කලා පුවත්
තාත්තාගේ මරණයේදී භික්ෂූන් වහන්සේලා පවා කඳුළු සලනු මා දැක්කා
ඉෂාක් බෙග්
අල්හාජ් මොහිදීන් බෙග් ගායකයාණන්ගේ ගීතයක් නෑසෙන වෙසක් උත්සවයක්, පොසොන් උත්සවයක් නැත. රට පුරා ඉදිවන තොරන්, දන්සල් වෙසක් කලාපවල සාර්ථකත්වය වැඩිකර ගැනීමට පසුබිමින් ඇසෙන්නේ ඔහුගේ ගීත ය. රට පුරා විහාරස්ථානවල බෞද්ධ වැඩසටහන්වලදී රැව් දෙන්නේ ඔහුගේ එම ගාම්භීර හඬය. තව වසර ගණනාවක් ගියද ඒ හඩින් ගැයූ බොදු ගී හෙළ බොදු සමාජය තුළ රැව්පිළිරැව් දෙනු ඇත. ඉස්ලාම් භක්තියකු වුවද මෙම විශිෂ්ට ශ්‍රී ලාංකීය පුරවැසියා මෙරට සංගීත ක්ෂේත්‍රය සහ බෞද්ධ ජන සමාජය වෙනුවෙන් ඉටු කළ උදාර මෙහෙයට කළගුණ සැලකීමක් ලෙස මේ වෙසක් සමයේ අපි ‘බෙග් මාස්ටර්’ පිළිබඳව මතකය අවදි කරන්නට සිතුවෙමු. ඒ සඳහා අප ඔහුගේ පුතු ඉෂාග් බෙග් සම්බන්ධ කර ගත්තේ මෙලෙසිනි.
ඔබේ පියා මේ රටේ වැඩිම බෞද්ධ ගී ගැයූ ගායකයෙක්. ඔබට ඒ ගැන සිතෙන්නේ මොනවාද ?
තාත්තා නිතරම කියූ දෙයක් තමයි “මේ රට සිංහල බෞද්ධ රටක්. මේ රටේ සිංහල බෞද්ධ ගී විශාල ප්‍රමාණයක් මා ගැයුවා. ඒ නිසා මේ රටේ හැමදාම මගේ නම පවතීවි” කියන එක. ඒ යුගයේ බිහිවූ බොහෝ චිත්‍රපටවල සිංහල බෞද්ධ ගීවලට තාත්තාගේ හඬ අතිශයින් ගැළපුණා. ඒ නිසා එම ගීත සඳහා තාත්තාව යොදාගත්තා.
ඔහු ඒ සඳහා ඉදිරිපත් වුණේ කැමැත්තෙන්මද ?
ඔව්, තාත්තාගේ හිතෙත් ඒ ගී ගැන විශාල පැහැදීමක් තිබුණා. සරල ගී වැඩසටහනකදී පවා එක බෞද්ධ ගීතයක් හෝ ඇතුළත් කරන්න තාත්තා අමතක කළේ නැහැ. ඒක හුඟක් සිංහල ගායකයන් පවා නොකළ දෙයක් “සුව දේ මට සීතල සුළඟ පවා” ගීතය තාත්තා ගැයූ සරල ගීයක්.
මේ මහා ගායකයාණන් තුළ බොදු දහම ගැන දැනීමක් තිබුණාද ?
තාත්තා ඉපදුණේ ඉන්දියාවේ. ඒ හින්දා ලුම්බිණිය, බුද්ධගයාව, කුසිනාරාව වැනි ස්ථානවල තියන වැදගත්කම ගැන තාත්තා දැනගෙන හිටියා.
සිංහල බෞද්ධ ගීත ගැයීම පිළිබඳව ඉස්ලාම් ආගමික සංස්කෘතියෙන් පියාට විරෝධතා එල්ල වුණේ නැද්ද ?
විරෝධතා එල්ල වූ අවස්ථා බොහොමයක් තිබෙනවා. තාත්තාගේ බෞද්ධ ගී අතුරින් ඉහළම තැන තියෙන ගීතය විදියට සලකන්නෙ “ඔබේ රාගී මන කැළඹේදෝ” ගීතයයි. එහි මුල් හින්දි ගීතය ගැයූ මන්නාඩේ පවා තාත්තාට විශේෂ ප්‍රශංසාවක් කළා. අදත් ඒ ගීතය වෙසක් පොහෝදාට ලංකාවේ හතර දිග්භාගයෙන්ම ඇසෙනවා. අපේ ආගමික කණ්ඩායම් මගින් තාත්තාට වැඩියෙන්ම බැණුම් අසන්නට වුණේ එම ගීතය ගැයීම හින්දා. නමුත් ඒක මුළු මුස්ලිම් ජනතාවම එල්ල කළ විරෝධයක් නොවන බවත් විශේෂයෙන්ම කිව යුතුයි.
මොකක්ද ඒ ගීතයට විරුද්ධ වීමට හේතුව ?
ඒ ගීතයේ මැද කොටස්වල තියෙනවා “එම විට පවසනු මුවින් ඔබේ; බුද්ධං සරණං ගච්ඡාමි” කියලා. ජීවිතය වෙනසකට යොමු වන හැමවිටකම “බුද්ධං සරණං ගච්ඡාමි” කියන්න කියන පණිවිඩය එතනින් දෙනවා. අපේ ආගමෙත් කියන්නේ එවන් අවස්ථාවල අල්ලාගේ පිහිට යදින්න කියා. වෙනත් ආගම් ඇදහීම අපට තහනම්.
කොහොමද ඒ විරෝධතා ක්‍රියාත්මක වුණේ ?
තාත්තා පල්ලි යනකොට “ඔය පව්කාරයා ඇයි පල්ලියට ගන්නේ” කියූ අයත් හිටියා. තවත් අය තාත්තාගේ මූණටම “ඔය විදියට හම්බ කරලා
ළමයින්ට කන්න දුන්නට ඒවා දිරවයිද ... ?” කියා ඇසූ අවස්ථා තිබුණා. තාත්තා හරිම අහිංසකයි. කවමදාකවත් ගැටුම් ඇතිකරගත්ත කෙනෙක් නමෛයි. කවුරු මොනවා කිව්වත් මුකුත් නොකියා බිම බලාගෙන හිටියා. ඒ බවත් කියන්න ඕනේ. ඒවාට උත්තර දෙන්න ගියේ නැහැ. නමුත් තාත්තාගේ ඒ ගීත අගය කරපු මුස්ලිම් අයත් හිටියා.
බෙග් මාස්ටර්ගේ ඉස්ලාම් ආගමික භක්තිය කෙහොමද ?
රෑ දොළහට සංගීත සංදර්ශනයකට ගිහින් ආවත් හැමදාම පාන්දර තුනට නැගිටලා දෙවියන් වඳින එක තාත්තාගෙ සිරිතක්.
කොහොමද ඔහු අඹු දරුවන් ගැන දැක්වූ උනන්දුව ?
අපි ඉස්කෝලෙ යනතුරු ඒ ගැන සොයා බලනවා. අම්මටයි අපි අට දෙනාටයි හරිම ආදරෙයි. දරුවො අට දෙනාගෙ වැරැද්දක් දැක්කම අවවාද දුන්නට දඬුවම් කරන අවස්ථා අඩුයි. මගෙ ජීවිතේදීම තාත්තා දැඩි ලෙසින් කෝපයට පත්වූ එකම එක අවස්ථාවක් විතරයි මම දැක්කේ. ඒ මා සම්බන්ධ සිදුවීමක්.
මොකක්ද ඒ සිදුවීම ?
ඒ වෙද්දි මට වයස දොළහක් විතර ඇති. මමයි මිතුරෙකුයි බස් එකේ එද්දී මම ටිකට් ගන්න මිතුරාට සල්ලි දුන්නා. එයා එයාගෙ ටිකට් එක අරගෙන මම දුන්න සල්ලි සාක්කුවේ දාගෙන. ටික දුරක් යද්දී ටිකට් පරීක්ෂකවරු බස් එකට නැග්ගා. මිතුරා මගහැරලා ගියා.
මාව පොලීසියට අරගෙන ගියා. ටික වේලාවකින් තාත්තා පොලීසියට ආවා. තාත්තා ඒ වෙලාවේ මගෙ පැත්තට කතා කළේ නෑ. “ටිකට් නැතුව ආපු කොල්ලො පොලීසියට තමයි ගෙනෙන්න ඕන” කියලා ඒ නිලධාරීන්ට ප්‍රශංසා කළා. ඊට පස්සේ එතැනදීම මට ගැහුවා. ගෙදරට ඇදගෙන ආවෙත් පහර දිදී. හවස් වරුවේ තාත්තා මාව ළඟට අරගෙන “ඇයි පුතේ මම බොහොම අමාරුවෙන් ගොඩනගාගත්තු මොහිදීන් බෙග් කියන නම විනාශ කළේ” කියල මගෙන් ඇහුවා. ඒ වෙලාවේ තාත්තගේ ඇස් දෙකේ කඳුළු පිරිලා තිබුණා.
දඬුවමකට වඩා මගෙ හිත කම්පා වුණේ ඒ වෙලාවේ. ඊට පස්සේ කවදාවත් මම ඒ විදියේ නරක යාළුවෝ ආශ්‍රය කළේ නැහැ.
අල්හාජ් මොහිදින් බෙග්ට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලැබිමත් විශේෂ සිදුවීමක්.
තාත්තා මුලින්ම ලංකාවට ඇවිත් තියෙන්නේ හමුදා සේවයට. ඉන්පසුවයි ගී. ගායනයට එකතු වණේ. දෙදහස් පන්සියයේ බුද්ධ ජයන්තිය නිමිත්තෙන් පැවති උත්සවයකදී තාත්තා ගී ගැයුවා. අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා එතැන හිටියා. නිවේදන කටයුතු කළ කරුණාරත්න අබේසේකර මහතා අමතලා බණ්ඩාරනායක මැතිතුමා තාත්තාගේ ගායනාව ප්‍රශංසා කරද්දී කරුණාරත්න අබේසේකර මහතා කියලා තියනවා “සර් තවම ඔය මනුස්සයට ලංකාවේ පුරවැසි භාවයවත් නැහැ” කියලා. ඒ මොහොතේම අගමැතිතුමාගේ මූලිකත්වයෙන් ගෞරවනීය විදියේ පුරවැසිභාවයක් තාත්තාට ලැබුණා. ඉන්පසු එවැනි සම්මාන පුරවැසිභාවයක් කිසිම ඉස්ලාම් ජාතිකයකු ලබලා නැහැ.
බෙග් මාස්ටර්ගේ අවමංගල්‍යයට සංඝරත්නය පවා සහභාගි වුණා නේද ?
ඉස්ලාම් ජාතිකයකුගේ අවමංගල්‍යයකට භික්ෂුන් වහන්සේලා වැඩමකළ අවස්ථාවක් මා දැක නැහැ. එදා දෙමටගොඩ මුස්ලිම් සුසාන භූමිය එකම හිස් ගොඩක්. ඒ අතරින් සියයකට අනූවක් විතර හිටියේ සිංහල බෞද්ධයෝ. තාත්තාගේ මරණය සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේලා පවා කඳුළු සලනු මා දුටුවා. අපේ ආගම අනුව කෙනෙකු මියගිය පසුව පැය කීපයකට වඩා තියාගන්න බැහැ. තාත්තා මිය ගිහින් පැය පහකින් අවසන් කටයුතු කළා. තවත් වෙලා තිබුණා නම් පැමිණෙන සෙනඟ දහ ගුණයකටත් වැඩිවෙයි.
මොන තරම් දැවැන්ත ජනප්‍රියත්වයක් කීර්තියක් හිමි කර ගත්තත් පෞද්ගලික ජීවිතයේදී බෙග් මාස්ටර් අගහිඟකම්වලට මුහුණ දුන්නා නේද ?
කලාවට තියෙන ආදරේට කලාවට එන අය ඉන්නවා. මුදල් හම්බ කරන්න කලාවට එන අයත් ඉන්නවා. තාත්තා කලාව කළේ ඊට ඇති ආදරයට. ඒ හින්දම හම්බ කරපු දෙයක් නැහැ. අපි බොහේ ප්‍රශ්නවලට මුහුණ දුන්නා. සමහරදාට ලයිට් බිල ගෙවන්න නැතුව වතුර බිල ගෙවන්න නැතුව ඒවා කපන්න නිලධාරීන් එනවා. “පුතේ මමයි මගෙ නෝනයි දරුවොයි කළුවරේ ඉන්නෙ කොහොමද ? වතුර නැතුව ඉන්නෙ කොහමෙද ?” කියලා තාත්තා ඒ අයගෙන් අහනවා.
“කරන්න දෙයක් නැහැ මාස්ටර් බිල් ගෙවල නැති හින්දනේ කපන්න වෙන්නේ” කියල ඒ අය කියනවා. ඊට පස්සෙ තාත්තා සංගීත සංදර්ශනවලට ගිහින් සල්ලි හොයාගෙන ඇවිත් බිල් ගෙවනකම් අපි ඉන්නෙ වතුර නැතුව, ලයිට් නැතුව.
පියාගේ මරණයෙන් පසුවත් ඔබේ පවුලට ප්‍රශ්න ඇති වුණා නේද ?
තාත්තා මියගියාට පසුව දෙමටගොඩ අපි හිටපු ගේයි තවත් ගෙවල් නවයකුයි කැඩුණා මොකක්ද ලොකු ගොඩනැගිල්ලක් හදන්න. ඒත් ඒ ගොඩනැගිල්ල අදටත් හැදුනෙ නැහැ. අද එතැන කාර් පාර්ක් එකක්.
ඔබ පියාගේ ගී ගයමින් ක්‍ෂේත්‍රයට ආවා. ඔබේ පවුලේ ඊළඟ පරපුරෙන් කවුද බෙග් මාස්ටර්ගෙ නම ගෙනියන්නේ ?
මම අදටත් ඉන්නෙ කුලී ගේක ඒ හින්දා මම කැමති නැහැ මගෙ දරුවෝ මගේ තාත්තා වගේ අවංක ලෙසම කලාවට ඇවිත් අසරණ වෙනවට. ඒ අයට උගන්නලා හොඳ රැකියාවලට යොමු කිරීමයි මගෙ අරමුණ. ඒත් මගෙ පියාගෙ ගී නැතිවෙන එකක් නැහැ. රියැලිටි තරගවලට එන තරුණ අය මගේ පියාගේ ගීත ගයයි. බෙග් මාස්ටර්ට උපහාර පිණිස ගැයුවා කියලා ටී.වී. එකේ කියයි. එතකොට ඒ අයට වැඩියෙන් එස්.එම්.එස්. ලැබෙයි. මුදල් යාන වාහන ගෙවල් දොරවල් ලැබෙයි.
නමුත් බෙග් මාස්ටර් තමන්ගේ දරුවන් සමග ලයිට් බිල ගෙවා ගන්න බැරිව කළුවරේ පවා ඉඳලා තිබෙනවා. ඒවා ගැන මං දැන් හිතන්නේ නැහැ. නමුත් අර විදියේ කෙනෙකු හමුවුණත් මම දොස් කියන්නේ නැහැ. අතට අත දීලා සුබ පතනවා.
ආරියවංශ කුලතිලක
වසර 15කට පසු කමල් හා ශ්‍රියන්ත එකම වේදිකාවක

ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කමල් අද්දරආරච්චි අවුරුදු 15 කට පස්සේ එකම වේදිකා නාට්‍යයකින් හමු වනවා. උදයසිරි වික්‍රමරත්නගේ “රඟපෑම් ඉවරයි“ නාට්‍යය තුළින් තමයි බොහොම කාලෙකට පස්සේ මේ ප්‍රවීණ රංගන ශිල්පීන් දෙදෙනා හමුවන්නේ. මේ හමුව සිදුකළ උදයසිරි පසුගියදාක රිද්ම කතා බහකට එකතු වුණේ තමන්ගෙ අලුත්ම නිර්මාණය “රඟපෑම් ඉවරයි“ ගැන කතා කරන්න.
“හැමතැනකම තියෙන්නේ රඟපෑම. දේශපාලනයේදී ඒ අය කරන්නෙ රඟපෑමක්. පෙම්වතා තමන්ගෙ පෙම්වතිය ඉදිරියේදී කරන්නෙ රඟපෑමක්. සමහරු තමං වියත් විශාරදයින් බව විද්වතුන් බව සමාජය ඉදිරියේ මවා පෙන්වන්න රඟපෑමේ යෙදෙනවා. මේ විදියට සමාජය පුරා සිදු කෙරෙන රඟපෑම මෑත කාලයේ අපේ රටේ ටිකක් වැඩිපුර සිදු වුණා කියල මට හිතෙනවා. ඒ හින්දයි මම මේ විදියේ නිර්මාණයක් කරන්න හිතුවේ..........”
