕනෑම වැඩක් කරගන්න පුළුවන්” කියල එයාල හිතනව.
අනුකම්පාව ඇතිවෙන විදිහට දුක්බර කතා ඉදිරිපත් කරල, කඳුළු පෙන්නල සමහරු අනුන්ගෙ හැඟීම් අවුස්සල නොයෙකුත් දේ ලබාගන්නව.
සමහර කපටි හිඟන්නො වුණත් දන්නව “මේ නෝනට දුක කියල ඇඬුවම හොඳ ගාණක් කඩාගන්න පුළුවන්” කියල.
විශ්වාසය වැඩිකමට කෙනෙක් එක්ක වැඩ කරද්දි මුදල් ගන්නෙ නෑ කියමු. කවදහරි එහෙම කෙනෙක්ට මුදල් වංචා කරන්න අවස්ථාවක් හදල දීමක් තමයි ඒ කරන්නෙ.
මේ වගේ උදාහරණ ඕන තරං තියනව. මේ හැමදේකින්ම පැහැදිලි වෙන්නෙ කෙනෙකුට යමක් කරන්න අපිම තමා උල්පන්දම් දෙන්නෙ කියන කරුණ.
වෙන වචනවලින් කියනව නං මිනිස්සු ඉක්මනින් දැනගන්නව අපිව ‘අන්දන්න’ පුළුවන් කොහොමද කියල. අපේ දුර්වලකම් සමහරවිට අපිටම පේන්නෙ නෑ. නමුත් අනිත් අය දකිනව. ඉතින් ඒ අය අපෙන් ප්‍රයෝජන ගන්නව.
ඊට පස්සෙ අපි ඒ අයට බැණ බැණ නිදහසට කරුණු කියනව, ලතවෙනව.
මිනිසුන්ගෙ හිත රිදෙයි කියල අපි ගොඩක් අවස්ථාවල එයාලගෙ වැඩකටයුතු විවේචනය කරන්නෙ නෑ. ඒත් සමහරු ඒක ප්‍රයෝජනයට අරගන අපිවම දිගින් දිගටම අපහසුතාවන්ට පත්කරනවා. ඉතින් බලාගන ගියාම අපිට ප්‍රශ්න කරදර පැටලැවිලි ඇතිකරන්න මිනිසුන්ව වක්‍රව උනන්දු කරන්නෙ අපිම නේද?
ඉතින් මේ කරුණු දෙක අද ඔබේ හිසට හොඳින් ධාරණය කරගන්න.
1. අනුන්ට දොස් කියල, අනුන්ට වැරදි පටවල කිසිම තේරුමක්, ප්‍රතිඵලයක් සතුටක් නෑ. ජ්යජභඵඥඵ දඥමඥප නපධඤභජඥ පඥඵභතබඵ කියල කියමනක් තියනව. නිදහසට කරුණු දැක්වීමෙන් හොඳ ප්‍රතිඵල ලැබෙන්නෙ නෑ කියන එකයි අරුත.
ඔබට සිදුවන හැමදේම ඔබේම වගකීම බව පැහැදිලිව වටහාගන්න.
2. දෙවනුව, ඔබටම ‘ගුලියක් අඹරන්න’ ඔබම අනිත් අයට අවස්ථාවක් නිර්මාණය කරල දෙනවද කියල හොඳට හිතන්න.
අතීතයේ මේ විදිහෙ අනුන් ඔබට කළ වැරදි නිසා ඔබ ඉන්නෙ ලොකු වේදනාවක පටලැවිල්ලක වෙන්න පුළුවන්. ඒත් ඒ මොන පටලැවිල්ලත් ලිහාගන්න ඔබට පුළුවන්. ඔබේ වැරදි තැන් දුර්වල තැන් හදාගන වගකීමෙන් ජීවිතේට මුහුණ දෙන ප්‍රඥාවන්තයෙක් වෙන්න ඔබ තවමත් පමා නෑ.
ඉතින් අනුන් පිට වැරදි නොපටවා, ජීවිතේ වගකීම ඔබගේම දෑතට අරගන වැඩකරන කෙනෙක් වුණොත් ඔබට සතුටින් ඉන්නත් ලේසියි. අනුන්ට නොරැවටී ඉන්නත් ලේසියි.
ඒ හින්ද අදින් පස්සෙ ඔබේ දුර්වලකම් අනුන්ගෙ පිටින් දාන්නෙ නැතුව, ඔබව අමාරුවෙ දාන්න අනුන්ට අවස්ථාවන් නිර්මාණය නොකර ඉන්න පියවර ගන්න.
මයිකල් ආන්ජලෝ
උපන් ලපවල සැබෑ ගුණ අගුණ දැන ගනිමු
‘උපන් ලප’ කී සැනින් අපේ මතකයට දිව එන්නේ උපතේදීම සම මත පිහිටන කළු පැහැගත් කුඩා තිත් වැනි ලප විශේෂයකි. නමුත් උපන් ලප යනුවෙන් හැඳින්වෙන ලප ඊට වඩා විශාල පරාසයක දිවයන කතා සහිත පුළුල් මාතෘකාවකි. සම මත පිහිටන උපන් ලප වර්ග ගණනාවකි. එසේම උපතේ දී පිහිටන උපන් ලපවල පසුකාලීනව සිදුවන වෙනස්වීම් ද දැකගත හැකිය. එසේම උපතේ දී නොපිහිටන පසුකාලීනව මතුවිය හැකි උපන් ලප වශයෙන් හැඳින්වෙන ලප වර්ග ද තිබේ. එසේම උපන් ලපවල වර්ණයද කළුපාටට සීමාවන්නේ නැත. කළුපාට සේම, නිල්පාටට හුරු කළුපාට, රතුපාට, සුදුපාට, දුඹුරුපාට සේම වර්ණ කීපයක් සංකලනය වී සෑදුණු උපන් ලප ද අපට හමුවේ. එසේම සම මත පිහිටි පැල්ලමක් ලෙස සේම සම මත ඉලිප්පී ඉස්සුණු ප්‍රදේශයක් ලෙස සේම ගෙඩියක් වැනි ආකාරයකටද උපන් ලප පිහිටිය හැකිය. එසේම සමහර උපන් ලපවල මත රළු වී ඉන්නෙකු ලෙස දිස්වන ඒවා ද වෙයි. එසේම කුඩා ලපයක්, ලප ලෙස සේම සම මත තරමක් විශාල ප්‍රදේශවල පැතිරී ගිය ලොකු ලපයක ආකාරයට ද උපන් ලප හටගත හැකිය.
