රස කතා
මිලිටරි අයියා
වැව්ගම්පත්තුවේ කතා
ගමේ මළ ගෙයක් බණ ගෙයක් දානෙ ගෙයක් කොයිද, මිලිටරි අයියා එතැන හිටියා. කාටත් වඩා හොඳින් හොයා බලමින් ඕනෙම වැඩක් තිතටම කරන පුරුද්ද මිලිටරි අයියාට හිමි වෙන්න ඇත්තේ හමුදාවේ බොහෝම කාලයක් හිටපු නිසා වෙන්නැති. මිලිටරි අයියා තමයි ගමෙන් මුලින්ම හමුදාවට බැඳුනේ. ඒ මේ අද ඊයේ නෙවෙයි. ගමේ තරුණ කොල්ලෝ ඉපදීලාවත් නැති බොහෝම ඉහත කාලේදී තමයි මිලිටරි අයියා හමුදාවට බැඳුනේ. හමුදාවේ ඉඳලා එකතු කරගත්ත අත්දැකීම් ගොන්නකුයි, දකුණු කකුලට වැදුනු වෙඩිල්ලක් නිසා ඇති වුණ නොණ්ඩි බවකුයි ඇරෙන්න මිලිටරි අයියාට වැඩිපුර දේවල් තිබුණේ නම් නෑ.
කුඹුරු යාය මැද්දේ තිබුණ බාගෙට හදාපු ගේ පොඩියක මිලිටරි අයියා ජීවත් වුණා. හමුදාවෙන් හම්බුවෙන පැන්ෂන් එක ගමේ පොදු වැඩවලටය, පන්සලේ ලයිට් බිල ගෙවන්නයි වියදම් කරන මිලිටරි අයියාට තමන්ගේ වැඩපළ කරගන්න ඒ හැටි මුදලක් අතේ ඉතිරි වුණේ නෑ. බොහෝම නිහඬව ජීවත් වෙන බිරිඳක් උන්න නිසා වගේම ළමයි ලපටි නැති නිසාම මිලිටරි අයියා ඒ ගෙවන ජීවිතේට වැඩි ප්‍රශ්නයක් ඇති වුණෙත් නෑ.
පොඩි එවුන් කවුරුත් මිලිටරි අයියාට බොහෝම ලෙන්ගතුයි. මිලිටරි අයියා සමහර දාට ගමේ පොඩි එවුන් වට කරගෙන ඒ කාලේ හමුදාවේ සිදු වුණ දේවල් රස කරමින් කියන නිසා ගමේ පොඩි එවුන් කවුරුන්ගේත් වීරයා වුණේ මිලිටරි අයියා තමා. ගමේ තරුණ පහේ උන්ට නම් මිලිටරි අයියා ඒ කියන කතා ඒ තරම් වැදගත් නොවුණේ උන් පොඩි කාලේදී මිලිටරි අයියාගේ කටින්ම ඒ කතා කීප වතාවක්ම අහගෙන තියන නිසාම වෙන්නැති. මිලිටරි අයියා බොහෝම නිහඬ නිවුණු චරිතයක් බව මට නිතරම පෙනුණා වුණත් ඒ නිහඬ බවට යටින් හැංගිලා තිබුණ ආඩම්බරකමකුත් මම කීප විටකදීම දැකලා තියනවා.
“අද වුණත් ආමි එකේ ලොකු ලොක්කෝ කවුරුත් මගෙ වචනෙට පිටින් යන්නේ නෑ. මට ඕනෙ නම් ආමි ඉස්කොඩ් එකක් මේ දැන් මෙතැනට ගෙන්වන්න පුළුවන්”.
ඔය වගේ පණ්ඩිත කතා මම වරක් දෙවරක් මිලිටරි අයියාගේ කටින් අහගෙන තියනවා. ගමේ සමහරු නම් මිලිටරි අයියාගේ ඒ කතා
ඉස් මුදුනින්ම විශ්වාස කරමින් උන්නාට මොකද මිලිටරි අයියාව නිතර කොළොප්පමට ගත්තු ගමේ තරුණ පිරිස නම් ඒ කතාවලට දෙකොණින් හිනා වුණා.
එක් පෝය දවසක මිලිටරි අයියා තමන්ගේම වියදමින් ගමේ පන්සලේ සල්පිලක් සහ වේදිකා නාට්‍යයක් සංවිධානය කළේ හතර වටේටම ණය වෙලා හොයාගත්ත සල්ලිවලින්. ඒ විතරක් නෙවෙයි මිලිටරි අයියා තමන්ගේ බලය පෙන්වන්න ඔහු හඳුනන හමුදාවේ ලොකු ලොක්කෝ කීප දෙනෙක්ම ප්‍රධාන ආරාධිතයෝ විදිහට පන්සලට ගෙන්නුවා. ඔන්න එදා නම් මිලිටරි අයියා හිටියේ පුදුම සතුටකින් හරියට සිංහයෙක් වගෙයි.
මුළු ගමම පන්සලට එකතු වෙලා ඉන්න මොහොතක තමන්ගේ හමුදා බලය ගමටම පෙන්වන්න ලැබිම ගැන මිලිටරි අයියට ගොඩක් සතුටු හිතෙන්නැති. ඒත් ඒ සතුට වැඩි වෙලා තිබුණේ නෑ. මිලිටරි අයියා ගෙන්වාපු හමුදාවේ ලොකු නිලධාරීතුමන්ලා ඔවුන්ට පනවලා තිබුණ අසුන්වල සන්සුන්ව වාඩිවෙලා හිටියේ සුළු මොහොතයි .... මොහොතකින් ඔවුන් එහෙට මෙහෙට ඇඹරෙන්න
ගත්තා ....”
“නැද්ද බං බොන්න මොකුත් උගුර කටත්තෙක්ක වේලිලා”
“සර් බෙලි මල් ද ? කිතුල් හකුරුයි කහටයිද ගේන්නේ ?”
“ඔව්වා බිව හැකිය ගෙනෙං සැර දෙයක් ....”
පෝය දවසේ මත්පැන් හොයාගන්න විදිහක් නැතිව මිලිටරි අයියා ලොකු අමාරුවක වැටුණා. තමන්ගේ මිතුරන් වෙච්ච හමුදාවේ ලොකු මහත්තුරුන්ට පින්සෙණ්ඩු වෙමින් පෝය දා මත් පැන් නැති බව කොයිතරම් පැහැදිලි කරන්න උත්සහ කළත් වැඩක් වුණේ නෑ ... මුළු ගමම ඉදිරියේ මිලිටරි අයියාට අසභ්‍ය වචනයෙන් බැණ වැදුනු මිලිටරි අයියාගේ මිත්‍රයෝ යන්න ගියා.
එදා ඉඳන් මිලිටරි අයියා තනි වුණා. කලින් සිංහයෙක් වගේ ජීවත් වුණ මිලිටරි අයියා මේ සිදුවීමෙන් පස්සේ අපි දැක්කේ පැන්ෂන් ගිය සිංහයෙක් වගේ. එදා ඉඳන් ගමේ පොදු වැඩ හොයලා බලමින් අකුරටම ඒ වැඩ කරන මිලිටරි අයියා අපිට ආයේ දැකගන්න ලැබුණේ නෑ.
සඳරුවන් ජයවික්‍රම
දඬුවම
සුපිරි වෙළෙඳසලින් බඩු ගත් කාන්තාව ඇමතූ අයකැමි මෙසේ ඇසීය.“මැඩම් සල්ලි වලින්ද ගෙවන්නේ නැත්නම් චෙක්වලින්ද, එහෙමත් නැතිනම්, ණයපත්වලින්ද....?”
කිසිවක් නොදොඩා ටික වේලාවක් තම බෑගයට අත දමා සිටි කාන්තාවගේ බෑගය ඇතුලේ රූපවාහිනී දුරස්ථ පාලකයක් තිබෙනවා දුටු අයකැමි ඒ සමගම මෙසේ ඇසීය.
“මැඩම් ඇයි යන යන තැන රිමෝට් කොන්ටේරා්ල් එකත් අරගෙන යන්නේ...?”
“නෑ... මම මගේ මහත්තයට බඩු ගේන්න යන්න කතාකළාම ආවේ නෑ.. ඉතින් මම එයාට දෙන්න තියෙන හොඳම දඬුවම හැටියට රිමෝට් එක අරගෙන ආවා.
ග්‍රහ පිහිටීම
තම කේන්දරය බලා ගැනීමට සිතූ සූරසේන ෙදෙවඥයෙක් හමු විය.
ෙදෙවඥයා: ඔහේගේ කේන්දරේ නම් හරිම අපූරු එකක්.
සූරසේන: ඒ මොකද ඔබතුමා එහෙම කියන්නේ...?
ෙදෙවඥයා: මේකෙ හැටියට නම් ඔහේ හිටපු ගමන්ම ඉහළ යනවා. සමහර විට ඒත් එක්කම පහළ බහිනවා.
සූරසේන: ඉතිං ඒක හරිනේ.. මම වැඩ කරන්නේ අපේ කන්තෝරුවේ ලිෆ්ට් එකේනේ...
වේගය වැඩියි
අධික වේගයෙන් ධාවනය වූ පුද්ගලික බස් රථය දුටු පොලිස් කොස්තාපල්වරයා වහාම නළාව පිඹ එය නතර කරන ලෙස සංඥා කළේය.
කොස්තාපල්: ඔහොමද බූරුවෝ බස් එලවන්නේ....? බලනව තමුසෙලාගේ ස්පීඩ් එක 75 ත් පන්නල බැරිවෙලාවත් මිනිහෙක් එහෙම හැප්පුණා නම්....?
රියැදුරා: රාළහාමි මෙහාට අලුත් වගේ.. මේ බස් එක පොලිසියේ ලොකු මහත්තයාගේ..
කොස්තාපල්: ඒක තමයි මිත්‍රයා මං කිව්වේ.... බැරි වෙලාවත් මිනිහෙක් හැප්පුනානම් රස්තියාදුවනේ වෙන්න වෙන්නේ... එතකොට දුවන්ඩ තියෙන ටර්න් ගාන අඩුවෙනවා.... ඔයාලගේ ආදායමත් අඩු වෙනවා. එහෙම වුණාම කාටද පාඩු අර අහිංසක ලොකු මහත්තයට නේද...?
