lakbima.lk

අවි අතට ගෙන අවියෙන්ම මහ පාරේ මිය ගිය කළු අජිත්

දිනය ඉකුත් පස්වැනිදාය වේලාව රාත්‍රී හතයි තිහට පමණ ඇත.

ජා ඇල, මහවත්ත ප්‍රදේශයේ වැසියන් සිය දවසේ රාජකාරී නිමවා අවසන් කරන්නට සුදානම් වෙමින් සිටියදී ඔවුන්ට ඇහුණේ රතිඤ්ඤා හඬක් වැනි පිපිරුමකි. කරමින් සිටි වැඩ පසෙක දැමූ ඔවුන් ඒ හඬ ඇසුණු දෙසට කන් යොමු කළේ හිතේ හටගත් සියුම් තැති ගැන්මත් සමගිනි. ඉකුත් අප්‍රේල් 21 පාස්කු ඉරුදින පුපුරා ගිය බෝම්බ නිසා කතෝලිකයන් බහුතරයක් සිටින ප්‍රදේශවල බොහෝ දෙනා තවමත් පසුවන්නේ නම් බියෙනි. එහෙයින් මේ ඇසුණු හඬ ඔවුන්ට යම් අනතුරක සංඥාවක් ගෙන දී තිබිණි. සියලු දෙනාම වහ වහා හඬ ඇසුණු දෙසට ගමන් කළහ.

එහිදී ඔවුන්ට දැක ගැනීමට ලැබුණේ කහ පැහැති මෝටර් රථයක රියැදුරු අසුනේ සිටි පුද්ගලයකු වෙඩි වැදී මිය ගොස් සිටින අයුරුය.

“අයියෝ වෙඩි තියලා, මරලා දාලා. කවුද අනේ මැරිලා තියෙන්නේ” මෙවැනි වදන් හාත්පස පැතිරෙන්නට විය. විනාඩි කිහිපයක් තුළ ජා ඇල ‍පොලීසියේ නිලධාරීන් පැමිණ එම ස්ථානය අපරාධ වූ ස්ථානයක් ලෙස වෙන් කර ජනතාව ඉන් ඉවත් කිරීමට කටයුතු කෙරුණි.

පසුව ‍පොලීසිය මේ පිළිබඳ මූලික විමර්ශන ඇරඹුවේය. ඝාතනයට ලක්ව තිබුණේ මිනුවන්ගොඩ, පත්තඬුවන, අංක 116-1 නිවසේ පදිංචිව සිටි ක්‍රිෂාන්ත අජිත් කුමාර නොහොත් කළු අජිත් බව ‍පොලීසිය හඳුනා ගත්තේය.

මිනුවන්ගොඩ පාතාල ක්‍රියාකාරිකයකු වූ මොහු සීදුව, රාජපක්ෂපුරයේ කුලී කාමරක් ගෙන සැඟවී සිටියේ ඔහුට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයෙන් එල්ල වී තිබූ මරණ තර්ජන හේතුවෙනි.

තවත් පාතාල නායකයකු වූ මිනුවන්ගොඩ - හීනටියන අසිතගේ පි‍ලේ සිටි කළු අජිත් අසිතගේ මරණයත් සමග දූනගහ සුජිගේ පිලට එක් විය. නමුත් කලක් යන විට ඔහුගෙන්ද ඉවත් වූ  කළු අජිත් ගණේමුල්‍ලේ සංජිව හා එක් වූයේ ඔහු ගෙවන ගාණ වැඩි නිසාය.

බලය හා සල්ලි වෙනුවෙන් තවකෙකු නැසීම මොවුන්ට එතරම් දෙයක් නොවුණි. එකල වේයන්ගොඩ ප්‍රදේශයේ බලය පතුරවාගෙන සිටි  උදම්මිට සමරේගේ මරණ වරෙන්තුවද ලියවීමට මුල්වූයේ ගණේමුල්‍ලේ සංජීවගේ උපදෙස් මත කළු අජිත් හා වේයන්ගොඩ චාමර ඇතුළු  පිරිසය. ඒ 2016.12.24 වෙනි දින වේයන්ගොඩදීය. මීට අමතරව තවත් මනුෂ්‍ය ඝාතන කිහිපයක්ම කිරීමට තැත් කළ මොහු මංකොල්ල සම්බන්ධයෙන්ද ‍පොලීසිය කිහිප අවස්ථාවකදීම අත්අඩංගුවට ගත් පුද්ගලයෙකි.