හිස ප්‍රදේශයේ ඇති වන උපන් ලප මේවා උපදින විටම ඇතිවන උපන් ලප වර්ගයකි. උපන් හැටියේ දරුවන්ගේ මෙවැනි උපන් ලප හඳුනාගැනීම තරමක් අසීරුය. කෙස් මුල් නොපිහිටන කුඩා ප්‍රදේශයක් ලෙස මෙය දිස්වේ. දරුවා ටිකෙන් ටික වැඩෙන විට හිසේ කෙස් මතුවීමත් සමග මෙම උපන් ලපය සහිත ප්‍රදේශය කෙස්වලින් තොර ප්‍රදේශයක් ලෙස දිස්වෙයි. මෙය දරුවාට වයස අවුරුදු
10-15 ක් පමණ වන විට තරමක රළු මතුපිටක් සහිත ප්‍රදේශයක් ලෙස පනාවට හසුවිය හැකිය. සමහර අය මේවා ඉන්නන් ලෙස වරදවා සිතන අවස්ථාද අපට හමු වී තිබේ. මෙය දිගුකාලීනව පැවැතීම නිසා සුළු පිළිකා අවදානමක් තිබේ. (සියයට එකක පමණ) එබැවින් මෙවැනි උපන් ලපයකට ප්‍රතිකාර ලෙස එම ප්‍රදේශයේ සම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමක් සිදු කරයි. මෙවැනි උපන් ලපයක මතුපිට සම පිළිස්සීමෙන් හෝ වෙනත් ප්‍රතිකාරවලින් මෙය සම්පූර්ණයෙන්ම ඉවත් නොවේ. එවැනි ප්‍රතිකාරවලින් කලකට පසු නැවත මතුවිය හැකි බැවින් ශල්‍යකර්මයක් මගින් එම ප්‍රදේශයේ සම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමක් කළ යුතුය. මෙවැනි උපන් ලප මතුවන්නේ ශරීරයේ පවතින ජානවල කිසියම් බලපෑමක් හේතුකර ගනිමිනි. එසේම මෙම උපන් ලපය සමහරවිට හිසෙන් නළලට, මුහුණටද පැතිරීයාමක් සිදුවිය හැකිය. එවිට එම ප්‍රදේශයේ සම ප්ලාස්ටික් ශල්‍යකර්මයක් හරහා ඉවත් කර ප්‍රතිකාර කළ යුතුය. මෙවැනි ලප ඉතා ඉක්මනින් හඳුනාගෙන ප්‍රතිකාරවලට යොමුවීම මගින් වඩාත් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකිය. සමහර විට මුහුණේ පවතින කළුපැහැ සමහර උපන් ලප ඉවත් කිරීමෙන් පසු එහි කැළලක් ඉතිරිවීමට ඇති ඉඩකඩ වැඩිය. එසේම විශාල ප්‍රදේශයක් පුරා විහිදුණු කළු පැහැ උපන් ලප ඉවත් කිරීම අසීරු කරුණකි.
බෙල්‍ලේ පිටුපස පිට ප්‍රදේශයේ සේම බෙල්ලට පහළින් සිරුරේ පපු ප්‍රදේශයේ හටගන්නා උපන් ලප
වයස අවුරුදු 10-12 දී පමණ මතුවන කළුපාටට හුරු දුඹුරු පැහැගත් තරමක් ලොකු උපන් ලප වර්ගයකි. මේවා වයස අවුරුදු විස්සක් පමණ වන තුරු තරමක් ලොකුවට වර්ධනය විය හැකිය. මේවා උපන් ලප බව බොහෝ දෙනෙකු පිළිගන්නේ නැත. විශේෂයෙන් සාරියකින් සැරසුණු විට සාරි හැට්ටයේ පිටුපස පෙදෙස සහ සාරි කර වටා පපු ප්‍රදේශයේ මෙවැනි ලප බහුල ලෙස දැකිය හැකිය. මේවා ද කලක් හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් මෙම අවලක්ෂණ පෙනුම නැතිකර ගත හැකිය. මේවා සඳහා ලේසර් ප්‍රතිකාර ක්‍රම ද යොදාගත හැකිය.
මුහුණේ ඇස්වටා මතුවන උපන් ලප
සමහර අයගේ ඇස වටා නිල්පාටට හුරු කළු පැහැයකින් මතුවන උපන් ලප විශේෂයක් තිබේ. මෙහිදී ඇස
ඇතුළතද යම් තරමක වර්ණයේ වෙනස්වීමක් දැකිය හැකිය. මෙවැනි තත්ත්වයකදී එය ඇසේ ඇතුළතට කිසියම් බලපෑමක් තිබේද යන්න ගැන ඇස් පරීක්ෂාවක් කර ගත යුතුය. සමහර විට සමේ වර්ණයට වඩා යන්තම් තද පාටට හුරු දුඹුරු පැහැ ප්‍රදේශයක් මත තද දුඹුරු පාට තිත් විසුරුණු ආකාරයේ උපන් ලප වර්ගයක් ද තිබේ. මේවා ශරීරයේ එක් පසකින් පමණක් මතුවෙයි. එවැනි අවස්ථාවල ඒ සඳහාම නිපදවා තිබෙන සමහර මේකප් වර්ග යොදා ගෙන එම ප්‍රදේශයේ සමද සාමාන්‍ය සමක් සේ වර්ණ ගන්වා ගත හැකිය. මෙවැනි මේකප් වර්ග පැය විසිහතරක් පමණ සම මත පවතියි.