මේ නාට්‍යයේ පිටපත රචනා කරද්දීම තමයි උදයසිරි තමන්ගෙ නිර්මාණයට ශ්‍රියන්තව යොදා ගන්නවා කියලා හිතලා තියෙන්නේ. නමුත් කමල්ව යොදාගෙන තියෙන්නේ පසුව. කමල් වේදිකා නාට්‍යයට එකතු වේවිද කියලා සැකයක් උදයසිරි තුළ තිබුණාලු. නමුත් කමල් අද්දරආරච්චි කියන්නේ හොඳ නිර්මාණයක් වෙනුවෙන් කැපවෙන නළුවෙක්. “රඟපෑම ඉවරයි“ පිටපත කියැවූ පසුව කමල් මෙයට එකතු වන්නට කැමැත්ත පළ කළාලු.
“ජූඩ් ශ්‍රීමාල්ටයි මටයි අවශ්‍ය වුණේ මාර්තු මාසේ නාට්‍යය පෙන්වන්න. ඒත් කමල් ඒකට විරුද්ධ වුණා. ‘මම නාට්‍යයට එකතු වන්නේ පිටපත කට පාඩම් කරලා” කියලා ඔහු පැවසුවා. කමල්ට පිටපතම මතක තියාගන්න වැඩිකල් ගත වුණේ නැහැ. අද බොහෝ නාට්‍යවල ඇතැම් නළු නිළියෝ රඟපාන්නේ වේදිකාව අයිනට ඇවිත්. ඒකට හේතුව ප්‍රොම්ටර් (දෙබස් මතක් කර දෙන්නා) කී හ¾ඩින් කියන දෙබස් ඇහෙන්නෙ නැති වීම. ඒත් කමල් මේ කළ දේ ඒ අයට පිළිතුරක් . කමල්, ශ්‍රියන්ත වැනි ප්‍රවීණයන් එක්ක වැඩ කරන එක මට ලොකු ශක්තියක් වුණා...”
ප්‍රවීණයින් සමග දක්ෂයින් සමග නිර්මාණවලට දායකවීම පහසු බව බොහෝ නිර්මාණ කරුවන් පවසනවා. “රඟපෑම් ඉවරයි“ පුහුණු වීම් අතර එක දවසක් පුහුණු වීම් යොදාගෙන තියෙන්නේ හවස 5 ට. ඒත්
අධ්‍යක්ෂවරයා එන්න පැය 1/2 ක් පමා වෙලා. ඒ අතර තුර ශ්‍රියන්ත නාට්‍යය පුහුණු කරගෙන ගිහින්. මේ නාට්‍යයේ එන තැනක ශ්‍රියන්තගේ ගීතයක් තියෙනවා. “කරුණු කියන්නට මට ඕනෑ නැත.” කියලා ඛණ්ඩයක් ඒ ගීතයේ තිබෙනවා. පුහුණු වීම් වලට පමා වෙලා පැමිණි
අධ්‍යක්ෂවරයා පුහුණු වීම් සිදුවන තැනට එද්දි මේ ගීතයේ ඉහතින් කියූ ගීත ඛණ්ඩය තමයි පුහුණු වෙමින් ඉඳලා තියෙන්නේ.
“........ශ්‍රියන්ත අයියා මට ටිකක් පමා වුණා කියලා මගේ පමාවට කාරණේ කියන්න මම උත්සාහ කළා. ඒ වෙලාවේ ඒ අය පිළිතුරු නොදී දිගින් දිගටම “කරුණු කියන්නට මට ඕනෑ නැත” කියන ගීත ඛණ්ඩයම ගායනා කළා..”
පුහුණු වීම් අතර වූ සිදුවීමක් සිනහසෙමින් පැවසූ උදයසිරි තමන්ගෙ නිර්මාණයට දායක වූ සෙසු පිරිසවත් සිහිපත් කළා.
“නාට්‍යයටම ඉන්නේ නළු නිළියන් තිදෙනෙක් විතරයි. ශ්‍රියන්තයි, කමලුයි හැරුණම සුබුද්ධි ලක්මාලි මේ නාට්‍යයේ රඟපානවා. ඊට අමතරව වසන්ත විට්ටච්චි (වේශ නිරූපණය) ලලිත් වික්‍රමරත්න (සංගීතය) මංජුල පාලිත (ආලෝකකරණය) රෝහිත ජයකොඩි (වේදිකා පරිපාලනය) කමල් අද්දරආරච්චි ( රංග වස්ත්‍ර නිර්මාණය) කමල් අද්දරආරච්චි හා තිලංග විරවර්ධන (පසුතල නිර්මාණ සැලසුම්) ලුවොලින් වැන්ඩවෝල් (වේදිකා පසුතල) යන අය මේ නිර්මාණයට දායක වෙනවා. “රඟපෑම් ඉවරයි“ තුළින් මම සබකෝලය කියන දේ “සබකෝලය” නමින් චරිතයක් විදියටත් වේදිකාවට ගෙන එනවා. සළු පාලියේ යකා එක් තැනකදී ලැජ්ජාවෙන් ඉවත බලන ජවනිකාවක් තියෙනවා. ඒක දැකපු මොහොතේ හිතට දැනුණු දේ තුළින් තමයි මම මේ චරිතය නිර්මාණය කළේ..”
ආරියවංශ කුලතිලක
බොලිවුඩ් ශතකය
සිනමාවට දැඩි ලෙස ඇළුම් කරන මම ඒ අතරින් වඩාත්ම ප්‍රිය කරන්නේ හොලිවුඩ් සිනමාවටය. නමුත් මා දන්නා තරමින් අපේ රටේ වැඩිදෙනෙක් ඇතැම් විටක අපේ සිංහල සිනමාවටත් වඩා දන්නේ, හඳුනන්නේ අසල්වැසි ඉන්දියාවේ හින්දි සිනමාවයි. දැන් කලක සිට බොම්බේ හෙවත් මුම්බාය නිජ බිම කරගත් මේ සිනමාව වඩා ප්‍රචලිතව ඇත්තේ හොලිවුඩයේ අකුරක් ඉවත්කොට බොලිවුඩය ලෙසය. කෙසේවුවද බොලිවුඩය මේ නම ගත්තේ බටහිර බෙංගාලයේ සිනමාව හැඳින්වෙන ටොලිවුඩ් යන්නෙන් බව කියැවෙයි. 1932දී ටොලිවුඩය නම් ඒ නම හදාගත්තේ හොලිවුඩ් අනුකරණය කරමිනි. වර්තමානයේදී නම් ටොලිවුඩ් ලෙස හැඳින්වෙන්නේ තෙළිඟු සිනමා කර්මාන්තයයි. අනෙක හොලිවුඩ් නමින් ස්ථානයක් තිබුණද බොලිවුඩ් යන්න හුදෙක් නාමයක් පමණකි.
බොලිවුඩ් චිත්‍රපට හෙවත් හින්දි චිත්‍රපට ලංකාවේ ජනප්‍රිය වූයේ මීට කලකට පෙරය.එකල දිලිප් කුමාර්, වෛජයන්තිමාලා, සයිරා බානු, රාජ් කපූර්, ෂම්මි කපූර් ඇතුළු ඉන්දියාවේ ජනප්‍රිය නළු, නිළියන් අපේ රටේ සිනමා රසිකයන්ගේ සිහින කුමාරයන් හා කුමාරියන් වූහ. පැල් බැඳගෙන එකම සිනමා හලක මාස ගණන් ප්‍රදර්ශනය කල 'ගීත්' චිත්‍රපටයේ අපේ රටේ ප්‍රචාරක පාඨය “හද බැඳි විකසිත ආදරයේ තේමා ගීතය” වූ බව මට මතකය. ඉන් කලකට පසු රිෂි කපූර්, අමිතාබ් බච්චන්, ධර්මේන්ද්‍ර වැනි නළුවන් අපේ යුවතියන්ගේ සිහින කුමාරයන් විය. අමිතාබ් හා ජයා බහදුරී රඟපෑ අභිමාන් ප්‍රචාරක පාඨය වූයේ “ඔවුන් දෙදෙනා එක්කළේද සංගීතයයි-ඔවුන් දෙදෙනා වෙන් කළේද සංගීතයයි” යන්නය. ඒ කාලේ අපේ සිනමා රසිකයන් අභිමාන් පොරකකා නැරඹූ අතර ඒ නිසා එයද එකම සිනමා හලේ මාස ගණන් තිරගත විය. ඉන්පසු මේ මෑත කාලයේදී දිල් තෝ පාගල් හේ,කුච් කුච් හෝතා හේ හා කබි කුෂි කබි ගම් අපේ කාර්යාලයට යාබද සිනමා හලේ පෙන්වන විට මේ ලියන මම කාර්යාලයට ඒ චිත්‍රපට පෝලිම මැදින් ඇතුළුවූ ආකාරය තවමත් මට මතකය. සිනමා හලින් ඇරඹෙන පෝලිම ඒ තරමටම දිගට විහිද තිබිණ.
මේ වෙලාවේ මේ සා දිග හැඳින්වීමක් බොලිවුඩ් සිනමාව ගැන අප කරන්නේ ඇයි? හේතුව පසුගියදා ලොවම දන්නා හා ලොව පුරා රසික, රසිකාවියන් සිටින බොලිවුඩ් සිනමාව වසර සියයක් සම්පූර්ණ කළ බැවිනි. වසරකට ලොව වැඩිම චිත්‍රපට ගණනක් නිෂ්පාදනය කරන බොලිවුඩය ලොව විශාලතම නිෂ්පාදන ආයතනයන් අතරින් එකක්ද වෙයි. ඉන්දියාවේ මුලින්ම චිත්‍රපටයක් තැනුනේ 1913 දී වන අතර රාජා හරිශ්චන්ද්‍ර නම් එය පසු කලෙක සුප්‍රකට සිනමාකරුවෙකු වූ දාදා සාබ් පාල්කේ විසින් නිර්මාණය කරන ලද කළු, සුදු නිහඬ චිත්‍රපටයක් විය. ඉන්දියානු සිනමාවේ පියා ලෙස හැඳින්වෙන්නෙත් දාදා සාබ් පාල්කේ හෙවත් දුන්දිරාජ් ගෝවින්ද් පාල්කේය. හඬ සහිත පළමු චිත්‍රපටය වූයේ 1931 දී ප්‍රදර්ශනය කරන ලද අලාම් ආරාය. පළමු වර්ණ චිත්‍රපටය 1937 දී කිසන් කන්යා නමින් තිරගත විය. මෙසේ පියවරින් පියවර ඉදිරියට ආ බොලිවුඩ් සිනමාව වර්තමානයේදී විශාල පිරිසකට ආදායම් සපයන මහා වටිනාකමකින් යුතු කර්මාන්තයකි. වසරකට චිත්‍රපට දහසක් නිපදවන බොලිවුඩය වසරකට සිනමා ප්‍රවේශපත්‍ර බිලියන තුනක් විකුණයි. ඇතැම් වාර්තාවක වාර්ෂිකව නිපදවන බොලිවුඩ් චිත්‍රපට ගණන එක්දහස් පන්සියයක් ලෙසද දැක්වෙයි.
රාජා හරිශ්චන්ද්‍ර තිරගත වූයේ මැයි තුන්වැනිදාවකය. ඒ අනුව 2013 මැයි තුන්වැනිදාට බොලිවුඩය වසර සියයක් සම්පූර්ණ කළේය. මේ පිළිබඳව වාර්තාවක් ගෙනෙන වොයිස් ඔෆ් ඇමෙරිකා මාධ්‍ය ආයතනය මෙසේ කියයි.
“බොලිවුඩ් නමින් ප්‍රකට ඉන්දියාවේ අතිශයින් ජනප්‍රිය සිනමා කර්මාන්තය අද දින වසර සියය සපුරන්නේය. ඉන්දියාවේ පමණක් නොව ආසියාවේ තවත් බොහෝ රටවල්වල තම රසිකයන් සිටින බොලිවුඩය, ප්‍රේමය ගැන කතා රැගත් චිත්‍රපටවල සිට වඩා පර්යේෂණාත්මක සිනමාවක් කරා වර්තමානයේදී පා තබමින් සිටියි. එසේ වුවද බහුතරය සිනමා පිස්සන් වූ ඉන්දියානුවන්ට රසාස්වාදය සැපයීම තවමත් එහි මූලික අරමුණයි.”
සියක් වසර සපුරාලීම වෙනුවෙන් බොම්බෙ ටෝකීස්, නමින් කෙටි චිත්‍රපටයත් හතරකින් යුතු චිත්‍රපටයක් ප්‍රදර්ශනය කෙරිණි. සිනමාව කෙතරම් ප්‍රබල මාධ්‍යයක්ද යන්න පහදා දීමට මේ කෙටි චිත්‍රපට නිර්මාණය කෙරුණේ ඒක්තා කපූර්, දිබාකර් බැනර්ජි, අනුරාග් කාශ්‍යප් හා කරන් ජොහාර් විසිනි. 2013 කාන් සම්මාන උළෙලේද තිරගතවීමට නියමිත මෙය අතීත බොලිවුඩ් සිනමාවේ ශ්‍රී විභූතිය මෙන්ම බොලිවුඩයේ නව යුගයක ඇරඹුම පිළිබඳවද අපූරු සටහනක් තබයි. මේ අතරින් දිබාකර් බැනර්ජි ගේ 'ස්ටාර්' ඉතා අපූරුය. අසාර්ථක වූ නළුවෙක් තම පියාගේ මරණයෙන් පසු ජීවිතය ගැටගසාගන්නට සටන් කරයි. ඔහුගේ ලොකුම බලාපොරොත්තුව තම දියණියයි. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක දිබාකර් බැනර්ජි දෙවරක් ජාතික සම්මානයෙන් පිදුම් ලැබූවෙකි. වාර්ෂිකව බොලිවුඩ් චිත්‍රපට වෙනුවෙන් මහා සම්මාන උළෙලක් පවත්වන ෆිල්ම්ෆෙයාර් සඟරාවද වසර සියය වෙනුවෙන් විශේෂ කලාපයක් නිකුත් කළේ හින්දි සිනමාවේ යුග තුනක් එක්තැන්කොට දිලිප් කුමාර්, අමිතාබ් බච්චන් හා ෂාරුක් ඛාන් එකට පෙනී සිටින කවරයක් සමගිනි. ඉන්දීය තැපැල් දෙපාර්තමේන්තුව සියක් වසර සැමරුවේ හරියටම මැයි තුන්වැනිදා බොලිවුඩයේ සුප්‍රකට පුද්ගලයන් පනස්දෙනෙකුගේ මුද්දර නිකුත් කරමිනි. ඉන්දියාවේදී එකම අවස්ථාවක සිනමාව වෙනුවෙන් වැඩිම මුද්දර ගණනක් නිකුත් කළ අවස්ථාව ලෙසද මෙය ඉතිහාසගතවනු ඇත. බොලිවුඩ් සිනමාව වෙනුවෙන් මුලින්ම මුද්දරයක් නිකුත් කරන ලද්දේ 1971 වසරේදී දාදා සාබ් පාල්කේ ගේ රුව සහිතවය.
මේ අතර බොහෝ කලා කටයුතු සංවිධානය කරන විස්ලින් වුඩ්ස් ජාත්‍යන්තර සංගමය ඉදිරියට එන අවුරුදු සියය තුළ බොලිවුඩ් සිනමාව යායුතු මග ගැන කතා කරන්නට වැඩමුළු හා සාකච්ඡා මණ්ඩප සහිත උළෙලක් සංවිධානය කොට තිබිණි. ඒ අතර බොලිවුඩ් සිනමාව සම්බන්ධ දුලබ ඡායාරූප, පෝස්ටර් හා වෙනත් භාණ්ඩ සහිත ප්‍රදර්ශනයක්ද විය.පෝස්ටර් ගැන කියනවිට මතක්වූයේ වසර සියය නිමිත්තෙන් ලියැවුණ ලිපියක බොලිවුඩ් පෝස්ටර් ගැන තිබුණු කතාය. එහි මහත් අභිරුචියෙන් වර්ණනා කර තිබුණේ අතීතයේදී ප්‍රචාරක කටයුතු සඳහා නිර්මාණය වූ අතින් අඳින ලද පෝස්ටර්ය. අන්තර්ජාලයේ තැනක සුප්‍රකට බොලිවුඩ් චිත්‍රපට සඳහා නිර්මාණය කරන ලද එවන් අතින් ඇන්ද පෝස්ටර් අතරින් තෝරාගත් හොඳම පනහ ඇතුළත්ව තිබිණි. වර්තමානයේ දකින්නට ලැබෙන ඡායාරූප සහිතව මුද්‍රණය කෙරෙන පෝස්ටර් වල චිත්‍රපටය සම්බන්ධ ප්‍රචාරක වැකි තිබුණද මේ අතින් ඇන්ද පෝස්ටර්වල එවන් හැඳින්වීමක් ඇත්තේ කලාතුරකිනි. එහි ඇත්තේ චිත්‍රපටයේ හා අධ්‍යක්ෂගේ නම් හා නළු, නිළියන්ගේ නම් පමණකි.