චන්දන සූරියආරච්චි
මම සෑහෙන වේලාවක් ඔයා එනකම් මෙතන හිටියා
චිත්‍ර ශිල්පී ලකී ලියනගේගේ අලුත බැඳපු යාලුවෙක් ඉන්නවා, හැම තිස්සෙම තමන්ගේ පවුල් ජීවිතේ ගැන උජාරුවෙන් කතා කරන. මිනිහා කියන සමහර කතා හරිම නීරසයි. “මචං,මම ගිය සුමානේ වයිෆ්ට මෙන්න මෙච්චර විතර ටෙඩි බෙයා කෙනෙක් ගිහින් දුන්නා, රුපියල් තුන්දාස් පන්සීයක් වුණා, ඊට කලින් සතියේ පාට පාට ගල් අල්ලපු ජුවෙලරි සෙට් එකක් ගිහින් දුන්නා. දොළොස් දාස් පන්සීයයි.” පසුගිය දවසක මිනිහ ලකීගේ යාළුවොත් එක්ක ඒ විදිහේ පම්‍පෝරි ගැහුවා. කොහොම හරි ඒ යාළුවගේ බිරින්දෑවත් ලකීලා තරමක් දන්නවා. එයා කතා කරන්න පටන් ගත්තාම අනික් කිසිම කෙනෙකුට කට අරින්න දෙන්නේ නෑ. වක්කඩ කැඩුවා වගේ එක දිගටම කතා කරගෙන යනවා. මේකත් හැමෝම දැනගෙන හිටියා.
“මචං මට නම් දැන් හිතා ගන්නවත් බැහැ, ඊළඟට අපේ වයිෆ්ට මොනවා ගිහින් දෙන්නද කියලා. හැබැයි ඉතින් එයාට ප්‍රයෝජනවත් දෙයක් වෙන්නත් එපායැ නේද?.” ඊළඟට ලකීගේ යාළුවා කිව්වා.
“එයාට හුඟක් ප්‍රයෝජනවත් දෙයක් නම් තියෙනවා මචං, ඒත් ගිහින් දෙන්න පුළුවන් වෙයිද කියන එක තමයි ප්‍රශ්නේ” එතකොට ලකීත් කිව්වා. “ඒ මොනවද මචං” යාළුවා ඇහුවා. එතකොට ලකීත් අනිත් යාළුවෝ දිහාත් බැලුවා. “පුළුවන් නම් මචං උඹේ වයිෆ්ට නැවතීමේ ලකුණු කිලෝ එකකුයි. කොමා ග්‍රෑම් පන්සීයකුයි ගිහින් දීපන්කො”
---------------------------------------------
පසුගිය දවසක අපේ මාධවට දෙකටන පැත්තේ යාළුවෙක් පුංචි කොන්ත්‍රරාත් එකක් බාර දුන්නා, ඒ පැත්තේ කර්මාන්ත ශාලාවක වැඩ කරන හාදයෙකුට සීට්ටු සල්ලි වගයක් බාර දෙන්න.
“උඹ ඒ ෆැක්ට්‍රියේ ගේට්ටුව ළඟට ගිහින් අහපන් හේනෙගම ඉඳලා එන දිනේෂ් ඉන්නවද? කියලා. එතකොට මිනිහා එතැනට එයි. ඒත් එක පාරටම ඔය සල්ලි දෙන්නත් එපා.
දිනේෂ් කියන්නේ කළු උස මෙන්න මෙහෙම කොණ්ඩෙ වවපු හාදයෙක් හරිද?” යාළුවා මාධවට ඒ සල්ලි දෙන ගමන් තමන්ගේ හිස වටේ අත කරකවලා එහෙම උපදේශයකුත් දුන්නා.
“හේනේගම ඉඳලා එන දිනේෂ් ඉන්නවද?” ඒ යාලුවගේ ඉල්ලීම ඉෂ්ට කරන්න අර කර්මාන්ත ශාලාවට ගිය මාධව එකේ ආරක්ෂක අංශයෙන් ඇහුවා.
“දිනේෂ් පොඩ්ඩකට එළියට ගියා. දැන් එයි” ආරක්ෂක නිලධාරියා කිව්වා. කොහොම හරි මාධවත් දැන් එතනට වෙලා බලාගෙන ඉන්නවා. කාලය පැය බාගයක් විතර ගියා. පිටතින් ආපු කීප දෙනෙක්ම කර්මාන්ත ශාලාවට ඇතුළු වුණා. ඒත් ඒ අතරේ අර කියපු විදිහේ හාදයෙක් නම් නැහැ.
“දිනේෂ් තවම ආවේ නෑ නේද?” තවත් සෑහෙන්න වෙලාවක් බලාගෙන හිටපු මාධව ආරක්ෂක නිලධාරියාගෙන් ඇහුවා.
“මොකද නැත්තේ දැන් කොච්චර වෙලාද ඇතුළට ගිහින්, ඇයි දැක්කේ නැද්ද?” ආරක්ෂක නිලධාරියා අර දිනේෂ්ව එතනට ගෙන්නුවා. ඒත් මිනිහගේ කොණ්ඩේ අර යාළුවා කිව්වට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්.
“ඔයාද හේනේගම ඉඳලා එන දිනේෂ් කියන්නේ, මම සෑහෙන්න වෙලාවක් ඔයා එනකම් මෙතන බලාගෙන හිටියා. ඔයා කොහෙද ගියේ.”
මාධව මේ දිනේෂ් ගැන තරමක සැකයෙන් ඇහුවා. එතකොට ඒ හාදයත් බොහොම සැහැල්ලුවෙන් වගේ තමන්ගේ ඔළුව අත ගාගත්තා.
“මමද ? මං ගියා කොණ්ඩෙ කපා ගෙන එන්න”
දීර්ඝ ටෙලි නාට්‍යවල නළු නිළියන්ට වැඩ කරන්න වෙලා තියෙන්නේ දවස් කුලියට තමයි
ජනප්‍රිය වේදිකා සහ ටෙලි නාට්‍ය නළු ගිහාන් ප්‍රනාන්දු
ගිහාන් ප්‍රනාන්දු පුරා දශක දෙකකට අධික කාලයක් රංගන ශිල්පියකු ලෙස විවිධ චරිත රඟපාමින් තම රංගන හැකියාවන් පළ කළ නළුවෙකි. රංගනය පිළිබඳ මනා පරිචයක් ඇති ගිහාන් වේදිකාව තුළින් ද සිය රංගන පරාසයේ පුළුල් බව විදහා පෑවේය. වේදිකාවෙන් පුංචි තිරයට පිවිසි නළු පරපුරට එක් වූ ඔහු අද වන විට සතියේ දින පහේම අපට හමුවේ. සතියේ දින පහ පුරාම රාත්‍රී 7.30ට හිරු ටී.වී. ඔස්සේ “සඳ පිණි බිඳක” ටෙලි නාට්‍යයේත් 8.30ට සිරස ටී.වී. විකාශය වන තූර්යා හා ස්වර්ණවාහිණියේ විකාශය වන “අම්මාවරුන්” ටෙලි නාට්‍යය තුළිනුත් ගිහාන් අපට හමුවේ. “දෙරණ” නාලිකාවේ විකාශය වන “අත්තම්මා” හා ජාතික රූපවාහිනියේ විකාශය වන “ඉසුරු භවන” තුළත් ඔහු අපට හමුවන්නේ රාත්‍රී 9.00ටය. සතියේ දිනවල එම නිර්මාණවල විවිධ චරිත රඟන ගිහාන් සෙනසුරාදා රාත්‍රී 7.30ට හිරු ටී.වී. ඔස්සේ විකාශය වන ‘ආටක නාටක’ තුළින් ද අපේ ආලින්දයට ගොඩ වේ. නළුවකු ලෙස කාර්යබහුල දිවියක් ගත කරන මේ ප්‍රවීණ රංගන ශිල්පියාගේ කලා දිවියේ තොරතුරු විමසන්නට අපි ඔහු හමුවීමු.
එකම වෙලාවට ඔබ රඟපෑ නාට්‍ය දෙකක් නාලිකා දෙකක විකාශය වන විට ඔබ ඉන් එකක් නරඹන්න තෝරා ගන්නේ කොහොමද ?
මේ කාර්ය බහුලකමත් එක්ක මම රඟපාන එක ටෙලි නාට්‍යයක් වත් නරඹන්න මට ලැබෙන්නෙ නැහැ.
නළුවෙකුගේ සාර්ථකත්වයට තමන්ගේ රඟපෑම් අධ්‍යයනය කිරීමත් වැදගත්. ඒ අනුව ඔබ සාර්ථක නළුවෙක් වන්නේ කොහොමද?
රංගන කුසලතාවය කියන්නේ අප තුළම තියන දෙයක්. මම ටෙලි නාට්‍යයකට එකතුවන්නේ එහි අධ්‍යක්ෂවරයා ගැන හිතලා. ඒ අධ්‍යක්ෂවරයා මාව
මෙහෙයවන කෙනෙකු විය යුතුයි. නළු නිළියන් මෙහෙයවීම තමයි අධ්‍යක්ෂවරයකුගේ ප්‍රධාන වගකීම.
ඒ වුණත් අද ඔබ බහුලව දකින්න ලැබෙන්නේ මෙගා නාට්‍යවලද?
‘මෙගා’ කියනවාට වඩා මම කැමතියි දීර්ඝ ටෙලි නාට්‍යය කියා කියනවාට.
මෙගා කිව්වත් දීර්ඝ කිව්වත් පොදුවේ ගත්තම ඒවා අවර ගණයේ නාට්‍යය බවයි බොහෝ අය කියන්නේ ....?
ඔය අවරගණයේ කියන වචනය තමන් ප්‍රබුද්ධයි කියලා හිතන කීප දෙනෙක් තමන්ගේ පුහු මහන්තත්වය විදහා පාන්න හදා ගත්තු වචනයක්. කොටස් දහයක් පහළොවක නාට්‍ය අතරේ වුණත් බලන්න බැරි නාට්‍ය තියෙන්න පුළුවනි. අපි කලාකෘතියක් තක්සේරු කළ යුත්තේ නිර්මාණය දිහා බලලා මිසක් ‘ෂූටින්’ ෂෙඩූල් දිහා බලලා නෙවෙයි.
ඔබ දීර්ඝ ටෙලි නාට්‍යවලට එකතු වන හින්දා ඒවාත් ගුණාත්මක බව හඟවන්නද ඔය උත්සාහ කරන්නේ ?