කුඩා ඉන්නන් වැනි එල්ලෙන ලප එක පේළියක් සේ පිහිටි උපන් ලප
උපතේදී යන්තමට එකම සීමාවක් දිගේ හටගන්නා කුඩා ලප වයස අවුරුදු විස්සක් පමණ වන විට ටිකක් ඉලිප්පුණු රේඛාවක් ලෙස පෙළගැසීම මෙහිදී සිදුවේ. මෙය සමහර විට සමේ රෝගයක් ලෙස සලකා ප්‍රතිකාර පතන අවස්ථාද අපට හමුවේ. මෙහිදී ද ප්ලාස්ටික් සැත්කමකින් ප්‍රතිකාර කළ යුතු වෙයි. මෙය සමහර කාලවලදී යටපත්ව තිබි නැවත මතුවීමක්ද සිදුවිය හැකිය.
සුදු පැහැති උපන් ලප
සාමාන්‍යයෙන් පැහැපත් සමක් සහිත දරුවකුගේ සුදු පාටට හුරු කුඩා උපන් ලප තිබිය හැකිය. දරුවා ටිකෙන් ටික වැඩෙන විට හිරු එළියට නිරාවරණය වන විට සම තරමක් තද පැහැයක් ගන්නා විට මෙම ලප ඉස්මතු වී දිස්විය හැකිය. මෙය සමහර අය සුදුකබර රෝගය යැයි සිතා කලබල වන අවස්ථා ද අපට හමුවේ. දරුවාගේ වැඩීමත් හා සමග ඊට සාපේක්ෂ්ව ලපයේ පැතිරීම මෙහි ඇති
ලක්ෂණයකි.
දරුවෙකුගේ කිසියම් ආකාරයේ මෙවැනි උපන් ලපයක් හඳුනාගත් විට එය ප්‍රතිකාරයක් අවශ්‍ය ලපයක් ද එසේත් නොමැති නම් අහිංසක ලපයක් දැයි දැනගැනීම සඳහා වෛද්‍ය උපදෙස් පැතීම උචිතය. එසේම කල් නොයවා එවැනි දේ සඳහා යොමු වීමද එතරමකට වැදගත් වෙයි.
එසේම හිටිහැටියේ උපන් ලපයක් සිදුවන වෙනස්වීමක්, විශාල වීමක්, ලේ ගැලීමක්, හැඩයේ වෙනසක් නම් වහාම වෛද්‍ය උපදෙස් පැතීම කළ යුතුය. එය පිළිකා අවදානමක ලකුණක් විය හැකිය.
එසේම සමහර ජානමය හේතුන් නිසා සේම ශරීර අභ්‍යන්තරයේ ඇති විවිධ රෝග හේතුකරගෙන ද අසාමාන්‍ය තරමට වැඩි උපන් ලප ප්‍රමාණයක් සමේ දිස්විය හැකිය. ඒ හා සමගම වෙනත් රෝග ලක්ෂණ ද මතුවිය හැකි බැවින් එවැනි දේ නිවැරදිව හඳුනාගත හැකිවන්නේ. සමේ රෝග හා සම්බන්ධ වෛද්‍යවරයෙකුගේ උපදෙස්වලට අනුවය.
උපදෙස් තංගල්ල මූලික රෝහලේ සමේ රෝග හා සම්බන්ධ විශේෂඥ වෛද්‍ය හිරෝමාල් ද සිල්වා
සාකච්ඡා කළා නිර්මලා කුමාරි සේනාරත්න
මිනීමැරුම් - දිවිනසා ගැනීම්වලට පවා මුල්විය හැකි සහකරු පිළිබඳ අනිසි සැකය
කැලණිය විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුවකු ඉන්ජෙක්ෂන් මාර්ගයෙන් සයනයිඩ් ශරීරගත කරගෙන මෑත දිනයෙක සිය දිවි නසා ගත් පුවතක් වාර්තා විය. ඔහු මිය යාමට පෙර ඔහුගේ පෙම්වතිය වූ මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාව හදාරන සිසුවියක ද හදිසියේම මියගොස් ඇත. ඇගේ හදිසි මරණය ඔහුගේ ක්‍රියාවක ප්‍රතිඵලයක් ද යන සැකය මේ වන විට මතු වී තිබේ.
කෙසේ වුවද මේ ද්විත්ව මරණයන් පිළිබඳව විස්තර කිරීම මෙහි අරමුණ නොවේ. මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමේදී සනාථ වී තිබෙන එක්තරා දෙයක් වන්නේ තරුණයා නිරතුරුවම තම පෙම්වතිය පිළිබඳ තදබල සැකයකින් පසුවූ බවය. එය අහේතුක සැකයක් යැයි පැවසෙන අතර ඔහු හා ඇති වූ විරසකයක් මත ඇය අධි මාත්‍රාවකින් ඖෂධ ගෙන සිය දිවි නසා ගැනීමට තැත් දැරීම හේතුවෙන් රෝහල් ගත කර හිඳ ඇත. එයින් සුවය ලබා ආපසු නිවසට යන්නට සූදානම්ව සිටියදී ඇය හදිසි මරණයට ලක් වී තිබේ.
කෙසේ හෝ පෙම්වතුන් පෙම්වතියන් සහ අඹු සැමියන් අතර පවත්නා මෙම අසාමාන්‍ය සැකය පිළිබඳ මනෝ වෛද්‍ය විද්‍යාත්මක මතය ගෙන හැර දැක්වීම පිණිස අපි කොළඹ උතුර (රාගම) මහ රෝහලේ (ශික්ෂණ) විශේෂඥ මනෝ වෛද්‍ය සහ කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ (රාගම) මනෝ වෛද්‍ය විද්‍යා මහාචාර්ය කේ.ඒ.එල්.ඒ. කුරුප්පු ආරච්චිට ඇරැයුම් කළෙමු. මෙම ලිපිය සම්පාදනය වනුයේ ඔහු විසින් දක්වන ලද කරුණු ඇසුරිනි.
සැකය නිසා ඝාතනයට ලක්වීම හා සියදිවිනසා ගැනීම අපේ රටේ ඉතා සුලබ තත්ත්වයක් වේ. කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම පෙම්වතා / පෙම්වතිය නැතහොත් සැමියා / බිරිඳ දැඩි ලෙස සැක කිරීම අසාමාන්‍ය තත්ත්වයක් වේ. ඕනෑම කෙනකු තුළ ඕනෑම කරුණක් මුල් කරගෙන සුළු වශයෙන් සැකයක් ඇතිවීම සාමාන්‍යය. නමුත් එහි අන්තයට ගිය අසාමාන්‍ය සැකය මානසික රෝගී තත්ත්වයක් හෝ රෝග
ලක්ෂණයක් විය හැකිය.