බොලිවුඩ් සිනමාවට ආදරය කරන්නන් අතර ඉන්දියාවේ පසමිතුරු පාකිස්තානයේ ජනතාවද වෙයි. අනෙක් සියලු කටයුතුවලදී ඉන්දියාව පෙන්නන්නට බැරි පාකිස්තානුවෝ බොලිවුඩ් නළු, නිළියන්ට සිතින් පෙම් බඳිති. මේ ගැන පාකිස්තානු ලේඛකයෙකුගේ තීරු ලිපියක රසබර සටහනක් විය.
“සල්මාන් ඛාන් මේ වෙලාවේ මෙන්ටල් චිත්‍රපටයේ රූපගතකිරීම්වල නියැළෙන බවත්, රන්බිර් කපූර් මේ දිනවල ලන්ඩනයේ සිටින බවත්, ලොව වැඩිම බලපෑමක් ඇති පුද්ගලයන් සියදෙනා තේරූ ජාත්‍යන්තර ටයිම් සඟරාව ඒ ලැයිස්තුවට ආමීර් ඛාන්ගේ නම ඇතුළත් කළ බවත් මම දනිමි. කරීනා කපූර්ට සිතින් පෙම් කරන මම ඒ අතරම කත්‍රිනා කෙයිෆ්ටද පෙම් කරන්නෙමි. මධුරි ඩික්ෂිත් නටන දෙස ඇහිපිය නොහෙලා බලා සිටින මම කිසිදු වෙනසක් නැතිව ශ්‍රී දේවි හා අදටත් පෙමින් බැඳී සිටිමි.”
බොලිවුඩය වසර සියයක් අභිමානයෙන් සමරන මොහොතේ බොලිවුඩ් සිනමාවේ උදවිය ගැන කලකිරීමෙන් කතාකරන බොලිවුඩ් දැවැන්තයෙකුද වෙයි. ඒ පසුගියදා සිරගෙට නියමවූ සන්ජේ දත් ය.
“මම මේ වෙලාවෙ ඉන්නෙ බොලිවුඩය ගැන ලොකු කලකිරීමකින්. මා එක්ක එකට රඟපාපු ඇතැම් නළුවන් පවා මට පිටුපෑවා. අධිකරණයේ තීන්දුව අනුව බන්ධනාගාරගතවෙන්න කලින් මම භාරගත්තු වැඩ කටයුතු ඉවර කරන්න මම රෑ දවල් නැතිව මහන්සි වෙද්දි හිතවත් කියලා හිතපු ඇතැම් නළුවන් මාධ්‍යවලට කියලා තිබුණෙ මම ඒ කිසිදෙයක් නොකර ගෙදරට වෙලා විවේකයෙන් ඉන්නවයි කියලා.”
මේ කතාවට තවත් කොටසක් එකතු කරන්නේ මුල සිටම සංජේ වෙනුවෙන් පෙනී සිටි ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ මහේෂ් බට්ය.
“කලගුණ සැලකීම කියන්නෙ බොලිවුඩ්වල තියෙන වචනයක් නමෛයි.”
නිශානි දිසානායක
ජෝ ගැන ගාමිණීගෙන් වැඩිය අහන්න එපා

වසර 50 ක් පිරෙන 'සරසවිය' ගැන කතුවරයකුගේ මතක සටහන් නමා පුවත්පත් අතර අග්‍ර ස්ථානයක වැජඹෙන 'සරසවිය'ට වසර 50 සපිරුණේ මේ නොබෝදාය. 1963 අප්‍රේල් 10 වෙනි බදාදා 'සරසවිය' පුවත්පත ටැබ්ලොයිඩ් ප්‍රමාණයෙන් නිකුත් වන විට මගේ වයස අවුරුදු 16කි. මා උපන්නේ අප්‍රේල් 07 වෙනිදාවකය. 'පවුලේ කාටත් රසවිඳිය හැකි විවිධාංගයන්ගෙන් සමන්විත කලා මංජුසාවක්' ලෙස නිකුත් වූ 'සරසවිය' පුවත්පතේ මුල් කවරය ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජී.ඇල්. ගෞතමදාසයන් ගේ චිත්‍රයකින් සැරසී තිබුණි. මේ සිංහලයන්ගේ උත්සව සමයයි. උඩරට නැටුමක් නැති සිංහලයන්ගේ උත්සවය නෙළුම් මලක් නැති ජලාශයක් වැන්න. අද සරසවිය මුල් පිටුවෙහි රැගෙන එන්නේ උඩරට නැට්ටුවකුගේ නැටුම් විලාශයකි. පිටුපසින් පෙනෙන බෙර වාදකයන්ගේ බෙර තාලයට ඔහු මනහර නැටුමක යෙදෙන හැටි චිත්‍ර ශිල්පී ජී.ඇල්. ගෞතමදාස සිය තෙළි තුඩින් පැහැදිලි කරයි. යනුවෙන් කවරයේ කතාව ලියා තිබුණි.
සිනමාව හා කලාව ගැන තොරතුරු සෙවීමේ නොතිත් ආසාවකින් පසු වූ මට මේ පුවත්පත වචනයේ පරිසමාප්තයෙන්ම සරසවියක් විය. කොළඹ කොස්ගස්හන්දියේ ෙචෙත්‍යලිංගම් සුරුට්ටු කඩයෙන් ශත 25කට මිලදී ගත් සරසවිය තලු මර මරා මුල සිට අගටම කියවීමි. එහි දෙවැනි පිටුවේ වූයේ ආනන්දයේ අප සමග ඉගෙන ගත් සුනිල් මාධව ප්‍රේමතිලකගේ කුරුලු උජාරුව නම් කවි පන්තියයි. අනිත් ලිපි අතර ආර්. පල්ලවෛල සතුන් ගැන ලියූ උපහාස ලිපි මාලාවක මුල් ලිපියයි. මගේ මතකය හරි නම් එය කපුටා ගැනය. එහි එක වැකියක් මට මතකය. කපුටාගේ ජීවිතය ගැන බැලුවොත් එය හොර කඩකාරයන්ගේ ජීවිතයට බොහෝ සෙයින් සමාන වෙයි. විකුණුවාට වඩා සැඟවීම සිරිතයි. කපුටා කනවාට වඩා වැස්සෙන් සඟවා තබයි. සරසවිය මංගල කලාපයේ පළ වූ ලිපි අතර වෝල්ටර් සේනාධීර ලියූ මිනිස් කිඹුල් පොරේ, පූර්වාචාර්ය ලියූ උතුරු මිතුරු, තිස්ස ගුණතිලක ලියූ 'හිට්ලර්ට ගිය කල', බාසුරු ලියූ 'කිරිබත් බලිය', මීමන ප්‍රේමතිලක මැද පිටුවට ලියූ 'එරබොදු මල් පිපෙන සමය', විලියම් අල්විස් ලියූ 'අපට වැළඳෙන ලෙඩ' යන ලිපි ප්‍රධාන තැනක් ගනී. 'පුණ්‍යා ඉගෙන ගනී. උගන්වයි. විවාහ වෙයි. ඈ දෙලොවක් අතර ජීවත් වෙයි. ළඟදී තිරගතවන 'සිකුරු තරුව' චිත්‍රපටයේ පින්තූර සමග පළ වූ 'සරසවිය තිරය' විශේෂාංගය පුණ්‍යාගේ අලුත්ම පින්තූරවලින් අලංකාර වී තිබුණි. ඡායාරූප නිමල් පෙරේරා (අභයවර්ධන) ගෙනි. සරසවිය
වේදිකාව විශේෂාංගයෙන් දයානන්ද ගුණවර්ධනගේ 'බක්මහ අකුණු' වේදිකා නාට්‍යයේ ඩැනියෙල් මුතුමාලගේ ඡායාරූපයක් සමග 'නාකි මනමාලයා පෙම් කරයි' යන උප ශීර්ෂ පාඨය යොදා තිබුණි. එහි ප්‍රධාන ශීර්ෂය වූයේ බක්මහ අකුණට වේදිකාව කැරකේ යන්නය. 'කරුමක්කාරි' නමින් චිත්‍රකතාවක මුල් කොටස පළවී තිබුණි. එහි කතාව කොත්මලේ තිලකගෙනි. චිත්‍ර - අමුණුගොඩ ජයවර්ධනගෙනි. සරසවියගේ වෛවර්ණ පින්තූරයක් ද එදා 'සරසවිය' සමග නොමිලයේ බෙදා දෙන ලදී.
'සරසවිය'ට පෙම් බැඳි මා සෑම බදාදාවකම නිකුත් වූ එම පුවත්පත මිලදී ගෙන එකතු කිරීමට පුරුදු වුණෙමි. ක්‍රමයෙන් සරසවියේ උසස්, උසස් ලිපි විශේෂාංග පළවන්නට විය. එය අපේ රසවින්දනයට බෙහෙවින් ඉවහල් විය. එඩ්වින් ආරියදාස, බෙනඩික්ට් දොඩම්පෙගම, ඩයස් ගුණරත්න, ලක්ෂ්මන් වික්‍රමසිංහ, සෝමවීර සේනානායක, පර්සි ජයමාන්න, ආනන්ද විජයවීර, රෙජී රණසිංහ, ජස්ටින් විජේවර්ධන ආදින්ගේ ලිපි මේ අතර කැපී පෙනුණි.
1964 සරසවිය චිත්‍රපට උළෙල මුල්වරට පවත්වන ලද්දේ මගේ නිවසට යාබද අසෝකා සිනමා හලේදීය. ගැලරි ආසනවල මුලින්ම ටිකට් පත් මිලදී ගත් මිතුරෝ කිහිපදෙනෙක්ම මා සමග විය. සම්මාන උළෙල ගැලරියේ සිට බැලීමට ලැබිම මගේ භාග්‍යයක් කොට අදත් මම සළකමි.
මටත් මේ වගේ සම්මාන උළෙලක් කරන්න අවස්ථාවක් ලැබෙනවා නම්... මා කී විට මගේ ගැලරි මිතුරෝ සිනාසුණහ.
මම කවද හරි සරසවිය පත්තරේ වැඩට යනවා. ඒ රස්සාව නොලැබුණොත් ගෙදර ඉන්නවා. මම හිතුවක් කී විට මිතුරෝ මා ධෛර්යමත් කළහ. මගේ බලාපොරොත්තු ඉටු කරමින් හරියටම 'සරසවිය' පුවත්පත අරඹා වසර හයකින් මට එයට සම්බන්ධවීමේ භාග්‍යය උදා විය.
මගේ පියාගේ ඉතාමත් සමීප හිතවතෙකු රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඉල්ලීම පරිදි ලේක් හවුස් අධිපති රංජිත් විජේවර්ධන මහතාගේ උපකාරයෙන් මට 'සරසවිය'ට බැඳීමට අවස්ථාව සැලසුණි.
සභාපති විජේවර්ධන මහතා, මා සරසවිය ප්‍රධාන කර්තෘ විමලසිරි පෙරේරා මහතාට යොමු කළේය. ඒ වනවිට සරසවියේ නිත්‍ය උප කතුවරයන්ව සිටි ලක්ෂ්මන් වික්‍රමසිංහ, සෝමවීර සේනානායක හා පර්සි ජයමාන්න දැන සිටියෙමි.
විමලසිරි පෙරේරා මහතා මාව සම්මුඛ පරීක්ෂණයකට යොමු කරන ලදී.
තමා දැන් හිතන්න සත්‍යජිත් රායි ලංකාවට ඇවිත් කියලා. සත්‍යජිත් රායි ගැන දන්නවද?
ඔව්
මම තමයි සත්‍යජිත් රායි. මගෙන් ඉංග්‍රීසියෙන් ප්‍රශ්න කරන්න.
මම ප්‍රශ්න කිහිපයක් හිතින් හදා ගතිමි. මම ප්‍රශ්න කිහිපයක් ප්‍රධාන කතුවරයාට යොමු කළෙමි. ඔහු උත්තර නොදෙයි.
ගුඩ්... දැන් අර මේසෙ ගාව ඉඳගෙන මේ පත්තරයේ මුල ජේදය සිංහලයට පරිවර්තනය කරන්න. විමලසිරි මහතා ඩේලි නිවුස් පත්තරේ කර්තෘ වාක්‍යය පිටුව පෙරළා මට දුන්නේය. විනාඩි පහකින් පරිවර්තනය නිමකොට ඩිමයි කඩදාසි කොළ කිහිපය ඔහු අතට පත්කළෙමි. මා දෙස රවා බලා සිනාසුන ඔහු අතන ඉන්න ලක්ෂ්මන් වික්‍රමසිංහ මහත්තයා ළඟට යන්න. එයා කියල දේවි වැඩ කරන හැටි කීවේය.
එදා සරවියේ විශේෂාංග ලිවීමේ කාර්යයට මුල් පාඩම ලක්ෂ්මන්ගෙන් ඉගෙන ගතිමි.
ටික දවසකින් ලක්ෂ්මන්, මට ගාමිණී ෆොන්සේකාගේ විශේෂාංගයක් ලිවීමට අවස්ථාව ලබා දුන්නේය.
ඔයා ගාමිණීව හම්බවෙලා 'වැලිකතර' ගැන ආටිකල් එකක් ලියන්න. එකක් මතක තියාගන්න ජෝ අබේවික්‍රම ගැන වැඩිය අහන්න එපා. ඒ දෙන්නා මේ දවස්වල අමනාපෙන් ඉන්නේ කාගේ දෝ කේලමක් අහල.
ගාමිණී හමුවී කරන මුල්ම සම්මුඛ සාකච්ඡාවයි මේ. මම ප්‍රශ්න අසමි. ඔහු පිළිතුරු දෙන්නේ ඕනෑවට එපාවටය. ඒවාත් කෙටි පිළිතුරුය. මේ කෙටි පිළිතුරුවලින් මට විශේෂාංගයක් ලිවිය හැකිද? වැලිකතර චිත්‍රපටයේ ඔහු රඟ පෑ වික්‍රම රන්දෙනිය නම් උප පොලිස් අධිකාරිවරයාගේ චරිත නිරූපණය ගැන වුවත්, මා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේත් සුළුවෙනි. ඔහු කුපිත කර හෝ පිළිතුරු ලබාගත යුතු යයි මම සිතුවෙමි.
ඔබ ජෝ අබේවික්‍රම රඟපාන ගෝරිංගේ චරිතය දකින්නේ කෙසේද?
මගේ ප්‍රශ්නයෙන් ඔහු දුම්වැටිය කිහිපවතාවක් උරා එළිමහනට විසිකොට හාන්සි පුටුවේ දිග ඈදුණේය.
ජෝ අතිවිශිෂ්ට ගණයේ නළුවෙක්. ඔහුගේ හොඳම රඟපෑම මා දුටුවේ වැලිකතරෙන්.
මගේ යටි සිත සිනාසෙයි. තව ප්‍රශ්න කිහිපයක් අසා මම ගාමිණීගෙන් සමුගතිමි. කාර්යාලයට ගිය මා විශේෂාංගය ලියා ලක්ෂ්මන් අතට පත්කළෙමි. ලිපිය බලා ඔහු ප්‍රධාන කර්තෘගේ කාමරයට ගියේය. ඔහු ලිපිය කියවාගෙන ගොස් මා කාමරයට කැඳවීය.
ගාමිණී ජෝ ගැන කිව්ව කතාව ඇත්තද?
ඔව්.
බොරු නං මල කෙළියයි. ඔහු බොරු තරහක් මවාගෙන උපනෙත් යුවළ යටින් මා දෙස බැලීය.
ලක්ෂ්මන් මාගේ විශේෂාංගයට අවශ්‍ය පින්තූර තෝරා මැද පිටුව ඒ සඳහා තෝරා ගත්තේය.
ජෝගේ විශිෂ්ටම රඟපෑම මා දුටුවේ වැලිකතරෙනි. ගාමිණී කියයි.
ලක්ෂ්මන් හෙඩිම දැම්මේය. පත්‍රය මුද්‍රණය වී මුල් පිටපත බැලූ කතුවරයා කට පුරා සිනාසෙමින් යළිත් මට කාමරයට අඬ ගැසීය.