මේ අතර  ගණේමුල්‍ලේ සංජීවගේ තවත් ඉලක්කයක් වූයේ ගම්පහ ව්‍යාපාරිකයකු  වූ ඔස්මන් ගුණසේකරය.

ඔහුව ඉලක්ක කර  2017 අප්‍රේල් මසදී උඩුගම්පල, කටුගස්තර ප්‍රදේශයේදී වෙඩි තැබිය. ඉන් ඔස්මන්ගේ ජීවිතය බේරී ගියේ ඔහු සිය රථයේ අසුන්ගෙන සිටි ස්ථානය වෙනස් කර තිබූ නිසාවෙනි.

මෙකී වෙඩි තැබිම සම්බන්ධයෙන් වූ කළු අජිත් 2017 අප්‍රේල් මස 28 වෙනි දින ඔහුගේ තවත් මිතුරෙකු සමග නිට්ටඹුවේදී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් හා උණ්ඩ 08 ක් සමග කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

එම සිද්ධීන්වලට අදාළව මොහු බන්ධනාගාර ගත කෙරුණි. එහෙත් ඔහු  එහි සිටද අපරාධ රැසක්ම සැලසුම් කළේ ගණේමුල්‍ලේ සංජීවගේ උපදෙස් මතය. ඒ අනුව බට‍පොත ප්‍රදේශයේදී පස් කන්දක් කපමින් සිටි පස් සුරේෂ්ට වෙඩි තැබිමට ගෝලයන් යෙදවූයේ කළු අජිත්ය. නමුත් මෙහිදී සුරේෂ් තුවාල ලබා ජීවිතය බේරා ගත් හෙයින් ගණේමුල්ල සංජීව කළු අජිත්ට ‍පොරොන්දු වූ මුදල  දුන්නේ නැත. මින් කළු අජිත් හා ගණේමුල්ල සංජීව අතර  විරසකය ආරම්භ විය.

මේ අතර ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර දෙසට හැරුණු කළු අජිත් ඔහුට හිතවත්ව කටයුතු කරන්නට වුයේ ගණේමුල්ල සංජීවට රිදවන්නටය. කළු අජිත් වරද්දාගත් තැන එතැන විය. ඔහු ගණේමුල්‍ලේ සංජිවගේ පාර්ශ්වය හා ගැටෙද්දී කළු අජිත්ව ඉවරයක් කළ යුතු බව ගණේමුල්ල සංජිව තීරණය කළේය.

ඒ අනුව ඔහු එම කොන්ත්‍රාත්තුව බාර දුන්නේ අමුණුගොඩ සංජිවටය. නමුත් අමුණුගොඩ සංජීවට කළු අජිත් හා පෞද්ගලික තරහක් තිබුණේ නැත. ඔහු අත මාරුවට මුදල් ඉල්ලා ගන්නේද කළු අජිත්ගෙනි. නමුත් දැන් මෙම කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කිරීමට ප්‍රමාද වැඩි බව වටහා ගත් අමුණුගොඩ සංජීව වැඩේ කිරීමට එකඟ විය.  කළු අජිත් බන්ධනාගාරයෙන් ඇප මත නිදහස්ව පැමිණියේ මේ අතරය.

ඒ අනුව ගණේමුල්‍ලේ සංජීව, අමුණුගොඩ සංජීවට මෝටර් රථයක් හා තවත් පුද්ගලයන් දෙදෙනෙකු ලබා දුන්නේය. ඒ කළු අජිත් ඝාතනය කිරීමටය.

2018.09.30 වෙනි දින කළු අජිත් පෑලියගොඩ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ආපසු මීගමුව - පුත්තලම මාර්ගයේ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී අමුණුගොඩ සංජීවගේ මෝටර් රථයද ගොස් වැලිගම්පිටියේදී නවත්වාගෙන සිටියේ කළු අජිත්ගේ මෝටර් රථය ඉස්සර කර යනතුරුය.