නොයෙකුත් මානසික රෝග නිසා සැකය ඇතිවීමට පුළුවන. එය හඳුනා ගැනීම ඉතාමත් වැදගත් වන්නේ මේ නිසා ඉහත ද කී පරිදි සියදිවි නසා ගැනීම් හා ඝාතන සුලබව සිදුවන නිසාය.
ලොව සම්මත සදාචාරය පිළිගන්නා ඕනෑම අයකු සහකරු / සහකාරිය තමන්ට පමණක් අයිති විය යුතුය යන මතයෙහි සිටීම සාමාන්‍ය ස්වභාවයයි. එය පවුල් ඒකකයක් වශයෙන් පැවතීමට හා ජාන දිගින් දිගටම පවත්වා ගෙන යාම සඳහා සොබා දහමින්ම අපට හිමි වී ඇති දෙයකි.
කෙසේ වුවද තම සහකරු / සහකාරිය තමන්ටම හිමි වස්තුවක් ලෙස සැලකීම බටහිර රටවලට වඩා ආසියාතික රටවල වැඩිය. විශේෂයෙන් අපේ සංස්කෘතිය තුළ මෙය දැඩිව දක්නට ලැබේ. එනිසා එම වස්තුව රැක ගැනීමට ඕනෑම කාන්තාවක් මෙන්ම පිරිමියකුද නිරන්තරයෙන් වග බලා ගන්නා අතර ඊට සුළු හෝ පලුද්දක් ඇති වන බවක් හැඟී යන කල බොහෝ සෙයින් කලබලයට පත් වනු ඇත.
නමුත් සහකරුගේ / සහකාරියගේ ලිංගික චර්යාව පිළිබඳ හේතු රහිතව දැඩි අවිශ්වාසයක් හට ගැනීම ලිංගික ඊර්ෂ්‍යාව නම් මානසික රෝගී තත්ත්වයයි. මෙය අකල්‍ය ඊර්ෂ්‍යාව (Morbid Jealousy) ව්‍යාධිමය ඊර්ෂ්‍යාව (Pathological Jealousy) වැනි නම් වලින් හඳුන්වන අතර ඔතෙලෝ රෝගය යනුවෙන්ද ව්‍යවහාර කෙරේ.
මෙම මානසික ආබාධය වැඩිපුරම දක්නට ලැබෙන්නේ පිරිමින් අතරය. ඊට හේතුව ලිංගිකත්වයේ දී පිරිමියා ක්‍රියාකාරී සහකරු වශයෙන් සැලකීමය. නමුදු කාන්තාවන් තුළ මෙය දුර්ලභ බවක් මින් අදහස් නොකෙරේ.
රෝගය වැළඳුණු පසු තම සහකරුට / සහකාරියට අනියම් සම්බන්ධතාවයක් ඇතැයි සැකය මත ඔහුගේ / ඇගේ චර්යාවන් විවිධාකාරයෙන් විමර්ශනය කිරීම නිරන්තරයෙන් සිදුවනු ඇත. රෝගය වැළඳී තිබෙන්නේ සැමියාට නම් ඇය යන එන තැන්, හමුවන අය, කතාබහ කරන දේවල්, ඇගේ ඇඳුම් පැළඳුම්, ජංගම දුරකථනය, අත්බෑගය, අල්මාරිය මේ ආදී සියලුම දේ නිරන්තරව පරීක්ෂා කිරීමට පෙළඹෙයි. උදේට නිවසින් පිට වී ගොස් අවේලාවේ නොදන්වා නිවසට පැමිණ ගෙතුළට නොගොස් සැඟවී බලා හිඳීම මෙවැනි සැමියන් වෙතින් බොහෝ විට සිදුවේ. සැක කටයුතු සුළු හෝ යමක් අතට හසුවන තුරුම ඔවුන් මෙලෙස බිරිඳ ගැන විපරමින් පසුවනු ඇත. මේ තත්ත්වය තවත් වර්ධනය වූ විට තම බිරිඳගේ මුළු ශරීරයම පරීක්ෂා කරන සැමියෝ ද සිටිති. එසේම මෙලෙස බිරිඳ පිළිබඳව විපරම් කරමින් නිකම් සිටින්නේද නැත. නිතර ඇය සමග ගැටුම් ඇති කර ගැනීම, ඇය පිරිමියකු දෙස බැලුවත් ප්‍රසිද්ධ ස්ථානවලදී පවා ඇතැම් විට පහරදීමට වුව පෙළඹීම මෙම රෝගය ඇති සැමියන් තුළින් දැකිය හැකිය.
මෙබඳු සැමියකු ලද බිරිඳකට විඳින්නට සිදුවන මානසික පීඩාව සුළුපටු නැත. සැකය නිසා විවිධ මානසික හා කායික හිංසාවන්ට ලක්වන එවැනි කාන්තාවක් විශාද රෝගයට ලක්වීමට ඉතා පහසු හැකියාවක් තිබේ. එසේම දෙමාපියන්ගේ මේ අඬදබර නිසා දරුවෝද විශාල මානසික පීඩාවනට ලක් වෙති.
තවත් සමහර සැමියන් කරනු ලබන දෙයක් වන්නේ ඇයට අනියම් සම්බන්ධයක් ඇති බව පිළිගෙන තමා වෙත පාපොච්චාරණය කරන ලෙස බල කිරීමය. එවැනි දෙයක් නැතත් එලෙස බොරුවට හෝ පාපොච්චාරණයක් කළොත් මේ වදහිංසාවලින් මිදිය හැකි වේයැයි යම් කාන්තාවක් සිතුවොත් එය ඒකාන්තයෙන්ම ඇගේ අනර්ථය පිණිසම වනු ඇත. හේතුව ඉන්පසු ඔහු තමාගේ සැකය සත්‍යයක්ම බවට පසක් කරගෙන ‘ඌරාගේ මාළු උගේ පිටේම තබා කපමින්’ දිගටම බිරිඳට තාඩන පීඩන කිරීමට පෙළඹෙන බැවිනි.