වැඩේ නැගල යනවා. හෙට පත්තරේ පිට වුණාමයි මළ ජූලියක් වෙන්නේ. වැඩේ වැරදුණොත් මේකව එල්ලන්න වෙන්නේ. ගාමිණිගේ හැටි දන්නවනේ
එකල 'සරසවිය' පිටපත් එක් ලක්ෂ පහළොස්දාහක් පමණ අලෙවි විය. පසුදා කතුවරයාට එන හැම ටෙලිෆෝන් ඇමතුමකින්ම මම තිගැස්සුණෙමි.
රන්ජිත්ට කෝල් එකක්.... කතුවරයාට ලැබුණු දුරකථන පණිවුඩයකට පසු සිනාසෙමින් මා ඇමතීය.
මම ගාමිණී. ඔහේගේ ආටිකල් එක හොඳා. විවේක තියෙන වෙලාවක ෆෝන් කරල එන්න.
හොඳයි මම කීවෙමි.
පුදුමයි, ගාමිණී හොඳක් කිව්වා කතුවරයා කීවේය.
ගාමිණී සමග දිගුකාලීන මිතු දමක ඇරඹුම එය විය.
සරසවියේ වැඩ කිරීම කොයිතරම් සුන්දරදැයි වසර 25ක් අඛණ්ඩව සේවය කොට ලබාගත් අත්දැකීම් ඇසුරෙන් මට කිව හැකිය. එහි උප කතුවරයකු, ජ්‍යෙෂ්ඨ උප කතුවරයකු මෙන්ම සරසවිය කර්තෘ ලෙස (1989-1994) කටයුතු කිරීමෙන් මම උපරිම සතුටක් ලැබුවෙමි.
ප්‍රධාන කර්තෘව සිටි විමලසිරි පෙරේරා මහතා පිළිබඳව රසවත් තොරතුරු රැසක් ඇතත් සිද්ධි දෙකක් පමණක් මගේ මතකයට එයි.
විමලසිරි මහතාට කේන්ති ගිය එක් අවස්ථාවක් මුලින් කිව යුතුය. එක් චිත්‍රපට නිෂ්පාදකවරයෙක් තම චිත්‍රපටයට ලැබුණු ප්‍රචාරය මදි බව කියා කතුවරයාට මැසිවිලි නැගුවේය. ඒ චිත්‍රපටය ගැන විශේෂාංගයක් ඒ සතියේ සරසවියට ලියුවේ මා විසිනි.
රන්ජිත් ඔය සරසවියත් අරං මෙහෙ එන්න.
ඔහුට හොඳටම කේන්ති ගොස් ඇති බව ඒ හඬෙන්ම මට අවබෝධ විය.
කෝ මෙයාගේ චිත්‍රපටය ගැන ලියපු එක...
මම පත්‍රය පෙරළා විමලසිරි මහතාට දුනිමි.
මීට වඩා තව මොනවද? මේකත් වැඩියි. විමලසිරි මහතා කීවේය.
නෑ... මම කිව්වේ... තව පින්තූර ටිකක්... නිෂ්පාදකවරයාට කියා ගත හැකි වූයේ එපමණකි.
තමුසෙ මගේ පුටුවේ ඉඳගෙන පත්‍රය කරනවා. විමලසිරි මහතා සිය අසුනෙන් නැගිට කීවේය.
ඔහු කාමරයෙන් පිටව ගියේය. ඔහු ඉන්පසු 'සරසවියට' ගොඩවූයේ නැත.
එයා චෙයාමන්ගෙ හොඳ යාළුවෙක්. ගිහිල්ලා කියපු දෙන්. විමලසිරි මහතා එඩිතරව මට කීවේය.
විමලසිරි මහතාගේ හිත උණු වූ අවස්ථාද මා දැක ඇත.
1970 දෙසැම්බර් මාසයේ එක් දිනක හිටි හැටියේම චිත්‍රපට නිෂ්පාදක චිත්‍රා බාලසූරිය විමලසිරි මහතාගේ කාමරයට ඇතුළු විය. ඔහු කියන දේ අසා සිටි විමලසිරි මහතාගේ මුහුණ වෙනස්වන අයුරු වීදුරු අතරින් මට පෙනුණි.
රන්ජිත් යැයි මා තම කාමරයට කැඳවූ ඔහු මේපාර මැද පිටු දෙකට මොනවද ලියන්නේ? ඇසීය.
ඒක නවත්වන්න. මේ චිත්‍රා ඇවිත් ඉන්නේ අපෙන් උදව්වක් ඉල්ලගන්න. 'තුංමං හන්දිය' හෝල්වලින් ගලවන්න සූදානම් කරලලු. මහගමසේකරගේ චිත්‍රපටයට අපි මේ වෙලාවේ උදව් කරන්න ඕනෑ. චිත්‍රා එක්ක කතාකරලා මැද පිටුවට හොඳ ආටිකල් එකක් කරන්න.
ඒ විමලසිරි පෙරේරා මහතාගේ හැටිය.
සරසවියේ කටයුතු කරද්දී මගේ මාර්ගෝපදේශකයා හා උපදේශකයා වූයේ සෝමවීර සේනානායකය. පුවත්පත් කලා ජීවිතයේ මගේ ගුරුවරයාද ඔහුය.
'සරසවිය' අරඹන විට එයට සුදුසු නමක් සොයාගැනීමට අපහසු වී ඇත. පත්‍රයට දැමීමට සුදුසු නම් ලැයිස්තුවක් ලියාගෙන මීමන ප්‍රේමතිලක මහතා විමලසිරි මහතාගේ බොරලැස්ගමු නිවසේ මිදුලේ දෙල්ගහ යට කතා කරමින් සිටි අවස්ථාවක හක්ගල්‍ලේ පී.කේ.ඩී. සෙනෙවිරත්න කවියා එහි පැමිණ ඇත. පී.කේ.ඩී., මීමනගේ අතේ තිබූ නම් ලැයිස්තුව අතට ගෙන, මීට වඩා හොඳ නැද්ද සරසවිය කියන නම කියා තිබුණි. ඒ නම පත්තරේට හැම අතින්ම සුදුසු යයි බඹරැන්දේ සිරි සීවලි හිමියෝ අනුමත කළහ.
සරසවිය පත්‍රයේ ආරම්භක ප්‍රධාන කර්තෘ මීමන ප්‍රේමතිලකය. මීමන 1965 ලියූ මගේ ප්‍රේමය කලාව හා ජීවිතය' නම් කෘතියේ මේ ගැන මෙසේ සඳහන් වෙයි.
'සරසවිය රංජිත් විජේවර්ධන මහතාගේ අදහසක ප්‍රතිඵලයකි. එහි කර්තෘ පදවියට මා තෝරා ගනු ලැබිය. මට සහායකයකු වශයෙන් විමලසිරි පෙරේරා තෝරා ගන්නා ලදී. නැකතට පළමුවැනි අත්පිටපත වර්ණ යෝජකයින්ට යැව්වේ මා නමුත් 'සරසවිය' සම්පූර්ණයෙන්ම පිටකළේ විමලසිරි පෙරේරාය.
රංජිත් විජේවර්ධන මහතා මා කැඳවා මෙසේ ප්‍රශ්න කළේය.
සරසවියේ පියා ඔබයි. විමලසිරි ගැන හිතන්නෙ මොකක්ද?
විමලසිරි සරසවියේ කර්තෘ හැටියට පත්කරන්නට තිබුණේ මීට ඉහතදීයි. මම කීවෙමි.
ඒ අනුව සරසවියේ ප්‍රධාන කර්තෘ විමලසිරි පෙරේරාය.
ඒ වනවිට මීමන ප්‍රේමතිලක සිළුමිණ ප්‍රධාන කර්තෘවරයා ලෙස පත්වීම ලබා තිබුණි.
සරසවිය පුවත්පතට 50 වසර පිරීම නිමිත්තෙන් මම හෘදයාංගවම සුබ පතමි. මා එහි ප්‍රධාන කතුකම කරද්දී උපාලි කොළඹගේ (රාවය පත්‍රයේ නියෝජ්‍ය කර්තෘ) නම් මා සමග එකම පන්තියේ ඉගෙනුම ලැබූ මිතුරාගේ රෙකමදාරු මත අරුණ ගුණරත්න නම් තරුණ ලේඛකයා සරසවියේ විශේෂාංග ලේඛකයකු ලෙස (1989) මම තෝරා ගත්තෙමි. සිනමාව ගැන බොහෝ ඇසූ පිරූ තැන් ඇති ඔහු අද 'සරසවියේ' ප්‍රධාන කර්තෘවරයාය. එය මා ලැබූ විශිෂ්ට ජයග්‍රහණයකි. අරුණ විසින් මට හඳුන්වා දුන් ප්‍රවීණ පුවත්පත් කලාවේදී සුනිල් මිහිඳුකුලගේ විශේෂාංග එදා සරසවියට ආලෝකයක් විය. සුනිල් පසුකාලීනව සරසවියේ ප්‍රධාන කතුවරයා විය.
අප සමග දිගු කලක් සහෝදරත්වයෙන් උප කතුවරුන් ලෙස සේවය කළ අනුර රාජගුරු බණ්ඩාර, දීප්ති ෆොන්සේකා, සුසිල් ගුණරත්න සරසවියේ මුල් පුටුව හෙබ වූහ. ඔවුන්ගේ සම්ප්‍රාප්තිය අපට සතුටකි. ආනන්දයකි.
චිරං ජයතු - සරසවිය
ඒ.ඩී. රන්ජිත් කුමාර
නූතන සිංහල කෙටිකතාවේ සම්භවය හා සමාජ සත්තා යථාර්ථවාදය
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ “ගැහැනියක්” කෙටිකතා සංග්‍රහයට වසර 90යි
විසිවන සියවසේදී රුසියන් ප්‍රංශ ලේඛකයන් අතින් පෝෂණය වී වැඩුණු යථාර්ථවාදී කෙටි කතාව ලංකාවේදී මල්ඵල දරා වැඩීම ආරම්භ වූයේ 1924 වර්ෂයේදීය. ඒ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 'ගැහැනියක්' කෙටිකතා සංග්‍රහය නිකුත් වීමත් සමගය. ප්‍රථම සිංහල යථාර්ථවාදී කෙටිකතා සංග්‍රහය වන 'ගැහැනියක්' මුද්‍රණයෙන් පිටවී මේ වසරට අවුරුදු 90ක් සම්පූර්ණ වෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
සිංහල කෙටි කතා වංශයේ ස්වර්ණමය මුද්‍රිකාව සටහන් වන්නේ මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත 1924 දී පළ වූ ගැහැනියක් කෙටිකතා සංග්‍රහය මතය. එයට විශේෂ වූ හේතුව වූයේ යථාර්ථවාදී රීතියෙන් විරචිත ප්‍රථම සිංහල කෙටිකතා සංග්‍රහය ලෙස ගැහැනියක් අබිසෙස් ලැබිමය. මතෛක් පැවති වාර්තාමය කතා ෙශෙලියෙන් ඔබ්බට ගොස් සමාජයේ පවත්නා යථා තත්ත්වය තුලනාත්මකව ග්‍රන්ථාරූඪ කරන්නේ කතාවේ චරිතයන් පාඨකයා හමුවට පැමිණවීමෙනි. චරිත විනිශ්චය හා විග්‍රහය කතුවරයා සතුව තිබූ මුෂ්ටියක් වූ අතර විකුම්සිහයෝ එය පාඨකයා සතු නිදහස් අයිතියක් බවට පත් කළහ.
සමාජ සත්තා යථාර්ථවාදය පිළිබඳ ප්‍රථම අදහස ඉදිරිපත් කරනුයේ මැක්සිම් ගෝර්කිය. ඒ 1934 දී පැවති සෝවියට් ලේඛකයන්ගේ මහා සම්මේලනයේදීය. එහිදී ඔහු සමාජ සත්තා යථාර්ථවාදය විග්‍රහ කරනුයේ පහත පරිදිය.
“සමාජ සත්තා යථාර්ථවාදය සත්වයාත් ක්‍රියාවත් එකක් ලෙස සලකයි. ජීවත්වීම උත්පාදක ක්‍රියා විශේෂයෙකි. ඒ ක්‍රියා විශේෂයෙහි අරමුණ මිනිසුන්ගේ පුද්ගල වාසනා ගුණයන් ගේ අවිච්ජින්න විකාශයයි. ඒ විකාශයෙහි ඵල වශයෙන් මිනිස්සු ප්‍රකෘතිය අතවැසි කොට ගනියි.”
එහි පරමාධ්‍යාශය වන්නේ මානව හිතවාදයයි. වික්‍රමසිංහයන් යථාර්ථවාදී රීතියේ කතා රචනා කරන කාලයේ සමාජ සත්තා යථාර්ථවාදී රීතිය සාහිත්‍ය නම් මව් කුසෙහි පිළිසිඳගෙන ද නොතිබුණි. ඒ
පිළිබඳව හෙළයේ අප මහා ගත්කරුවාණන් සිය සිංහල විචාර මග කෘතියේ සඳහන් කරන්නේ මෙසේයි.
“මම මගේ ගැහැනියක් කෙටි කතා පොත 1924 දී ලියා පළ කළෙමි. ඒ කාලයෙහි සමාජ සත්තා යථාර්ථවාදය යන සාහිත්‍ය මතය රුසියාවෙහිද නොවීය. මාක්ස්වාදය පවා ලංකාවෙහි ප්‍රචාරය නොවී යයි සිතමි. සමාජ සත්තා යථාර්ථවාදයට නිදසුන් කළ හැකි කතා දෙකක් ගැහැනියක් පොතෙහි ඇත. එකක් ගැහැනියක් කතාවයි. අනෙක “මව” නමැති කතාවයි.
මෙම කෙටි කතා සංග්‍රහයේ එන පළමු කතාව බේගල් ය. මෙහි දිග හැරෙන්නේ පැරණි ගමෙහි සුලබ චරිතයක කතාවයි. කනට වැටෙන අංශු මාත්‍රික පුවතක් සිය ගුණයෙන් රස ගන්වා කඩපිල්වල කියා ඇවිදින මොහු සෑම ගමකම ජීවත් වූවෙකි. එහෙත් ගැමියෝ ඔහුගේ කතාවලට සවන් දුන්නේ ඒවා ඉඳුරා පිළිගන්නා අදහසින් නොව හුදු විනෝදාස්වාදය උදෙසා ය. එහෙත් පොත් පත් ආදී තාක්ෂණය දියුණු වත්දී බේගල් ගේ චරිතයද කමෛන් වියැකිණි. එකී චරිතයක් වස්තු කරගෙන රචිත මෙම කතාව පැරණි වාර්තා ෙශෙලියට නෑකම් කියන්නකි. පාඨකයාට චරිතය විග්‍රහ කර ගැනීමට විනිශ්චය කිරීමට ඉඩ නොතබා කතුවරයා ඉදිරිපත් වී චරිත විග්‍රහයක යෙදෙයි.
“අන්දෝ අයියා හෙවත් බේගල් අවුරුදු හැටක් පමණ වයස් වූ කළු පැහැති සවි ඇති සිරුරකින් යුත් මිනිහෙකි. නොවැටුණු දත් ඇති කටකින් යුත් ඔහුගේ හිසෙහි හෝ මුහුණෙහි හෝ පැසුණු කෙස් ගසකුදු නොදක්නා ලදී. කපුටු පිහාටු මෙන් දළ රැවුලකින් වැසුණු ඔහුගේ නිකටත්, කොපුල් යුවළත්, උඩු තොලත් නිසා ඔහු නිතර බඳින වෙස් මුහුණක් ඇත්තකු සේ පෙනිණි. සරමක් ඇඳ තවත් සරමක් එකාංශ කොට දමාගෙන සිටියද ගෙදරදී නම් ඔහු උඩු කයෙහි එක් අංශයකුදු නොවසයි. ඔහු ගමන් කරන කල දකුණු කකුලේ ඇට සන්ධියක් බැණ නැගෙයි. ඒ හ¾ඩින්ම ගමේ කවුරුත් දකින්ට පෙර ඔහු හඳුනා ගනිති. සවිඇති දේහයක් ඇතත් ඔහු අත පය වෙහෙසෙන වැඩක් කිරීමට අසතුටු අලසයෙකි.
කුවේණීහාමි කතාව මෙහිලා විශේෂ ය. මන්ද යත් කුලය, බලය, ධනය වැනි සාධකයන්, සමාජ විෂමතාව, දුගී ජනයා මත ඇති කරන පීඩනය හෙළි කරන්නට යත්න දරනා කතාවක් බැවිණි. මනුෂ්‍යත්වය මුදලට හා බලයට පරාජය වන අයුරු මූර්තිමත් කෙරෙන කුවේණිහාමි කතාව මඳක් විමසීම වටී.