මෝටර් රථය ඉස්සර කරනවාත් සමග අමුණුගොඩ සංජීව වෙඩි තැබුවේය. මෙහිදී ඔහුට ඉලක්කය වැරදී ගොස් ඇති බව වැටහුණේ පසුවය. ඔහු කළු අජිත්ගේ මෝටර් රථය සිතා වෙඩි තබා තිබුණේ එවැනිම මෝටර් රථයක් පදවාගෙන ගිය කාන්තාවකටය. තම රථයට ඉදිරියෙන් සිදු වූ මෙකී වෙඩි තැබිම තමන් ඉලක්ක වූවක් බව වටහා ගැනීමට කළු අජිත්ට අලුත් නුවණක් අවශ්‍ය නොවීය. ඔහු මෝටර් රථයේ වේගය වැඩිකර ජාඇල දෙසට යද්දී අමුණුගොඩ සංජීවගේ මෝටර් රථයද ඔහු පසු පස  නැවත වරක් හඹා ගියේය.

ජීවිතය පතා කළු අජිත් වහාම සිය මෝටර් රථය ජාඇල ‍පොලීසියට පැදගෙන යාමත් සමග අමුණුගොඩ සංජීව පසුබා පලා ගියේය.

මෙකී පාතාල ගැටුමට  බිලි වූයේ කපුවත්ත, වැලිකුරුඳුවත්ත පදිංචිව සිටි ඈන් රසිකා රොවෙල් නමැති දෙදරු මවකි.

කළු අජිත් මරණයෙන් එදා ගැලවී ගියද ඔහුගේ පසුපස ගණේමුල්‍ලේ සංජිව පන්නමින් සිටින බව හොඳාකාරවම දැන සිටියේය. ඒ නිසාම ඔහු නිවසේ සිටියේ නැත. පදිංචිය වරින් වර වෙනස් කළේය.

මේ අතර ඔහු කහ පැහැති මෝටර් රථයක් කුලියට ගනු ලැබිය. ඒ තමන්ගේ ගමන් බිමන් වලටය. මේ අතර වරින් වර ගණේමුල්‍ලේ සංජීව ඔහුගේ ගෝලයන් යොදා කළු අජිත්

පිළිබඳ ඔත්තු බලමින් සිටියේය. මේ වන විට ඔහු පුද්ගලයන් දෙදෙනෙකුට මරණ වරෙන්තු ලිවීමට සැලසුම් කරමින් සිටියේය. ඉන් එක් අයෙක් වුයේ කළු අජිත්ය. මේ පිළිබඳ ‍පොලීසියේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකුම දැන සිටි අතර ඔවුහු මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසු විය.

දින කිහිපයක සිට කළු අජිත්ගේ කනක පැවැති ආබාධයක් නිසා ඔහු ප්‍රතිකාර ලබා ගැනීමට සිතුවේය. ඒ අනුව ඉකුත් 05දා

ජාඇල, කණුවන පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක    වෛද්‍යවරයකු වෙත යාමට වේලාව වෙන් කර ගනු ලැබිණි. සිය මිතුරෙකු වූ මහවත්තේ රංග සමග කළු අජිත් වෛද්‍යවරයා හමුවට ගොස් සිටියදී ඔහුට එක්වරම මිනුවන්ගොඩ නිවසට යාමේ අදහසක් ඇතිව තිබේ. ඒ අනුව මිතුරා සමග ඔහු මිනුවන්ගොඩ නිවසට ගොස් රාත්‍රියේ ආපසු මිතුරාව බැස්සවීමට මහවත්තට ගිය අවස්ථාවේ ඔහු නාඳුනන තුවක්කුකරුවකුගේ ගොදුරක් වී තිබිණි.

ස්කුටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණ ඇති පුද්ගලයන් දෙදෙනෙකු ටි-56 ගිනි අවියකින් මෙම වෙඩි තැබිම සිදු කර පලා ගොස් තිබිණි. මොවුන් මිනුවන්ගොඩ සිටම කළු අජිත්ගේ මෝටර් රථය හඹා එන්නට ඇති බව ‍පොලීසිය සැක පළ කරනු ලබයි.

මෙම ඇසට ඇසක් පළිගන්නා  පාතාලය පහුගිය කාලයේ පැවැතියේ නිශ්ක්‍රීයවය. නමුත් කළු අජිත්ගේ මරණයත් සමග එය නැවත සක්‍රිය වී තිබේ. කළු අජිත්ට මරණ සහතිකය ලියු සැකකරුවන් දෙදෙනා ‍පොලීසිය විසින් හඳුනාගෙන ඇති අතර ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර උතුර දිසා අපරාධ කොට්ඨාසය හා ජා ඇල ‍පොලීසිය විමර්ශන පවත්වයි.

 ශානිකා මාධවී පීරිස්

ඡායාරූප - ප්‍රසංග පෙරේරා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.