සමහර ස්වාමිපුරුෂයෝ මෙයිනුත් නොනැවතී තම බිරිඳට අනියම් සම්බන්ධයක් ඇතැයි ඇගේ නෑදෑයන්ට පමණක් නොව තමන්ගේ පවුලේ අයට පවා පවසන්නට පෙළඹෙති. ඒ කිසිවකුවත් මෙම සැමියාට මානසික රෝගයක් ඇතැයි කිසිසේත් සිතන්නේ නැත. එයටද හේතු තිබේ. අපේ රටේ තවමත් බොහෝ දෙනකුගේ ආකල්පය වන්නේ මානසික රෝගීන් යනු කිළිටි වැරහැලි ඇඳ තනිව දොඩවමින් මහ පාරේ යන එන්නන් පමණක් බවය. කිසිදු රෝගයක් ඇති බවට බාහිරින් කෙසේවත් දිස් නොවන බොහෝ අය තුළ මානසික රෝග පැවතිය හැකි බව සමාජය නොදැන හිඳීම ඉතා කනගාටුදායක තත්ත්වයකි. ඒ අනුව ඉහත කී අන්දමට යම් පිරිමියකු තම බිරිඳට අනියම් සම්බන්ධයක් ඇතැයි කියන විට නෑදෑයන් බොහෝ විටම කරන්නේ එය හිස්මුදුනින් පිළිගෙන අර කාන්තාවට ගැරහීමය. මෙහිදී එම කාන්තාව තව තවත් අසරණ වනු ඇත.
ලිංගික ඊර්ෂ්‍යාව බොහෝ හේතු කාරණා මත ඇතිවෙයි. පෞරුෂත්වය වර්ධනය වන අවධියේ දී ඇති වන ගැටලු එක හේතුවකි. කුඩා කල සිට දෙමාපියන්ගේ සහ පවුලේ ඇතිවන නොයෙකුත් ප්‍රශ්න, නිසි රැකවරණයක් නැතිකම නිසා ඇති වන අනාරක්ෂිත තත්ත්වය වැනි හේතු මත දරුවකුගේ පෞරුෂත්වයේ අඩුපාඩු ඇතිවිය හැකිය. මෙසේ අනාරක්ෂිත බව තුළින් තමන් වැඩකට නැති අයකු, අනෙක් අයට වඩා පහත් අයකුය යන හීනමානය හට ගැනීම තුළින්ද කෙනකු තුළ පසු කලෙක ලිංගික ඊර්ෂ්‍යාව හටගත හැකිය. මෙම මානසික ආබාධයට ජානවල බලපෑමක්ද තිබේ. ඒ අනුව මෙය පරම්පරාවට යාමේ සම්භාවිතාවක් ඇත. ලිංගික බෙලහීනතාවය ඇති පිරිමින්ද තමන්ගේ බිරිඳ අන් පිරිමින් සමග කායික සම්බන්ධතා පවත්වන්නේ යැයි සැක කිරීමට පෙළඹිය හැකිය. එසේම මත්පැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම ලිංගික ඊර්ෂ්‍යාව හට ගැනීමට තවත් හේතුවකි. මොළයේ වෙනත් සංකූලතා නිසාද මෙය හට ගත හැකිය. එපමණක් නොව විශාදය, භින්නෝන්මාදය සහ මෝහාබාධය (Delusional disorder) වැනි මානසික ආබාධවල ලක්ෂණයක් ලෙසත් ලිංගික ඊර්ෂ්‍යාව පැවතිය හැකිය. ග්‍රස්ති හෙවත් O.C.D. නම් මානසික ආබාධයේද ලක්ෂණයක් ලෙස සැකය හට ගත හැකි අතර එහිදී සිදුවන්නේ තම සහකරුට / සහකාරියට එවැනි සම්බන්ධයක් නැති බව දැන සිටියත් එය නිරන්තරයෙන් තමාට මානසික වධයක් ලෙස නැවත නැවතත් දැනීමය. නමුත් මේ තත්ත්වය මත සහකරුට / සහකාරියට හිංසා පැමිණවීමට පෙළඹෙන්නේ නැත.
ලිංගික ඊර්ෂ්‍යාව යනු නොතකා හැරිය යුතු හෝ සුළුවෙන් තැකිය යුතු මානසික රෝගයක් නොවේ. හේතුව සැකය අධික වීම මත සමහර පිරිමින් තම පෙම්වතිය / බිරිඳ ඝාතනය කිරීමට පවා පෙළඹීමය. සමහරු ඇයවත් මරා තමාද සියදිවි හානි කර ගනිති. අනෙක් කරුණ නම් මේ රෝගයෙන් පෙළෙන සැමියකු නිසා බිරිඳත්, එවැනි රෝගී බිරිඳක් හිඳින සැමියාත් විශාල මානසික පීඩාවකට ලක්වීම මත විශාද රෝගියකු වීමට තිබෙන හැකියාවය. ඒ අනුව බොහෝ කාන්තාවන් සියදිවි හානි කර ගැනීමට පෙළඹිය හැකිය. බිරිඳගේ ලිංගික ඊර්ෂ්‍යාව නිසා සැමියා පීඩා විඳින්නේ නම් එම පීඩාව ඉවසිය නොහැකිව ඇය මරා දමන්නට පෙළඹෙන ස්වාමි පුරුෂයන් ද සිටින බව අමතක කළ යුතු නොවේ. එමෙන්ම මෙවන් නොනිසි සැකයකින් පසුවන සහකරු හෝ සහකාරිය වෙතින් ලබන දැඩි මානසික පීඩනයෙන් මිදීමට ඇතැමුන් අයථා සම්බන්ධයන්ට පෙළඹෙන අවස්ථා ද තිබේ. එය තවත් ගැටලු අර්බුද රාශියකට මුල පිරීමකි.
ඒ අනුව බලන කල කුමන අතකින් බැලුවත් මෙම මානසික රෝගය භයානකය. එනිසා මෙවැනි රෝගියකුට විශේෂඥ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම ඉතාමත්ම වැදගත් වේ. දිගු කාලීනව ප්‍රතිකාර ගැනීමෙන් මේ රෝගය බොහෝවිටම සුව කළ හැකිය.