කුවේණිහාමි යනු නගරයට සංක්‍රමණය වූ තරුණියකි. නගරයේ ධනවත් නිවසක ආයා කෙනෙකු ලෙස සේවයට පැමිණි මැය එම නිවසට නිතර ආ ගිය ධනවත් තරුණයෙකු හා පෙමින් බැඳෙයි. පේමතෝ ජායතී සෝඛෝ යන බුදු වදන සිහි ගන්වමින් මෙතැන් සිට කුවේණිහාමිගේ ජීවිතය ඇදෙන්නේ අඳුරක් කරාය. ඉහත කී තරුණයා නිසා ඇය ගැබ් ගන්නීය. සියල්ල මුදලින් මැනෙන ලෝකයක ඇය කුස ඔත් දරුවාගේ වටිනාකම වූයේ රුපියල් දෙසීයකි. අවසන කුංජි රාමන්ගේ මරණය පිළිබඳ නඩු විභාගයේදී ඇයව ජූරිය හමුවට පැමිණ වූ කල එහි නායක ජූරි සභිකයා වූයේ පළමුවම ඇයව අසරණ කළ ධනවත් තරුණයායි. ඇගේ මරණ දඬුවම ප්‍රකාශයට පත් කළේද ඔහුය. එහෙත් සත්‍ය ලෙසම ඔහු විසින් ඇගේ මරණ දඬුවම ප්‍රකාශයට පත් කරන ලද්දේ මින් වසර ගණනාවකට පෙර ඇයව අනාථ කළ මොහොතේදීය. කුවේණිහාමි කතාවේ නඩුකාරයා පමණක් නොව සමස්ත නීති ක්‍රමයම උපහාසයට ලක් කෙරෙයි.
මෙහිදී වික්‍රමසිංහයන් මනුෂ්‍ය ජීවිතයේ නිසරු බව, එහි ශෝචනීය බව මෙන්ම භයානකත්වයද යම් සමාජ චාරිත්‍රයන්ගේ නිර්දය බව හා කුහකත්වයද නාගරික අසරණයන්ගේ ජීවිතවල සදාකල්හිම පවත්වනා අන්ධකාරයද කුවේණි හාමි තුළ පිඬු කොට දක්වයි. මනුෂ්‍ය වර්ගයා වෙත තිබිය යුතු මානව දයාව මානව භක්තිය යනාදී යහගුණ මුදල හා බලය තුළ දිය වී යන අන්දම මොනවට විශද කරන කුවේණිහාමි සාර්වත්‍රික කෙටි කතාවකි.
සිංහල සංස්කෘතික හා සභ්‍යත්වය ගොඩනැගුණේත් එකිනෙක වියුක්ත නොවී බැඳ තබනු ලැබුවේත් බුද්ධාගම නමැති ශක්තිමත් වූත් සුමට වූත් හුය විසිනි. වසර දෙදහස් පන්සියයක් තුළ සිංහල ජනකාය ලොව තුළ ස්වකීය අනන්‍යතාව ගොඩනගා ගන්නා ලද්දේ බුදු දහමත් සමගය. එහෙත් විදේශාක්‍රමණ කිහිපයකට මුහුණ දුන් ලාංකේයයන් වෙතින් ගිලිහී ගියේ සිය සමුපකාරික ජීවන රටාවයි. ඒ වෙනුවට එතැනට පැමිණියේ ධනය බලය මූලික කරගත් ජීවන ක්‍රමයකි. එහි අනිටු ඵල විපාක නිදහසින් පසුවත් අපි අත්විඳිමින් සිටිමු. එදා මාර්ටින් වික්‍රමසිංහයන් නිදහස ලැබිමටත් වසර 24කට පෙර තම ඉසිවර නුවණින් දක්නා ලද්දේ එම රුදුරු අනාගතයයි. එය වැටහෙන නුවණ මිස අනෙකක් නොවේ.
අප ගත්කතුවරයාණන් ඔහුගේ ගැහැනියක් කෙටි කතා සංග්‍රහයේ අන්තර්ගත කතා පිළිබඳව එහි කතා ප්‍රවේශයේ දක්වන්නේ මෙවන් අදහසකි.
මෙහි හැම කතා වස්තුවක් ජීවිතයෙහි දුෂ්කර වූ අවස්ථාවන්ට මුහුණ පෑමට සිදු වූ ස්ත්‍රීන්ගේත් පුරුෂයන්ගේත් ක්‍රියාකලාපයන් ඔවුන්ගේ ඒ ක්‍රියාවන්ට තුඩුදුන් චිත්ත ෙචෙතසික ධර්ම සමාජ චාරිත්‍ර යනාදියද නිරූපණය කරයි.
සමාජ සත්තා යථාර්ථවාදයේ පරම අරමුණ වන මානව හිතවාදය කුමක්දැයි ‘මව‘ කෙටිකතාව කියවන පාඨකයාගේ බුද්ධීන්ද්‍රියට නොව හෘද්‍රීන්ද්‍රියට සියුම්ව දැනවෙයි.
“අනේ මගේ දුව මට නැතිවාට කමක් නැහැ. පුංචි එකාට ඒක උයලා දීපන්. ඌ අඬනවා ඇහෙන විට මගේ පපුව පැලෙන තරම් දුකයි. අපි පූරුවේ පව් කරලා ඉපදීලා තියෙනවා.”
බත් ඉල්ලමින් සැමී හඬනායුරු අසන අම්මාගේ දාරක ප්‍රේමය පෙරහන් කඩක් හරහා ගලා එන තෙලිත්තකි. බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණයට පමණක් දෙවැනි වන මව් සෙනෙහස ඇගේ කෘශ වූ කයේ ඉතිරිව ඇති සෑම රුහිරු බිඳක් පාසා කා වැදී තිබෙන යුරු විකුම්සිහයන් ප්‍රකාශ කරනුයේ පාඨක දනන් හද කම්පා කරන ලෙසිනි.
“රෝගාතුර ස්ත්‍රිය දුටු අන්දිරිස් මුදලාලි තුළ අනුකම්පාවක් මෙන්ම මහත් වූ බියකුත් පිළිකුලකුත් හට ගත්තේය. මරණ දුක සිය ගුණයකින් වැඩිව ඔහුට හැඟෙයි. මරණ බිය නිසා ඔහු තුළ හට ගත්
පිළිකුලත් වේදනාවත් මහත් වීය. රෝගාතුර අසරණ ස්ත්‍රිය කෙරෙහි ඔහුගේ හද තුළ පහළ වූ අනුකම්පාව. ඒ එක්කම ඔහු තුළ හටගත් බිය හා පිළිකුල යන ගණදුර මැද කනාමැදිරි එළියක් සේ බැබළිණි”.
මනුෂ්‍යයා තුළ පවතින ෙචෙතසිකයන් මීටත් වඩා යථාර්ථවාදීව නිරූපණය කළ හැකිද යන්න ගැටලුවකි. එකක් පරයා එකක් වශයෙන් නැගෙන සිඳු රළ මෙන් මිනිස් සිත් සයුරේ නැගෙන ෙචෙතසික දළ රළ පෙළ එකක් අභිබවා එකක් ලෙස නැගෙන අයුරු උත්කර්ෂයට නංවන මේ උපුටනය මිනිස් චිත්ත ස්වභාවය හඳුනා ගන්නට සැපයූ අත් වැළක් බඳුය.
බොහෝ විට මිනිසුන් හා නොමිනිසුන් තනන්නේත් නසන්නේත් සමාජයයි. තම වරදින් වරදට පෙළඹෙන පුද්ගලයෝ ලොව දුලබය. සමාජ අකාරුණිකත්වය මිනිසුන්ව වරදට
පොළඹයි. සැමී පත්වූයේද මෙවන් විපතකටයි. තම මවගේ කාරුණික භාවය මුග්ධකමක් ලෙස සැලකූ සමාජය දුටු සැමී නරුමාලාප දොඩන නරුමයෙක් වීම අරුමයක් නොවේ.
මා තුළ කරුණාවක් තියෙන්නේ තිරිසනුන්ටත්, පොඩි ළමයින්ටත්, මෝඩයන්ටත්, පිස්සන්ටත් පමණයි. ඔව්. අනු මම කියන්නේ ඇත්ත තිරිසනුන්ටත්, මෝඩයන්ටත්, පිස්සන්ටත් මම ආදරෙයි මගේ මේ ජීවිතයත් මට පේන්න බැහැ.
විකුම්සිහයන්ගේ ගැහැනියක් හි කතා කියවන පාඨකයා පිවිසෙන්නේ අපූර්ව මන:කල්පිත ලොවකට නොව මතෛක් මසැසින් දැක අවබෝධය නොලද මුත් මනැසින් දැක අවබෝධ කරගත යුතු වාස්තවික ලොවකටය. අප ජීවත්වන සමාජයේ එදිනෙදා වන සිදුවීම් පවත්නේ දාමයක් ලෙසය. එහෙත් අප දකිනුයේත් විග්‍රහ කර ගනු ලබන්නේත් එම සිදුවීම් එකිනෙක වෙන් වෙන්වය. එහෙයින් ඒවා හුදෙකලා සිද්ධි මිස අනේයාන්‍ය සම්බන්ධ හා අවිච්ඡින්න සිද්ධි ලෙස ඒවායේ විචිත්‍රත්වය හා ගැඹුර අප මසැසින් ගිලිහී යයි. එහෙත් වික්‍රමසිංහයන් ඒවා මනැසින් දැක ග්‍රන්ථාරූඪ කර තිබිමෙන් අපට මග හැරෙන දෑ වුවද දැක එහි සුන්දරත්වයත් බියකරු හා ගුඪ පක්ෂයත් අවබෝධ කර ගැන්මට ඉඩ ප්‍රස්ථා සැලසී ඇත.
ගැහැනියක් කෙටි කතා සංග්‍රහයේ එන කතා පිළිබඳව සිය උපන්දා සිට කෘතියෙහිලා දක්වන කියුමකි. මේ කියුම යථොක්ත අදහස සනාථ කෙරෙන්නෙකි.
‘මගේ ගැහැනියක් කෙටිකතා පොත පිට වූයේ මිරිඟුවට අවුරුද්දකට පෙරයි. එහි කතාවලට වස්තු වූයේ ගැමි ජීවිතය පිළිබඳ මගේ සුහද අත්දැකීම් කිහිපයකි. එතෙක් අනික් එකම පොතකුදු ලිවීමෙන් නොලත්
සන්තෝෂයක් මම ගැහැනියක් පොතේ කෙටිකතා ලිවීමෙන් ලැබිමි. මා එතෙක් ලියූ කතාවලින් හොඳම කතා ගැහැනියක් පොතේ කතාය.’
ගැහැනියක් කෙටිකතා සංග්‍රහයේ එන තවත් කෙටිකතාවක් නම් ගැහැනියක්ය. මෙහි කතාව නායිකාව වන ලිසී වටා දිඟ හැරෙන කතාව පැතලි, කළු සුදු හා වටකුරු චරිත නිරූපණයෙන් ඔබ්බට ගොස් මනෝ විද්‍යාත්මක චරිත විග්‍රහයක යෙදෙන්නකි. ගතානුගතික සමාජය විසින් උසස් යැයි සම්මත කොට ගෙන ඇති ඇතැම් කුහක සමාජ චාරිත්‍රයන්ට පිටු පෑ ලිසී කුළ දූෂිකාවක ලෙසත් වෛශ්‍යාවක ලෙසත් හංවඩු ගැසෙයි. එම අභියෝගයන්ට මුහුණ දෙන ලිසීගේ චරිතය හුදෙක් එක් කාන්තාවක් නොව සමස්ත ස්ත්‍රී වර්ගයාම නියෝජනය කරන්නකි.
“මිනිසුන්ගේ කල්පනාව විවාහ ලේකම් තැනගේ කබල් මේසය උඩ තබන ලද කඩදාසි කොළවල අත්සන් නොතබා භාර්යාව වෙන ඔක්කොම වල් ගෑනුය කියා”
‘ගැහැනියක්’ කෙටි කතා සංග්‍රහයේ ගැහැනියක් කෙටි කතාවේ එන උක්ත දෙබස් ඛණ්ඩය නිතැතින්ම පාඨකයාගේ සදාචාර මිනුම් දඬු යළි විනිශ්චය කරවන්නට අනුබල දෙන කියුමකි.
දෑවැද්ද, කුලය, හඳහන, වයස, නැකත ආදිය සෙවීමේ ගතානුගතික සම්ප්‍රදායන් නිසා ස්ථිර ස්වාමි පුරුෂයකු පවා ලැබ ගැන්මට ලිසීට නොහැකි වේ. ශිෂ්ට යැයි සම්මත ලෝකයාගේ අශිෂ්ටත්වයන්ට රැවටෙන ලිසී නැවත ගම වෙත පැමිණෙන්නේ ගැමියන්ගේ අනේක විධ නින්දා අපහාස මධ්‍යයේය. එහෙත් සැමියෙක් නොලැබිමෙන් ඇය කම්පා නොවේ. ගැමියන්ගේ කතා ඉදිරියේ මුනිවත රකින ඈ තම අනාගතය රූපය නිසා ඇය කෙරේ වසන වත්මන් ස්වාමියා මත රඳවයි.
‘මට කන්ට අඳින්ට හිඟයක් නෑ. නෝනාහාමි මගේ රූප ලක්ෂණ තවම හොඳ හැටි තියෙනවා”
ලිසීගේ චරිතයට වඩා හාත්පසින්ම වෙනස් චරිතයකි. නෝනාහාමි, දරුවන් සිව් දෙනෙකුගේ ජීවිතයත් රැකගෙන අශ්වයකු සේ දිවා රෑ නොතකමින් වැඩ කරන නෝනාහාමිගේ චරිතය ස්ත්‍රී ජීවිතයේ දුක්ඛ පක්ෂය වෙත යොමු වූවකි. එය ලිසීගේ චරිතයේ විරුද්ධාර්ථය යැයි හඳුන්වාලීමෙහි වරදක් නැත.
වර්තමානයේ ස්ත්‍රී අයිතිවාසිකම් හා ස්ත්‍රීවාදය වැනි සංකල්පය මත පිහිටා හඬ තලන නෝනා මහත්වරුන්ට අමතක වී ගියා වූත් දැක දැකත් නොදැක්කා සේ සිටින්නා වූත් සැබෑ ස්ත්‍රී ජීවිතයේ ප්‍රතිමූර්තියකි. “ගැහැනියක් කෙටිකතාව” ග්‍රාමීයව වසන ස්ත්‍රිය මුහුණ දෙන සමාජ අභියෝග නොහඳුනන මෙකී ස්ත්‍රීවාදීන් හඬ නඟන්නේ ලිසීලාගේත්, නෝනාහාමිලාගේත්, අනුලලාගේත් සැබෑ ජීවිත උදෙසා නොව තම තමන්ගේ ජීවිකාවන් උදෙසා බව වර්තමානයේ ගැහැනියක් කෙටි කතාව කියවන අපට හැඟී යයි.
මෙසේ දිග හැරෙන ලාංකේය ඉතිහාසයේ ප්‍රථම යථාර්ථවාදී කෙටිකතාවන්ට වික්‍රමසිංහයන් වස්තු බිජයන් උපයා සපයා ගන්නා ලද්දේ එතුමන් අවුරුදු 30ක් පමණ දිවි ගෙවූ ගම් පියසේ ජීවත් වූ ගැමියන්ගේ ජීවිත කතා ඇසුරිනි. එහෙත් සාහිත්‍ය කලාවට න්‍යායාත්මකව යථාර්ථවාදී රීතිය එළැඹෙන්නටත් ප්‍රථමව වික්‍රමසිංහයන් එය ගුරු කොට ගන්නට ඇත්තේ ජාතක කතා ආභාසයෙනි. එයට දෙස් දෙන කියුමක් සිංහල සාහිත්‍යයේ නැගීම කෘතියේ අන්තර්ගතව ඇත.
“ජාතක පොතෙහි දක්නට ලැබෙන්නේ ලෝකයත් මනුෂ්‍ය ජීවිතයක් ඇති සැටියෙන් දැක්වෙන සේ යථාර්ථවාදයට හුරුකොට විවහාර බසට හුරු බසින් ලියන ලද ඉතා අගනා කතා වස්තු රාශියකි. එයින් ඇතැම් කතාවක් වර්තමාන කෙටි කතාවට ළංවෙයි.”
ජාතක කතාවන්ගේ ශ්‍රේෂ්ඨ ආභාෂය ලබමින් සිංහල කෙටිකතාව වෙනුවෙන් හෙළි කළ මහ හසර ඉතා අගනේය. විවිධ ගුරුකුලවාදීන් සිංහල කෙටිකතාව කෙරෙහි විවිධ විග්‍රහයන් විවරණයන් ඉදිරිපත් කළද විකුම්සිහයන්ගේ ස්වාධීන මතය වූයේ සිංහල කෙටිකතාව අපූරුවක් නොව ජාතක කතාවේම විකසනයක් බවයි. ඒ මත පිහිටා සිට දැයට තිළිණ කළ ගැහැනියක් කෙටිකතා සංග්‍රහය තුළින් එතුමන් එය රචනා කොට ලැබූ වින්දනය පාඨකයාටද අත්විඳීමට හැකිවේ.