“කඩුල්ල”, “පළිඟුමැණිකේ”, “වෙදහාමිනේ”, “ඇල්ල ළඟ වළව්ව” ඇතුළු විශිෂ්ට ටෙලි නාට්‍ය බිහි වූ රටක් අපේ රට. ඒත්, ඒ රටේ අනික් බොහෝ දේවල් වගේ අද ටෙලි නාට්‍යයත් තනිකරම වාණිජ්‍ය පරමාර්ථ මතයි කරන්නේ. එවන් පසුබිමක අර මුලින් කී විදියේ විශිෂ්ට ටෙලි නාට්‍ය බිහිවෙන්නට තියන හැකියාව අඩුයි. අනෙක දීර්ඝ ටෙලි නාට්‍යයක් වූ පමණින් එය තක්සේරුවට ලක්විය යුතු නැති බවයි නැවතත් මා කියන්නේ.
ඒ වුණාට ඔය දීර්ඝ ටෙලි නාට්‍යවලට බණින අය අතර ඔබේම සහෝදර නළු නිළියනුත් ඉන්නවා ?
තමන්ට ඔය විදියේ නිර්මාණවලට ආරාධනා නොලැබෙන විට ඒවාට බැණපු අයත් හිටියා. ජීවිතේට මෙගාවලට යන්නෙ නැහැ කියා දැඩි ප්‍රතිපත්තිවල හිටපු අයත් හිටියා. ඒත් පසු කාලයේදී ඒ අයත් මෙවැනි නිර්මාණවලට ඇවිත් නිදහසට කරුණු විදියට යම් මතවාද ගොඩනැගුවා. ඔන්න ඕකයි සැබෑ තත්ත්වය.
නමුත් අදටත් තෝරා බේරා ගත් හොඳ නිර්මාණවලට විතරක් දායක වන දක්ෂ රංගන ශිල්පීන් අපේ රටේ ඉන්න බව අමතක කරන්න බැහැ. ඒ වගේම ඔබත් වේදිකාව තුළ දක්ෂතා පළකළ දක්ෂ ශිල්පියෙකු බවත් අමතක කරන්න බැහැ ?
සමහරු ඉන්නවා විවිධ වෘත්තීන් හා විවිධ කටයුතුවල යෙදෙන අය. ඒ අයගේ රඟපෑම තමන්ගේ කටයුතුවලට ආලෝකයක්. ඒ වගේ පිරිසට අවුරුද්දකට එක නිර්මාණයකට දායක වුණත් ඒ ආලෝකය ලැබෙනවා. ඒ හින්දම අවුරුද්දට එකක් දෙකක් රඟපාලා තෝරා බේරාගත් නිර්මාණවලට විතරක් දායක වන බව කියනවා. ඒත් මට එහෙම බැහැ. මම කරපු රස්සාවත් අතැරලා පූර්ණ කාලයම රඟපෑමට එකතු වුණේ ඊට ඇති ආශාවට. මම වෘත්තිය නළුවෙක්. ඉතින් මට වසරකට එක නිර්මාණක රඟපාලා පවතින්න බැහැ.
මෙගා නාට්‍යවල දවසේ කුලියට රඟපාන නළුවෙක් වුණේ වෘත්තිය රංගන ශිල්පියෙක් වූණු හින්දා නේද?
අද දීර්ඝ ටෙලි නාට්‍යවලට දායක වන හැම නළු නිළියන්ට සිදුවෙලා තියෙන්නේ දවසේ වැටුපට රඟපාන්න තමයි. නමුත් ඒකෙන් ඒ අයගේ ජීවිත වගේම කලාවත් රැකෙනවා නම් කාටවත් ප්‍රශ්නයක් වෙන්න බැහැනේ ?
ඔබ ඔය කියන්නේ ළිඳ මගේ නම්, මම ළිඳේ නම් කාටවත් ඇති වේදනා වගේ කතාවක් නේද ?
වෙන්න පුළුවන්. ඒත් අද ටෙලි නාට්‍ය කර්මාන්තයේ තත්ත්වය තමයි ඒ. අපටත් ඒ කර්මාන්තය තුළ තමයි ඉන්න සිදුවෙලා තියෙන්නේ. කර්මාන්තය බිඳ වැටුණොත් කලාවත් ඉබේම බිඳ වැටෙනවා.
ඒ කියන්නේ අවංකම අද පවතින තත්ත්වය පිළිබඳව ඔබ කනගාටු වෙනවා.
ඔව් මේ වන විට විශිෂ්ට ටෙලි නාට්‍ය බිහි නොවීම ගැන මම කනගාටුවෙනවා.
ඒ කියන්නේ ඔබ තුළත් ආත්ම තෘප්තියක් නැහැ ?
වඩුවෙක්, පෙදරේරුවෙක්, කම්කරුවෙක්, වෛද්‍යවරයෙක් මේ කොයි විදියක වෘත්තියක යෙදෙන කෙනෙක් වුණත් තමන්ගෙ වෘත්තිය ගැන තෘප්තිමත් විය යුතුයි. ඒ අතින් මම භාග්‍යවන්තයි. රඟපෑම කියන්නේ හරිම තෘප්තිමත් කටයුත්තක්. මම ඒ කටයුත්තේ යෙදෙන්නේ හරිම තෘප්තියෙන්. ඒත් ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ මේ පසුබිම පිළිබඳ තෘප්තියක් නෑ. ඒක කලාවට විතරක් නමෛයි අද රටේ හැම ක්‍ෂේත්‍රයකටම මේක පොදු තත්ත්වයක්.
ආරියවංශ කුලතිලක
තලගොයි මහත්තයා
වැව්ගම්පත්තුවේ කතා
වැව්ගම්පත්තුවේ මිනිස්සු ආවාට ගියාට මිනිසුන්ට නං වානං පට බඳින ජාතියේ උදවිය නම් නෙවෙයි. මේ වැව්ගම් පත්තුවේ හිටියේ මාස ගාණක්
මිනිහෙකුගේ හැසිරීමක් ඇදයක් කුදයක් දිහා බලාන ඉඳලා ඉඳලා බැරිම තැන හීනියට නමක් පට බඳින ජාතියේ අහිංසකම අහිංසක මිනිස්සු ජාතියක්. ඉතින් තලගොයි මහත්තයාටත් ඒ නම ගමේ මිනිස්සු පටබැන්ඳේ කට කහනවාට නම් නෙවේ.
“දඹුළු ගිහින් තලගොයින් මරාගෙන එනවා” කියලා උපහැරනයක් තිබුණාට මොකෝ දඹුල්‍ලේ මිනිස්සුන්ටත් වඩා තලගොයි වැව්ගම්පත්තුවේ ඉන්නවා. බෙනයක් හුඹහක් ගානේ, ගහක් ගලක් ගානේ, කක්කුස්සි වළක් වළක් ගානේ, වෙලක්, නියරක්, වක්කඩක් ගානේ සිය ගාණක් තලගොයි උන්නේ මේ වැව්ගම්පත්තුවේ සුන්දරත්වය වඩවන්න විතරක් නම් නෙවෙයි තලගොයි මස ප්‍රධාන ආහාරය කරගෙන උන්නු සමහරක් වැව්ගම්පත්තුවේ වැසියන්ගේ බඩගිනි නිවන්නයි.
තලගොයි මස ප්‍රධාන ආහාරය කරගෙන උන්නු වැව්ගම් පත්තුවේ උදවියගෙන් කෙනෙක් තමයි ජයතිලක මහත්තයා, දවස ගාණේ තලගොයි මස් කන්න තරම් වැව්ගම්පත්තුවේ කිසිම මිනිහෙක් පුරුදු වෙලා හිටිය වගක් මට මතක නැති වුණාට මේ අපේ ජයතිලක මහත්තයා නම් දවස ගාණේ තලගොයි මසේ රස වින්දා.
අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උසස් නිලයක් දරපු ජයතිලක මහත්තයාට වැව්ගම්පත්තුව වටේටම අඳුනන ගම් වැසියෝ සෑහෙන පිරිසක් හිටපු නිසාම ඔවුන් ලවා තලගොයෙක් දෙන්නෙක් තමන්ගේ නිල නිවසේ කුස්සිය පැත්තට ගෙන්වා ගන්න එක ඒ තරම් අපහසු වුණේ නෑ.
‘තලගොයෙක් දැක්කම ජයතිලක රාළහාමිට මෙලෝ සිහියක් නෑ’
පාසල් ළමයින් වගේම ගුරුවරු පවා ජයතිලක මහත්තයාගේ හැටි දැනගෙන හිටියාට මොකෝ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකුට කොලොප්පම් කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න ඒ කවුරුත් කැමැති වුණේ නෑ. ඒ වුණත් එක දවසක ජයතිලක මහත්තයා තලගොයෙක් නිසා ලොකු අමාරුවක වැටුණා. වතාවක් වැව්ගම්පත්තුවේ ප්‍රසිද්ධ පාසලක රැස්වීමකට ඇවිදින් උන්නු ජයතිලක මහත්තයා ඇතුළු පිරිස එදා දවසේ තිබුණු අධික උණුසුම නිසාම රැස්වීම තියන්න තැනක් විදිහට පාසල් වත්තේ තිබුණු මහා නුග ගහක් යටට ගියා. පාසලේ උන්නු ළමයින්ට වගේම ගුරුවරුන්ටත් ආදර්ශමත් විදිහට හැසිරෙන හැටි පැයක විතර දීර්ඝ කතාවකින් කියා දුන්නු ජයතිලක මහත්තයා කතාව අවසන් කරලා ඉඳගත්තා විතරයි ජයතිලක මහත්තයාගේ කරුමෙටමද කොහේද නුග ගහේ බෙනේකින් එළියට පැනපු කිලෝ දහයක් විතර බර දැවැන්ත තලගොයෙක් රැස්වීම් සභාව මැදින් දුවන්න ගත්තේ ජයතිලක මහත්තයාට ඔච්චමට වගේ.
මෙච්චර වෙලා ආදර්ශමත් විදිහට හැසිරෙන හැටි ළමුන්ට වගේම ගුරුවරුන්ටත් කියාදෙමින් හිටපු ජයතිලක මහත්තයාගේ අවංක කම කිලෝ දහයක් බර තලගොයාට යට වුණා. “ඔහෙ හිටපිය” කියමින් රැස්වීම් ශාලාවේ මේසය සමබර කරන්න මේස කකුලකට තියලා තිබුණු ගඩොල් භාගයක් ඇදලා ගනිපු ජයතිලක මහත්තයා උන්දැගෙ එහෙට මෙහෙට පැද්දෙන ටයි පොල්ලත් හොලවමින් තලගොයා පස්සේ එලවන්න පටන් ගත්තේ කාගෙත් පී්‍රතිගෝෂා හූ හඬ මැද්දේ.