ඉන්දු පෙරේරා
පසුගිය කාලේ රන්මිල අඩුවුණු නිසා සමහරු විවාහ මංගල්‍යයන් පවා මේ අවුරුද්දේ යොදා ගත්තා
අඩුවුණ රන්මිල යළි වැඩිවන ලකුණු
ශ්‍රී ලාංකික සමාජය තුළ මෑත කාලයේ වැඩියෙන්ම කතාබහට ලක්වන මාතෘකාව වූයේ විදුලි බිල ඉහළ යාමය. සියලු දෙයෙහි මිල ඉහළ යන කාලයක මිල අධික භාණ්ඩයක මිල පහළ යාම පිළිබඳ ආරංචියක් ලැබුණහොත් එය පාරිභෝගිකයන්ට සුබ ආරංචියක් වනු නොඅනුමානය.
ලෝක වෙළෙඳපොළේ රත්රන් මිල ශීඝ්‍රයෙන් පහළ යමින් තිබෙන බව පසුගිය අවුරුදු සමය තුළ මෙරට පාරිභෝගිකයාට ලැබුණු සුබ ආරංචියක් විය. නමුත් එහි නියම වාසිය පාරිභෝගිකයා ලබාගත්තේ ද හෝ ඔවුනට එය ලැබුණේ ද යන්න විමසා බැලීම වටියි.
රත්රන් මිල පහළ යාමත් සමග මෙරට බැංකු හා උකස් ආයතන දැඩි අසීරුවකට පත් වූ අතර උකස් අත්තිකාරම් මුදල පහළ හෙළීමට හා උකස් කටයුතු නතර කිරීමට පවා සිදුවුණි. එයට අමතරව ප්‍රසිද්ධ වෙන්දේසි දින නියමයක් නොමැතිව කල් දැමීමට හා උකස් වූ භාණ්ඩ බේරා ගැනීමට සහන කාලයක් ලබා දීමට පවා එම ආයතන ක්‍රියා කළේය.
පසුගිය කාලයේ සයිප්‍රස් රාජ්‍යයේ ඇති වූ ආර්ථික අර්බුදයන් විසඳා ගැනීමට යුරෝපා සංගමයේ උපදෙස් පරිදි සයිප්‍රස්හි රත්රන් සංචිතවලින් ඩොලර් මිලියන 400ක් පමණ වටිනා රන් ටොන් දහයක් හදිසියේ වෙළෙඳපළට මුදා හැරීම මෙම රන් මිල පහළ වැටීමේ තත්ත්වය ඇති වීමට හේතු වී තිබේ. මේ බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ රන් ප්‍රමාණය නිශ්චය කිරීමේ අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර හා උපදේශක සිරිචන්ද්‍ර එදිරිසිංහ මහතා කීවේය.
මෙම තත්ත්වය තුළ මෙරට පාරිභෝගිකයා එහි වාසිය ලබා ගත්තේ ද සහ ස්වර්ණාභරණ නිෂ්පාදකයන් එම වාසිය පාරිභෝගිකයාට ලබාදුන්නේ ද යන්න රාජා ජුවලර්ස් අධ්‍යක්ෂ අශෝක එළියපුර මහතාගෙන් අපි විමසීමක් කළෙමු.
අවුරුදු අටකට පස්සේ තමයි මේ මහ මිල අඩුවීමක් රත්රන් සඳහා ලැබුණෙ. මම හිතන්නෙ එම වාසිය පාරිභෝගිකයා ලබාගත්තා. මිල අඩුවීමට සමානුපාතිකව අපට ස්වර්ණාභරණ සඳහා ලබාදෙන ඇනවුම් වැඩිවුණා. සමහර පාරිභෝගිකයන් ලබන අවුරුද්දෙ පවත්වන්න හිතාගෙන හිටපු විවාහ මංගල්‍යයන් පවා මේ අවුරුද්ද පවත්වන්න තීරණය කරලා. රත්රන් ආභරණ හදන්න ඇනවුම් කරන තත්ත්වයක් මේ වාතාවරණය තුළ ඇති වුණා.
පාරිභෝගිකයා රන් ආභරණ සෑදීමට ඇනවුම් භාරදෙන අවස්ථාවේ වෙළෙඳපළ තුළ තිබෙන රත්රන් මිල අනුව තමයි අපි ඔවුන්ගෙන් මුදල් අය කරන්නෙ. අපි මිල දාලා රිසිට් පත නිකුත් කළාම එම මුදල තමයි ඔවුන් ගෙවන්න ඕනෙ. ඊට පසු වෙළෙඳපළ තුළ රත්රන් මිල ඉහළ ගියා කියලා අපට එම වැඩිවන මුදල පාරිභෝගිකයාගෙන් අය කරන්න බැහැ. ඇනවුම් කළ ආභරණයේ රන් බර වැඩිවුණොත් විතරයි අපට එහෙම අමතර මුදලක් අය කරන්න හැකියාව ලැබෙන්නෙ. එම නිසා රන් මිල පහළ යාමේ වාසිය පාරිභෝගිකයාට ලැබුණෙ නැහැ කියන්න බැහැ.
රත්රන් මිල පහළ යාමට ප්‍රථම කැරට් විසිදෙකක පවුමක රන් මාලයක මිල රුපියල් හැට හතර දාහත්, හැට පන්දාහත් අතර අගයක පැවැති බව ප්‍රකාශ කළ අශෝක එළියපුර මහතා රන් මිල ශීඝ්‍රයෙන් අඩු වූ කාලය තුළ එය රුපියල් හතළිස් හත්දාහත්, පනස් හත්දාහත් අතර පැවැති බව ද ප්‍රකාශ කළේය.
නමුත් මේ වනවිට ලෝක වෙළෙඳපළ තුළ රත්රන් මිල ස්ථාවර වෙමින් පවතින අතර පසුගිය (26) වනදා වනවිට කැරට් 22 රන් පවුමක මාලයක් රුපියල් පනස් අටදාස් පන්සීයක් පමණ මිල වූ බවද හෙතෙම කීවේය.