කෙටි කතා රචනයේදී රචකයා වඩාත් සංයමයකින් කතාව දිවෙන කාල පරාසය තෝරා ගත යුතුය. එය අප ගත්කතුවරයා සිය ‘වහල්ලු’ කෙටි කතා සංග්‍රහයට එක් කොට ඇති කෙටිකතාව නම් රචනයේ මෙසේ සඳහන් කරයි.
“කෙටි කතාකාරයා නාටක රචකයාටත් වඩා දැඩි සිතින් කාලය සීමා කළ යුතුය. ඔහු කතාවට වස්තු කොට ගන්නේ පැයක්, දෙපැයක්, දවසක්, වේලක්, මසක් තුළ සිදුවන එක් සිදුවීමකි.”
ගැහැනියක් කෙටිකතා සංග්‍රහය පුරාවටම එතුමන් මෙකී මූල ධර්මය රක්ෂා කොට තිබේ. මව, සිසිලියාට පාඩමක්ද, ගැහැනියක්, බේගල්, නරක් වූ පිටි බඳුන යනාදී සෑම කතාවක්ම එක් පැයක්, වරුවක් හෝ දින කිහිපයක් තුළ සිදුවූ සිදුවීම් ඔස්සේ චිරචිතය. වසර ගණනාවක් පුරා දිවෙන සිද්ධියක් වුවද එම පැය තුළ කතාවේ චරිතයන්ගේ මතකයට නංවමින් පාඨක විනිශ්චය හමුවට පමුණුවයි. එය වික්‍රමසිංහයන්ගේ කෙටිකතා රචනයේ ප්‍රගල්භභාවය මැනවින් විදහා පාන්නකි.
අසූ නව වසරක් පුරා පාඨක ප්‍රසාදය දිනා ගන්නා ලද ‘ගැහැනියක්’ කෙටිකතා සංග්‍රහය විකුම්සිහයන් අතින් නොලියැවෙන්නට එතෙක් මතෛක් සිංහල කෙටිකතා වංශයේ ගමන් මග වත්මනට වඩා බොහෝ සෙයින් වල්මත්වූ මගක් ගන්නට තිබුණි.
තීක්ෂණ රත්නායක
‘සැබෑ දොන්ග් යී බිසවගේ තතු ඉතිහාසයෙන් සඟවා තබලා
අභීත දියණිය ටෙලි නාට්‍යයට පදනම් වූ පුවතේ පසුබිම් කතාව
අභීත දියණි’ය මේ දිනවල ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් ටෙලි නාට්‍යයක් ලෙස ශීඝ්‍රයෙන් ඉදිරියට එමින් පවතී. මෙය බොහෝ දෙනෙක් ඉතා කැමැත්තෙන් නරඹන ටෙලි නාට්‍යය වුවද ඇතැමුන් අසන්නේ සැබැවින්ම මෙම චරිත කොරියානු ඉතිහාසයේ මෙලෙසම ජීවත්ව තිබේද යන්නය. එහිදී එය සත්‍ය පුරාවෘත්තයක් ඇසුරින් නිපදවූ එකක් බව හා එහි කතානායක සුක්ජොන්ග් රජුගේත් දොන්ග් යී බිසවගේත් සොහොන් ස්මාරක අද පවා දක්නට ඇතැයි අප කීවොත් ඔබට එය විශ්වාස කළ හැකිද ? විශේෂයෙන් සුක්ජොන්ග් වැනි රජවරුන් පිළිබඳව කොරියානු ඉතිහාස පොත්වල බොහෝ තොරතුරු ලියැවී තිබේ. නමුත් දොන්ග් යී වැනි රජුගේ අන්තඃපුර බිසෝවරුන් පිළිබඳ මෙසේ ඉතිහාසයේ ලියැවී තිබේද ? ලියැවී ඇත්නම් ඒවා කෙතරම් දුරට සත්‍යය ද මේ සත්‍ය ඉතිහාස කරුණු ටෙලි නාට්‍යය සමග කෙතරම් සැසඳේද වැනි කරුණු බොහෝ දෙනෙකුට ගැටලුවක් වී තිබේ. විශේෂයෙන් මෙම ටෙලි නාට්‍යයේ අප දකින ප්‍රධාන චරිතය වූ දොන්ග් යි පිළිබඳ සැබෑ ඓතිහාසික තොරතුරු මොනවාදැයි බොහෝ අය විමසති.
ඓතිහාසික ප්‍රවෘත්තිය අනුව දොන්ග් යී මුලින්ම රජ මැදුරට පැමිණෙන්නේ ජලය ගෙන එන සේවිකාවක ලෙසිනි. ඇය සේවය කරන්නේ ඉන්හියොන් බිසවටය. එක් දිනක් ඇය ඉන්හියොන් බිසවගේ කුටියේ සිට ඇයට නිරෝගී සුව පතමින් ප්‍රාර්ථනාවක් කරන හඬ එතැනින් ගමන් කරමින් සිටිනා සුක්ජොන්ග් රජුට හදිසියේම වාගේ ඇසෙයි. දොන්ග් යී ගේ මෙම කරුණාවන්ත, දයාවන්ත බව පිළිබඳ රජුගේ සිත පැහැදෙයි.
වර්ෂ 1693, එනම් සුක්ජොන්ග් රජුගේ රාජ්‍ය කාලයෙන් දහනව වැනි වසරේ සිව්වැනි චන්ද්‍ර මාසයේදී ඇය සුක්ජොන්ග් රජුගේ අන්තඃපුරයට එක් වෙයි. ඒ අන්තඃපුර බිසෝවරු අතරින් සුක්-වොන් නමින් හැඳින්වෙන සිව්වැනි ස්ථානයට පත්කරමිනි. වර්ෂ 1694, එනම් සුක්ජොන්ග් රජුගේ විසි වැනි රාජ්‍ය වර්ෂයේදී දොන්ග් යී සු-යි යන ස්ථානයට උසස්වීමක් ලබයි. සු-යි යනු අන්තඃපුර බිසෝවරු අතරින් දෙවැනි තැනය. ඒ පසුකාලයේ යිඔන්ග්ජෝ ලෙසින් රජවන යිවොනින්ග් කුමරු ඉපදීමෙන් පසුවය.
වර්ෂ 1695 දී ඇයව නැවත ග්වි-ඉන් තත්ත්වයට උසස් කරනු ලබයි. මෙනමින් හැඳින්වෙන්නේ අන්තඃපුර බිසෝවරුන් අතරින් පළමු ශ්‍රේණියේ දෙවැනි ස්ථානයයි. 1699 දී ඇය බින් තත්ත්වයට උසස් කරනු ලබයි. එනම් අන්තඃපුර බිසෝවරුන් අතරින් පළමු ශ්‍රේණියේ පළමු ස්ථානයයි. මෙහිදී ඇයට ‘සුක්’
යන ගෞරව නාමයද පුද කරයි. අර්ථය ‘පිවිතුරු’ යන්නය. ඇය 1718 වසරේ, එනම් සුක්ජොන්ග් රජුගේ රාජ්‍ය වර්ෂයෙන් 44 වැනි වසරේ තෙවැනි චන්ද්‍ර මාසයේ නවවැනි දින මෙලොව හැර යයි. මරණින් පසු ඇයට හ්වැග්යිඔන්ග් ආර්යාව යන නාමය පුදකරනු ලබයි.
මේ සඳහන් කළේ දොන්ග් යී පිළිබඳ කොරියානු ඉතිහාසයෙන් හමුවන තොරතුරුවලින් හෙළිවන ඇගේ ජීවිත කතාවයි. මීට අමතරව තවත් බොහෝ දෙනකු විමසන දෙයක් වන්නේ අභීත දියණිය හි අප දකින ආකාරයේ දීර්ඝ කාලීන ආදර කතාවක් දොන්ග් යී හා සුක්ජොන්ග් රජු අතර පැවැතියේද යන්නය. කොරියානු රජ වංශය හා ඉතිහාසය පිළිබඳ සොයා බැලීමේදී කිව හැක්කේ සැබැවින්ම එවැන්නක් පැහැදිලිව හෙළිකරගත හැකි මූලාශ්‍ර කිසිවක් හමුනොවන බවය. ඊට හේතුව ඉතිහාස පොත්පත්වල දොන්ග් යී පිළිබඳ හමුවන්නේ ඉතාමත් අල්ප තොරතුරු වීමය. ඇය පිළිබඳව ඓතිහාසිකව පැවැසිය හැක්කේ අප ඉහතින් සඳහන් කළ තොරතුරු පමණි. ඇගේ පුතු වන යිඔන්ග්ජෝ රජු වසර පනස් දෙකක් කොරියාව පාලනය කළ බවත් ඉතිහාසයේ සඳහන්ය. වැඩිම කලක් එහි පාලනය ගෙනගිය රජු වන්නේ ද ඔහුය.
දොන්ග් යී පිළිබඳ ද ඉතිහාස පොතපතෙහි වැඩි විස්තරයක් සඳහන් නොවන්නට එකම හේතුවනම් ඇය කම්කරු පවුලකින් රජමැදුරට පැමිණි යුවතියක නිසාය. අනෙක කොරියානු රාජවංශයේ දොන්ග් යී ජීවත් වූ ජොසියොන් යුගයේ වැඩි වශයෙන් ලියන්නට උත්සාහ දරා ඇත්තේ රජවරු පිළිබඳ පමණක් බැව් පෙනේ. නමුත් යම් අවස්ථාවක අන්තඃපුර බිසවක් පැමිණියේ ඉහළ සමාජ පන්තියකින් නම් ඔවුන් පිළිබඳ සියලු විස්තර ඉතිහාස පොත පතෙහි සඳහන්කොට තිබිම ද සැළකිය යුතු කරුණකි. කෙසේ මුත් දොන්ග් යී පැමිණියේ කම්කරු පවුලකින් බැවින් ඇයගේ තොරතුරු වාර්තා නොකිරීම වර්තමානයට සිදු වූ අසාධාරණයකි. ඇයගේ පසුබිම පිළිබඳ ලිවීම හිතාමතාම අතහැර දමා ඇති බැව් පැහැදිලිය. සුක්ජොන්ග් රජුගේ අනෙක් අන්තඃපුර බිසෝවරුන්ට වඩා දොන්ග් යි පිළිබඳ විස්තර ලියැවී ඇත්තේද කෙටියෙනි. අනෙක දොන්ග් යී යනු ඇයගේ සැබෑ නම නොවන බැව් ද සොයාගෙන තිබේ. එහෙත් ඇගේ සැබෑ නම කුමක්ද යන්න පිළිබඳව ද කිසිදු තැනක සඳහනක් නොමැත. ඇය හඳුන්වා ඇත්තේ සුක්බින් නමිනි. එය ඇයගේ බිසෝ තනතුරේ නමයි. ඒ කෙසේ හෝ සුක්ජොන්ග් රජුගේ සේම අන්තඃපුර බිසෝවරුන්ගේ සොහොන් කොත් ද අදත් නිරුපද්‍රිතව තිබේ. දොන්ග් යී ගේ දේහය ද එහි ඇතැයි විශ්වාස කෙරේ.
එබැවින් කිවහැකි දෙය වන්නේ අභීත දියණිය නාට්‍යය යනු සත්‍ය ඓතිහාසික පසුබිමක් තුළින් බිහි වූ ප්‍රබන්ධයක් පමණක් බවය. එම නාට්‍යයේ ඔබ දකින දෙය සැබැවින්ම ඉතිහාසයේ සිදු වූ දෙයම ද යන්න තහවුරු කරගන්නට කිසිදු සාධකයක් නොමැත. නමුදු ඒ සම්බන්ධ ජනප්‍රවාදගත කතා තිර නාටකය සඳහා ඉවහල් කර ගන්නට ඇත. ඇතැම්විට රජු සහ දොන්ග් යී අතර ආදරයක් පවතින්නට ද ඇත.
නමුත් නාට්‍යයේ එන ඇතැම් ජවනිකා සත්‍ය වශයෙන් පිළිගැනීමට කිසිදු සාක්ෂියක් නැත. උදාහරණයක් ගතහොත් රජු යැන්ග්බැන් නමින් වෙස්වළාගෙන දොන්ග් යි සමග පිටතට ගොස් කමින් බොමින් තානායමක කාලය ගතකිරීම සඳහන් කළ හැකිය. මෙය ටෙලි නාට්‍ය රස ගැන්වීම පිණිස කතා රචකයා යොදන උපාය විය හැක. මේ සමයේ පැවැති දැඩි කොන්ෆියුසියානු නීති පද්ධතිය තුළ ගැහැනු පිරිමි අතර සම්බන්ධතා දැඩි විනයක් සහිතව පවත්වාගෙන යා යුතු විය. මෙම නාට්‍යයේ දැක්වෙන ආකාරයට නිදහසේ එලෙස කාලය ගතකිරීම සඳහා එම නීති පද්ධතිය තුළ ඉඩක් නොමැති විය. නමුත් දොන්ග් යී ගේ පුතු වන යිඔන්ග්ජෝ මෙලෙස රහසේ වෙස්වළාගෙන පිටතට ගොස් සාමාන්‍ය මිනිසුන් ජීවත් වූ ආකාරය දැකබලා පැමිණි බවට කරුණු ඉතිහාසයෙන් හමුවේ. සුක්ජොන්ග් රජු ද මෙසේ කළ බව දැක්වෙන දර්ශන අභීත දියණිය සඳහා ඇතුළු කරන්නට අදහස ගන්නට ඇත්තේ මෙයින් බැව් පෙනේ. යිඔන්ග්ජෝ රජු මෙසේ කරන්නට ඇත්තේ ඇතැම්විට සිය මව කම්කරු පන්තියට අයත් කාන්තාවක් නිසා වන්නට පුළුවන. යිඔන්ග්ජෝ රජු ඉහළ හා පහළ සමාජ පන්ති අතර නිදහසේ විවාහ කටයුතු සිදුකරන්නට හැකිවන සේ නීතිරීති වෙනස් කළ බැව් ද පෙනෙන්නට තිබේ. මේ අනුව බලන කල කොරියානු ඉතිහාසය තුළ දොන්ග් යී ජීවත් වුවද ඒ අභීත දියණිය තුළින් ඔබ අප දකින දොන්ග් යී හුදු සත්‍යයක් හෝ හුදු කල්පිතයක් නොවන චරිතයක් බව කිව යුතුය.
නිරංජන් චාමින්ද කරුණාතිලක
මං හිතන විදියට මේක තමයි විවාහයකට සුදුසුම වයස
ප්‍රවීණ නිළි දමිතා අබේරත්න විවාහයට සැරසෙමින් කියයි
දමිතා අබේරත්න යනු අපේ රටට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් ප්‍රතිභාපූර්ණ නිළියකි. බාල වියේම රංගනයට ප්‍රවිෂ්ට වූ දමිතා දශක තුනක් පුරා පුංචි තිරයේත් රිදී තිරයේත් විවිධාකාර භූමිකා රැසක් මැවුවාය. මේ අතර පසුගිය දාක දමිතා ගැන උණුසුම් පුවතක් අපට අසන්නට ලැබිණි. ඒ ඇය විවාහවීමට යන බවට වූ ආරංචියයි. නුදුරු දිනයක පතිකුලයට යෑමට සැරසෙන දමිතාට අප ඇමතුවේ මෙම සියලුම තොරතුරු ගැන වැඩි විස්තර ඇගෙන්ම දැන ගැනීමටය.
දමිතා ළඟදීම මනමාලියක් වෙන්න යන බව ආරංචියි
ඔව්, ඒක ඇත්ත.
කවුද දමිතාගේ අතගන්නා වාසනාවන්තයා ?
විවාහය වනවිට ඒ කවුද කියා රටටම දැනගන්න හැකිවේවි. දැනට ඒ ගැන වැඩිදුර හෙළිකරන්න කැමති නැහැ.
විවාහ උත්සවය ගැන කතා කරමු
එය හුඟක් දුරට චාම් උත්සවයක් වේවි. මම එදාට සැරසෙන විදිහ, මනාලියන්ගේ යෙහෙළියන් ඇතුළු විවාහයේ සුවිශේෂ අවස්ථා නම් තවම සැලසුම් කර නැහැ.
කලා ලොවේ හිතවතුන් හිතවතියන්ට ආරාධනා කරනවද ?
කලා ලොවේ මට විශේෂයෙන් හිතවත් පිරිසක් ඉන්නවා. ඒ අයට අනිවාර්යයෙන්ම ආරාධනා කරනවා.