ඔය සිදුවීමෙන් පස්සේ ටික කාලයක් යනතුරු ජයතිලක මහත්තයා වැරදීමකින්වත් පාසලකට අඩිය නොතියන්න වගබලා ගත්තේ ළමයි සහ ගුරුවරු ජයතිලක මහත්තයා පාසලට එනවිට තලගොයි අල්ලාගෙන ඇවිත් ජයතිලක මහත්තයා ගේ ඉදිරියෙන් දුවන විදිහට අත හැරලා දාන්න යන බවට කටකතාවක් පැතිරුණු නිසාමයි.
හැබැයි ඉතින් කොයිතරම් ප්‍රශ්න ආවත් ජයතිලක මහත්තයා නෙවෙයි තලගොයි මසට තිබුණු ආසාව අමතක කළේ. අල්ලගන්න තලගොයාව වළල්ලක් වගේ රෝල් කරලා ඔතාගෙන වටපිට බලමින් කුස්සිය පැත්තට කිට්ටු කරන ජයතිලක මහත්තයා වැව්ගම්පත්තුවේ බොහෝම ප්‍රසිද්ධ චරිතයක්. ඉස්කෝලේ යන පොඩි ළමයි පවා තලගොයෙක් දැක්ක හැටියේ ජයතිලක මහත්තයාගේ නම මතකෙට ගන්නේ ඒ නිසයි.
සඳරුවන් ජයවික්‍රම
අභීත දියණියහි දඟකාර ගුමන් කුමරු කවුද?
අභීත දියණිය ටෙලිනාට්‍යය තවත් ප්‍රබල කරවන චරිතයක් දැන් ඊට එක්කොට ඇත. ඒ අතිශය සුරතල් හා දඟකාර බවක් පළකරන කුඩා දරුවෙකි. ගමේ ගොඩේ ව්‍යවහාරයට අනුව කිවහොත් ඕනෑවටත් වඩා ‘පැහිච්ච’ බවක් පළකරන මෙම සුරතල් දරුවා හුදු මනඃකල්පිතයක් නොවේ. කොරියානු ඉතිහාසයේ ඔහු පිළිබඳව සඳහන් වනුයේ ප්‍රතාපවත් රජකෙනකු ලෙසිනි.
අභීත දියණිය ටෙලිනාට්‍යය නරඹන ඔබ මොහු හඳුනන්නේ ගුමන් කුමරු ලෙසිනි. පසුකාලයේදී ‘යිවෝනින්ග්’ කුමරු බවට පත්වන ඔහු ජෝසියොන් රාජ පරම්පරාවේ විසිඑක් වැනි රජු ලෙස ‘යිවොන්ග්ජෝ’ නමින් රජ වෙයි. අභීත දියණිය නාට්‍යයේ ඔබ දකින ගුම් කුමරු ලෙස චරිත නිරූපණය කරන්නේ කොරියාවේ දක්ෂ ළමා නළුවකු වන ලී හ්‍යුන්ග් සුක්ය. 2000 සැප්තැම්බර් 9 වැනිදා උපන් ඔහු තවමත් ළමාවියෙහි පසුවුවද වෘත්තියෙන් ඔහු නළුවකු ලෙස අන්තර්ජාලයේ සඳහන්ව ඇත. අද වන විට කොරියාවේ සෑහෙන ජනප්‍රියත්වයක් මේ ළමා නළුවාට හිමි වී තිබේ. තවමත් ළාබාල වයසේ පසුවුවද ඔහු මේ වන විට රූපවාහිනි වැඩසටහන් හයක් මෙහෙයවන අතර චිත්‍රපට හයක චරිත නිරූපණයකොට තිබේ. නමුත් ඔහු වැඩි වශයෙන් ජනප්‍රියත්වයට පත්වූයේ දොං
ග්යි හෙවත් අභීත දියණියහි ගුම් කුමරුගේ චරිතය නිරූපණය කිරීමෙන් අනතුරුවය. ඔහුගේ මෙම චරිතය පිළිබඳව ලැබි ඇති ප්‍රේක්ෂක ප්‍රතිචාර අතිමහත්ය.
එක් ප්‍රේක්ෂකයෙක් ඔහු පිළිබඳව මෙසේ පවසා තිබිණි.
“මම සාමාන්‍යයෙන් දොංග්යි (අභීත දියණිය) නරඹන කෙනෙක් නොවෙයි. ඒත් මේ හුරතල් පොඩි දරුවා ඒකේ දකින්න පටන් ගත්තු දවසේ ඉඳන් මම නොවරදවාම ඒක බලනවා. මේ දරුවා හරිම දක්ෂ විදියට, ස්වභාවික විදියට රඟපාන්නේ. මම ඔහුගේ මුහුණෙන් පෙනෙන ඉරියව්වලට කැමතියි. ඔහුගේ සිනහව හරිම හුරතල්. හැමදේම ඇත්තටම කරනවා වාගෙයි. ඒ ගැන කියන්න මට වචන නැහැ.”
තවමත් පාසල් වියේ පසුවන ලී හ්‍යුන්ග් තම කාර්ය බහුලත්වය අධ්‍යාපනයට බාධාවක් කරනොගන්නා බව පවසයි. ලී හ්‍යුන්ග් සුක් සිය රඟපෑම් වෙනුවෙන් 2010 වසරේදී සම්මානයක්ද දිනාගනු ලැබිණි. ඒ අභීත දියණියහි රඟපෑම වෙනුවෙනි. ඒ කෙසේ හෝ තමන්ට ලැබෙන චරිත එකකට එකක් වෙනස් ආකාරවලින් රඟපෑමේ විස්මිත හැකියාවක් මේ ළමා නළුවා තුළ පවතින බව විචාරකයෝ පවසති.
නිරංජන් චාමින්ද කරුණාතිලක
ටෙනිසන් ධනපාල වී සිවම්මා ධනපාල වේදිකාවට ගෙන එයි
ටෙනිසන් කුරේ තමන්ගේ නවතම නාට්‍ය නිර්මාණය ‘සිවම්මා ධනපාල’ වේදිකාවට රැගෙන ඒමට සූදානම් වනවා. “සිවම්මා ධනපාල” ඓතිහාසික නාට්‍යයක්. චාල්ස් ඩයස් සූරීන් විසින් 1911දී නිර්මාණය කළ ‘සිවම්මා ධනපාල’ නාට්‍යයේ එදා සිවම්මා ලෙස රඟපෑවේ ඩබ්. මාෂල් පෙරේරා නම්
නළුවෙක්. ඩී.පී. අල්මේදා එදා ධනපාල ලෙස රඟපෑවා. කාලෙන් කාලෙට වේදිකාවට පැමිණි සිවම්මා ධනපාල නාට්‍යයේදී රුක්මණී දේවියත් ‘සිවම්මා’ වූ අවස්ථා තිබුණා. අද දවසේ ටෙනිසන් කුරේ ධනපාලගේ චරිතය රඟපාමින් නාට්‍යය අධ්‍යක්ෂණය කරනවා. පසුගියදාක ටෙනීව ‘රිද්ම’ කතාබහකට එකතු කර ගත් අපි ‘සිවම්මා ධනපාල’ ගැන අහන අතර ඔහුගේ කලා ජීවිතේ අලුත් තොරතුරුත් විමසුවා.
මුලින්ම අපි “සිවම්මා ධනපාල” ගැන කතා කරමු?
1911දී චාල්ස් ඩයස් සූරීන් නිර්මාණය කළ “සිවම්මා ධනපාල” නාට්‍යය මම යළි වේදිකාවට ගෙන එනවා. මෙහි ධනපාලගේ චරිතය මම රඟපානවා. සිවම්මාගේ චරිතය රඟපාන්නේ නිශානි ගමගේ. මීට අමතරව ප්‍රේමදාස විතානගේ, සුනිල් ලියනආරච්චි, තුසිත විජේසිංහ, ෂෙහානි කොඩිකාර, සංජානා පීරිස්, චතුරිකා ආරියවංශ, මුතුලතා, ගයනි, කේ.පී. ලක්ෂ්මන්, රාජලිංගම්, ජෙරාට් විරයන්, රවින්ද්‍ර කෝදාගොඩ සහ සාලිය කුමාර ශ්‍රී යන අය රඟපානවා. සංගීතය දිනේෂ් සුබසිංහ. මේ නාට්‍යය වේදිකාගත වන්නේ ජුනි 10 වැනිදා සවස 3.30ට සහ 6.30ට මරදාන ටවර් රඟහලේදී.
මුල් නිර්මාණය ඒ විදියටම ගෙන එනවද?
මුල්ම නිර්මාණයේ ගීත 60ක් ඇතුළත් වුණා. එදා සිවම්මා ධනපාල පැය 4 ක නාට්‍යයක්. ඒ කාලේ මිනිස්සු බත්මුල් බැඳගෙන සිවම්මා ධනපාල බලන්න ආවා කියලා මම අහල තියෙනවා. අද ඒ තත්ත්වය නැහැ. මේ නාට්‍යයට මම ඇතුළත් කළේ ගීත 6යි. යම් යම් සංස්කරණයන් සිදුකරලා පැය 2කට නාට්‍යය කෙටි කරන්න මට සිදුවුණා. නමුත් මුල් කතාවට ඉන් හානියක් සිදුවන්නේ නැහැ.
'සිවම්මා ධනපාල’ අයිතිය ටෙනිසන්ට ලැබුණේ කොහොමද?
ලක්ෂ්මන් ජයකොඩි ඇමැතිතුමා චාල්ස් ඩයස් සූරීන්ගේ මුණුබුරා. එතුමා තමයි මෙම නාට්‍යයේ වර්තමාන හිමිකරු. එතුමා මෙය වික්ටර් වික්‍රමගේට බාරදීලා. වික්ටර් වික්‍රමගේ තමයි මෙය මට බාරදුන්නේ. මේ අවස්ථාව ලබාදීම ගැන මම වික්ටර් වික්‍රමගේ මහතාට ස්තුතිවන්ත වනවා.
ටෙනිසන් කුරේගේ හාස්‍යය එදා සිවම්මා ධනපාල නූර්තිය තුළ තිබූ හාස්‍යටම ගැළපෙනවද?
එදා නාට්‍යය ඒ විදියටම දුන්නොත් අද ප්‍රේක්ෂකයෝ පිළිගන්නේ නැහැ. ඒ හින්දා ‘සිවම්මා ධනපාල’ අදට ගැළපෙන විදියට ඉදිරිපත් කරනවා. හැබැයි මම සිවම්මා ධනපාල වෙනස් කළේ නැහැ. පොලිෂ් කළා විතරයි.
ඔබේ නවතම සිනමා රංගනයන් ගැන කතා කළොත්?