එමෙන්ම සතියක කාලයක් නතරව තිබූ ස්වර්ණාභරණ
නිෂ්පාදකයන් සඳහා රාජ්‍ය බැංකු මගින් ලබාදෙන රත්රන් නිකුත් කිරීම පසුගිය (26) වනදා සිට ආරම්භ වූ බව ද අශෝක එළියපුර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සිරිචන්ද්‍ර එදිරිසිංහ මහතා ද ප්‍රකාශ කරනු ලැබුවේ මේ වනවිට ලෝක
වෙළෙඳපළ තුළ රත්රන් මිල ස්ථාවර වෙමින් පවතින බවය.
දේශීය වෙළෙඳපොළේ කැරට් 24 රත්රන් පවුමක විකුණුම් මිල පසුගිය (26) වනදා වනවිට රුපියල් හතළිස් නවදාස් අටසීයක් පමණ වුණා. කැරට් 22 රන් කැබැල්ලක විකුණුම් මිල රුපියල් හතළිස් පන්දාස් හයසියයත්, හත්සියයත් අතර අගයක පවතිනවා.
හදිසි රන් නිකුතුව නිසා රත්රන් මිල පහළ ගියද ඉදිරියේදී ලෝක වෙළෙඳපළ තුළ රන් මිල ක්‍රමයෙන් වැඩි වී ස්ථාවරව පවතිනු ඇති බව ඒ මහතාගේ අදහසයි. මෙම මිල අඩු වැඩිවීම් ඉදිරි සති දෙක තුන තුළ පැවැතිය හැකි බැවින් එහි වාසිය ලබා ගැනීමට තවමත් පාරිභෝගිකයා ප්‍රමාද වැඩි නැතැයි රාජා ජුවලර්ස් අධ්‍යක්ෂ අශෝක එළියපුර මහතා ප්‍රකාශ කරයි. එම නිසා ඇයි රත්රන් ඔච්චර ගණන් කියන්න තවමත් කල් වැඩිය.
විශේෂ ස්තූතිය : රාජා ජුවලර්ස් හි ජනනි නාගසිංහ මහත්මියට
අචලා ධර්මසේන
රසදිය මාරයා සම පැහැපත් කරන ආලේපන තුළත්
වෙළෙඳපොළේ පවතින සම පැහැපත් කරන ඇතැම් ආලේපනවල අන්තර්ගත සංයෝග පිළිබඳව වහාම සොයා බැලීමේ චක්‍රලේඛය සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිකුත් කළේ පසුගිය සතියේදීය.
මෙම ආලේපනවල රසදිය අතිවිශාල ප්‍රමාණයක් අන්තර්ගත බවට සැක මතුවීමත් සමග සෞඛ්‍ය අමාත්‍යංශය මෙම පියවර ගත්තේය. රසදිය ශරීරයට ඉතා අහිතකර විස රසායනයකි. එය බාහිර පරිසරයේදී හෝ විනාශ කළ නොහැකිය. රසදිය අඩංගු වෛද්‍ය උපකරණ පවා භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පසුගියදා පියවර ගත්තේ එම උපකරණ කැඩී බිඳී ගිය පසු ඒවා බාහිර පරිසරයට මුදාහැරීමෙන් රසදිය පරිසරයට එකතුවීම වැළැක්වීම සඳහාය.
මෙතරම් විස රසායනිකයක් වන රසදිය සම පැහැපත් කරන ආලේපනවලට අන්තර්ගත කිරීමේදී එය කළ යුත්තේ ඉතාමත් සුළු වශයෙනි. එහෙත් දැනට වෙළෙඳපොළේ අලෙවි වන මෙවැනි ආලේපනවල රසදිය අතිවිශාල ප්‍රමාණයන් අන්තර්ගත වීම ඉතාමත් භයානක තත්ත්වයක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දේ.
අධික ප්‍රමාණයෙන් රසදිය අන්තර්ගත ආලේපන සමේ දිනපතා ගැල්වීමෙන් එම රසදිය සමට උරාගනී. එසේ උරාගත් රසදිය සෘජුවම ස්නායු පද්ධතියට බලපෑම් ඇති කරනු ලබයි. එහිදී ස්නායු දුර්වල කරන අතරම මොළයේ ෙසෙලවලට බලපා මතක ශක්තිය අඩු කරන බව සොයාගෙන ඇත.
රසදිය බහුල ලෙස අන්තර්ගත ආලේපන නිතර නිතර සමේ ගැල්වීමෙන් සම තුනීවීමට පටන් ගනී. මෙසේ සම තුනීවීම හරහා ලේ නහර පිටතට පෙනීම හේතුවෙන් මුහුණ ඉතාමත් අවලස්සන ස්වරූපයක් ගනී.
මෙම ආලේපනවල රසදිය සමට උරාගෙන එහි අන්තර්ගත රසදිය ලේවලට ඇතුළු වී ශරීරය පුරාම පැතිරේ. මෙය බරපතළ රෝග ගණනාවක් ඇතිවීමට හේතුවක් වේ.
මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවී වකුගඩුවලට හානි සිදුකිරීමටත් සමේ කුෂ්ට දැමීමටත් රසදිය හේතුවක් වේ.
එපමණක් නොව කකුළේ ඇඟිලි හා කකුල හිරිවැටීම පටන් ගන්නා අතරම තුවාල සෑදුණහොත් එය සුවවීමටද සැලකිය යුතු කාලයක් ගතවේ.
අප මුහුණ හෝ ශරීරයේ සම පැහැපත් කරගැනීම සඳහා ආලේප කරන ක්‍රීම් සම අවලස්සන කරයි ද එහි අන්තර්ගත කර තිබෙන රසදියවලට එසේ කළ හැකිය. සමේ කැළැල් ඇති කිරීමටත් සමේ වර්ණය වෙනස් කිරීමටත් මෙම ආලේපනවලට හැකියාව පවතී.
ගර්භනී මවක් මෙවැනි ආලේපන භාවිතා කිරීමෙන් ඇගේ කුස තුළ වැඩෙන දරුවාගේ ස්නායු පද්ධතියට බරපතළ හානි සිදුවිය හැකිය. මෙම ආලේපන තුළ අඩංගු රසදිය මගින් ආබාධිත තත්ත්වයට පත්වූ දරුවෙකු බිහිකිරීමට වුවද හැකියාව පවතී.