එක් පැත්තකින් විවාහයට සූදානම් වනවිට දමිතා තවත් පැත්තකින් නඩුවකටත් පැටලිලා
ඔව්, මම ඒ දෙකටම සූදානම් වනවා. අසුබවාදී දේ සිදුවුණාට සුබ කටයුතු පමා කරන්න බෑනේ. ඒ වගේම කවර අභාග්‍ය සම්පන්න අත්දැකීමක් ආවත් ඒකට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය මට තියෙනවා.
මේ අධිකරණයමය සිදුවීම මත දමිතාගේ ජීවිතයට අසුබ අත්දැකීමක් එකතු කරාවි කියා සිතනවාද ?
නැහැ අනිවාර්යයෙන්ම සත්‍යය මතුවේවි. මට සාධාරණය ඉටුවේවි කියා මං හිතනවා.
ඒ ගැන තවත් යමක් කිව හැකිද ?
දැනට උසාවියේ පවතින නඩුවක් ගැන මාධ්‍යය මගින් අදහස් දක්වන්න බැහැනේ. තීන්දුව ලැබුණු පසු ඒ ගැන සවිස්තරාත්මකව අපි කතා කරමු.
නමුත් මේ අර්බුදය උදාවී ඇත්තේ ශ්‍රී ලාංක්ය කලා ක්‍ෂේත්‍රයේ සහෝදර නිළියන් දෙදෙනෙකු අතර ?
ඔව්.
ඉතිහාසයේත් නිළියන් අතර සහ නළුවන් අතර ප්‍රශ්න ගැටුම් අමනාපකම් ඇතිවුණා. නමුත් නිළියන් දෙදෙනෙකු මේ ආකාරයට උසාවි ගියේ නැහැ.
ඔබ කියන දේ මමත් පිළිගන්නවා. ඒ නිසයි මම මේ ප්‍රශ්නය උසාවි නොයා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න උත්සාහ කළේ. මා විතරක් නමෛයි එක්තරා නීතිඥවරයකු පවා අනෙක් පාර්ශ්වය මුණගස්සලා මේ ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න උත්සාහ කළා.
ඒ උත්සාහය නිෂ්ඵල වුණාද ?
ඔව්, අනෙක් පාර්ශ්වය තමන්ගෙ තීරණය තුළ දැඩිව ඉන්නවා. මම මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු තිස් දෙකක් වෙනවා. ඇය මට වඩා තරමක් වයසින් වැඩි වුණාට මම ඇයට වඩා රංගන ප්‍රවීණත්වයෙන් ඉදිරියෙන් ඉන්නවා. මගෙ වයසට මම කලා ක්‍ෂේත්‍රය තුළ බොහෝ දේ කළා. රටට, කලාවට ජාත්‍යන්තර කීර්තියක් ඇතිකර දුන්නා.
කෙසේ හෝ තමන්ගේ ජනප්‍රියත්වය තකා ඇතැම් නළු නිළියන් රහසින් කතිකා කරගෙන මෙවන් මවා පෑම් කරනවා. මෙයත් එවැන්නක් වෙන්න බැරිද ?
නැහැ නැහැ මෙය එවැන්නක් නෙවෙයි; මට ඒ ගැන මීට වඩා යමක් කීමට බැහැ. දැන් අපි දෙපර්ශ්වයම අධිකරණයෙන් යුක්තිය ඉටුවන තුරු බලා ඉන්න කාලය; වැඩි විස්තර පස්සේ කතා කරමු.
විවාහයෙන් පසුව ඔබේ රංගන ජීවිතයට සීමා පැනවේවිද ?
ඔහු එබඳු සීමා පනවන අයෙක් නමෛයි. විවාහ වුණාට පසුවත් මම දිගටම රඟපෑම්වල යෙදෙනවා.
ඔබ තවම විවාහ වී නැහැ. විවාහයෙන් පසුව ඔබගේ රඟපෑම්වලට ඔහුගෙන් තහංචි පැනවුණොත්
මම තවම ඔහු හා විවාහ නොවුණාට ඔහුව ඉතා හොඳින් දැන හඳුනාගෙනයි මෙවැනි තීරණයකට එළැඹෙන්නේ. ඒ නිසා ඔහුගේ හදවත යම් තරමකට හෝ තේරුම් ගන්න මට බැරි කමක් නැහැ.
ඔබ අද වන විට භද්‍ර යෞවනය ඉක්මවා යමින් හිඳින්නියක්. ඇයි විවාහය ප්‍රමාද වුණේ ?
ඔබ ඔය කියන භද්‍ර යෞවනය ජීවිතය නිවැරදි විදිහට දකින්න පුළුවන් වයසක් නෙවෙයි. ඒ හින්දා මා හිතන විදිහට මේක තමයි විවාහයකට හොඳම වයස
ආරියවංශ කුලතිලක
මේ ක්‍ෂේත්‍රයට එන්න ඕනෙ කටකතාවලට මූණ දෙන්න බලාගෙනයි
නව පරපුරේ නිළි රුවංගි රත්නායක
රූපරාජිනී තරගවලින් ජය අරගෙන ඒ තුළින් නිළිකමට එකතුවූ රූමතියෝ අපේ නිළි පරපුරේ ඉන්නවා. වර්තමාන ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රය තුළ ජනප්‍රිය යොවුන් නිළියන් අතර සිටින එවැනි සුන්දර නිළියක්ව මේ සතියේ අපි “රිද්ම” කතාබහට එකතු කරගන්නවා. මේ දිනවල සතියේ දින හත පුරාම පුංචි තිරයෙන් ඔබේ ආලින්දයට ගොඩවදින ඇය රුවංගි රත්නායක.
රුවංගි මේ දිනවල සතියේ දින හත පුරාම රූපවාහිනිය තුළින් අපට හමුවනවා. එම නිර්මාණ ගැන කතා කළොත්?
ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සතියේ දින පහේම රාත්‍රි 8.30ට විකාශය වන ‘මල් දෙවැට’ ටෙලිනාට්‍යයේ ධනවත් පවුලක දඟකාර කෙළිලොල් යුවතියකගේ චරිතයක් රඟපානවා. දෙරණ නාලිකාවේ සතියේ දින පහම රෑ 7.30ට විකාශය වන “සිහින සිත්තරාවි” නාට්‍යයේ මම ගමක ජීවත්වන දුප්පත් තරුණියක්. සතියේ දින පහම රෑ 9ට “ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වන “සිටුමැදුර” නාට්‍යයේ මම වලව්වක තරුණියක්. සෙනසුරාදා හා ඉරිදා 7.30ට විකාශය වන “සොඳුරු ගිම්හානයේ” මම පොලිස් කාන්තාවක්.
ද නිතර නිතර රූපවාහිනියෙන් දකින්න ලැබෙන විට ප්‍රේක්ෂකයින්ට එපා වෙනවා කියලා ඇතැම් අය කියනවා.
ඒ කතාවේ ඇත්තක් තියෙනවා. ඒත් එහෙම වෙන්නේ එකම විදියේ චරිත ඒකාකාරි විදියට රඟපෑවොත්්. විවිධ චරිත රඟපෑවොත් එහෙම වෙන්නේ නැහැ.
රුවංගි රඟපෑමට ආශා කරන යම් චරිතයක් එහෙම තියෙනවද?
ඔව්, එහෙම චරිතයක් තියෙනවා. ඈත පිටිසර ගමක කටුමැටි පැලක ජීවත් වන චීත්ත රෙද්දයි හැට්ටෙයි අඳින දුක් විඳින ගැමි තරුණියකගේ චරිතයක් රඟපාන්න ආශයි.
රුවංගි නිළියක් වන්න හීන මැව්ව කෙනෙක්ද?
නැහැ. නිළිකමට එකතු වුණේ අහම්බෙන්. ඒත් දැන්නම් පූර්ණ කාලයම යොදවල තියෙන්නෙ රඟපෑමට.
කොහොමද නිළියක් වුණේ?
මම 2010 ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙලා දෙවැනි ස්ථානය දිනුවා. නේචර් සීක්‍රට් ඡවි කල්‍යාණි තරගයේ තුන්වැනි ස්ථානය හිමි කරගත්තා. ඊට පස්සේ මට වෙළෙඳ දැන්වීම් වලට අවස්ථා උදාවුණා. ඒ කාලය තුළ මට එක දිගට වෙළෙඳ දැන්වීම් 20ක් විතර ලැබුණා. ඒ විදියට වෙළෙඳ දැන්වීම් වලට ඉන්න කොට තමයි “බිනරි” ටෙලිනාට්‍යයේ උප ප්‍රධාන චරිතයකට අවස්ථාව උදා වුණේ. මුලින්ම ප්‍රධාන චරිතයක් රඟපෑවේ “අහසින් වැටුණ” ටෙලිනාට්‍යයේ මේ වන විට නාට්‍ය 10ක විතර රඟපාලා තියෙනවා. චිත්‍රපට එකක රඟපෑවා. ඒ “ජීවිතය ලස්සනයි” චිත්‍රපටයෙ.
නිළියක් වෙලා ජනප්‍රිය වුණාම ජනතාවගේ ආදරය ලැබෙනවා. නමුත් කටකතා වැනි සිත් රිදවීම්වලට ලක්වන්නත් සිදුවනවා.
එහෙම වෙනවා. කටකතා වැනි දේවල් නිසා සිත් රිදීම් ඇති වෙනවා. ඒත් නළු නිළියක් වැනි ජනප්‍රිය චරිතවලට ඒ දේවල්වලට මුහුණ දෙන්න සිදුවන බව දැනගෙනයි මේ ක්‍ෂේත්‍රයට එන්න ඕනෑ. එතකොට එවැනි සිදුවීම්වලින් සිත් රිදවා ගන්නෙ නැතුව ඉන්න පුළුවන්.
රුවංගිටත් කටකතා හැදිල තියෙනවද?
ඔව්.
ප්‍රවීණ කලාකරුවකු වන නිමල් ලක්ෂපතිආරච්චි මියගියදා ඔබ රඟපෑ ටෙලිනාට්‍යයක ශිල්පීන් ඒ අවමංගල්‍ය්‍යට යාමට සැරසෙන විට “අනේ ඔය මළගෙවල්වල ගිහින් කාටද හරි ගියේ” කියලා ඔබ ඒ ගමනින් වැළකී සිටි බවට කටකතාවක් ක්‍ෂේත්‍රය පුරා පැතිරී ගියා.
ඕක තමයි මා ගැන මා ආහපු ලොකුම කටකතාව ඒක සම්පූර්ණ බොරු කටකතාවක්.
ඇයි ඒ විදියේ කතාවක් පැතිරුණේ?
එක්තරා ඡායාරූප ශිල්පියෙක් මට ඡායාරූප ගන්න ආරාධනා කළා. ඔහු පැවසුවේ මේ රටේ ජනප්‍රිය පුවත්පතක ප්‍රධාන ඡායාරූප ශිල්පියා ඔහු බවයි. ඒත් ඒ පත්තරේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා මම හොඳින් හඳුනනවා. ඉතින් අර ආරාධනාවට මා ගියේ නැහැ. ඒ තරහට පළිගැනීමක් විදියට ඔහු තමයි මේ කතාව නිර්මාණය කරලා පතුරවලා හැරියේ. පසු කාලයේ යම් යම් තැන්වල ඔහු ඒ ගැන කියා තිබුණා. “මමයි රුවංගිට මේ කතාව හැදුවේ ‘කියලා ඔහු කිවූ බව මට ආරංචි වුණා.
රුවංගිගේ පුද්ගලික තොරතුරු ටිකකුත් කියන්න
මගේ ගම කුරුණෑගල. ඉගෙන ගත්තේ කුරුණෑගල හෝලිෆැමිලි කොන්වන්ට් එකේ. දැන්නම් පදිංචිය කොළඹ. මට අයියා කෙනෙකුයි අක්කලා දෙන්නෙකුයි ඉන්නවා. මම පවුලේ බාලයා.
පෙම්වතා ගැන තොරතුරු කියන්න කැමති නැද්ද?
(හිනැහි) දැනට පෙම්වතෙක් නැහැ. හිටපු දවසක තොරතුරු කියන්නම්.
ඒ වුණත් රුවංගිට පෙම්වතෙක් ඉන්නවා කියලා ක්‍ෂේත්‍රය තුළ රාවයක් තියෙනවා.
එහෙම කෙනෙක් හිටියා. ඒත් නොගැළපීම් හින්දා ඒ සම්බන්ධය නතර කරලා දැම්මා.
ආරියවංශ කුලතිලක
ඡායා - ජානක කඳනාරච්චි
අනුරාගීම ආසියානු කාන්තාව
ඉන්දියාවේ NDTV රූපවාහිනියේ සහ ඊස්ටන් අයි සඟරාවේ වැඩක්
යම්කිසි තරගයක්, එසේත් නැත්නම් දර්ශකයක් ගොඩනැංවීමේදී එය වඩාත් සාධාරණවීමට නම් ඒ සඳහා සලකා බැලෙන සෑම දෙයක්ම එකසේ සැලකිල්ලට ගත යුතුය. එසේ නොවුණහොත් අපට ලැබෙන ප්‍රතිඵල සාධාරණ නොවේ. නමුත් ඉන්දියාවේ සුප්‍රකට රූපවාහිනී ආයතනයක් වන ව්ච්ඊ හා බ්‍රිතාන්‍යයේ සුප්‍රකට ආසියානු පුවත් පතක් වන ‘ඊස්ටර්න් අයි’ එකතුව මගින් සෑම වසරකම පවත්වනු ලබන ‘අනුරාගීතම ආසියානු කාන්තාව‘ තේරීමේ තරගය හෙවත් දර්ශකය මෙසේ සාධාරණ ප්‍රතිඵලයක් නොලැබෙන්නක් බැව් පෙනේ. ඒ පිළිබඳ අනෙකුත් ඉන්දියානු හා ආසියානු මාධ්‍ය ආයතන ද චෝදනා නගන්නට පටන් ගෙන තිබේ. ඔවුන් සිය වබේ අඩවියෙහි අනුරාගීතම ආසියානු කාන්තාවන් පනස් දෙනකුගේ ලැයිස්තුවක් ඉදිරිපත් කොට තිබේ. නමුත් එහි අඩංගු වන්නේ ආසියානු රටවල් තුනකට අයත් කාන්තාවන් පමණි. ඒවා නම් ඉන්දියාව, පාකිස්තානය හා බංග්ලාදේශය පමණි. නමුත් ආසියාව යනු රටවල් ගණනාවක එකතුවකි. ඒ සෑම රටකම සුරූපී හා අනුරාගී කාන්තාවන් කොතෙකුත් සිටින්නට පුළුවන. නමුත් ඔවුන්ගේ නාලිකාව ඉන්දියාව සමග තවත් රටවල් තුනක් පමණක් මේ සඳහා සැලකිල්ලට ගෙන අවසන් ප්‍රතිඵලය සඳහා ‘ආසියාවේ අනුරාගීතම කාන්තාවන්’ යනුවෙන් නම කිරීම සාධාරණ නැති බැව් දැන් බොහෝ දෙනකු පවසන්නට පටන්ගෙන තිබේ. සැබැවින්ම මෙය අප රටට ද බලපාන ප්‍රශ්නයකි. ඔවුන්ගේ මෙම ‘ආසියානු’ හැඳින්වුම සිදු කෙරෙන මෙම තේරීමේදී අප රට ද කිසිදු ගණනයකින් තොරව ඉබේ අවලංගු වී තිබේ.
තත්ත්වය එසේ වුවත් ඔවුන් ඉදිරිපත් කොට ඇති තොරතුරු ඔබට පවසන්නට අපි තීරණය කළෙමු. එය සාධාරණ නොවන බව ඔබට ද හැඟී යනු ඇතිමුත් මෙය අපූරු දර්ශකයක් බැවින් ඔබ ඒ පිළිබඳ දැනගන්නට කැමැත්තෙන් ඇතැයි අපේ හැඟීමයි.
ඔවුන් මෙසේ ඉදිරිපත් කොට ඇති ලැයිස්තුවේ හතළිස් දෙනකුම ඉන්දීය ජාතික කාන්තාවන් වන අතර පාකිස්තානයෙන් හය දෙනකු ද බංගල්දේශයෙන් දෙකක්ද සිටිති. ඉන්දීය කාන්තාවන් හතළිස් දෙකක්ම සිටීමෙන් පෙනී යන්නේ ඔවුන් මෙයින් බලාපොරොත්තු වන්නේ ඉන්දියානු කාන්තාවන් උසස් හෝ දක්ෂතාවයන්ගෙන් යුක්ත බැව් ලෝකයට හඟවන්නට පුළුවන. නමුත් ලැයිස්තු දෙස බලන විට මෙය සාධාරණ නොමැති බවට චෝදනා එල්ල වන්නේ ද මේ නිසාමය.