දිනේෂ් ප්‍රියසාද්ගේ “ඇද්ද ලණුව දැම්මා කොඩිය” සහ “ඔළුව ජපන් කඳ ජර්මන්” චිත්‍රපට දෙකේ රඟපානවා. ‘ඇද්ද ලණුව දැම්මා කොඩිය’ චිත්‍රපටයේ මගේ පෙම්වතිය දිනේෂ්ගේ දුව ශේෂාද්‍රි. ශේෂාද්‍රි පුංචි කාලේ මම ඇයව වඩාගෙන හුරතල් කරලත් තියෙනවා. සුදේශ් වසන්ත පීරිස්ගේ “රන්ජා” සහ බර්මින් ලයිලිගේ “සඳළුතලේ කුමාරියෝ” චිත්‍රපටවලත් මම රඟපානවා.” සඳළුතලේ කුමාරියෝ චිත්‍රපටයේ මම අනර්කලීිගේ ආදරය ඉල්ලගෙන යන පෙම්වතෙක්.
සැබෑ ජීවිතයේදී නම් ටෙනිසන් කුරේ දැන් සීයා කෙනෙක්?
මගේ මුණුපුරා චන්දෘෘ ප්‍රනාන්දුට දැන් වයස 8යි. මිණිපිරී මින්ද්‍රි ප්‍රනාන්දුට වයස 6යි. දෙන්නම කලාවට දක්ෂයි. සමහර වෙලාවට මාව අනුකරණය කරල රඟපානවා.
පවුලේ අය ටෙනිසන්ගේ කලා කටයුතුවලට සහයෝගය දෙනවද?
බිරිඳ (මල්සිරි කුරේ), දුව (මධුමිහිරි) දෙදෙනා හැමදාම මගෙ කලා කටයුතුවලට අතහිත දුන්නා. දුවට කලා හැකියාවන් තිබුණත් ඇය ඊට යොමු වුණේ නැහැ. දුවගේ සැමියා චතුරංග ප්‍රනාන්දුත් කලාවට ලැදි කෙනෙක්.
දුව කලාවට යොමු නොවුණු හින්දා මුණුපුරයි මිණිපිරීයි ඊට යොමු කරනවද?
ඒ අයගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා ලොකු අය විදියට කලාවට එනවනම් උදව් කරනවා. මේ වයසේදී ඒ දරුවන්ව කලාවට යොමු කරන්නෙ නැහැ. ඒකෙන් ඒ දරුවන්ගේ අධ්‍යාපනයට බලපෑම් ඇතිවිය හැකියි.
පුංචි දරු දැරියෝ කලා ක්‍ෂේත්‍රයට ඇවිත් ජනප්‍රිය චරිත බවට පත්වීම ටෙනිසන් අනුමත කරන්නෙ නැද්ද?
නැහැ. මම එය අනුමත කරන්නෙ නැහැ. දරුවන්ව ටෙලි නාට්‍යවලට චිත්‍රපටවලට යොමු කරවීමේ අවශ්‍යතාවය තියෙන්නේ වැඩිහිටියන්ට. තාත්තලටත් වඩා අම්මල තමයි ඔය ගැන උනන්දු වන්නේ. සමහර විට ඒ දරුවෝ ඊට යොමු වන්නේ අම්මලගෙ බලපෑමට. ඒකෙන් දරුවන්ගේ අධ්‍යාපනයට වගේ ළමා මනසටත් බලපෑම් ඇතිවන්න පුළුවනි.
ආරියවංශ කුලතිලක
මමයි සමන්තයි වෙන්වුණා කියලත් කතාවක් පැතිරුණා
අමිලා නදීශානි
සිරස සුපර් ස්ටාර් මාවත ඔස්සේ ගායන ලෝකයට එකතු වූ අමිලා නදීෂානි අද වන විට සංදර්ශන වේදිකාව තුළ නැතිවම බැරි ගායිකාවක්. මේ ළඟදී ඇය අලුත්ම ගීත කිහිපයක්ම ගායනා කළා. ඒ වගේම වෙනත් ගායිකාවන්ගේ ගීතයන් නව සංගීතයට ගායනා කළ හින්දම දෝෂදර්ශනයට ලක් වුණා. පසුගිය කාලේ ව්‍යාපාරිකාවක් විදියට ජීවිතයේ නව පිටුවක් ඇරඹූ අමිලා ළඟදී තවත් ව්‍යාපාරික ස්ථානයක් ආරම්භ කළා. දැන් අමිලාගෙයි සමන්තගෙයි කැදැල්ල දරු දෙදෙනකුගේ සිනාහඩින් පිරිලා යන බවක් ‘රිද්ම’ හිතවතුන් දන්නවනේ. ඉතින් මේ සියලුම කරුණු එක්ක අමිලාගේ අලුත්ම තොරතුරු දැනගන්න කැමති අය නිසාමයි. මේ සතියේ අපි අමිලාව ඔබ හමුවට මේ විදියට කැඳවාගෙන එන්නේ.
මොනවද අලුත් තොරතුරු?
ළඟදී මගේ සැලොන් එකක් ආරම්භ කළා. ඒක තියෙන්නේ කළුබෝවිල. ඒ සැලොන් එකෙ නම “සැලොන් කන්කා”
අමිලා දැන් ව්‍යාපාරික ස්ථාන තියන හිමිකාරියක්ද?
වෙන්නප්පුවෙයි, මගේ ගම් පළාත වන ඇඹිලිපිටියෙයි “කන්කා” නමින් සාරි ෂොප් දෙකක් තියෙනවා.
ඇයි මේ හැම එකකටම “කන්කා” කියල නම දාන්නේ?
මගෙ නම වල්‍පොල කන්කානම්ගේ අමිලා නදීෂානි. සැමියගේ නම කංකානම් ගමගේ සමන්ත. දෙන්නගෙම නම්වල එකතුවක් විදියටයි “කන්කා’ කියල නම යොදන්නේ.
අමිලාගේ සංගීත ජීවිතේ අලුත් තොරතුරු මොනවද?
පසුගිය දවස්වල අලුත් ගීත කිහිපයක් කළා.
පසුගිය දවස්වල ඉන්ද්‍රාණි පෙරේරා එදා ගැයූ ‘මතකය ඇසුරින්’ ගීතය අමිලා නැවත ගැයීම ආන්දෝලනාත්මක සිදුවීමක් වුණා?
පැරණි ගීත ‘රීමේක්’ කිරීම සිදුවනවා. බොහෝ අය එම ගීත ගායනා කර තිබෙනවා. නමුත් මම ඒ දේ කළාම වැඩිපුර බැණුම් අහන්න සිදුවුණා.
වෙනත් ගායක ගායිකාවකගේ ගීත තවත් ගායක ගායිකාවන් ගැයීම වැරදි නැද්ද?
යටපත් වීගෙන යන ගීතය නව සංගීතයට නව හඬකින් ඊළඟ පරපුරට දීම වරදක් නැහැ.
ඒ කියන්නේ අමිලා ඉදිරියේදී වුණත් වෙනත් ගායිකාවකගේ ගීත ගයන්න පුළුවනි....?
මම “මතකය ඇසුරින්” ගීතය ගයන්න ඉදිරිපත් වුණේ ක්ලැරන්ස් විජයවර්ධන මහතාට උපහාර පිණිස. මා එම කටයුත්තට කැමති වුණේ නොමිලේ. ඒත් දීමනාවක් විදියට මුදලක් ඒ අය මට දුන්නා. නමුත් ඔය ගීතය ගැයූ නිසා බොහෝ අයගෙන් දොස් අහන්න වුණා. මින් මතු නම් මම “රීමේක්” සඳහා නොමිලේ කැමැත්ත පළ කරන්නේ නැහැ. ඒ සඳහා මුදලක් අය කරලා තමයි කරන්නේ.
නමුත් ඉන්ද්‍රාණි පෙරේරා තවමත් ක්‍ෂේත්‍රය තුළ රැඳී ඉන්නවා?
එතුමියට මම ගොඩක් ගරු කරනවා. ‘මතකය ඇසුරින්’ ගීතය රීමේක් කරද්දී මාව ඊට යොදාගත්තේ එහි අයිතිකරුවන්. ඒත් මා ඒ ගැන ඉන්ද්‍රාණි පෙරේරා මහත්මියට කියන්න දුරකථනයෙන් කතා කළා. ඒ වෙද්දී එතුමිය සංගීත සංදර්ශනයකට විදෙස් ගතවෙලා. එතුමිය යළි එනතුරු මම බලා හිටියත් ගීතය පටිගත කිරීම පමා කරන්න අදාළ අංශ කැමති වුණේ නැහැ. ඒ හින්දා මට ගීතය ගායනා කරන්න වුණා.
ඇන්ජලින් ගුණතිලකගේ ගීත ගැයීම ගැනත් අමිලාට චෝදනා නැගෙනවා...
මට මගේම ගීත තියෙනවා. සංදර්ශනවලට මා යන්නේ මගේ ගීත ගයන්න. ඒ වුණත් ඇතැම් සංදර්ශනවල ඉන්න නවක සංගීත කණ්ඩායම් ඒ ගීත දන්නේ නැහැ. ඒ අය දන්නේ ජනප්‍රිය පැරණි ගීත. ඒ වෙලාවට මම අසරණ වෙනවා. මගෙන් ඉල්ලන ඒ ගී ගයන්න මට සිදුවන්නේ ඒ හින්දයි.
වෙනත් ගායිකාවක් අමිලාගේ ගී ගැයුවොත්?
තවම මගේ ගීත යටපත් වෙලා නැහැ. ඒ නිසා දැන් වෙනත් ගායිකාවක් මගේ ගීත ගයන්නේ නැහැ. නමුත් මගේ ගීත යටපත් වී යන කාලෙක නවක ගායිකාවක් එම ගී ගැයුවොත් මම සතුටුවෙනවා. මගේ ගී යටපත් වෙන්න නොදී යළි ගයන ඒ නවක ගායිකාවට මම ආශිර්වාද කරනවා.
කටකතා ගැන මොකද හිතන්නේ.?
මටත් කටකතා හැදිල තියෙනවා. මමයි සමන්තයි වෙන්වුණා කියලත් කටකතා පැතිරුණා. ඒත් ඒවා ගණන් ගත යුතු නැහැ. කටකතා කියන්නේ කටකතා විතරයි.
මෑත කාලයේ කලා ලොවේ දික්කසාදවීම් බහුලව සිදුවුණා. ඔය විදියේ කටකතාවලට ඒවත් බලපාන්න ඇති....?