තවද සම කළු පැහැ ගන්වන මෙලනින් නැමති රසායනිකය සම තුළ නිෂ්පාදනය වීම අඩාල කිරීමටද රසදියවලට හැකියාව පවතී. හිරු එළියේ පවතින පාරජම්බුල කිරණ මගින් සමට වන හානිය මැඩ පැවැත්වනුයේ මෙලනින් නමැති සමේ නිෂ්පාදිත රසායනිකය මගිනි.
සමේ මෙලනින් අඩු පුද්ගලයින්ට හිරු එළියේ සැලකිය යුතු කාලයක් සිටීමෙන් සමේ පිළිකා පවා ඇතිවීමේ අවධානමක් පවතී.
සම සුදු පැහැති පුද්ගලයින්ට හිරු එළියේ පවතින පාරජම්බුල කිරණ එතරම් සුවදායක නොවන බැවින් ඕස්ට්‍රේලියාව වැනි රටවල මුහුදු තීරයේ හිරු එළියට නිරාවරණය වීම අනතුරුදායක බව අඟවමින් දැන්වීම් පුවරු පවා මුහුදු වෙරළේ සවිකර ඇත.
තවද අප ආලේපනය කරන රසදිය අන්තර්ගත ක්‍රීම් වර්ග අප ස්නානය කරන විට හෝ මුහුණ සෝදන විට අප ආලේපනය කළ ආලේප හා ජලය සමග මුසුවී ක්‍රමයෙන් ජලාශවලට ඇතුළු වේ. එම ජලාශවල ජීවත්වන මසුන්ගේ ශරීරයටද මෙම රසදිය ඇතුළුවී එම මසුන් ආහාරයට ගන්නා පුද්ගලයන්ගේ ශරීරයටද නැවත රසදිය නැමැති බැර ලෝහය ඇතුළු වේ.
මේ වනවිට මීගමුව කළපුවේ රසදිය අන්තර්ගතව තිබෙන බවට පරීක්ෂණ මගින් තහවුරු කරගෙන තිබුණද එම රසදිය කළපුවට එකතු වූ අන්දම පිළිබඳව පර්යේෂණ කණ්ඩායම් මේ වනවිටත් විවිධ අංශ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කරමින් පවතී.
මෙම කළපුවේ ජීවත්වන මසුන්ගේ ශරීරයට රසදිය ඇතුළත් වුවද එම මසුන් අනුභව කරන පුද්ගලයන්ගේ ශරීරයටද රසදිය අන්තර්ගත වන්නේ කොතරම් අධික උෂ්ණත්වයක් යටතේ වුවද මෙම බැර ලෝහය විනාශ කිරීමට හැකියාවක් නොවීමෙනි.
මෙම කළපුවට රසදිය මිශ්‍ර වූයේ පරිසර දූෂණය හේතුවෙන්ද, එසේ නැතිනම් ස්වභාවික පරිසරයේ පවතින දෙයින්ද යන්න පිළිබඳව, මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කරමින් පවතී.
අප ජීවත්වන පරිසරයෙන් රසදිය මුළුමනින්ම ඉවත්කිරීමේ කාලය දැන් උදාවී ඇති බව වටහා ගත් සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාව දැනුවත් කිරීමට හා රසදිය අන්තර්ගත ද්‍රව්‍ය පරිසරයෙන් ඉවත්කිරීමේ භාරදූර්ය කාර්යයට අතගසා තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වෘත්තිය හා ආහාර ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා
ශ්‍රියානි විජේසිංහ
More Articles...
- මත්පැන් පොවා වරදට පොළඹවා ගත් ජාත්‍යන්තර පාසල් සිසුවියගේ කතාව
- ගැබිනි මව්වරුන්ට උණ හා කැස්ස ඇති වුවහොත් වහා ප්‍රතිකාර ගත යුතුයි
- මනාලියකගේ නික්ම යන ගමනට උඩරට සම්ප්රදායේ විලාසිතාවක්
- බලාගෙනයි ඔබ ගන්නා ආභරණය මතුපිටින් රත්රන් වුණත් ඇතුළතින් ටන්ග්ස්ටන් විය හැකියි
- ඔබත් ඔබේ පෙම්වතාත් අතර ඇත්තේ සැබෑම ආදරයක්ද?
- බිය වැද්දීමෙන් සමහර වැඩ කරවාගත්තත් සැබෑ සෙනෙහස සහ ලෙන්ගතුකම ලබන්න බෑ
Page 1 of 9
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 Next > End >>

මැයි 21 වර්ජනයක් වර්ජනයේ නියමුවෝ විවිධ කතා මාධ්‍ය මගින් ඉදිරිපත් කළහ. ‘මේ පාර තමයි ආණ්ඩුව පාඩම් ඉගෙන ගන්නේ’ සමහරු කීහ.
ආසියාතික මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් ලබන ජූලි මස 5 වැනි දින සිට 11 වැනි දින දක්වා ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වීමට යෝජිතව තිබූ 20 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය කල් දැමීම නිසා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල අර්බුදකාරී තත්ත්වයක් උද්ගතවී ඇති බව වාර්තා වෙයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම අවසන් වටයේ තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පරාජය කළ චෙන්නායි සුපර් කිංග්ස් 5 වැනි වරටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබිමට සමත් විය.




ශ්රී ලංකා පාසල් හෑන්ඩ්බෝල් සංගමය විසින් තෙවැනි වරටත් සංවිධානය කරනු ලැබූ “නියෝ අභියෝගතා කුසලාන” වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් හෑන්ඩ්බෝල් තරගාවලියේ බාලක ශූරතාව මොරටුව වේල්ස් කුමර විද්‍යාලය විසින් දිනාගනු ලැබූ අතර,




පසුගිය 




අපේ රටේ ඕනෑම 
අපේ රටේ නිල ආර්ථිකයට සමාන්තරව විශාල කළු ආර්ථිකයක් ගොඩනැගෙමින් පවතින බව රාජ්‍ය ව්‍යවසාය පොදු කාරක සභාවේ (කෝප්) සභාපති මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කර තිබේ.