ඔවුන්ගේ මේ ලැයිස්තුවේ පළමු පස් දෙනාම ඉන්දියානු ජාතික කාන්තාවන්ය. ඔවුන්ගෙන් හතර දෙනකුම ඉන්දියාවේ සුප්‍රකට සිනමා නිළියන් වීම ද
විශේෂත්වයකි. ඔවුන්ගේ ලැයිස්තුව මෙසේය.
1. කත්රිනා කායිෆ්,
2. ප්‍රියන්කා චොප්රා,
3. ෆී්‍රඩා පින්ටෝ - (ස්ලම් ඩෝග් මිලියනයර් හි රඟපෑ නිළිය ඇයයි).
4. ලයිලා රූසස් - (ඇය මෝස්තර නිරූපණ ශිල්පිනියකි).
5. කරීනා කපූර්.
පළමු දස දෙනා ගතහොත් එහිද ඉන්දියානු කාන්තාවන් නවදෙනෙක්ම සිටිති. ඔවුන්ගෙන් ද බහුතරයක් සුප්‍රකට සිනමා නිළියන්ය. බිපාෂා බාසු, ලාරා දත්තා, අයිෂ්වර්යා රායි බච්චාන් හා දීපිකා පදුකෝන් එම නිළියන්ය.
පළමු දස දෙනා අතරින් නව වැනි තැන පසුවන කාන්තාව අයත් වන්නේ පාකිස්තානයටය.
ඊට අමතරව මෙම පනස් දෙනාගේ ලැයිස්තුවේ තවත් ඉන්දියානු සිනමා නිළියන් කිහිප දෙනෙක්ම සිටිති. ඔවුන් අතර අසින්, ශිල්පා ෂෙට්ටි, විද්‍යා බාලන්, සෝනාම් කපූර්, රානි මුඛර්ජි, පී්‍රටි සින්ටා, ඊෂා ඩියොල් හා කමල් හසන්ගේ දියණිය වන සෘති හසන් ද වෙති. ඉන්දියාවේ සිටි සුප්‍රකට සිතාර් වාදන ශිල්පියකු වූ රවි ශන්කර්ගේ දියණිය වන, දැනට එංගලන්තයේ වෙසෙන දක්ෂ සිතාර් වාදන ශිල්පිනියක වූ අනුෂ්කා ශන්කර් ද මෙම ලැයිස්තුවේ දක්නට ලැබේ. ඇය පසුවන්නේ හතළිස් පස් වැනි ස්ථානයේය. බංග්ලාදේශයෙන් මෙම ලැයිස්තුවට අයත්ව සිටින කාන්තාවන් දෙදෙනා අතරින් එක් තැනැත්තියක් වන කොනී හක් හතළිස් වැනි ස්ථානයේ පසුවන අතර අනෙක් තැනැත්තිය වන ටස්මින් ලුසියා ඛාන් විසිඅට වැනි ස්ථානයේ පසුවන්නීය.
මේ ඉන්දියාවේ ව්ච්ඊ හා බ්‍රිතාන්‍යයේ සුප්‍රකට ආසියානු පුවත්පතක් වන ‘ඊස්ටර්න් අයි’ මගින් ඉදිරිපත් කළ ලැයිස්තුවයි. නමුත් මෙයට චෝදනා කරනා පාර්ශ්ව පවසන්නේ මෙය වඩාත් සාධාරණ වන්නේ සියලු ආසියානු රටවල කාන්තාවන් මේ සඳහා සැලකිල්ලට ගැනීමෙන් බවය. එමෙන් අනුරාගීතම ආසියානු කාන්තාව තෝරා ගත යුත්තේ සමස්ත කාන්තාවන්ගෙන්ම විනා යම් යම් ක්‍ෂේත්‍රවලින් ප්‍රසිද්ධියට පත් කාන්තාවන්ගෙන් නොවන බවද සමහරෙක් පවසති. ඒ අනුව ව්ච්ඊ නාලිකාව සහ ඊස්ටන් අයි පුවත් පත ඔවුන්ගේ මීළඟ ලැයිස්තුව එවැනි සාධාරණත්වයකින් යුක්ත වේ යැයි කවුරුත් බලාපොරොත්තු වෙති. ඒ අනුව අනුරාගීතම ආසියානු කාන්තාව තේරීමේ තරගයෙන් ශ්‍රී ලංකික කතුනට ද යම් අවස්ථාවක් හිමිකර ගත හැකිවනු ඇත.
නිරංජන් චාමින්ද කරුණාතිලක
“සුජාත දියණි” නවකතාව මගින් දරුවන්ගෙන් ඈත් වූ කියවීමේ අගය නැවත උගන්නාවි
- නෙරංජලා හේමමාලි
පසුගිය කාලසීමාව තුළදී පුංචි තිරය තුළින් බාල, මහලු කාගේත් අවධානයට පාත්‍රවූ ටෙලි නාට්‍යය වූයේ ‘සුජාත දියණි’යයි. ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය සම්ප්‍රදායද අභියෝගයට ලක්කරමින් ‘සුජාත දියණි’ ජාතික රුපවාහිනියෙන් විකාශය විය. එහි පිටපත ඇසුරෙන් සදීපා ප්‍රකාශකයෝ නවකතාවක් ලෙසින් ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙහි කතුවරිය නෙරංජලා හේමමාලිය. ඒ
පිළිබඳව අදහස් දැක්වීමට ඇය ‘තඹරවිල’ට ගොඩ වු අවස්ථාවයි මේ.
කවුද මේ සුජාත දියණිය?
මේ වෙනකොට සුජාත දියණිය කවුද කියලා ඕනෑම කෙනෙක් දන්නවා. ඇත්තටම සුජාත දියණිය ලෙසින් හඳුන්වන චංගුමී කියන චරිතය දෙමාපියන් අහිමි වී තමාගේ ධෛර්යයෙන් ජීවත්වන්න උත්සාහ ගන්නා චරිතයක්. ඇය පරමාදර්ශී චරිතයක් ලෙස ‘සුජාත දියණි’ය තුළ ගොඩනැගෙනවා. ඇයගේ මව කුඩා කාලයේදීම මියගියත් ඇය තම දියණියව මුළුතැන්ගේ ප්‍රධාන පාලිකාව කිරීමට ඇය පෙළඹවීම ප්‍රසංසනීයයි. මෙය දෙමාපියන් අහිමි වුණු දරුවන්ට තම ජීවිතය හැඩගස්වා ගැනීමට මුල්කර ගත හැකි චරිතයක්. අපේ පවුල් සංස්ථාව තුළට අලුත් අත්දැකීමක්.
රූපවාහිනියෙන් විකාශය වූ ටෙලි නාට්‍යයක් නවකතාවක් ලෙස පරිවර්තනයට ඔබ පෙළඹෙන්නේ නාට්‍යයේ ජනප්‍රියත්වය නිසාද?
නෑ. ජනප්‍රියත්වය නිසා නමෛයි. මීට ප්‍රථම ‘ඔෂින්’ රූපවාහිනියෙන් විකාශය වුණා. එය ශ්‍රී ලාංකිකයන් වැළඳ ගත්තා. ඒ වගේම තමයි සුජාත දියණියත්. එය අපේ මිනිසුන්ට අලුත් අත්දැකීමක් අනෙක ඕනෑම කෙනෙකු තුළ පරිකල්පන හැකියාවක් තිබිය යුතුයි. ‘ගුත්තිල කාව්‍යය’ කියවලා ටෙලි නාට්‍යයක් නිර්මාණය කළ හැකියි. ඒ වගේම මම මේ කාලය තුළ පන්සීය පනස් ජාතකය කියවනවා. ඒ තුළින් මට දැනෙනවා කොපමණ නිර්මාණ කළ හැකිද කියා. සුජාත දියණිය ටෙලි නාට්‍යය මා නවකතාවක් කළා. නවකතාව කියන්නේ ටෙලි නාට්‍යයේ රසයම එක් කළ හැකි සාහිත්‍යාංගයක්. සුජාත දියණිය කෘතිය පරිශීලනයෙන් එය වැටහේවි.
බොහෝ විට අප දකින්නේ නවකතාවක් ටෙලි නාට්‍යයක් ලෙස ගොඩනැගීමයි. එහෙත් සුජාත දියණිය නවකතාව තුළින් සිදුවන්නේ එහි අනෙක් පැත්ත. මෙහි විශේෂත්වය කුමක්ද?
ඇත්ත. අපි මෙපමණ කාලයක් නවකතාවකින්, කෙටි කතාවකින් නිර්මාණයවූ ටෙලි නාට්‍ය රසවින්දා. අද ටෙලි නාට්‍යයකින් ගොඩනැගුන නවකතාවක් රසවිඳිනවා. මෙහි
විශේෂත්වයක් ඒකයි. මෙය දරුවන් අතර ජනප්‍රිය වූ නාට්‍යයක්. ඉතිං මෙය කෘතියක් ලෙස පරිවර්තනය වීම තුළ දරුවන්ගේ කියවීමේ රුචිකත්වයක් ඇතිවෙනවා. කියවීම දරුවන්ගෙන් ඈත් වුණු යුගයක සුජාත දියණිය ග්‍රන්ථය නැවතත් දරුවන්ට කියවීමේ අගය උගන්නාවි කියා මා විශ්වාස කරනවා.
ඹටෙලිනාට්‍යයේ අපූර්වත්වය නවකතාවකින් පාඨකයාට ලබාදීමට පුළුවන් කියා ඔබ විශ්වාස කරනවාද?
පුළුවන්. ටෙලි නාට්‍යය නරඹන ලද පාඨකයාට එය මනසේ රඳවාගෙනම නවකතාව කියවන්න පුළුවන්. අනෙක් කාරණය මෙම නාට්‍යය පුරාවටම තියෙන ඉරියව් ප්‍රකාශන, පරිසර වර්ණනා අපූරු ලෙස නවකතාවෙන් මතු කරන්න පුළුවන්. එය පාඨකයාට වුණත් අලුත් අත්දැකීමක්.
සුජාත දියණිය කෘතිය පාඨකයා වැළඳගත්තේ කුමන ආකාරයෙන්ද?
සුජාත දියණිය කෘතිය පිටවනවාත් සමගම ආන්දෝලනයක් ඇතිවුණා. නාට්‍යය රසවිඳි බොහෝ දෙනෙක් කෘතිය කියවීමට උනන්දුවක් දැක්වුවා. විශේෂයෙන් පාසල් දරුවන් ඉතාමත් ආදරයෙන් මේ කෘතිය වැළඳගත්තා.
මෙයත් පරිවර්තන නවකතාවක්. පරිවර්තනයට සිංහල සාහිත්‍යයේ ඇති ඉඩකඩ කවරේද?
ඇත්තටම පරිවර්තන නවකතාවට හොඳ ඉඩක් සාහිත්‍යය තුළ තියෙනවා. බහුතරයක් පාඨකයන් පරිවර්තනවලට විශාල කැමැත්තක් දක්වනවා. අද අපේ රටේ බහුතරයක් ලේඛක ලේඛිකාවන් නවකතා ලියන්නේ සම්මාන පස්සේ යන ගමන්. ඉතිං සමාජයේ අවබෝධය ඇතිව බිහිවන නවකතා අල්ප වුණාට පාඨකයා ලේසියෙන්ම පරිවර්තන කෘති වැළඳ ගත්තා. දැන් බලන්න ‘ගුරු ගීතය’ කෘතිය, එය එදත් අදත් හෙටත් ඕනෑම කෙනෙකුට රස විඳින්න පුළුවන්. අපේ සම්මාන ලැබුණු ඇතැම් කෘති දරුවන්ට තියා වැඩිහිටියන්ටවත් කියවන්න බෑ. විශ්ව සම්භාව්‍ය සාහිත්‍ය කෘති අපේ රටේ පාඨකයා වැළඳ ගන්න මුල් වුණේ මේ කරුණු කාරණා තමයි. ඒ නිසා අදටත් අපේ පාඨකයා අතර පරිවර්තනය ඉඩකඩ තියෙනවා.
සුජාත දියණිය වගේම අභීත දියණියත් හෙට දවසේදී ග්‍රන්ථයකට නැගේවි. මෙයත් පසුකාලීනව අපේ සාහිත්‍යයට යම් බලපෑමක් එල්ල කරාවි කියලා ඔබට හැඟෙන්නේ නැද්ද?
සමහරවිට එහෙම සිදුවේවි කියලා නම් හිතෙනවා. ඒක ඉතිං නවකතාව අනුව තමයි තීරණය වෙන්නෙ. අද බොහෝ පොත පත බිහිවෙනවා. පිටරටින් එන බොහෝ දේ පරිවර්තනය වෙනවා. මේවා අපේ පාඨකයා වැළඳ ගන්නේ අපේ දේවල් ඔවුන්ට නොලැබෙන නිසා. මහාවංශය තුළ, දුටුගැමුණු චරිතය තුළ, විහාරමහා දේවි චරිතය තුළ අපේ දේවල් ඕනෑතරම් ලියැවිලා තියෙනවා. ඒ තුළින් යමක් අපේ පාඨකයාට දෙන්න පුළුවන් නම් මේ දේවල් වැළඳගන්න එකක් නෑ.
ද්‍රවිඩ චිත්‍රපට තහනම් කරන සූදානමක් නැහැ
- අශෝක සේරසිංහ
ශ්‍රී ලංකාව තුළ ද්‍රවිඩ චිත්‍රපට ප්‍රදර්ශනය තහනම් කළ යුතු බව යෝජනාකරමින් කිසිදු ලිඛිත හෝ වාචික ඉල්ලීමක් ජාතික චිත්‍රපට සංස්ථාව වෙත මතෛක් ලැබි නැතැයි ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අධිනීතිඥ අශෝක සේරසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනයනු ලබන විරෝධතාවන්හි නියැලී සිටින රැජිනිකාන්ත්, විජේයි, කමල් හසන් , සූර්යා සිවකුමාර්, කාර්ති සිවකුමාර් යන රංගන ශිල්පීන් රංගන දායකත්වය ලබාදෙන දකුණු ඉන්දීය චිත්‍රපට මෙරට ප්‍රදර්ශනය තහනම් කරන ලෙස ඉල්ලීමක් මෙරට කලා ශිල්පීන් විසින් චිත්‍රපට සංස්ථාව වෙත ඉදිරිපත් කර ඇත්දැයි යන්න ගැන අප කළ විමසුමකදී ඒ මහතා ඒ බව සඳහන් කළේය.
එවැනි යෝජනාවක් ඇත්නම් එය ඉදිරිපත් කළයුත්තේ අමාත්‍යංශ මට්ටමෙන් බවත් කෙසේ වෙතත් දකුණු ඉන්දීය නළු නිළියන්ගේ විරෝධය සම්බන්ධයෙන් මෙරට කලා ශිල්පීන්ගේ සංගම් වෙතින් කිසිදු ආකාරයක යෝජනාවක් චිත්‍රපට සංස්ථාව වෙත මතෛක් ඉදිරිපත් කොට නැති බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
More Articles...
Page 1 of 8
<< Start < Prev 1 2 3 4 5 6 7 8 Next > End >>

මැයි 21 වර්ජනයක් වර්ජනයේ නියමුවෝ විවිධ කතා මාධ්‍ය මගින් ඉදිරිපත් කළහ. ‘මේ පාර තමයි ආණ්ඩුව පාඩම් ඉගෙන ගන්නේ’ සමහරු කීහ.
ආසියාතික මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් ලබන ජූලි මස 5 වැනි දින සිට 11 වැනි දින දක්වා ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වීමට යෝජිතව තිබූ 20 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය කල් දැමීම නිසා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල අර්බුදකාරී තත්ත්වයක් උද්ගතවී ඇති බව වාර්තා වෙයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම අවසන් වටයේ තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පරාජය කළ චෙන්නායි සුපර් කිංග්ස් 5 වැනි වරටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබිමට සමත් විය.




ශ්රී ලංකා පාසල් හෑන්ඩ්බෝල් සංගමය විසින් තෙවැනි වරටත් සංවිධානය කරනු ලැබූ “නියෝ අභියෝගතා කුසලාන” වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් හෑන්ඩ්බෝල් තරගාවලියේ බාලක ශූරතාව මොරටුව වේල්ස් කුමර විද්‍යාලය විසින් දිනාගනු ලැබූ අතර,









අපේ රටේ ඕනෑම 
අපේ රටේ නිල ආර්ථිකයට සමාන්තරව විශාල කළු ආර්ථිකයක් ගොඩනැගෙමින් පවතින බව රාජ්‍ය ව්‍යවසාය පොදු කාරක සභාවේ (කෝප්) සභාපති මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කර තිබේ.