එකට ජීවත් වෙන්න බැරි දෙන්නෙක් වෙන කරන්නම දෙයක් නැතිනම් වෙන්වනවා. ඒක වැරදි නැහැ. ඒත් දික්කසාද වූ කෙනකු දෙවැනි වතාවට විවාහ වෙනවා නම් ඒක ගොඩක් හිතලා බලලා ගත යුතු තීරණයක්. ප්‍රථම විවාහයේ සැමියා සහ බිරිඳ තරම් ඒ දෙදෙනා ගැන දන්න දෙදෙනෙක් නැහැ. දෙවැනි විවාහයක් කරගන්නවාට වඩා තනිකඩව ඉන්න එක තමයි දික්කසාද වූ කෙනකුට සුදුසුම දෙය.
අමිලායි සමන්තයි පුතයි දුවයි ගත කරන ජීවිතේ කොහොමද?
ටිකක් විතර වැඩ වැඩියි. ඒත් සුන්දරයි. පුතා බිතුම් දැන් ඉන්නේ හත වසරේ. දුව ලිතුම්සාට දැන් අවුරුද්දයි. මම ගෙදර ඉන්න වෙලාවට දෙන්නම ඉන්නේ මගේ ළඟ තමයි. අපි හරි සතුටින් ජීවත් වෙනවා.
ගේ දොර වැඩයි කලා කටයුතුයි සමබරව කරගෙන යාම අසීරුද?
මගේ අම්මත් ඉන්නේ මගෙ ගෙදර. අම්මගෙනුයි සමන්තගෙනුයි ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒත් අත් උදව්වට මෙහෙකාරකමට කෙනෙක් තියාගන්න මම කැමති නැහැ. ගෙදර ඉන්න වෙලාවට මගෙ අත්දෙකින් තමයි උයන පිහන හැම ගේ දොර කටයුත්තක්ම කෙරෙන්නේ.
ඡායාරූප:- ජානක කඳනාරච්චි
ආරියවංශ කුලතිලක
හිරු තනිවෙලාහි ශලනි තරම් මං ඇත්තටම හිතුවක්කාර නැහැ
නව පරපුරේ නිළි රිතූ ආකර්ෂා සමග කතාබහක්
මේ දිනවල විකාශය වන ‘හිරු තනිවෙලා’ ටෙලිනාට්‍යයේ ශලනිගෙ චරිතයෙන් නිළි පරපුරට තවත් අලුත් නිළියක් එකතුවනවා. ඇය ‘රිතූ ආකර්ෂා’ තම ප්‍රථම රංගනයෙන්ම තුළින් ඇය ප්‍රේක්ෂකයින්ගේ කතාබහට ලක්වන විදියේ රංගනයක් ඉදිරිපත් කරනවා. ඒ හින්දම අපි හිතුවා රිතූ ගැන උනන්දු වන රිද්ම පාඨක හිතවතුන් පිරිසට ඇය ගැන තොරතුරු ටිකක් කියන්න. ‘රිද්ම’ කතාබහකට එකතු වූ මේ සුන්දර යොවුන් නිළිය තමන්ගේ තොරතුරු ගැනයි. කලා ජීවිතේ තොරතුරු ගැනයි අපිත් එක්ක කතා කළේ මේ විදියට.
රිතූ රිද්ම කතාබහකට එකතු වන පළමු අවස්ථාව හින්දා මුලින්ම අපි රිතූගේ සාමාන්‍ය තොරතුරු ටිකක් කතා කරමු.
මගේ ගම කැලණිය. ඉගෙන ගත්තේ කොළඹ ශාන්ත ජෝශප් විදුහලේ. අපේ පවුලේ ඉන්නේ අයියයි මල්ලියි මමයි අම්මයි තාත්තයි. තාත්තා සේවය කරන්නේ පොලීසියේ වුණාට කලාවට ගොඩක් ලැදියි. ඒ හින්දයි මමත් කලාවට යොමුවුණේ.
රිතූ මුලින්ම යොමු වුණේ මෝස්තර නිරූපණ ක්‍ෂේත්‍රයට?
ඔව්. ඒ තුළින් තමයි මට රඟපෑමට ආරාධනා ලැබුණෙ. දැනටත් මම ඉඳහිට මෝස්තර නිරූපණ ශිල්පයේ යෙදෙනවා.
ප්‍රේක්ෂකයෝ මුලින්ම රිතූව දැක්කේ “හිරු තනිවෙලා” තුළින්?
ඒත්, මම මුලින්ම රඟපෑමට එකතු වුණේ සිනමාව තුළින්. දැනට මම “රොකට් රජා” සහ “රාක්ෂ කැලේ” කියන චිත්‍රපට දෙකේ රඟපාලා තියෙනවා. තවමත් ඒ චිත්‍රපට තිරගත වුණේ නැහැ.
‘හිරු තනිවෙලා’ හැර වෙනත් නිර්මාණවලට දායක වෙලා නැද්ද?
‘හිරු තනිවෙලා’ ටෙලිනාට්‍යයේ රඟපාන්නට පෙර ටෙලිනාට්‍ය දෙක තුනකට කතා කළත් මට ඒ ටෙලිනාට්‍ය ගැන කැමැත්තක් තිබුණෙ නැහැ. ‘හිරු තනිවෙලා’ ගැන නම් ලොකු කැමැත්තක් තිබුණා. මේ ටෙලිනාට්‍ය විකාශය වන්නට පටන් ගත්තම දැන් එක දිගට ටෙලිනාට්‍ය සඳහා ආරාධනා ලැබෙනවා. ඒත් “හිරු තනිවෙලා” දීර්ඝ ටෙලිනාට්‍යයක් නිසා කාලය ප්‍රශ්නයක්. ඒ වගේම ලැබෙන හැම නිර්මාණයක්ම බාරගන්නත් මම කැමති නැහැ.
‘හිරු තනිවෙලාට කැමති ශලනියි රිතූයි අතර සමානකම් තියෙන නිසාද?
මම ශලනිට වඩා ගොඩක් වෙනස්. සමානකම් තියෙන්නේ ටිකයි.
ඒ සමානකම් මොනවාද? වෙනස්කම් මොනවාද?
මම නිතරම හිනාවෙලා හරිම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න කැමති කෙනෙක්.
ඒ වගේම ජීවිතය ගැන සරලව හිතන කෙනෙක්. ශලනිත් ඒ වගේමයි අපි අතර වෙනස්කම් ගොඩයි. මම ශලනි වගේ දෙමව්පියන්ට හිතුවක්කාර අනිත් අයට බණින ගහන චරිතයක් නමෛයි. ඒ වගේම කිසිමදාක ශලනි තමන්ට ආදරේ නොකරන කෙනෙක්ගේ පසුපස්සේ ගියාට මම නම් කවමදාවත් ඒ වගෙ කරන්නෙ නැහැ.
රිතූට ආදරය පසුපස හඹායන්න ඕන නැත්තේ සුදුසු ආදරය ලැබිලා තියෙන නිසාද?
ඔව්. ඒත් ඒ ගැන වැඩිදුර කතා කරන්න මම කැමති නැහැ.
රිතූ දිගටම රඟපෑමේ යෙදෙන්නද කල්පනාව
හොඳ නිර්මාණයක ආශාවෙන් රඟපාන්න පුළුවන් විදියේ චරිතවලට දිගටම එකතු වනවා.
රඟපාන්න ආශා කරන චරිතයක් එහෙම තියෙනවාද?
අහිංසක ගැමි යුවතියකගෙ චරිතයක් රඟපාන්න ආසයි.
චීත්තෙයි හැට්ටෙයි ඇඳල කොණ්ඩ දෙකක් ගොතපු ගැමි කෙල්ලෙකුගෙ චරිතයක් රඟපාන්න රිතූට පුළුවනිද?
ඔව්, මට ඒ විදියේ චරිතයක් රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් ඒක සාර්ථකව කරන්න පුළුවන් වේවි කියලා විශ්වාස කරනවා.
රඟපාන්න ගිහින් අමතක නොවන අත්දැකීම්වලට මුහුණ දීලා ඇති?
ඒ විදියේ සිදුවීම් වැඩිපුරම තිබුණේ “රාක්ෂ කැලේ” චිත්‍රපටය රඟපාන්න ගියාමයි. ඒ කතාවේ ප්‍රධාන චරිත 4ම ගෑනු ළමයි 4 දෙනෙක්. මමයි තව නවක නිළියන් තුන් දෙනෙකුයි ඒ චරිත රඟපානවා. පැහැරගෙන ගිය ගෑනු ළමයෙක්ව බේරාගන්න අපි යනවා. ඒ චිත්‍රපටය වෙනුවෙන් අපිට සටන් පුහුණුවක් පවා තිබුණා. සිංහරාජ අඩවියේ බොහොම දුෂ්කරතා මැද තමයි රූපගත කිරීම් කළේ.
මොනවාද ඒ දුෂ්කරතා?
කූඩැල්ලන්ගෙන් බේරිලා රඟපාන්න තමයි අමාරු වුණේ. ඒ වගේම කැලේ මැද රූපගත කරද්දී සත්තු එයිද කියන බය තදින්ම හිතට දැනුණා. සටන් කරන ජවනිකා රඟපාන එකත් දුෂ්කර දෙයක් වුණා. කොහොම වුණත් මේ හැම දෙයක්ම මැද චිත්‍රපටය සාර්ථකව කළා.
ආරියවංශ කුලතිලක
ඡයාරූප - ලක්මාල් වසන්ත
නුවර යන්න ඒ.සී. කෝච්චියක්
අපේ රටේ පොදු ප්‍රවාහනයේ යෝධයා ලෙස සැලකෙන දුම්රිය සේවය පිළිබඳව සතුටට පත්විය හැකි නම් ඒ ඉතා කලාතුරකිනි. දුම්රිය මගීන්ගෙන් සැමදා අසන්නට ඇත්තේද දුම්රිය ධාවනයේ අකාර්යක්ෂමතාවය පිළිබඳව වූ චෝදනාමය. ඒ අතරේ දුම්රිය සේවයට මගීන්ගෙන් තුතිමල්මිටක් හිමි වූ අවස්ථාවක් ඉකුත්දා දැකගත හැකි විය. එනම් සම්පූර්ණයෙන්ම වායුසමනය කළ දුම්රියක් මෙරට දුම්රිය සේවයට එක් කිරීමය.
මහනුවරත් කොළඹත් කොටුවත් අතර මෙම දුම්රිය ධාවනය කෙරේ. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉතා දිගු කාලයක සිට ගන්නා ලද විවිධ උත්සාහයන් හි ප්‍රතිඵලයක් ලෙස මෙම වායුසමනය කළ දුම්රිය දුම්රිය සේවයට එක්කෙරුණේය.
මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.50ට ගමන් ආරම්භ කරන මෙම දුම්රිය පෙරවරු 8.30 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණේ. නැවත කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 5.20 ට ගමන් ආරම්භ කිරීමට නියමිත මෙම දුම්රිය පස්වරු 8.03 ට මහනුවර දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතය.
මහනුවරින් ගමන් ආරම්භ කළ පසු දුම්රිය නතර කරනු ලබන්නේ පේරාදෙණිය. රාගම, ගම්පහ යන දුම්රිය ස්ථානවල පමණි. නැවත කොළඹ සිට මහනුවර යන ගමනේ දී ද මෙම දුම්රිය ස්ථානවල පමණක් දුම්රිය නතර කෙරේ.
කොළඹත් මහනුවරත් අතර මේ සඳහා එක් මගියෙකුගෙන් අයකරන ගමන් ගාස්තුව රුපියල් 500 කි. දැනට සාමාන්‍ය දුම්රියක කොළඹ සිට මහනුවරට යාමට එක් මගියෙකුගෙන් අය කරන ටිකට්පත් ගාස්තුව රු.300 කි. එම ගාස්තුව පළමු දෙවන හා තෙවන පන්ති සඳහා වෙනස් වේ. නමුත් මෙම සුඛෝපභෝගී දුම්රියේ එවැනි පන්ති ක්‍රමයක් නොමැති අතර දුම්රියේ කුමන මැදිරියක ඔබ ගමන් කළත් ගාස්තුව රුපියල් 500ක් පමණි.
මෙම සුඛෝපභෝගී දුම්රිය මෙරට දුම්රිය සේවයට එක් කෙරුණේ චීනයේ සිටය.
මෙරට ආනයනය කෙරුණු චීන බලවේග දුම්රිය 13 සමග මෙම සුඛෝපභෝගී දුම්රියද ගෙන්වා ඇත. තවත් එක් සුඛෝපභෝගී දුම්රියක් ද මේ සමඟ ගෙන්වා ඇති අතර එම දුම්රිය තවමත් ධාවනයට එක්කර නොමැත. දුම්රිය සාමාන්‍යාධිකාරී බි.ඒ.පී. ආරියරත්න මහතා පවසන පරිදි ඉතිරි සුඛෝපභෝගී දුම්රිය විනෝදගමන් යන මගීන් වෙනුවෙන් වෙන්කර තැබිමට මේ වන විට සැලසුම් කර තිබේ. එනම් කිසියම් ආයතනයකට හෝ
පුද්ගල කණ්ඩායමකට තමන්ගේ වුවමනාව මත මෙම සුඛෝපභෝගී දුම්රිය සම්පූර්ණයෙන්ම මුදල් ගෙවා ලබා ගැනීම කළ හැකිය.
දැනට ධාවනය අරඹා ඇති සුඛෝපභෝගී මගී දුම්රියේ එකවර මගීන් 220 දෙනෙකුට ගමන් කළ හැකි අතර මැදිරි 6 කින් සමන්විතය. මෙය බලවේග දුම්රියක් වන නිසා මෙහි දෙපසම එන්ජින් මැදිරි දෙකකි. දුම්රියේ මැද භෝජනාගාර මැදිරියක් ද තිබේ. ඉතා සැප පහසු මගී ආසන පමණක් නොව දුම්රිය ඇතුළත වර්ණ ගැන්වීමද ඉතා දැකුම්කළුය. වැසිකිළි පහසුකම් ද ඉතා ක්‍රමවත්ව පවතින මෙම දුම්රිය ගමන් කරන විට ඇතිවන ගැස්සීමද වෙනත් දුම්රියවලට සාපේක්ෂව අඩුය.
මෙහි මගීන් රැගෙන යන්නේ ආසන ගණනට පමණි. මොබිටෙල් දුරකථන ජාලයේ අංක 365 ඇමතීමෙන් හෝ දුම්රිය ස්ථාන මගින්ද මෙහි ආසන වෙන් කර ගත හැකිය. යම් විදිහකින් මෙහි සම්පූර්ණ ආසන ප්‍රමාණයම වෙන්කර නොතිබුණහොත් සාමාන්‍ය මගීන්ටද වෙනත් දුම්රියන්වල මෙන් ටිකට්පත් කවුළුවලින් රුපියල් 500 ක් ගෙවා ආසන ලබාගත හැකිය.
මෙම වායුසමනය කළ දුම්රියක වටිනාකම රුපියල් මිලියන 600 ක් පමණ වන බවද වාර්තාවේ. චීනයෙන් මෙරටට ආනයනය කළ අනිකුත් බලවේග දුම්රියන්ද මේ වනවිට ධාවනයට එක්කර ඇති අතර දුම්රිය ඉතිහාසයේ ප්‍රථම වතාවට උඩරට දුම්රිය මාර්ගයටද බලවේග දුම්රියක් ධාවනයට එක් කළේ මෙම චීන දුම්රිය වලිනි.
මෙම සුඛෝපභෝගී දුම්රිය මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය ඇරඹුවේ පසුගිය 03 දා අලුයම 5.50 ට ය. ඒ සඳහා ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම, දුම්රිය සාමාන්‍යාධිකාරී බි.ඒ.පී. ආරියරත්න යන මහත්වරුද එක්ව සිටි අතර පළමු දිනයේම දුම්රියේ ආසන සියල්ලම මගීන්ගෙන් පිරී තිබුණි. මේ නිසා ප්‍රවාහන අමාත්‍යවරයා මෙම දුම්රිය සෑම දිනකම ධාවනයට යොමු කරන ලෙස දුම්රිය බලධාරීන්ට නියෝග කළේය.
මන්දයත් දුම්රිය දෙපාර්තමේන්තුව මේ වනවිටත් තීරණය කර ඇත්තේ සෑම සිකුරාදා, සෙනසුරාදා ඉරිදා සහ සඳුදා යන දිනයන්වල පමණක් මෙම දුම්රිය ධාවනය කිරීමටය. ඊට හේතුව වී ඇත්තේ මෙම දුම්රියට වැඩි මගී ඉල්ලුමක් එම දිනයන්වල පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව හඳුනාගෙන තිබිමයි. විශේෂයෙන් සතිඅන්තයට එනම් සිකුරාදා දිනයේ කොළඹ සිට මහනුවරට විශාල මගී පිරිසක් ගමන් කරති. එසේම සතිඅන්තයේ මහනුවරට විනෝදගමන් යන ජනතාවද විශාල වශයෙන් සිටිති. එම මගීන් නැවත ඉරිදා, සඳුදා දිනවල මහනුවර සිට කොළඹට පැමිණෙන අතර එම දින 4 සැලසුම් කොට මෙම දුම්රිය ධාවනය කිරීම යෝග්‍ය බව දුම්රිය බලධාරීන් තීරණය කර තිබේ.
නමුත් ප්‍රවාහන අමාත්‍යවරයාගේ නියෝගය නිසා සතියේ අනිත් දින කිහිපයේත් මෙම දුම්රිය ධාවනයට එක් කිරීමට දුම්රිය බලධාරීන් මේ දිනවල ශක්‍යතා අධ්‍යයනයක් කරමින් සිටී. ඒ නිසා තවමත් මෙම දුම්රිය ධාවනය වන්නේ ඉහත සඳහන් කළ සතියේ දින 4 තුළ පමණි.
මෙම දුම්රිය එක් ගමන් වාරයක් ධාවනය කිරීම සඳහා අධික පිරිවැයක් දුම්රිය දෙපාර්තමේන්තුවට දැරීමට සිදුවේ. යම් විදිහකින් මීට මගී ඉල්ලුම නොමැතිවුවහොත් දුම්රිය දෙපාර්තමේන්තුවට මෙම සුඛෝපභෝගී දුම්රිය ධාවනය කර ගැනීමට නොහැකි වනු ඇත.
මෙරට දුම්රිය සේවයේ සම්පූර්ණයෙන්ම වායුසමනය කළ දුම්රියක් ධාවනය වූ ප්‍රථම අවස්ථාවද මෙය නොවේ. මීට පෙර ජපානයෙන් ගෙන්වන ලද 'හිතාචි' දුම්රියක් සමූහයක අවශ්‍යතාවය මත වෙන් කරවාගෙන ධාවනය කිරීමේ පදනම මත ධාවනයට එක්කොට තිබූ අතර 2010 වසරේ පැවැති 'අයිෆා' උළෙල සඳහා මෙම හිතාචි සුඛෝපභෝගී දුම්රිය කටුනායක ගුවන්තොටුපෙළ වෙත පැමිණෙන මගින් කොටුව මහලේකම් කාර්යාලය දුම්රිය නැවතුම දක්වා රැගෙන ඒම සඳහා යොදවන ලදී.
කෙසේ වුවද 'හිතාචි' දුම්රිය අපේ රටේ සාමාන්‍ය දුම්රිය මගීන් සඳහා වෙන්කර නොතිබුණි. ඊට හේතුව නම් හිතාචි දුම්රිය දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති වුවත් එය පාලනය කරනු ලැබුවේ කටුනායක ගුවන්තොටුපළ සමාගම මගින් වීමය. දුම්රිය දෙපාර්තමේන්තුව කටුනායක ගුවන්තොටුපල සමාගමට ගිවිසුම් ප්‍රකාරව යම් මුදලකට එම දුම්රිය ලබාදී තිබුණි. දුම්රියේ සියලු පහසුකම් ගුවන්තොටුපළ සමාගම විසින් සැපයූ අතර මගීන්ගෙන් අයකළ ගාස්තුව තීරණය කළේද එම සමාගමයි. එය ඉතා අධික ගාස්තුවක් විය.
හිතාචි දුම්රිය ශ්‍රී ලංකාවට රැගෙන එන ලද්දේ මීට වසර 40කට පෙරය. ඒ නිසා එය ඉතා අබලන් තත්ත්වයක පැවැති අතර අයිෆා උළෙල පදනම් කරගෙන මෙය නවීකරණය කරනු ලැබිය. දුම්රියේ පැරණි බව වැඩි නිසා නවීකරණය කළත් හිතාචි සුඛෝපභෝගී දුම්රිය අතරමග නතර වූ අවස්ථා එමටය. ඒ නිසා ටික දිනක් යන්නට මත්තෙන් හිතාචි දුම්රිය ගමන අතරමග නතරවිය. අද වන විටත් හිතාචි දුම්රිය ධාවනයට ගත නොහැකිව දුම්රිය අංගනයේ ගාල්කර තිබේ.
දැනට අපේ රටේ ධාවනය වන ප්‍රධාන දුම්රිය 12ක පමණ සම්පූර්ණයෙන් වායුසමනය කළ එක් මැදිරියක් බැගින් ධාවනය කෙරේ. පළමු පන්තියේ මැදිරි ලෙස ක්‍රියාත්මක එම මැදිරිද පෞද්ගලික ආයතන දෙකක් විසින් පාලනය කරනු ලබයි. කොළඹ බදුල්ල දුම්රියේද මෙවැනි වායුසමනය කළ එක් මැදිරියක් ඇති අතර ඊට ඉහළ මගී ඉල්ලුමක් පවතී. එම මැදිරිය කල්තියා වෙන්කරගත යුතු අතර එහිදී මගීන්ට අවශ්‍ය ආහාර පාන ඇතුළු වෙනත් පහසුකම්ද අදාළ පෞද්ගලික සමාගම මගින් සපයනු ලබයි.
මේ සඳහා එක් මගියකුගෙන් විශාල මුදලක් අය කෙරන අතර දුම්රිය දෙපාර්තමේන්තුවට හිමිවන්නේ අදාළ මැදිරියේ ටිකට්පත් ගාස්තුව පමණි. ඉතිරි මුදල අදාළ පෞද්ගලික සමාගමට හිමිවේ.
සාමාන්‍ය දුම්රිය මගීන්වද සුඛෝපභෝගී දුම්රියක ගමන්කිරීමේ අවස්ථාව උදාකරමින් මහනුවර - කොළඹ අතර ධාවනය ඇරඹූ මෙම සුඛෝපභෝගී දුම්රිය මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින් සඳහාද අන්තර්ග්‍රහණය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කරමින් සිටියි.
විශේෂයෙන් කොළඹ - නුවර ප්‍රධාන බස් මාර්ගයේ පවතින අධික වාහන තදබදය නිසා විදේශිකයින් කොළඹ සිට නුවරට යාමට මෙම දුම්රිය යොදාගනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව විශ්වාසය පළකරයි. මහනුවර සිට කොළඹට බස්රථයකින් පැමිණීමට පැය 4කට ආසන්න කාලයක් ගතවූවත් පැය දෙකහමාරක් වැනි කෙටි කාලයකින් මෙම දුම්රිය සේවයෙන් මහනුවර හා කොළඹ අතර ගමන් කළ හැකිය.
විදේශිකයින් මෙකී දුම්රියට ගෙන්වාගැනීමට නම් මෙම සුඛෝපභෝගී දුම්රියේ අද අපි දකින ගුණාත්මකභාවය සෑම දිනකම පවත්වාගැනීමේ අභියෝගය දුම්රිය දෙපාර්තමේන්තුව භාරගත යුතුය. විශේෂයෙන් දුම්රිය වැසිකිළිවල පිරිසිදුභාවය දුම්රිය මැදිරිවල දැනට තිබෙන සිත්ගන්නා සුළු බව එලෙසම පවත්වාගත යුතුය. අප දන්නා තරමට නම් දුම්රිය දෙපාර්තමේන්තුවට අලුතින් දුම්රියන් කොපමණ එක්කළද ටික දිනක් යන්නට මත්තෙන් එම දුම්රියන් සෑම අතකින්ම විනාශවීමකට ලක්වේ. එක් අතකින් ඊට ප්‍රධාන ලෙසම වගකිවයුත්තේද දුම්රිය මගීන්ය. දුරගමන් යන දුම්රියන්වල බොහෝ වැසිකිළි මිනිසුන් භාවිතාකරන ඒවා නොව තිරිසන් සතුන් සඳහා වෙන්කළ වැසිකිළිදැයි සිතෙන තරමට අපවිත්‍රය. ආසන ඉරී ඇත. නැතිනම් නොයෙකුත් බලි රූප, පෑන් ඉරිවලින් විනාශ වී ඇත. මෙතරම් අධික වියදමක් දරා ධාවනයට එක්කළ සුඛෝපභෝගී දුම්රියට ද මේ අවාසනාවන්ත තත්ත්වය අත්නොවේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.
පානුක රාජපක්ෂ
ගල්ඔය කරුණේ
වැව්ගම්පත්තුවේ කතා
ගල්ඔය උක් ගොවිපොළේ උසට වැඩුණු උක් ගස් යාය අතරේ නිතරම දකින්න ලැබෙන පුංචි මිනිහෙක් වෙච්ච කරුණාරත්න ගැනයි අද වැව්ගම්පත්තුවේ කතාව. තරුණ කාලේ මේසන් බාස් කෙනෙක් විදිහට තමන්ගේ ජීවන වෘත්තිය අරඹපු කරුණාරත්න අද වෙනකොට නම් තනි අතකින් රැකියාවන් කීපයක්ම කරන අමුතුම මිනිහෙක්. දෙදහස් හය අවුරුද්දේදි අලි වෙඩිල්ලක් අතේම පිපිරිලා තමන්ට හුරු අත වෙච්ච දකුණු අත අහිමි වුණදා තමයි කරුණාරත්නගේ ජීවිතේ අලුත් කඩ ඉමක් ඇරඹුණේ.
අතේ ඇඟිලි පහෙන් එකක් අඩු වුණත් පාරක් පාරක් ගානේ හිඟාකන්න පටන් ගන්න ලංකාවේ බොහොමයක් උදවිය වගේ වැව්ගම්පත්තුවේ කරුණාරත්න නම් හිඟමනට බැස්සේ නෑ. හුරු අත නැති වුණත් නුහුරු අතෙන් තමන්ගේ වැඩ කටයුතු තනියම කරගෙන ජීවිතේ පටන් ගත්තේ කාවත් පුදුම කරමින්.
අත නැති වුණත් කරුණාරත්නගේ පුරුදු ජීවන වෘත්තිය වෙච්ච මේසන් බාස්කම අතහැර දාන්න කරුණාරත්න යන්තම්වත් කැමති වුණේ නෑ. අහුවෙන අහුවෙන විදිහට මේසන් වැඩ බාරගෙන තනි අතින්ම ඒ මේසන් වැඩ කරන කරුණාරත්න කාගෙන්වත් දොසක් නාහ තමන් බාරගන්න වැඩ තිතට කරගෙන යන බව කරුණාරත්නව දන්න කියන කවුරුත් කියනවා.
මේසන් හැන්ද වගේම උදැල්ල, කැත්ත, පිහිය ඔය කොයි ආවුදේ වුණත් කරුණෙගේ තනි අතට හොඳට හුරුයි. බෑ කියලා දෙයක් නෑයි කියලා නිතර කියන කරුණේ හිටි ගමන් මහ විශාල ගස් උඩ පවා තනියම නගින බවත් නොකියාම බෑ.
ගල්ඔය උක් ගොවිපොළේ ආරක්ෂක නිලධාරියෙක් හැටියට මේ වෙනකොට සේවය කරන කරුණාරත්න තවත් ටික කාලෙකින් මොන මොනවා කරයිද කියලා කියන්න කාටවත් බෑ. නපුරු කමක් අහලකවත් නැති කොයි වෙලේ බැලුවත් සුන්දර හිනාවකින් මූණ පුරෝගෙන ඉන්න කරුණාරත්නගේ මූණත් හරියට සරුවට වැඩුණු ගලඔය මිටියාවතේ උක් යායක් වගෙයි. ගමේ කිසිම කෙනෙක් එක්ක ආරවුල් ප්‍රශ්න ඇති කරගෙන නැති කරුණාරත්නට
ගල්ඔය මිටියාවතේ කවුරුත් කැමතියි.
කරුණාරත්නගේ සම්පූර්ණ නම් ඩී.එම්. කරුණාරත්න, අම්පාර ගල්මඩුවේ ගල්ඔය පාලම අසල තියන අංක 105 දරන නිවසේ කරුණාරත්න දැනට ජීවත් වෙනවා. කරුණාරත්නගේ ගෙදරට යන කාට වුණත් කරුණාරත්නගේ දිරිය තමන්ගේ ඇස්වලින්ම බලා ගන්න පුළුවන්. කරුණාරත්නගේ වත්ත පුරාම බව භෝග වගා කරලා තියන හැටි දැක්කාම කරුණාරත්නට අත් හතරක් තියනවාදෝ කියලා විටෙක සැක හිතෙනවා.
හිතේ හයියෙන් වැඩ කරගෙන රටට බරක් නොවී වැව්ගම්පත්තුවට ආඩම්බරයක් වෙච්ච කරුණාරත්න වගේ තවත් අය ලංකාවේ කොතෙකුත් ඇති. ඒ හැමෝම රටට ආඩම්බරයක්. අතක් පයක් නැති වුණා කියන්නේ ජීවිතය එතනින් ඉවරයි කියන එක නොවන වග රටට පෙන්වන දිරිය මිනිස්සු ඉන්නේ බොහෝම අඩුවෙන්. ඒ අතරිනුත් අහිංසකකමත් ප්‍රසන්න බවත්, අවංකකමත් කැටි කරගත්තු කරුණාරත්න වගේ අය බොහෝම අල්පයි.
සඳරුවන් ජයවික්‍රම
More Articles...
Page 1 of 8
<< Start < Prev 1 2 3 4 5 6 7 8 Next > End >>









චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී එංගලන්තයට එරෙහිව ඕවල් පිටියේදී විශිෂ්ට ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු ඉහළ නංවා ගැනීමට සමත්විය. නවසීලන්තයට පරාජය වූ ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව ලකුණු 293 ක ඉලක්කයක් හඹා යමින් ජය ගෙන ‘ඒ’ කොටසින් අවසන් පූර්ව වටයට පිවිසීමේ සටන තවත් උණුසුම් කිරීම කැපී පෙනුණි.
චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයෙන් කඩුලු 7 ක විශිෂ්ට ජයක් ලැබූ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු අලුත් කර ගැනීමට සමත්විය.




BlackBerry
මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ටෙලිකොම් රේන්බෝ පේජස් විසින් නව සංචාරක නාමාවලියක් පසුගියදා එළිදක්වනු ලැබිය. මෙම සංචාරක නාමාවලිය බෙදා හැරීම සංකේතවත් කරමින් එහි පිටපතක් පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේ සංවිධානය
මාතලේ රජයේ පිළිගත්
අප රටේ ඇතැම් ප්‍රධාන 


නෙතුකි දුව අපි ඉස්සරහ වාඩිවෙලා හිනාවෙනවා. දැන් ඇගේ වයස අවුරුදු 2යි. මේ වයසේ ඉන්න දරුවෝ හුඟක් හුරතල්. නෙතුකි දුව තුළිනුත් ඒ බව හොඳින් පෙනෙනවා.


